ඇලෙක්සැන්ඩර් පර්සියාවට ඇතුළු වෙයි


ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ 
ඉන්දියානු ආක්‍රමණය-02

 

 

ආසියානු හා සුළු ආසියානු රටවල් තම පාලනයට නතු කරගෙන සිටි පර්සියාවේ ඩේරියස් රජුගේ අවශ්‍යතාව වූයේ යුරෝපීය රටවල් ද තම පාලනයට නතු කර ගැනීමය. විශේෂයෙන් ග්‍රීක නගර රාජ්‍ය අත්පත් කර ගැනීම ඔහුගේ අපේක්ෂාව විය. එයට සාධකයක් තිබිණි. ඈත අතීතයේ සිට පර්සියානුවෝ ආසියාව හා සුළු ආසියාව (කළු මුහුද හා මධ්‍යධරණි මුහුද අතර ප‍්‍රදේශය) තම පාලනයට නතු කරගෙන සිටියෝය. තමන් විසින් අත්පත් කරගන්නා ලද සියලු නගර රාජ්‍යවල තමන්ගේ පාලකයකු පත් කිරීමට ඔවුහු කටයුතු කළහ. කි.පූ. 540 දී පමණ පළමුවැනි සයිරස් රජු අයෝනියාව (වර්තමාන තුර්කියේ බටහිර වෙරළ කලාපය) අත්පත් කර ගත්තේය. එය ග්‍රීක නගර රාජ්‍යය අතර ප‍්‍රමුඛ ස්ථානයක පැවැති නගර රාජ්‍යයක් විය. අයෝනියානිවෝ පාර්සි පාලනයට දැඩි විරෝධයක් දැක්වූ අතර පර්සියානුවන්ට එරෙහිව කැරලි ගසන්නට වූහ. එම කැරැල්ල සඳහා ඇතැන්සය සහ එරිත්‍රියා යන නගර රාජ්‍යවල සහය ඔවුනට හිමිවිය.

පළමුවැනි සයිරස්ගෙන් පසු රාජ්‍යත්වයට පත් පළමුවැනි ඩේරියස් රජු සියලු ග්‍රීක නගර රාජ්‍ය අත්පත් කරගත යුතු යැයි යන නිගමනයට එළැඹියේ ඇතැන්සය සහ එරිත්‍රියා යන නගර රාජ්‍යවලින් පළිගැනීමක් ලෙසිනි. ඩේරියස් ග්‍රීසිය ආක‍්‍රමණය කිරීමට ප‍්‍රථම දක්ෂිණ රුසියාවේ සිටි සිතියන්වරුනට එරෙහි ආක‍්‍රමණයක් ක්‍රියාත්මක කළේය. නාවික ශක්තිය අතින් ග්‍රීකයෝ ඉතා වර්ධනීය තත්ත්වයක පසු වූහ. ග්‍රීකයන්ට නැව් සෑදීම සඳහා අවශ්‍ය දැව සපයන ලද්දේ සිතියන්වරුන් විසිනි. එහෙයින් බෝල්කන් ප‍්‍රදේශ අත්පත් කර ගැනීමෙන් පසු ග්‍රීසියේ නාවික බලය අඩාළ කළ හැකි යැයි ඔහු සිතුවේය. ග්‍රීකයන්ගේ ප‍්‍රධාන ආහාරය වූයේ තිරිඟුය. ග්‍රීසියට ඒවා වැඩි වශයෙන් සැපයුණේ මිසරය, ලිබියාව හා කළු මුහුද ආසන්න රටවලිනි. එම ප‍්‍රදේශ අත්පත් කර ගැනීමෙන් තිරිඟු ප‍්‍රවාහන කටයුතු අඩාළ කොට ග්‍රීකයන්ගේ ශක්තිය අවම කිරීම ඔහුගේ එක් අරමුණක් විය. 


