ඇමෙරිකාවේ ඔරෙගන් විලේ පාවෙන ‘මහල්ලා’


වසර සිය ගණනක් තිස්සේ, ඇමෙරිකාවේ ඔරෙගන් ප‍්‍රාන්තයේ පිහිටා ඇති ‘ඔරෙගන් කේ‍්‍රටර්’ (ඔරෙගන් ආවාට) විලේ ගසක කඳක් පාවෙමින් තිබේ. විලක ගසක කඳක් හෝ අත්තක් හෝ ගසක් හෝ පාවීම අරුමයක් නොවුණත්, අරුමය නම්, ‘ඔරෙගන් කේ‍්‍රටර්’ විලේ පාවෙන ගසේ කොටස සැමවිටම පාවෙන්නේ කෙළින් (සිරස්) අතට වීමය. එය පොඩ්ඩක්වත් පැත්තට ඇලවී යන්නේ ද නැත. 
  

මේ ගස් කඳ ඔරෙගන් වැසියන් අතරේ පමණක් නොවේ ඇමෙරිකාව පුරා ප‍්‍රසිද්ධය. ඔරෙගන් ප‍්‍රාන්ත වැසියන් මේ ගස් කැබැල්ල හඳුන්වන්නේ ‘විලේ මහල්ලා’ යන නමිනි. පසුගිය ජූලි පළමු වැනිදා සිට සැප්තැම්බර් පළමු වෙනිදා වෙද්දී, මේ ගස් කඳන් කැබැල්ල සැතපුම් 63 ක දුරක් විලේ පාවී ගොස් තිබුණු බව එය අධ්‍යනය කිරීමෙන් පෙනී ගොස් තිබේ.   


පාවෙමින් ඇත්තේ අඩි 30 ක් පමණ දිග ‘හෙම්ලොක්’ වර්ගයේ ගසක කඳක කැබැල්ලක් බව පැවසෙයි. මෙය අතීතයේ, නායයෑමකට හසුවී කැඩී ගොස් විලට වැටුණු ගසක කොටසක් කියලත් අනුමාන කෙරේ. ඒත් පතුලක් නොපෙනෙන මේ විලේ මේ කඳ කැබැල්ල කෙළින් වෙන්නේ කොහොමද? අනෙක පාවෙමින් එක තැන රැඳී ඇත්තේ කොහොමද? මේක භෞතික විද්‍යාව පරයන අබිරහසක් බව නොඅනුමානය.   


මේ ගසේ කඳේ ඇල්ගී විශේෂයක් ජීවත් වන බව ද පර්​​ෙ‌ය්ෂණවලින් හෙළි වී ඇත. මේ ඇල්ගී වර්ගය විලේ වෙන කිසිම තැනක දකින්න නැතැයි විද්‍යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති.   


සිරස් අතට පාවෙන මේ ‘විලේ මහල්ලා’ ගැන මුලින්ම වාර්තා වී ඇත්තේ 1902 වසරේදීය. ඒ, මෙම කේරටර් විල ජාතික වන රක්ෂිතයට අයත් යැයි මුලින්ම නම් කළ අවස්ථාවේ සිටය. භූ විද්‍යාඥ ජෝසෙප් එස්. ඩිලර් විටින් විට වසර හයක් තිස්සේ විලට පැමිණ ඇති අතර, ඔහු පැමිණි අවස්ථා හයේදීම ‘විලේ මහල්ලා’ සිරස් අතට පාවෙනවා දකින්න ලැබී තිබේ.   


පොතු ගැලැවී ගිය, හිරු රශ්මියට අවපැහැ ගැන්වී දිරාපත් වුණු, ‘විලේ මහල්ලා’ කඳ කැබැල්ලේ විෂ්කම්භය අඩි දෙකකි. එහි කොටසක් වතුර මට්ටමෙන් අඩි හතරක් ඉහළට එසවී පවතී.   


ඔරෙගන් කේ‍්‍රටර් විල ලෝකයේ ගැඹුරුතම විල් අතරින් නව වැනි ස්ථානයේ පසුවෙයි. ඔරෙගන් ප‍්‍රාන්තය අයත් වෙන්නේ ඇමෙරිකාවේ බටහිර දෙසටය. මෙම විල මීටර් 655කට වඩා ගැඹුරින් යුක්තය. මෙය අතීතයේ මසාමා නමැති යමහල (ගිනි කන්ද) හේතුවෙන් නිර්මාණය වුණු මිරිදිය විලකි. වර්ග සැතපුම් 20.6 ක් පුරා විල පැතිරී ඇත. විලේ ‘විසර්ඩ්’ සහ ‘ෆැන්ටම් ෂිප්’ යනුවෙන් කුඩා දූපත් දෙකක් ද පිහිටා තිබෙන බව පැවසෙයි.   

 

 

 

 

 

 

 

 

 

 

 

ලුසිත ජයමාන්න   
ඩේලිමේල් ඇසුරිනි