ඇලෙක්ස්ගේ චණ්ඩිකම


කඩවසම් දුෂ්ටයකු හා සටන් නළුවකු ලෙස ශ්‍රී ලාංකික සිනමාට එක්වූ ජෝෂප් මැනුවෙල් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සැබැවින්ම දක්ෂ රංගවේදියකු විය. එහෙත් ඔහුට නිරතුරුව ලැබුණේ හරියාකාර චරිත නොවේ.   

ඔහුගේ සටන්කාමීත්වය හරිහැටි සිනමාවට යොදාගැනුණේ නම් ඔහු සිල්වෙස්ටර් ස්ටැලෝන් වැනි ක්‍රියාදාම නළුවකු ලෙස වඩාත් ජනප්‍රියත්වයට පත්වනු නොඅනුමානය. 


කඩවසම් පෙනුම නිසා පෙම්වතාගේ චරිතයට පසුව යොමු කළ ද ඔහුගේ දක්ෂතා සැබැවින්ම කැපීපෙනුණේ ටයිටස් තොටවත්තයන්ගේ ‘හාරලක්සේ’ වැනි චිත්‍රපටයකදීය. 


1940 අගෝස්තු 25 වැනිදා කොටහේනේ කොච්චිකඩේ ඉපදී එහිම හැදී වැඩුණු ඇලෙක්ස් කුඩා කල සිටම ආශා කළේ ක්‍රීඩාවටය. 


ශාන්ත බෙනඩික් සහ ශාන්ත අන්තෝනි විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූ ඔහු වඩාත් ප්‍රිය කළේ රෙස්ලින්, බොක්සින් හා පිහිනුම් ක්‍රීඩාවටය. 


ඔහු වයස අවුරුදු 15දී කොටහේනේ ආම්ස්ට්‍රෝන් රෙස්ලින් ක්‍රීඩා සමාජයේ සාමාජිකයකු විය. ඉන් පසු බස්නාහිර පළාතේ බොහෝ මල්ලවපොර තරග සඳහා සහභාගී වූ ඔහු ජයග්‍රහණ ලැබුවේය. ඊට අමතරව කරාටේ හා ජූඩෝ ක්‍රීඩා ද ඔහු හැදෑරුවේය. 


1961 දී ඔහු ශ්‍රී ලංකා මල්ලව පොර ක්‍රීඩා ශූරතාව දිනාගත් අතර 1962 දී පොදු රාජ්‍ය මණ්ඩලීය තරග නියෝජනය කරන්නට සුදුසුකම් ලැබුවේය. 1964 දී ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබූ ඇලෙක්ස් 1966 දී බැන්කොක්හි පැවැති ආසියානු ක්‍රීඩා තරග සඳහා සුදුස්සකු වූවේය. 


ඔහුගේ පාදයේ වූ ආබාධයක් නිසා මේ අන්තර්ජාතික තරග ඔහුට මගහැරී ගියේය. 
ඔහු පසු කලෙක කොළඹ නගර සභාවේ ක්‍රීඩා උපදේශකයකු ලෙස කටයුතු කළ අතර 2009 දී ක්‍රීඩා අමාත්‍යාංශය ඔහුට සම්මානයෙන් ගෞරව දැක්වීය. 


ලෙනින් මොරායස් හරහා ටී. සෝමසේකරන්ගේ ‘වෙන ස්වර්ගයක් කුමටද’ චිත්‍රපටයෙන් ඔහු 1963 දී සිනමාවට ආව ද චිත්‍රපටයෙන් එම දර්ශනය ඉවත් කොට තිබුණි. ඔහු එහි හෙන්රි ජයසේන වෙනුවෙන් පෙනී සිටියේය. 
පසුව රොබින් ප්‍රනාන්දු ‘රුහුණු කුමාරි’ චිත්‍රපටයෙන් ඔහුට අවස්ථාවක් දුන් අතර ඉන් පසුව ඔහුට චිත්‍රපට ගලා එන්නට විය. 


‘අට වැනි පුදුමය, කොහොමද වැඩේ, හාර ලක්සෙ, තුෂාරා, ශ්‍රී මදාරා, සරදියෙල්ගේ පුතා’ ආදී සිංහල චිත්‍රපට 120ක පමණ ඔහු රඟපෑ අතර දෙමළ හා ඉංග්‍රීසි චිත්‍රපට කිහිපයක චරිත නිරූපණය කර ඇත. 
ඔහු අප අතරින් වෙන්ව ගියේ කොරෝනා වසංගතය වඩාත්ම ඉහළ තලයට නැගුණ අප්‍රියෙල් 29 වැනිදාය. එනිසා ඔහුගේ වියෝව වෙනුවෙන් බොහෝ දෙනකුට ශෝකය පළ කිරීමට නොහැකි විය. 
සටන් නළුවන්, දුෂ්ටයන් හොඳම නළුවා ලෙස සම්මාන නොලබන සමයක ඇලෙක්සැන්ඩර් ඔහු ප්‍රධාන චරිතය රඟපෑ ‘පස මිතුරෝ’ චිත්‍රපටයේ වේළුගේ චරිතය වෙනුවෙන් 1984 දී ජනාධිපති සම්මාන ලැබුවේය. 
ඔහුගේ වියෝව සිදුවූ කාලය මෙන්ම පස මිතුරෝ තිරගත වූ 1983 කාලයේ ද කළු ජූලිය නිසා සිනමා දර්ශනවලට ජනතාව සහභාගි නොවූහ. එනිසා පස මිතුරෝ බොහෝ දෙනාගෙන් ගිලිහී ගියේය. 
පස මිතුරෝ අධ්‍යක්ෂණය කළේ ආනන්ද හේවගේය. පස මිතුරෝ චිත්‍රපටයට පාදක වී තිබුණේ එකල ද ඇවිළ යමින් තිබූ සිංහල දෙමළ වර්ගවාදී ගැටුමයි. 


කළු සුදු චිත්‍රපටයක් වූ පස මිතුරෝට පාදක වූයේ ‘ද ඩෙෆයන්ට් වන්ස්’ නම් හොලිවුඩ් චිත්‍රපටයයි. එය කළු සුදු භේදය තේමා කරගත් චිත්‍රපටයකි. එහි ඇලෙක්ස් රඟපෑ චරිතය නිරූපණය කළේ සුප්‍රකට නළු සිඩ්නි පොයිටියර් විසිනි. මර්වින් ජයතුංග රඟපෑ චරිතය රඟපෑවේ ටෝනි කර්ටීස් ය. 1958 වසරේ තිරගත වූ එම චිත්‍රපටය ඇකඩමි ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලද්දකි. 


එකට මාංචු දැමූ සිරකරුවන් දෙදෙනකු දුම්රියෙන් ගෙන යද්දී ඔවුහු ඉන් පැන ගනිති. එක් සිරකරුවකු ගැමුණුය. සිංහල ජාතිකයෙකි. අනෙක් සිරකරුවා වේළු නම් දෙමළ ජාතිකයෙකි. 


එකට මාංචු දමා තිබුණ ද ඔවුන් තුළ ද වර්ගභේද සිතුවිලි සිත් තුළ කැකෑරෙයි. එනිසා විටින් විට ගැටුම් ඇතිවෙයි. 


එහෙත් දෙදෙනාටම එකට මාංචු දමා ඇති නිසා හැම දෙයකදීම දෙදෙනාට එකිනෙකාගේ සහයෝගය අවශ්‍ය වෙයි. 


වරෙක ගැමුණු හදිසි අනතුරකින් තුවාල වූ විටෙක වේළු ඔහුගේ තුවාලය පිරිසිදු කරන්නේ තුවාලයට කට තබා උරමිනි. වේළු ගැමුණු කර ගහගෙන විශාල ඔයකින් එගොඩ වෙයි. 


1979 වසරේ අවසාන භාගයේදී මෙහි රූගත කිරීම් කෙරුණේ හිඟු‍රක්ගොඩ, හබරණ අවට ප්‍රදේශවලදීය. අපි එකල පුවත්පත් විශේෂාංගයක් ලිවීම සඳහා හිඟු‍රක්ගොඩ ගියෙමු. 


ආනන්ද හේවගේ එකල අපට පැවැසුවේ කන්කසන්තුරේ දුම්රිය මාර්ගය ඒ ප්‍රදේශයේ හරහා වැටී තිබුණු නිසා දර්ශන තලය ලෙස එය තෝරාගත් බවයි. 


මෙහි ප්‍රධාන චරිත තුනකි. මර්වින් ජයතුංග (ගැමුණු), ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (වේළු), අනෝජා වීරසිංහ එම චරිත රඟපෑහ. 
ඒ වන තුරු සහාය චරිත රඟපෑ අනෝජා වීරසිංහ ප්‍රථම වරට ප්‍රධාන චරිතයක් රඟපෑවේ පස මිතුරෝ චිත්‍රපටයේය. 


ඇලෙක්සැන්ඩර්, මර්වින්, අනෝජා, කැමරා ශිල්පී ලලිත් ගුණවර්ධන, සහාය කැමරා ශිල්පී ඇන්තනී, සහාය අධ්‍යක්ෂ ආනන්ද ෆොන්සේකා, වේෂ නිරූපණ ශිල්පී රංජිත් මතඟවීර ඇතුළු විස්සක පමණ පිරිසක් කණ්ඩායමට ඇතුළත් වූහ. 


අප නැවතී සිටියේ හිඟු‍රක්ගොඩ තානායමේය. අනෝජා කිට්ටුව ගෙදරක නැවතී සිට රූගත කිරීම්වලට සහභාගී වූවාය. දිනපතාම කිලෝමීටර් දහයක් දොළහක් ගෙවා මහා කැලෑවේ දර්ශන තලයට ළඟාවිය යුතුය. 
පස මිතුරෝ දැවැන්ත නිෂ්පාදනයක් නොවීය. ආනන්ද හේවගේ එකල පාසල් ගුරුවරයකු ලෙස කොටහේන ප්‍රදේශයේ සේවය කරමින් චිත්‍රපටය සඳහා දායක වූයේ විවිධ දුෂ්කරතා මැදය. 


වාහන කිහිපයක්ම යොදා ගැනීමට නොහැකි වීම නිසා ඇතැම් විට දර්ශන තලයට පිරිස සහභාගි වූයේ වරින් වරය. 


අනෙක හබරණ කැලයේ රූගත කිරීම ද තරමක අභියෝගාත්මක කරුණක් විය. ඒ නිරතුරුවම එම ප්‍රදේශයේ ගැවැසෙන වල් අලි රංචු නිසාවෙනි. අලින්ගෙන් කරදරයක් නොවුණ ද ඇතැම් විට අප රූගත කිරීම් කරන අතරතුර වල් අලි රංචු ඉතා නොදුරෙන් දැකගත හැකි විය. 


උදෑසනම රූගත කිරීමේ පිරිස ලහි ලහියේ සූදානම් වී වනාන්තරයට ඇතුළු වෙති. යා යුත්තේ ද වළ ගොඩැලිවලින් පිරී ගිය මාර්ගයකිනි. ඇතැම් තැනක වැලි තට්ටුය. ගල් මුල්ය. වළවල්ය. 
වෑන් රථය ද සුවපහසු නැත. එහි වායුසමීකරණ යන්ත්‍ර නැත. හිරු එළිය හොඳින් පතිත වන නිසාම දවස පුරාම දැඩි උෂ්ණත්වයෙන් යුතු හිඟු‍රක්ගොඩ සිට හබරණ කිට්ටුව කැලෑවට වායුසමනය නොකළ වාහනයකින් ගමන් කිරීම මෙන්ම එම දර්ශන තලවල රූගත කිරීම ද තෙහෙට්ටුවකි. 


බොහෝ විටෙක ඇලෙක්ස් වෑන් රථයේ ඉදිරිපස අසුනේ වාඩිවෙයි. අව් කණ්ණාඩියක් දමාගෙන ස්කිනියකින් හා කොඩ්රෝයි කලිසමකින් සැරැසුණු ඇලෙක්ස් ඇත්තටම කඩවසම්ය. මර්වින් ජයතුංග බොහෝ විට එන්නේ ඊළඟ වාහනයේය. 


දර්ශන තලයේදී චිත්‍රපටයට අවශ්‍ය පරිදි වේශ නිරූපණ කටයුතු සිදුවෙයි. ඇලෙක්ස් හා මර්වින් ජම්පරයෙන් සැරැසෙන්නේ ඉන් පසුවය. 

 


රූගත කිරීම් ඇරැඹෙයි. හිටි ගමන් හිරු රැස් වලාකුළකින් වැසී යයි. යළි අව්ව වැටෙන තුරු කළු කණ්ණාඩියකින් කැමරා කණ්ඩායමේ කෙනෙක් අහස දෙස බලා සිටියි. 


දවස පුරා වියළි කලාපයේ ගිනි අව්වේ රූගත කිරීම්වල නිරත වන පිරිස හැන්දෑවේ හිඟු‍රක්ගොඩ තානායම ඉදිරියෙන් ගලා යන ඇළෙන් ස්නානය කරති. ග්‍රීෂ්මයට එකම සහනය එයයි. 
ඉන් පසුව රාත්‍රී සාදය ඇරැඹෙයි. 


රූගත කිරීම්වලට පිරිස රැගෙන ගොස් බස්සවා ආපසු එද්දී ඒ ප්‍රදේශයේ කිසියම් පිරිසක් වෑන් රථයේ රියැදුරුට ඔවුන්ට අවශ්‍ය තැන්වලට යෑමට බලකරන ලදැයි කියා සිටියේ මෙවැනි සාද අවස්ථාවකදීය. 
කිහිපවරක්ම රියැදුරු ඔවුන්ට අවශ්‍ය පරිදි එය ඉටුකර ඇත. එහෙත් මේ කතාබහ ඇති වූ දින උදේ රියැදුරු ඔවුන් රැගෙන යාම ප්‍රතික්ෂේප කර ඇත. ගැටුම ඇති වූයේ එයින් පසුවය. 


‘හොඳයි බලමු එහෙනම් හෙට ඉඳල මෙහෙ බයිස්කෝප් කරන හැටි’ ඔවුන් රියැදුරට පමණක් නොව රූගත කිරීමේ කණ්ඩායමට ද තර්ජනය කර ඇත. 


සැලැසුම, රූගත කිරීමට යන අතරතුරදී මඟ රැක සිට කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කිරීමයි. 
කොළඹින් සැතැපුම් ගණනාවක් ඈත පිහිටි නාඳුනන ගම්මානයකදී ගම්මුන්ගෙන් එවැනි ප්‍රහාරයක් එල්ල වූ විට ඉතා භයානකය. එයින් රූගත කිරීම් කඩාකප්පල් වනවා පමණක් නොව පිරිසට තුවාල සිදුවන්නට පිළිවන. ගමක පිරිසක් තරහ කරගැනීම ද නුවණට හුරු නැත. 


එහෙත් එවැනි තර්ජනයක් කිරීම අසාධාරණ කටයුත්තකි. 


පසුදා උදෑසන රූගත කිරීම්වලට යන්නට අප සූදානම් වුව ද මුහුණුවල එතරම් සතුටක් නොවීය. එහෙත් රූගත කිරීම් අවලංගු කළ නොහැක. එසේ කළහොත් එයින් ඔවුන් තවත් උද්දාමයට පත් වී ප්‍රහාරය වඩාත් දරුණු වන්නට පිළිවන. 


පිරිස වෙනදා පරිදිම රූගත කිරීම්වලට වනාන්තරයට යෑමට සූදානම් වූහ. 
ඇලෙක්ස් එය ගණනකටවත් නොගෙන සුපුරුදු පරිදි ස්කිනියකින් හා දුඹුරු පාට කොඩ්රෝයි කලිසමෙන් සැරැසී අව් කණ්ණාඩිය ද පැලඳ ගත්තේය. 
වෙනදා වගේම වෑන් රථයේ ඉදිරි අසුනේ වාඩි වුණේය. 
වාහනය වළ ගොඩැලි අතරින් උඩ පනිමින් ගමන් කරයි. එහෙත් ප්‍රහාරකයන් එන පාටක් නැත. 
‘මුන් ලොකේෂන් එකට ද එනවා කිව්වේ’ කෙනෙක් රියැදුරුගෙන් ඇසුවේය. 
‘ඔව්. අද ෂූටින් කරන්න දෙන්නේ නෑ කිව්වා.’

 
‘මොකද ඇලෙක්ස් කරන්නේ’ ආනන්ද ඇසුවේය. වාහනයේ සිටින චණ්ඩියා ඇලෙක්ස්ය. 
‘එන්න කියමු... කොච්චිකඩේ ඉපදුණු මං නොදන්න චණ්ඩි’ කියා ඔහු නිහඬ විය. 
දර්ශන තලයේ සිට රූගත කිරීම්වලට සැරැසිණි. ආනන්ද තිර පිටපත අතේ තබාගෙන කැමරා ශිල්පී ලලිත්ට කිසිවක් පැහැදිලි කරයි. 
ගත වූයේ සුළු වෙලාවකි. මෝටර් බයිසිකල් කිහිපයකින් පිරිසක් දර්ශන තලයට පැමිණියහ. 
ඔවුන් දුටු විට රියැදුරුගේ මුහුණ මඳක් සසල විය. 
චිත්‍රපටයේ රූගත කිරීම් නරඹන්නට ද පිරිස පැමිණෙන නිසා මෙහි එතරම් විශේෂත්වයක් ද නොතිබිණි. 
එහෙත් මේ පිරිසගේ මුහුණුවල ඊට වඩා වෙනසක් දකින්නට ඇත. 
‘මුන්ද කට්ටිය’ ඇලෙක්ස් කිසිවකුගෙන් හෙමිහිට ඇසුවේය. 
‘හ්ම්...’ 


එවෙලේ ඇලෙක්ස් වාහනය තුළ තිර පිටපත කියවමින් සිටියේය. තත්පරයක් දෙකක් කල්පනා කළ ඔහු සියල්ල මඳකට නවතා වෑන් රථයෙන් බැස්සේය. 
සියල්ලෝම තුෂ්නිම්භූතව සිටිති. දැන් දැන් සටන ඇරැඹෙනු ඇත. ගැලැවුම්කාරයා ඇලෙක්ස්ය. ඔහු හතර පස්දෙනකුට වග කියනු ඇත. එහෙත් මේ තත්ත්වය යටතේ දිගටම රූගත කිරීම් කළ හැකි වේ ද? 
ඇලෙක්ස් ස්කිනියේ දවටා තිබූ අව් කණ්ණාඩිය දමාගෙනම වෑන් රථයට හේත්තු වූයේය. ඔහුගේ මුහුණේ සිනාවක් නැත. එක්තරා ආකාරයකින් එය සටනට ඇරැයුමකි. 
ඔහු එක එල්ලේම ප්‍රහාරකයන් දෙස බලා සිටියේය. 
එපමණකි. 


‘ඇයි බලා ඉන්නේ ෂූටින් පටන් ගන්නේ නැද්ද?’ ඇලෙක්ස්ගේ විධානයෙන් සියල්ල පියවි තත්ත්වයට පත්විය. සුළු වෙලාවකින් මෝටර් සයිකල් ප්‍රහාරකයන් එකා දෙන්නා දර්ශන තලයෙන් මඟ හැර ඈතට යන්නට වූහ. ඇලෙක්ස් සටනකදී කරන නිහඬ අභියෝගය එතරම් ප්‍රබලය. 
ඇලෙක්ස් සටන අවසන් කළේ එසේය. එදායින් පසු ඔවුන්ගෙන් රූපගත කිරීම් කණ්ඩායමට තර්ජනයක් නොවීය. 


ඔහු සැබෑම සටන්කරුවෙකි. එනිසාම ඔහු තමන්ට පෞද්ගලිකව හානිවන බව දැන දැනම තම ප්‍රතිපත්තියේම පිහිටා සිටින්නෙකි. 


චිත්‍රපට නොලැබ සිටි කාලයේ ආනන්ද පද්මසිරි වරක් ඔහුට චිත්‍රපටයක තරුණියක දූෂණය කරන වියපත් මිනිසකු ලෙස රඟපාන්නට සූදානම් කළේය. 
‘ෂික් ඒ මොන ජරාවක් ද? මට බෑ.’ 


‘සල්ලිත් හම්බවෙනවා. චිත්‍රපටයක චරිතයක්නේ.’ 
‘සල්ලි දෙනවා තමයි. ඒ වුණාට චිත්‍රපටයකවත් ඔය වගේ සීන් එකක රඟපාන්න මට බෑ.’ 
ඒ ඇලෙක්ස්ගේ හැටිය. 


පසු කාලයේ ඔහු සිනමා තිරයෙන් දැකිය නොහැකි වුව ද ඇලෙක්ස් තම ජීවිතය පුරාම සිය දැඩි ප්‍රතිපත්තිය අත් නොහැරියේය. 

 

රොඩ්නි විදානපතිරණ