ඇල්ප්ස් කඳු මුදුනේ රාජාලි සටන


 

යුරෝපයේ උසින් වැඩිම කඳුවැටිය ඇල්ප්ස් ය. කිලෝමීටර් 1,200ක් දිගට ඇල්ප්ස් කඳු වැටිය ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, ජර්මනිය, ස්ලොවේනියාව, මොනාකෝ රාජ්‍යය, ඔස්ට්‍රියාව ආදී යුරෝපා රටවල් පුරා පැතිර පවතී. ඇල්ප්ස් කඳුවැටියේ උසින් වැඩිම කන්ද මොන් බ්ලොන්ක්  ධවල ශිඛරයයි. එහි උස මීටර් 4,810කි. මෙය පිහිටා ඇත්තේ ප්‍රංශ ඉතාලි දේශසීමාවේය. ඇල්ප්ස් කඳුකරය නිවහන කරගත් ජීවීන්ට සීත ඍතුවේ ආහාර සොයාගැනීම ගැටලුවකි. සැබැවින්ම අභියෝගයකි. එවැනි අභියෝගවලට නිරන්තරයෙන් මුහුණ දෙන, ගුවන ජයගත් ශූරයකු ලෙස රන් වන් රාජාලියා හැඳින්විය හැකිය. රන් රාජාලියාගේ සත්ව විද්‍යාත්මක නාමය ඇක්විලා ක්‍රයිසෙටෝස් ය.   


ගොදුරු සොයමින් 

 
රන් වන් රාජාලියකු දිවා කාලයේ සෑම මිනිත්තුවක්ම ගතකරන්නේ කෑම සොයමිනි. කඳුවැටියේ බෑවුම් සිසාරා කොතැනක හෝ කුමක් හෝ කෑමට ඇතිදැයි සොයයි. එසේ කෑම සොයමින් ගුවනේ පාවෙන රන් වන් රාජාලි ගැහැනු සතෙක්. ඇගේ පියාපත් විහිදු කල ඒවාගේ දිග අඩි 7කි. ශක්තිමත් පියාපත් සලමින්, කඳු අතරින් ගුවනේ පාවී යෑමට රන් වන් රාජාලියා ප්‍රිය කරයි. එසේ ගුවනේ පාවෙමින්, රන් වන් රාජාලි​යෙක් සෑම දිනකම, සැතපුම් 100කට වැඩිදුරක් යමින් ආහාර සොයයි.   


වේගවත්ම කුරුල්ලා   


සෙසු රාජාලියන්ගේ මෙන්ම රන් වන් රාජාලියාගේ ද ඇස් ඉතා තියුණුය. සැතපුම් දෙකක් පමණ දුරින් හිම අතරේ සිටින මීයකු වැනි පුංචි ගොදුරක් පවා පැහැදිලිව දකින්න ලැබේ. එසේ ගොදුරක් දුටුවිට රන්වන් රාජාලියා වහා ක්‍රියාත්මක වෙයි. පැයට සැතපුම් 200ක වේගයකින් පහළට ඇදී යන්න රන් වන් රාජාලියාට පුළුවනි. එසේ පහළට වේගයෙන් ඇදෙන රන් වන් රාජාලියා දෙවැනිවන්නේ පෙරිග්‍රීන්ට පමණි. රාජාලීන් මෙන්ම පෙරිග්‍රීන් ද අයත්වන්නේ ගොදුරු අල්ලන පක්ෂීන් අතරටය. පෙරිග්‍රීන් යනු කුරුලු ගොයෙකි. ලොව වේගවත්ම පක්ෂියා ලෙස සැලකෙන්නේ පෙරිග්‍රීන්ය.   


කපුටෝ රංචුව   


සීත ඍතුවේ ගොදුරු අල්ලා ගැනීම අභියෝගයකි. එහෙයින් හාමතේ මියැදෙනවාට වඩා අහුවෙන දෙයක් රන් වන් රාජාලීහු ආහාරයට ගනිති. කඳුකරයේ පහළට පියඹමින් යන රන් වන් රාජාලි ගැහැනු සතාට කපුටන් රංචුවක් විසින් වටකර ගත් නරියකුගේ මළකුණක් දකින්න ලැබේ. නරියාගේ කුණුවෙමින් පවතින සිරුර රාජාලියාට හොඳ ආහාරයකි. ඇය වහා එතැනට පහත් වෙයි. රාජාලියා පහත් වෙද්දී කපුටෝ බය වී එතැනින් ඉවත් වෙති. මේ නරියාගේ මළකුණ සති කිහිපයකට ඇයට ප්‍රමාණවත් වේවි. අකමැත්තෙන් වුවත්, රාජාලියාට බිය වී පැත්තකට වන කපුටු රංචුව එතැනින් ඉවත් වන්නේ නැත. රාජාලියාට කපුටන් කරදරයකි. කෙසේ හෝ ධෛර්යය ගෙන, කපුටෝ එකිනෙකා යළි මළකුණ වෙත ළං වෙති. රාජාලියාට නොදැනෙන සේ, සෙමින් සෙමින් ළං වී මළකුණෙන් මස් කැබැල්ලක් කඩා ගැනීමට උත්සාහ දරයි. තවත් කපුටෙක් සෙමින් සෙමින් ළං වී රාජාලියාගේ පිහාටුවලින් අදින්න ගනී. මස් ඉරා ගිලිමින් සිටින අතරතුරේ කපුටන් පලවා හරින්නට ද රන් වන් රාජාලියාට සිදුවෙයි.   


කෑමට සටනක්   


කෙසේ නමුත්, රන් වන් රාජාලි ගැහැනු සතා වදවිය යුත්තේ කරදරකාර කපුටන්ගෙන් පමණක් නොවෙයි. හිටිහැටියේ, කපුටු රංචුව බිය වී වහා එතැන්න පියාඹා යෑමට පටන් ගනී. කපුටන් බිය ගැන්නුවේ කවුරුන්දැයි රන්වන් රාජාලි ගැහැනු සතා හිස ඔසවා බලයි. තවත් දැවැන්ත රන් වන් රාජාලියකු මළකුණ වෙත ළං වෙයි. ඒ රාජාලියා පාවී ඇවිත් කෙළින්ම, ගැහැනු රාජාලියාට පහරක් දෙන්නේ ඇය එතැනින් තල්ලු කරමිනි. දැවැන්ත රාජාලියා කෙළින්ම මළකුණ මත වසයි. දැන් නරියාගේ මළකුණ අයිති දැවැන්තයාටය.   
තමන්ගේ ආහාරය වෙනත් රාජාලියකුට අයිති වෙනවාට ගැහැනු රාජාලියා කැමැත්තක් නොදක්වයි. මළකුණ වෙනුවෙන් ඇයට දැන් සටන් කරන්න සිදුවෙයි. ඈත සිට යළි පියඹාවිත් තියුණු නිය සහිත පාදවලින් පහර දෙමින්, ගැහැනු රාජාලියා, දැවැන්ත පිරිමි රාජාලියා සමඟ පොර බදයි. අවසානයේ ගැහැනු රාජාලියාට දිනුම අත්වෙද්දී, දැවැන්තයා පසුබසී. යළිත් වරක් මළකුණ අයිති වන්නේ ගැහැනු රාජාලියාටය. හැබැයි ඒ, මිනිත්තු කීපයකට පමණය.   


පරාජය බාර ගනී   


රාජාලියන් දෙදෙනාගේ මළකුණ වෙනුවෙන් සටන් වදිනවා දැක තවත් රාජාලියෝ එකා දෙන්නා දැන් එතැනට පියඹා එති. දැන් රාජාලි ගැහැනු සතාට සෙසු රාජාලියන් සමඟ කෑම වෙනුවෙන් තියුණු මෙන්ම බිහිසුණු සටනක් කිරීමට සිදුවෙයි. අවසානයේ දී දිනුම අත්වන්නේ ශක්තිවන්තයාටය. සටනින් තුවාල ලබන ගැහැනු රාජාලියා පරාජය බාර ගනී. තවදුරටත් මළකුණ ආරක්ෂා කරගැනීමට ඇයට ශක්තියක් නැත. ඇය එතැනින් පියඹා යයි. ඒ වෙනත් කොතැනක හෝ කෑමට යමක් ඇතිදැයි විමසිල්ලෙනි. ඇගේ කුසට යළි ආහාරයක් වැටෙන්නේ කවදා දැයි අවිනිශ්චිතය. ඒ සඳහා දින කීපයක් බලා සිටීමට පවා සිදුවනු ඇත.   

 

ගොදුරු සොයමින්

කපුටු රංචුව පන්නා මළකුණ වෙත....

කපුටන්ගෙන් කරදර

ද්‍ැවැන්තයා පැමිණෙයි

කෑම වෙනුවෙන් සටන

පරාජය පිළිගෙන පියඹා යමින්...

 

 


ලුසිත ජයමාන්න   
බී.බී.සී. ප්ලැනට් අර්ත් ඇසුරිනි