ඇලෙක්සැන්ඩර් හා පෝරස් අතර හයිදස්පස් මහා සටන


ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ඉන්දියානු ආක‍්‍රමණය 6

 

 

පෞරවයන්ගේ ඉතිහාසය පූර්ව මහා භාරත යුගය තෙක් විහිදෙන්නකි. භාරතයේ චන්ද්‍රවංශික යයාති රජුට පුරු සහ යදු නමින් පුතුන් දෙදෙනෙක් වූහ. පෞරව වංශිකයන් පුරු කුමාරයාගෙන්ද, යාදව වංශිකයන් යදු කුමරුගෙන්ද පැවත එන්නෝ වෙති. ඇලෙක්සැන්ඩර් ඉන්දියාව ආක‍්‍රමණය කළ සමයේ පෞරව රාජ්‍යයයේ පාලකයා වූයේ පුරුෂෝත්තම් නොහොත් පෝරස් රජුය. පන්ජාබය ගංගා පහකින් සමන්විත භූමියකි. එහි චේනබ් හා ජේලම් යන ගංගාවනට මැදිව පෝරස් රජුගේ පෞරව රාජධානිය පිහිටා තිබිණි. 
  
පෝරස් රජු යටතේ ප‍්‍රාන්ත කුමාරවරු හා පාලකයෝ රැසක් වූහ. ඔවුන්ගෙන් ඇතැමෙක් පෝරස්ට එරෙහි වෙමින් ඇලෙක්සැන්ඩර්හට සහය පළ කළ අතර පෝරස් ඒ කිසිවකින් නොසැලී ඇලෙක්සැන්ඩර් සමඟ යුද ප‍්‍රකාශ කිරීමට තරම් නිර්භීත විය. පෞරවයෝ ඉතා නිර්භීත හා අසහාය යුදකාමීහු වූහ. ඬේරියස් හා සෙරෙක්සස් වැනි පර්සියානු රජවරුන් පරාජය කිරීමට වුවද සමත් සටන්කාමීන් පිරිසක් ඔවුනට සිටියහ.   
ජේලම් නදි තීරයේ හයිදස්පස් ප‍්‍රදේශයේ කඳවුරු ලා සිටි ඇලෙක්සැන්ඩර්ගේ හමුදාව වෙත පෝරස්ගේ හමුදාව ක‍්‍රමයෙන් සමීප වූහ. ඉන්දියානු හමුදාව සතු විශාලම ශක්තිය වූයේ ඔවුන්ගේ 300ක් පමණ වූ ඇත් හමුදාවය. ඉතා ශක්තිමත් එම ඇතුන්ගේ දළ මත දරුණු විෂ තවරා තිබිණි. ඇතුන්ගේ පිට මත අට්ටාල බැඳ තිබූ අතර එහි දුනුවායන් හා හෙල්ලකරුවන් තිදෙනා බැගින් රඳවා සිටියහ. සෑම හස්තියකුම ගිනි ප‍්‍රහාරවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඝනකම් සමින් කළ ආවරණ පලඳවා තිබිණි. ඉන්දියානු හමුදාවේ ඉදිරියෙන් ඇත් හමුදාව ද, දෙපසින් අශ්වාරෝහකයන් සහ පාබළ හමුදාව ද පෙළ ගැසී සිටියහ.   


විවිධ රටවලින් එක් වූ කුලී හේවායෝ විශාල පිරිසක් සිටි හෙයින් ඉන්දියාවට පැමිණි ග්‍රීක හමුදාවේ ශක්තිය ඉන්දියානු හමුදාව මෙන් පස් ගුණයක් පමණ විය. ඇලෙක්සැන්ඩර් සතු විශාලම ශක්තිය වූයේ ඔහුගේ අශ්වාරෝහක හමුදාව හා යුද රථ සංඛ්‍යාවය. පෝරස් රජුගේ හමුදාව සහ ඇලෙක්සැන්ඩර්ගේ ග්‍රීක හමුදාව ජේලම් නදී ඉවුරේ හයිදස්පස්හිදී මුහුණට මුහුණ හමු වූහ.   


පෝරස් රජු හස්තියකු පිට නැඟී තම ඇත් හමුදාව මෙහෙයවන්නට වූ අතර ග්‍රීකයන්ගේ එක් භට කණ්ඩායමක් යුද රථයක නැඟුණු ඇලෙක්සැන්ඩර් විසින්ද තවත් පිරිසක් ඔහුගේ සෙන්පතියකු වූ කොයෙනුස් විසින්ද මෙහෙයවනු ලැබිණි.   