කළු මුහුදේ පිහිටි බයිසැන්තියම් නගරය සහ වර්සොනීස් දූපත් අත්පත් කරගත් ඩේරියස් ග්‍රීසියට එරෙහි යුද්ධය ආරම්භ කළේය. පළමු ග්‍රීක ආක‍්‍රමණයට නායකත්වය ලබා දෙනු ලැබුවේ ජනරාල් මාර්ඩෝනියස් විසිනි. හෙලස්පොන්ට් සමුද්‍රසන්ධිය ඔස්සේ පැමිණි ඔහුගේ භට පිරිස් සමුද්‍ර තීරය ආසන්නයේ පිහිටි සියලු ග්‍රීක නගර අත්පත් කර ගත් අතර, යුරෝපය හා සම්බන්ධ වීම සඳහා නාවික තොටුපළක් ද නිර්මාණය කර ගත්හ. කළු මුහුදේ තිරිඟු වෙළඳාමේ පාලනය ඩේරියස් සතු විය. 


පර්සියාවට විරෝධය පෑ ප‍්‍රධානම ග්‍රීක නගර රාජ්‍යය වූයේ ස්පාර්ටාවය. මෙසමයේ තවත් බලවත් නගර රාජ්‍යයක් වූ ඇතැන්සය සමඟ ස්පාර්ටාව අතර අමනාපයක් පැවැතියේය. ඇතැන්සය පර්සියාවට යටත් වීමට කැමැත්ත පළ කළ ද පසුව තම අරමුණ වෙනස් කොට ස්පාර්ටාව හා එක්වීමට කැමැත්ත පළ කළේය. ග්‍රීකයන් ස්පාර්ටාවේ සහායෙන් පර්සියානුවන් යටතේ පැවැති සාර්ඩීස් නගරය අත්පත් කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූයේය. 


පර්සියානුවන්ගේ ප‍්‍රථම ග්‍රීක ආක‍්‍රමණය සිදු වූයේ ක්‍රි.පූ. 492 දීය. ඩේරියස් රජුට 700,000කින් යුතු යුද හමුදාවක් සිටි අතර ඔහුගේ අවශ්‍යතාව වූයේ ග්‍රීක නගර රාජ්‍යය සියල්ල අත්පත් කර ගැනීමය. එහෙත් ඔහුගේ සිහිනය බිඳ වැටිණි. මැරතන්හි පැවැති සටනින් පර්සියානුවෝ පරාජයට පත් වූහ. ක්‍රි.පූ. 486 දී, 63 හැවිරිදි ඩේරියස් රජුගේ මරණය සිදුවිය. 


ක්‍රි.පූ. 480 දී ග්‍රීසියට එරෙහි දෙවැනි ආක‍්‍රමණය සිදු කරන ලද්දේ ඔහුගේ පුත් සෙරක්සීස් විසිනි. ඔවුනට එරෙහි සටනට ඇතැන්සය හා ස්පාර්ටාව නායකත්වය දුන් අතර ග්‍රීක නගර රාජ්‍යය 10ක පමණ සහාය ඔවුනට හිමි විය. පර්සියානු හමුදා ත්‍රෙසය හා මැසඩෝනියාව ඔස්සේ තෙසාලියට ළඟා වූහ. තර්මොපිලෙහිදී ඔවුන්ගේ ගමන වැළැක්වූ අතර එහිදී දරුණු සටන් ඇති විය. පර්සියානු හමුදා සලාමිස් කරා පසුබැස ගියහ. ප්ලැතෙයාහි පැවැති සටනින් පර්සියානුවෝ දරුණු පරාජයකට මුහුණ පෑහ. ක්‍රි.පූ. 479 දී ග්‍රීකයන් හා පර්සියානුවන් අතර පැවැති යුද්ධය අවසන් විය. 
බෙදුණු නගර රාජ්‍ය වශයෙන් පැවැති ග්‍රීසිය එකම පාලනයක් යටතේ එක්සත් කිරීමට මුල් වූයේ දෙවැනි පිලිප් රජුය. ප‍්‍රථමයෙන් උතුරු ග්‍රීසියේ තෙසාලි නගරය අත්පත් කර ගත් ඔහු පොටේඩියා සහ පයිඩ්නා යන නගර රාජ්‍ය ද අත්පත් කර ගත්තේය. අවසානයේ ස්පාටාව හැර අනෙකුත් සියලූ නගර රාජ්‍ය අත්පත් කර ගැනීමට ඔහු සමත් විය. ක‍්‍රමයෙන් ග්‍රීසිය පුරා තම බලය ව්‍යාප්ත කළ දෙවැනි පිලිප් රජුගේ ඊළඟ අරමුණ වූයේ පර්සියාව ආක‍්‍රමණය කිරීමය. එහෙත් එම සැලසුම ක්‍රියාත්මක කිරීමට පෙර ඔහු ඝාතනය කෙරිණි. ඉන්පසු බලයට පැමිණියේ 3 වැනි ඇලෙක්සැන්ඩර් කුමරුය. 
දෙවැනි පිලිප් රජු ගොඩබිම් සටන් සඳහා අතිවිශාල හමුදාවක් නිර්මාණය කර තිබිණි. ඇලෙක්සැන්ඩර්ගේ අවශ්‍යතාව වූයේ තම පියාට සපුරාගත නොහැකි වූ ඉලක්කය සපුරා ගැනීමය. 
දෙවැනි පිලිප් රජුගේ මරණින් පසු තීබස්, ඇතන්ස්, තෙසාලි සහ උතුරු මැසිඩෝනියාවේ ත්‍රෙසියානු ගෝත්‍රිකයෝ කැරැල්ලක් මෙහෙය වූහ. මෙම ප‍්‍රවෘත්තිය කන වැකුණු විගස ඇලෙක්සැන්ඩර් රජු ප‍්‍රතික්‍රියා දැක්වීය. ඔහුගේ උපදේශකයන් රාජ්‍ය තාන්ත‍්‍රික ලෙස කැරැල්ල මැඬපැවැත්වීමට කටයුතු කරන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටිය ද 3000කින් යුතු හමුදාවක් තෙසාලියට යැවීමට ඇලෙක්සැන්ඩර් ක්‍රියා කළේය. තෙසාලියානු හමුදා යටත් වී ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවට එක්වූහ. දකුණු කොරින්තියාවට පිවිසීමට පෙර තමා ශුද්ධ වූ ලීගයේ නායකයා වශයෙන් පිළිගත් තෙර්මොපිලෙයි නගරයේ ඇලෙක්සැන්ඩර් නතර විය. ඇතැන්සය කැරැල්ල සම්බන්ධයෙන් සමාව අයැද සිටි හෙයින් ඔවුනට සමාව දානය කෙරිණි. කොරින්තියාවේදී පර්සියානුවන් සමඟ කිරීමට නියමිත වූ සටනේ සමස්ත නායකත්වය ඇලෙක්සැන්ඩර්ට හිමි විය. 


ආසියාවට පිවිසීමට පෙර ග්‍රීසියේ උතුරුදිග සීමාවේ ආරක්ෂාව තර කිරීමට ඇලෙක්සැන්ඩර් කටයුතු කළේය. කැරැලි ගැසීම සම්බන්ධයෙන් ත්‍රෙසියානුවන් සමඟ විසඳාගත යුතු ප‍්‍රශ්නයක් තිබිණි. ඒ සඳහා ඔහු ක්‍රි.පූ. 335 දී ත්‍රෙසියාව බලා පිටත් විය. හේමස් කඳුවැටිය අසලදී දෙපිරිස අතර සටන් ඇති විය. ඉන් ත්‍රෙසියානුවෝ පරාජය වූහ. 

ප‍්‍රථමයෙන් උතුරු ග්‍රීසියේ තෙසාලි නගරය අත්පත් කර ගත් ඔහු පොටේඩියා සහ පයිඩ්නා යන නගර රාජ්‍ය ද අත්පත් කර ගත්තේය. අවසානයේ ස්පාටාව හැර අනෙකුත් සියලූ නගර රාජ්‍ය අත්පත් කර ගැනීමට ඔහු සමත් විය. ක‍්‍රමයෙන් ග්‍රීසිය පුරා තම බලය ව්‍යාප්ත කළ දෙවැනි පිලිප් රජුගේ ඊළඟ අරමුණ වූයේ පර්සියාව ආක‍්‍රමණය කිරීමය. එහෙත් එම සැලසුම ක්‍රියාත්මක කිරීමට පෙර ඔහු ඝාතනය කෙරිණි. ඉන්පසු බලයට පැමිණියේ 3 වැනි ඇලෙක්සැන්ඩර් කුමරුය.


වර්තමානයේ ඇල්බේනියාව ලෙසින් හැඳින්වෙන ඉලිරියාවට පිවිසීමට ඇලෙක්සැන්ඩර් තීරණය කළේය. ඇතැන්සයේ හා තීබසයේ නොසන්සුන්තාවක් මතුව තිබූ අතර එය මැඩපැවැත්වීමට ද ඔහුට අවශ්‍ය විය. මෙය ඔහුගේ අනාගත රාජ්‍යයේ මංසලකුණු සටහන් කිරීමේ පෙර නිමිත්තක් වූයේය. ඇලෙක්සැන්ඩර් හා ඔහුගේ සේනා ඉලිරියාව ඔස්සේ තීබසයට ප‍්‍රවිෂ්ඨ වූහ. ක්‍රි.පූ. 335 දී තීබස නගර රාජ්‍යය හා ඇලෙක්සැන්ඩර් අතර සටන ආරම්භ විය. සටනින් තීබසයන් පරාජය විය. එහෙත් ඇතැන්සයන් මෙන් තීබස පාලකයෝ සමාව ඉල්ලීමට නොකැමැති වූහ. ඇලෙක්සැන්ඩර් නගර රාජ්‍යය අත්පත් කරගත් අතර ඉතිරිව සිටි සියලු තීබස වැසියන් වහලුන් ලෙස විකුණා දැමිණි. තීබස සංහාරයෙන් පසු ඇලෙක්සැන්ඩර් යටතේ ග්‍රීක රාජ්‍යය සන්සුන් රාජ්‍යයක් බවට පත් විය. 


වරින්වර ඇති වූ යුද ගැටුම් හේතුවෙන් අනිකුත් රාජ්‍ය විසින් හෙලනික් සංස්කෘතිය හා ග්‍රීකයන් හඳුන්වන ලද්දේ අශිෂ්ටයන් ලෙසිනි. ඇලෙක්සැන්ඩර් රජුගේ පාලනය යටතේ ග්‍රීසිය එක්සත් රාජ්‍යයක් බවට පත් වූ අතර යුද ගැටුම් නොමැති සාමකාමී පරිසරයක් නිර්මාණය වූයේය. ඇචිලස්ගේ පරපුරෙන් පැවත ආ ඇලෙක්සැන්ඩර් රජුගේ අරමුණ වූයේ පර්සියාව යටත් කර ගැනීම සහ මැසිඩෝනියාවේ පාලකයා ලෙසින් පමණක් රැඳී නොසිට වෙනත් රාජ්‍යයන් තම රටට ඈඳා ගැනීමය. 


පර්සියාව ආක‍්‍රමණය කිරීම 


ක්‍රි.පූ. 334 දී ඇලෙක්සැන්ඩර් හා ඔහුගේ හමුදාව හෙලස්පොන්ට් ඔස්සේ ආසියාවට ඇතුළු විය. ඔහුගේ හමුදාව භටයන් 35,000ක පමණ පිරිසකගෙන් සමන්විත වූ අතර ඔවුන් ප‍්‍රවාහනය කිරීම සඳහා බෝට්ටු සියයකට අධික සංඛ්‍යාවක් යොදා ගත් බැව් පැවැසේ. එවක පර්සියාව ඉතා බලවත් රාජ්‍යයක් වූයේය. මැදපෙරදිග හා සුළු ආසියාවේ බොහෝ රාජ්‍යයන්හි පාලනය තමන් වෙත නතු කර ගැනීමට ඔවුහු සමත් වූහ. ඇලෙක්සැන්ඩර් වත්මන් තුර්කිය ලෙස හැඳින්වෙන භූමිය ඔස්සේ පර්සියාවට ඇතුළු විය. නාවික ශක්තිය අතින් පර්සියානුවෝ ඉතා බලවත් වූහ. එහෙයින් මඳක් කල්මරන්නට ඇලෙක්සැන්ඩර් හට සිදු වූයේ ඔහුට බලසම්පන්න නාවික බලඇණියක් නොවූ බැවිණි. ඔහුට අවශ්‍ය වූයේ ගොඩබිම සිට පර්සියානුවන්ගේ නාවික කඳවුරු අත්පත් කරගෙන නාවික හමුදාවේ බලය බිඳ දැමීමය. 


ඩේරියස් රජු ඇලෙක්සැන්ඩර් පිළිබඳව එතරම් තැකීමක් නොකළේය. එහෙත් ග්‍රීක කුලී හේවායකු වූ රෝඩ්ස්හි මෙම්නොන් නමැති පුද්ගලයා ඩේරියස් හට උපදෙස් දෙමින් කියා සිටියේ ඇලෙක්සැන්ඩර්ට එරෙහිව ‘දැවුණු මිහිකත’ ප‍්‍රතිපත්තිය ක්‍රියාවට නංවන ලෙසටය. එනම් ඇලෙක්සැන්ඩර්ගේ හමුදා පැමිණෙන පෙරමග ඇති සියලු ප‍්‍රදේශ ගිනිබත් කරන ලෙසටය. හමුදාව ආහාර නොමැතිව විනාශ වීමට හෝ නැවත හැරී යනු හෝ ඇතැයි ඔහු රජු හට පැවැසීය. එම උපදෙස අසාර්ථක විය. ඇලෙක්සැන්ඩර් පර්සියානු රාජ්‍යය අභ්‍යන්තරයට පිවිසෙන්නට සමත් විය. තම හමුදාවේ නායකත්වයට මෙම්නොන් පත් කළ ඩේරියස් රජු ඔහු ඇලෙක්සැන්ඩර්ගේ හමුදා සමඟ සටනට යැවීය. 


හෙල්ස්පොයින්ට් ඔස්සේ පර්සියාවට ඇතුළු වූ ඇලෙක්සැන්ඩර් මාණ්ඩලික පාලකයකු යටතේ පාලනය වූ ප‍්‍රයිගියාවේ අගනුවරට පැමිණියේය. ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවට මුහුණ දීම සඳහා විවිධ ප‍්‍රදේශවල සිටි පර්සියානු මාණ්ඩලික පාලකයෝ තම හමුදා සමඟ ග‍්‍රැනිකස් නදී තීරයේ සිලියා නගරයට එක්වූහ. 


ඇලෙක්සැන්ඩර්ගේ හමුදා සහ පර්සියානු හමුදා අතර සටන ක්‍රි.පූ. 334 මැයි මාසයේදී වයඹදිග සුළු ආසියාවේ ග‍්‍රැනිකස් නදී තීරයේදී ඇරඹිණි. මින් ඉහත නදීතෙර සටන් පිළිබඳ මනා අවබෝධයක් ලබා සිටි ඇලෙක්සැන්ඩර් විනාශය අවම කර ගනිමින් සටන මෙහෙය වූ අතර, ඒ පිළිබඳ අවබෝධයකින් තොර වූ පර්සියානුවෝ මහත් විනාශයක් ළඟාකර ගත්හ. ඔවුන්ගේ යුද රථ විශාල සංඛ්‍යාවක් මඩේ එරි ගිය හෙයින් ඒවායින් කිසිදු ප‍්‍රයෝජනයක් අත්පත් කරගත නොහැකි විය. 


නිකමේඩියාවේ ඇරියන්, සිසිලියේ දියදුරුස් හා ලුසියස් මෙස්ට්‍රිරයස් ප්ලූටාක් වැනි ඉතිහාසඥයෝ මේ සම්බන්ධයෙන් ඉතා සවිස්තර ලෙස දක්වා තිබේ. ඔවුන්ගේ වාර්තා අනුව පර්සියානුවන් තම පාබල හමුදාවට ඉදිරියෙන් අශ්වාරෝහක හමුදා රඳවා නදියේ දකුණු ඉවුරේ ස්ථානගත කර තැබූ අතර, මැසිඩෝනියානුවෝ තම පාබල හමුදාව දෙපසින් අශ්වාරෝහක හමුදා ස්ථානගත කර තිබිණි යැයි ඒරියන් සඳහන් කරයි. එදින දහවලේ ඇලෙක්සැන්ඩර් පාර්ශ්වයෙන් පළමුව ප‍්‍රහාරයක් එල්ල වනු ඇතැයි සිතූ පර්සියානුවෝ එවිට ඔවුන් මධ්‍යයට කඩා වැදීමේ අපේක්ෂාවෙන් බලා සිටියහ. 
උඩුගං බලාගොස් පසු දින අරුණෝදයේම පර්සියානුවන්ට පහර දිය යුතු බවට ඇලෙක්සැන්ඩර්ගේ දෙවැනියා වූ සෙන්පති පාර්මෙනියොන්ගේ උපදෙස වුව ද එම මොහොතේම පහර දිය යුතුයැයි ඇලෙක්සැන්ඩර් තීරණය කළේය. 


ඇලෙක්සැන්ඩර්ගේ උපායට හසුවූ පර්සියානුවන්ගේ ඉදිරිපෙළ ආරක්ෂක වළල්ල බිඳී ගියේය. ඇලෙක්සැන්ඩර්ගේ අශ්වාරෝහක හමුදාව සහ පාබල හමුදාව පර්සියානු හමුදාවට වම් ඉවුර දෙසින් පහර එල්ල කළහ. පර්සියානුවෝ එම ප‍්‍රදේශයේ ආරක්ෂාව දැඩි ලෙස තර කිරීමට කටයුතු කළ හෙයින් මධ්‍ය ආරක්ෂක වළල්ලේ බලය හීන විය. එහිදී ඇලෙක්සැන්ඩර් අශ්වාරෝහක භට කණ්ඩායම් සමඟ පර්සියානුවන්ගේ මධ්‍ය ආරක්ෂක වළල්ලට දරුණු ප‍්‍රහාරයක් එල්ල කළේය. එහිදී පර්සියානු රදලයෝ විශාල පිරිසක් ඝාතනයට ලක් වූහ. ස්පිත්‍රිරදාතෙස් නම් බිහිසුණු දුනුවායෙක් පර්සියානු හමුදාවේ සිටියේය. ඔහුගේ හීසර ඇලෙක්සැන්ඩර් පවා විමතියට පත් කළේය. ස්පිත්‍රිරදාතෙස් විසින් එවන ලද හීසරයකින් ඇලෙක්සැන්ඩර්ගේ ජීවිතය ගැලවී ගියේ බ්ලැක් ක්ලයිතුස් නම් ඔහුගේ සෙන්පතියකු එය වළක්වාලූ බැවිනි. එම සටනේදී ඇලෙක්සැන්ඩර්ගේ ප්‍රියතම අශ්වයා වූ බුකෙපලාස් මිය ගියේය. 


ඇලෙක්සැන්ඩර්ගේ අශ්වාරෝහක හමුදා පර්සියානු ආරක්ෂක වළල්ල බිඳ දමන්නට සමත් වූ අතර ඔවුන්ගේ පාබල හමුදාව පර්සියානු පාබල හමුදාවට දැඩි ප‍්‍රහාරයක් එල්ල කළහ. එම සටනින් පර්සියානු හා ග්‍රීක දෙපිරිසේම විශාල පිරිසක් මරු වැළැඳ ගත්හ. පර්සියානු රදලයන් විශාල පිරිසක් ද ඒ අතර වූහ. සටන අවසානයේ මියගිය ග්‍රීකයන්ගේ හා පර්සියානුවන්ගේ සිරුරු ගිනිබත් කළ ඇලෙක්සැන්ඩර් අත්අඩංගුවට පත් පර්සියානු හමුදාවේ සේවය කළ ග්‍රීක කුලී හේවායන් පතල් සේවයේ යෙදවීම සඳහා යළි ග්‍රීසියට යැවීමට කටයුතු කළේය. 

 

 


මතු සම්බන්ධයි.

 

 

 

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා