ඇල බාස්ගේ කෙරුවාව


අමුතු  ගති ඇති  මිනිස්සු   

 

 

කලකට ඉහත ගාල්ලට නුදුරු මුහුදුබඩ ප්‍රදේශයක ඇල බාස් නමින් ප්‍රකට මේසන් බාස් කෙනෙක් සිටියේය. ඔහුගේ නියම නම අමරපාල වුවද අහල ගම් හත්පත්තුවේම විසූ ගැමි ජනතාව අතර ඔහු ප්‍රසිද්ධව සිටියේ ඇල බාස් යන නමිනි. ඊට හේතුව වූයේ ඔහු විසින් සිදුකරනු ලබන සෑම ඉදිකිරීමකම කොතැනක හෝ යම් ඇදයක් පැහැදිලිවම පෙනෙන්නට තිබීමයි.   


වරක් අසල ගමක ගම්මුලාදෑනියාගේ නිවස වටා ඇති තාප්පයක අබලන්වූ කොටසක් කඩා බිඳ දමා එම කොටස අලුතින් ඉදිකිරීම ඔහුට පැවරී තිබුණේය. ඔහු ඒ සඳහා අය කළේ ද අස්ප ගණනකි.   


රාලහාමි මම අවුරුදු දොළහක විතර කොල්ල කාලෙ ඉඳලම කෙරුවෙ මේසන් රස්සාව. මේ වෙනකොට අවුරුදු පනහක්. ඒ නිසා මට ඇස්දෙක පියාගෙන වුණත් මේ වැඩේ කරන එක මහ ලොකු කජ්ජක් නෙවි... යි කියමින් පුරසාරම ඇද බෑ ඇලබාස් අන්තිමේදී රාලහාමිගේ තාප්පයේ අබලන් කොටස ඉදිකර තිබුණේ පැත්තක් ඇද ගැහෙන අයුරිනි. ඒ දුටු රාලහාමිට යකා වැහුණේය.   


මොකක්ද යෝධයෝ මේ කරල තියෙන්නේ? මේ පැත්තම ඇදයිනේ... යි කියමින් රාලහාමි බැණ වැදුණ විට ඔහු කියා සිටියේ ඒ අසල තිබූ දෙල් ගහක මුලක් තාප්පය යටින් පිහිටීම නිසා තාප්පයේ එම කොටස ඇදවී ඇති බවය. අන්තිමේදී ඇලබාස් එළවා දැමූ රාලහාමි වෙනත් මේසන් බාස් කෙනෙකු යොදවා තාප්පයේ ඇලය නිවැරදිව ඉදිකර ගත්තේය. ඉන්පසු එම ගම්මුලාදෑනියාගේ නිවස අැලබාස්ට තහනම් කලාපයක් විය.   


ගම්මුන් කියන හැටියට ඇලබාස්ගේ දකුණු අතේ වැලමිටෙන් පහළ කොටසේ එක්තරා අන්දමක ඇල ගතියක් තිබේ. ඔහුගේ බොහොමයක් වැඩ කටයුතුවල ඇලයක් ඇතිවී තිබෙන්නේ දකුණතේ ඇති එම ඇදය නිසාවෙනි. එහෙත් ඔහු ඒ බව නොපිළිගනියි. ඔහු කියන්නේ එය පිං ඇලයක් බවය.   


කෙසේ වෙතත් ඇලබාස් තමන්ගේ දකුණු අතේ ඇති එම ඇලය පිටස්තරයන් දකිනවාට අකමැතිය. එහෙයින් ඔහු පුරුදු වී සිටින්නේ තමන් නිතර අඳින ගෙඩි බැනියමේ එක අතක් තරමක් දිගට සිටින සේ නවා ගැනීමටය. ඔහු නොදැන සිටිය ද එමගින් සිදුවී ඇත්තේ ඇල බාස්ගේ දකුණු අතේ ඇති එම ඇලය වඩාත් හොඳින් අන්‍යයන්ට දර්ශනය වීමය.   
ඇලබාස් ඒ කාලයේ ගමන් බිමන් ගියේ කබල් බයිසිකලයකිනි. ඒ බයිසිකලය කොතරම් කබල් එකක්දැයි කිවහොත් එහි ඉදිරිපස රෝදයේ රිම් එක තරමක් ඇද ගැසී තිබේ. එම ඇදය වඩාත් හොඳින් පැහැදිලි වන්නේ ඇලබාස් තරමක් ඇදට ඉඳගෙන බයිසිකලය පැදයන විටය.   


ඇලබාස් ගෙදර වහලයේද පොඩි ඇදයක් තිබේ. ඊට හේතු වී ඇත්තේ එම වහල ගැසූ වඩු බාස් උන්නැහේගේ වරදක් නිසා නොව එහි බිත්ති තරමක් ඇදයට බැඳ තිබෙන බැවිනි.   
මොකද බාස් උන්නැහේ මේ ගෙයි පියස්සෙ ඇදයක් පේන්නේ, යි කිසිවකු විමසූ විට ඔහු අම්ම මෝ නැතිව බැණ වදින්නේ ගෙයි පියස්ස ගැසූ අල්ලපු ගමේ වඩුරාලටය.   
ඒ මිනිහගෙ එක ඇහැක් වපරයි. ඉතින් ඒ යකාට හැමදෙයක්ම පෙන්නේ ඇදේට. මට එදා පොඩ්ඩක් ඒ ගැන බලන්න බැරිවුණා. ඒ අස්සෙ මේ මිනිහ පියස්ස ඇදේට ගහලා...යි ඔහු කීව ද සත්‍ය තත්ත්වය වන්නේ බිත්තිය බැඳීමේ දී එම ඇදය සිදුවී තිබෙන බවය. ඒ අතින් වඩුරාළ නිවැරදිකරුවෙකි. 

 
ඇලබාස් කුඩා වියේදී ගමේ පාසලෙන් අකුරු ශාස්ත්‍රය ඉගෙන ගෙන තිබුණේය. එහෙත් දෙවැනි හෝ තුන්වැනි පන්තියේදී පාසල හැර ගොස් කට්ටි පැන්නෙන් ඔහුගේ සමීප ඥාතිවරයෙකු වූ මේසන් බාස් කෙනෙකු වරෙන් කොල්ලො මාත් එක්ක අපේ ගෙදර යන්න. මං උඹට මම දන්න සාස්තරේ උගන්වන්නං... යි කියමින් පොඩි එකා තම නිවසට කැඳවාගෙන ගොස් මේසන් වැඩ පුහුණු කළේය. අන්තිමේ දී එම වඩුබාස් තම දෝණියන්ද ද ඔහුට විවාහ කර දුන්නේය. එදා සිට ඇලබාස් බිරියගේ ගෙදර බින්න බැස්සේය.   
 ගමේ පාසලේ තුන් වැනි පන්තියට පමණක් ඉගෙනුම ලබා ඇති අැලබාස්ට යන්තමින් අකුරු ලිවීමට පුළුවන. එහෙත් ඔහුගේ අත්අකුරුවල ඇති විශේෂත්වය වන්නේ ඒවාද වමින් පටන්ගෙන දකුණු ඇලයට ලියැවීමයි. ඒ අනුව ඔහුගේ අත්අකුරු කියවීමට නම් පළමුව ඔළුවෙන් හිටගත යුතුය. එසේ නොකරන අයට සිදුවන්නේ ඇලබාස් විසින් ලියා ඇති දේ ඔහුගෙන්ම අසා දැන ගැනීමටය.   

 


නිහාල් ජගත්චන්ද්‍ර