ග්‍රීක හමුදාව ඉන් පෙර ඇත් හමුදාවකට මුහුණ දී නොසිටියහ. ඔවුන්ගේ අශ්වාරෝහක හමුදාව පෝරස්ගේ ඇත් හමුදාව දෙසට මෙහෙයවන ලද අවස්ථාවේ ඇතුන්ගේ කුංචනාදයෙන් බියපත් අශ්වයෝ දසත දිවයන්නට වූහ. පෝරස්ගේ ඇත් හමුදාව අශ්වාරෝහකයන් එළව එළවා පහර දෙන්නට වූ හෙයින් ඇලක්සැන්ඩර්ට ඇත් හමුදාව පරාජය කළ හැකි උපක‍්‍රමයක් පිළිබඳව සිතන්නට සිදු විය. ඔහු සතුව ‘දාහේ’ නමින් හැඳින්වුණු ඉතා නිර්භීත දුනුවායන් පිරිසක් වූහ. දාහේ යනු එකල මධ්‍යම ආසියාවේ (වත්මන් තුර්ක්මේනිස්තානයේ) විසූ පාර්නි, ක්ෂාන්ති සහ පිසූරි නම් ගෝත‍්‍ර තුනට අයත් ජන කොට්ඨාසයක් විය. ඔවුහූ දක්ෂ දුනුවායන් වූහ. ග්‍රීක අශ්වාරෝහක හමුදාවට අණ දුන් කොයෙනුස් නම් සෙන්පතියා පෝරස්ගේ හමුදාවේ ආරක්ෂාව දුබල වූ ස්ථානයකින් අසුන් පිට නැඟුණු දුනුවායන් පිරිසක් ඇත් හමුදාව අතරට රිංගවීමට සමත් විය. එම දුනුවායන්ට අණ ලැබුණේ ඇත්ගොව්වන් විද මරා දැමීමටය. ඔවුහු සෑම පැත්තකින්ම හඹා ගොස් ඇතුන් පිට සිටි ඇත්ගොව්වන් විද මරා දමන්නට වූහ. ගොව්වන් නොමැති වී පාලනය ගිලිහී යාමෙන් කුලප්පු වූ ඇත්තු දස අත දිවයන්නට වූහ.   
ඇලෙක්සැන්ඩර්ගේ හමුදාව පෝරස්ගේ දක්ෂිණ බළ ඇණියේ බලය බිඳ දමා වම් බළ ඇණිය වටකර පහර දෙන්නට වූහ. වැසි සමය වූ බැවින් සටන පැවැති කලාපය මඩ ගොහොරුවක් වූ අතර දෙපිරිසේම අශ්වාරෝහක රථ මඩෙහි එරී ගියේය. සටන අති බිහිසුණු විය. එකා පිට එකා මැරී වැටෙද්දී පරාජය නොපිළිගනිමින් හස්තියකු පිට නැඟුණු පෝරස් රජු නිර්භීත ලෙස තම හමුදා මෙහෙයවන්නට විය.   


ඇත් ප‍්‍රහාරයෙන් ග්‍රීක හමුදාවට ද විශාල හානියක් සිදු විය. ඇතුන්ගේ ඇස්වලට ප‍්‍රහාර එල්ල කොට ඔවුන් අන්ධ කරන ලෙසට ඇලෙක්සැන්ඩර් තම හෙල්ලකරුවන්ට අණ කළේය. එය සාර්ථක විය. අන්ධ වූ ඇත්තු වේදනාවෙන් පලා යන්නට වූහ. ග්‍රීක හමුදාව පෝරස්ගේ හමුදාව සිවු දෙසින්ම වටකොට පහර දෙන්නට වූහ. ඇලෙක්සැන්ඩර්ගේ හමුදා ප‍්‍රධානියා වූ ක්‍රෙ‌්‍ටරස් පලා යමින් සිටි ඉන්දියානු සෙබළුන් හඹා ගොස් සියල්ලන් මරා දැම්මේය. එම සටනින් ඉන්දියානු සෙබළුන් 12,000ක් සහ ඇතුන් 80 දෙනෙක් මරණයට පත් වී යැයි ඉතිහාසඥ ඇරියන් සඳහන් කරයි.   


මඳක් පසුබැස ගිය පෝරස් රජු 4000ක අශ්වාරෝහක හමුදාවක්ද 300ක යුද රථ හා 200ක පමණ ඇත් හමුදාවක්ද 2000ක පාබළ හමුදාවක්ද සමග ග්‍රීකයන් හා අවසන් සටනට පිවිසියේය. යළි සටන් ඇවිළ ගියේය. දෙපිරිසම මරණය තෙක් සටන් කළහ. නොකඩවා දින ගණනක් සටන් බිමේ රැඳී සිටි පෝරස් රජු දැඩි වෙහෙසට පත්ව සිටියේය. එහෙයින් ඔහුට මඳ විවේකයක් අවශ්‍ය විය.   


සටන ආරම්භයේ සිටම පෝරස් රජුගේ සටන්කාමීත්වය පිළිබඳව ඇලෙක්සැන්ඩර් තුළ වූයේ ඉමහත් ගෞරවයකි. මරණය තෙක්ම ඔහු සටන් බිම අත්නොහරින බැව් වටහා ගත් ඇලෙක්සැන්ඩර් මේ රණකාමියා සටන් බිමේදී මිය යනු දැකීමට නොරිසි විය. එහෙයින් තමාට යටත් වන ලෙසට පෝරස්ට දන්වා යැවීය. ඉන් කෝපයට පත් පෝරස් තම හෙල්ල වේගයෙන් දමා ගැසූ බැව් සඳහන් වේ. අවස්ථා කිහිපයකදීම ඇලෙක්සැන්ඩර් පෝරස්ට යටත් වන ලෙස දන්වා යැවීය. ඒ සෑම ඉල්ලීමක්ම පෝරස් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබිණි. අවසානයේ පෝරස්ගේ සමීප මිතුරකු වූ මෙරෝස් ලවා ඇලෙක්සැන්ඩර් තම ඉල්ලීම පෝරස් වෙත යැවීය. අවසානයේ ඔහු ඇලෙක්සැන්ඩර්ට යටත් වීමට තීරණය කළේය. පෝරස්ගේ පෙරමගට ගිය ඇලෙක්සැන්ඩර් ඔහුගේ යටත්වීම පිළිගත්තේය. ඉතිහාසඥ දියදුරුස්ට අනුව සටන අවසානයේ ග්‍රීක හමුදාවේ 1000කට ආසන්න පිරිසක් පමණක් මරණයට පත් වූ බවත් ඉන්දියානු හමුදාවේ 12,000ක් මියගොස් 9000ක් අත්අඩංගුවට පත්වු බවත් සඳහන්ය. එහෙත් මෙම සංඛ්‍යාලේඛන කොතරම් දුරකට නිවැරැදිදැයි පැවසිය නොහැකි යැයි ඉන්දියානු ඉතිහාසඥයෝ සඳහන් කරති. බොහෝ විට ග්‍රීක ඉතිහාසඥයන් අතිශයෝක්තියෙන් එසේ සඳහන් කරන්නට ඇතැයි ඔවුහු කියා සිටිති.   


සටන අවසානයේ ඇලෙක්සැන්ඩර් ඇතුන් 80 දෙනකු අල්ලා ගත් අතර පෝරස් රජු ඔහුට තවත් ඇතුන් 70 දෙනකු පරිත්‍යාග කළ බැව් ඉතිහාසඥ ඇරියන් සඳහන් කර තිබේ. සටනේදී පෝරස්ගේ පුතුන් දෙදෙනකුද, ප‍්‍රාදේශික නායකයන් විශාල පිරිසක්ද මරණයට පත් වූහ.   


ඇලෙක්සැන්ඩර් හයිදස්පස් ප‍්‍රදේශයේ නව නගර දෙකක් නිර්මාණය කළේය. තමා පෝරස් සමඟ සටනින් ජය ගත් ස්ථානයේ නිකේයා (ජයග‍්‍රාහී ස්ථානය) ලෙසද, කලකට ඉහත පැවැති සටනකදී මියගිය තම අශ්වයා වූ බුකෙපෙලාස් සිහිවීම සඳහා ඇලෙක්සැන්ඩ්‍රියා බුකෙපෙලාස් ලෙසද එම නගර නම් කළේය.   


‘ඔබට මා සැලකිය යුත්තේ කෙලෙසකදැ’යි තමාට යටත් වූ පෝරස්ගෙන් ඇලෙක්සැන්ඩර් විමසන ලද කල්හි ‘රජෙක් තවත් රජෙකුට සලකන අයුරින් මට සලකන්නැ’යි පෝරස් ඇලෙක්සැන්ඩර්ට පැවසීය. ඔහුගේ පිළිතුරෙන් සතුටට පත් ඇලෙක්සැන්ඩර් පෝරස්හට ගෞරවණීය ලෙස සැලකීය. පෞරව රාජ්‍යයේ පාලනය පෝරස් වෙත පැවරූ ඇලෙක්සැන්ඩර් ඔහු එහි සත‍්‍රප්වරයා වශයෙන් යළි පත් කළේය. ඇලෙක්සැන්ඩර්ගේ මෙම ක්‍රියාවෙන් තක්ෂිලාවේ ඔම්පිස් නොහොත් අම්බි රජු කෝපයට පත් විය. තම සතුරා සමඟ සමාදාන වෙන ලෙසට ඇලෙක්සැන්ඩර් කළ ඉල්ලීම ඔහු සිත් නොගත්තේය. පෝරස් සමඟ සටන් කිරීම සඳහා තමන්ට සහය දක්වන ලෙසට ඔහු ඇලෙක්සැන්ඩර්ගෙන් ඉල්ලා සිටියද එය ප‍්‍රතික්ෂේප කළ ඇලෙක්සැන්ඩර් රාජධානියේ උතුරින් පිහිටි පෝරස්ට අයත් නොවූ ප‍්‍රදේශ ද පෝරස්ට පවරා දීමට පියවර ගත්තේය.   

 

 

පෝරස්ගේ පෞරව රාජධානියට නැගෙනහිරින් නන්ද රාජධානියේ මගධයද, ඉන් ඔබ්බෙහි ගංගාරිදායි රාජධානියද (වත්මන් බෙංගාලය) පිහිටා තිබිණි. ඇලෙක්සැන්ඩර්ගේ අභිප‍්‍රාය වූයේ නන්ද රාජධානිය වූ මගධය ආක‍්‍රමණ කිරීමය. එහෙත් සටන් රැසකට මුහුණ දී දැඩි වෙහෙසට පත්ව සිටි ඔහුගේ හමුදාවට තවත් ප‍්‍රබල ඉන්දියානු හමුදාවක් සමඟ සටන් කිරීමට අවශ්‍ය නොවීය. ඇලෙක්සැන්ඩර්ගේ හමුදාව වසර අටක් මුළුල්ලේ සටන් කර තිබූ අතර සැතපුම් 17,000ක දුරක් ගමන් කර තිබිණි. ඔහුගේ ජනරාල්වරයකු වූ කොයෙනස්ගේ ඉල්ලීම වූයේ තම හමුදා දැඩි වෙහෙසට පත්ව සිටින හෙයින් ඔවුනට තව දුරටත් සටන් කළ නොහැකි බැවින් තම මව්පියන්, අඹු දරුවන් සහ මව් බිම දැක ගැනීම සඳහා යළි මෙසිඩෝනියාව බලා යාමට අවසර දෙන ලෙසටය. තව දුරටත් සටන් කිරීමට පාන ලද විරෝධය හමුවේ ඔවුන්ගේ ඉල්ලීමට සවන් දීමට ඇලෙක්සැන්ඩර්ට සිදු විය.   
ඇලෙක්සැන්ඩර් කොයෙනස්ගේ නායකත්වයෙන් යුතු භට කණ්ඩායමක් කාර්මේනියාවට (වත්මන් දකුණු ඉරානය) ද, නාවික බළ ඇණිය අද්මිරාල් නෙයර්කුස් යටතේ පර්සියානු බොක්ක වෙතද පිටත් කර හැරීමට ඔහු කටයුතු කළේය. ක්‍රි. පූ. 324 දී ඉතිරි පිරිස සමඟ ඉතා දුෂ්කර මාර්ගයක් වූ ගෙදරෝසියාන් කාන්තාරය හා මක්රාන් ඔස්සේ ඇලෙක්සැන්ඩර් සුසා වෙත ළඟා විය.   


සුසා වෙත පැමිණි ඇලෙක්සැන්ඩර්ට දැකගත හැකි වූයේ බොහෝ ප‍්‍රදේශවලට පත් කරනු ලැබ සිටි සත‍්‍රප්වරුන් තමා නොමැති කාලයේ ඔවුනට රිසි සේ පාලනය ගෙනයමින් නීති විරෝධී ක්‍රියාවල නිරතව සිටි බවකි. ඔහු ඔවුන්ගෙන් කීප දෙනෙකු ඝාතනය කරන ලද්දේ අනෙකුත් සත‍්‍රප්වරුනට නීති විරෝධී ක්‍රියාවල නිරතවීමෙන් වැළකී සිටීමට අණ කරමිනි. තමා හා සටන් පෙරමුණේ සිටි සියලූ සොල්දාදුවන්ට කෘතවේදිත්වය පළකොට ත්‍යාග ප‍්‍රදානය කළ ඇලෙක්සැන්ඩර් යුද්ධයේ දී අනතුරට පත් සහ වයස්ගත සියලු සොල්දාවන් තම සෙන්පති කේ‍්‍රටරස් සමඟ යළි මෙසිඩෝනියාවට යැවීමට කටයුතු කළේය.  තමන් පර්සියාවට එවීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ සෙබළුන් පිරිසක් ඔපිස් නගරයේ දී ඇලෙක්සැන්ඩර්ට එරෙහිව කැරැල්ලක් මෙහෙය වූහ. පර්සියානු චාරිත‍්‍ර හා ඇඳුම් පැලඳුම් භාවිත කිරීමට හා පර්සියානු නිලධාරීන් සහ සොල්දාදුවන් මෙසිඩෝනියානු හමුදා අනුකණ්ඩවලට පත් කිරීම සම්බන්ධයෙන් තම විරෝධය පළ කර සිටියහ. කැරැල්ල දින තුනක් පුරා පැවතිණි. මෙසිඩෝනියානුවන්ට සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීමට ඇලෙක්සැන්ඩර් ගත් උත්සාහය ව්‍යර්ථ විය. ඉන් කෝපයට පත් ඇලෙක්සැන්ඩර් මෙසිඩෝනියානු හමුදාවේ සියලූ නිලතල පර්සියානු නිලධාරීන් වෙත පවරා දීමට ක්‍රියා කළේය. ඉන් බියපත් කැරැලිකරුවෝ ඇලෙක්සැන්ඩර්ගෙන් සමාව ඉල්ලා සිටියහ. සමාව ලැබිණි. දහස් ගණනින් වූ හමුදා භටයන් සඳහා භෝජන සංග‍්‍රහයක් පිළියෙල කළ ඇලෙක්සැන්ඩර් ඔවුන් සමඟ ආහාර ගැනීමට ද එක් විය. එහි අරමුණ වූයේ පර්සියානු හා මෙසිඩෝනියානු හමුදා අතර සමගිය තහවුරු කිරීමය. ඒ සමඟ තම ඉහළ නිලධාරීන්ට සූසාහි පර්සියානු ප‍්‍රභූ පන්තියේ කාන්තාවන් අතර විවාහ වීමට අවසර ලබා දී ඔවුන් සඳහා අති විශාල විවාහ මංගල්‍ය උත්සවයක් සූදානම් කළේය.   


පසර්ගාදේහි පිහිටි සයිරස් රජුගේ සොහොන ආරක්ෂා කිරීමට යොදවා සිටි ආරක්ෂකයන් එයට නිසි ගෞරවය නොදක්වා එය විනාශ වීමට ඉඩ හැර තිබූ බැව් ඇලෙක්සැන්ඩර්ට දැනගත හැකි විය. සයිරස් රජ ඇලෙක්සැන්ඩර්ගේ ගෞරවයට පාත‍්‍ර වූ රජකු විය. යුදයේ දී ඔහු විසින් විදහා පෑ වීරත්වය ඇලෙක්සැන්ඩර් මහත් සේ අගය කළේය. ඔහුගේ සොහොනට කරන ලද අගෞරවය සම්බන්ධයෙන් කෝපයට පත් ඇලෙක්සැන්ඩර් එම ආරක්ෂකයන් සියලූ දෙනාට මරණ දඬුවම පැනවීය. පසුව පසර්ගාදය බලා ගිය ඔහු සොහොන මැදිකර අලංකාර මන්දිරයක් තනන ලෙසට නියෝග කළේය.   

 

 


මතු සම්බන්ධයි.   

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා