ඇඳට වෙලා හිටියොත් ගෙදර මිනිස්සු බඩගින්නේ


 

 

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් දෙවියන් යදින්නට ආ කතෝලික බැතිමතුන් අමු අමුවේ මියගොස් දෙව්බිම ලේ විලක් බවට පත් විය. ඔවුන්වත් නොදැනීම අවසන් ගමන් ගිය තමහිතෛෂීන්ගේ මතකයන් සමග තවමත් දිවි ගෙවන මිනිසුන් ඔබ කටුවාපිටියට ගියහොත් දැකගත හැකි සුලබ දසුනකි.  


මෙම කුරිරු ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූවන් ජීවිතය ඉල්ලා අදත් හෙටත් දවස වෙනුවෙන් සිහින දකිනවා ඇත.​ කෙසේ වුවත් විපතට පත් වූවන්ට සහන සැලසීම සම්බන්ධයෙන් සොයා බැලූ අපට දැන ගත හැකිවූයේ තුවාල ලැබුවන් සඳහා වන්දි ප්‍රදානයක් සිදු වී තිබුණ ද එම කිසිවක් ප්‍රමාණාත්මකව, ක්‍රමවත්ව සිදු වී නොමැති බවයි.   


කාදිනල් හිමිපාණන් පුමුඛ කතෝලික සභාව සහන කටයුතු විධිමත්ව සිදුකර තිබුණ ද රජයේ පාර්ශ්වයෙන් සිදුකරන වන්දි ගෙවීමේදී නොසලකා හැරීම, විපතට පත්වූවන් දැඩි ලෙස රස්තියාදු කිරීම. තුවාල වූවන්ට වන්දි ප්‍රමාණාත්මක නොවීම වැනි අඩු පාඩු බොහොමයක් සිදුව ඇති අතර ඔවුන් මේ නිසා පත්ව ඇති තත්ත්වය ඉතාම ඛේදනීයයි. කටුවාපිටියේ බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සොයා ගිය අපට අහන්නට ලැබුණේ මෙවැනි අනුවේදනීය කතා පුවත්ය.  


නිලංක දිල්ෂාන් මහතාට බෝම්බ ප්‍රහාරයෙන් ඉණෙන් පහළට සිදුව ඇති හානිය නිසා අද ඔවුන්ට මුහුණ දීමට සිදුවී තියෙන්නේ දරුණු ආර්ථික සටනකටය. දරුපවුලට වගේම තම මවගෙත් අධ්‍යාපනය හදාරන සහෝදරයාගේ අනාගතයටද ශක්තියක් වුණේ නිලංකය. එහෙත් අද බෝම්බ ප්‍රහාරයෙන් දරුණු තුවාල සිදුවී ශල්‍යකර්මයකට මුහුණ දී සිටින නිලංකට රැකියාවක් කිරීමට ශක්තියක් හිතේ තිබුණත් ශාරීරිකව ඔහු තවමත් සුව අතට පත් වී නැත.   


මම ටොයෝටා ආයතනයේ පේන්ට් වැඩ තමයි කළේ. එදා ගෙදර අපි හැමෝම පල්ලි ගියා. බිරිඳයි මමයි බබලා දෙන්නයි අම්මයි අපි හැමෝම හිටියේ පල්ලියෙන් පිටත. චුටි දුවව මම වඩාගෙන හිටියේ. ස්තුති කතාව නිසා අපි හැමෝම නැගිට්ටා. වාඩි වෙලා හිටිය නම් ඩැමේජ් එක ​ෙවන්නේ ඔළුවලට. නැගිටලා හිටපු නිසා තමයි මෙහෙම හරි බේරුණේ.  
බෝම්බේ පුපුරගත්ත කෙනා එනවා මම දැක්කා. බෑග් එකක් එල්ලගෙන කොහෙද මේ මිනිහා මේ යන්නේ කියලා යටි හිතින් හිතන කොටම ලොකු සද්දයක් එක්ක දුමකින් පල්ලියම වහගත්තා. ඒ එක්කම මාව අඩි දෙකක් විතර පිටිපස්සට විසි වුණා. දරුවව හාස්කමකින් වගේ බේරලා මගේ උකුළට තමයි යකඩ බෝල වැදුණේ. බිරිය එළියට යං යං කියලා කෑ ගහනකොට අපි එළියට යන්න හැදුවට මට ඇවිදින්න බැරුව කකුල හිරි වැටුණා.  


ඊට පස්සේ මම ටී ෂර්ට් එක උස්සලා, බැලුවාම ලේ උඩට විද්දා. යන්තම් පල්ලියේ ගේට්ටුව ළගට ඇවිල්ලා උදව් ඉල්ලලා කැගැහැව්වා. ඊට පස්සේ මිගමුව නවලෝක රෝහලෙන් මාව කොළඹට යැව්වා. කොළඹින් කළුබෝවිලට යැව්වා කොළඹ කට්ටිය වැඩිය කියලා. කළුබෝවිල දී ඔපරේෂන් එකට ගන්න හදනකොට දෙහිවල බොම්බේ පුපුරලා අායෙම මගේ ඔපරේෂන් එක පරක්කු වුණා. කොහොම හරි ඔපරේෂන් එක සාර්ථක වු‌ණා. දින 6 ක් මට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර කළා. ගෙදර ආවට පස්සේ මගේ තුවාලේ පැසවලා ටිකක් අමාරු වුණා. ඊට පස්සේ නැවත මැයි 13 මාව ශල්‍යකර්මයකට ගත්තා. දැන් දවසක් අැර දවසක් බෙහෙත් දානවා. ගොඩක් දුරට තුවාලය හොඳ වුණත් ඇවිදගන්න අමාරුයි. තුවාලේ සුව වුණ ගමන් නැවත ස්කෑන් එකක් කරන්න කියලා වෛද්‍යවරු කියලා තියෙනවා.  


මට තවම රැකියාවක් කරන්න අමාරුයි. මම ටොයෝටා කර්මාන්ත ශාලාවෙන් ඉවත් වෙලා විදේශ රැකියාවකට යන්න සම්මුඛ පරීක්‍ෂණ සමත් වෙලා හිටියේ. මට විදේශ ගත වෙන්න දින දීලා තිබුණේ. ශල්‍යකර්මය කරපු මැයි 13 වැනිදා. දැන් මගේ හැම බලාපොරොත්තුවක්ම විනාශ වෙලා තියෙන්නේ.වෛද්‍යවරු කියන්නේ තව මාස 6ක් විතර මට මහන්සිවෙලා වැඩකරන්න හිටගෙන ඉන්න හොඳ නැහැ කියලා. මම එකතැන් වුණා කියන්නේ මගේ මුළු පවුලම කබලෙන් ළිපට වැටුණා වගේ, සේරම බඩගින්නේ. 
මම කළේ වාහන පේන්ට් වැඩ. දැන් ගෙදර ළඟට එන පොඩි පොඩි වැඩ තමයි කරන්නේ.  


එත් විනාඩි දෙකකට වඩා මට හිටගෙන ඉන්න අමාරුයි. එ්ත් ඇඳට වෙලා හිටියොත් ගෙදර මිනිස්සු බඩ ගින්නේ. අපි මේ ජීවත් වෙන ගෙදර උකසට තියලා තමයි විදේශ රැකියාවට යන්න මම සල්ලි සොයාගත්තේ. මල්ලි තවම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. ගෙදර හැමෝම යැපුණේ මම උපයන දේකින් තමයි. එයාලාගේ අනාගතය ගැන හිතලා තමයි මම විදේශගත වෙන්න තීරණය කළෙත්. එ්ත් ඒ හැම බලාපොරොත්තුවක්ම අද නොහිතපු විදිහට අපේ ජීවිතවලින් කඩාගෙන වැටිලා.මං අපේ ඉඩමේ ඔප්පුව තියලා මම ලක්‍ෂ 9ක් ගත්තේ විදේශගතවෙන්න. දැන් රු 50,000 මාසික වාරිකයක් ගෙවන්න වෙලා. කෑම බීම ගෙදර අවශ්‍යතාවලට මගේ හිත මිත්‍රාදීන් මට ගොඩක් උදව් කරනවා. රජයෙන් කිසිම දෙයක් අපට ලැබුණේ නැහැ. කාදිනල්තුමා මැදිහත් වෙලා කරන දේවල් වලින් තමයි අපි වේලක්වත් බඩගින්නේ නො ඉන්නේ. බේත්හෙත් ටික ගත්තේ. මගේ ශල්‍යකර්මවලට සියලුම වියදම දැරුවේ සත්සරණ අගරදගුරු සමාජසේවා ආයතනයෙන්.  


අපේ අවශ්‍යතා කාට කියන්නද? ගෙදර විදුලි බිලවත් ගෙවාගන්න බැරි තරමේ අසරණ තත්ත්වයකයි අපි ඉන්නේ. පල්ලියෙන් අපේ දුක සැප අඩු පාඩු සොයලා බලනවා. අපේ ජීවිත විනාසය වුණේ මේ ආණ්ඩුවේ පාලකයන්ගේ වගකීම් විරහිත වැඩ වලින්. දැන් අප මේ විදිහට අසරණ කරපු උන් අද අපි ජීවත් වෙන්නේ කෙ​ාෙහාමද කියලා බලන්නෙවත් නෑ. අපේ බඩට බත් ඇටයක් හරි වැටෙන්නේ කාදිනල් උන්වහන්සේ නිසා.  


අපේ මනස හැදෙනකම් ආයෙත් රැකියා කරනකම් අපි ණය ගත්ත බැංකු බලාගෙන ඉන්නේ නැහැ. මේ බෝම්බ ප්‍රහාරයේ මානසික පීඩනයත් එක්ක අපිට දැන් මුහුණ දෙන්න වෙලා තියන ආර්ථික ප්‍රශ්න දරාගන්න බැහැ.මට තියෙන අාබාධිත තත්ත්වයත් එක්ක මට මේ වේලාවේ විදේශගත වෙලා රැකියාවක් කරන්න අමාරුයි.  


ආණ්ඩුවෙන් දෙන්න පොරොන්දු වුණු වන්දි මුදල ලැබුණ ද?  


ඔව්, ලක්‍ෂ එකයි විස්සක් ලැබුණා. එක දෙන්න අපිව සැහෙන්න රස්තියාදු ​ෙකරෙව්වා. වෛද්‍යවරයා නියම කරන සියයට ගණන් එක්ක තමයි වන්දි මුදල තීරණය වෙන්නේ. සමහර සුළු තුවාල තියෙන අයට ලක්‍ෂ 5 ක වන්දි මුදලුත් ලැබිලා තියෙනවා. මට දැනට බෙහෙත් දාන්න විතරක් දවසට රුපියල් 1000ක් යනවා. රජයේ මුදල් ලබා දීමේ දී අක්‍රමිකතා සිද්ධ වෙලා තියෙනවා කියලා පේනවා.  


දැනට මුහුණ දීලා තියෙන ලොකුම අර්බුදය තමයි බැංකු ණය ප්‍රශ්නය. බැංකුවලට කතා කළා. බැංකුවෙන් දුන් සහන කාලය පහුගිය 28 වැනිදායින් අවසන් වුණා. අපට සහන කාලය දිර්ඝ කරලා හරි දෙන්න පුළුවන්නම් ඒක ලොකු පිනක්. මම යම්තම් වැඩක් කරගන්න පුළුවන් වුණ ගමන් විදේශ රැකියාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මාස තුනකටවත් මට සහන කාලයක් ලැබෙනවානම් එ්ක අපට ලොකු ශක්තියක්. තුවාල වේදනාවට අමතරව මේ බැංකු ණය මතක් වෙනකොට රෑට නින්ද යන්නේ නැහැ. ආණ්ඩුවෙන් හරි අපිට මේ ප්‍රශ්නවලට සහනයක් සලසනවානම් ලොකු පිනක්.   


අප ඉල්ලන්නේ පුළුවන්නම් ණය මුදලට සහන කාලයක් ලබා දෙන්න. කරුණාව දයාව තියෙන හැමෝගෙම ශක්තිය මේ වෙලාවේ අපට අවශ්‍යයි. අපි ජීවත්වෙන නිවසයි ඉඩමයි තමයි බැංකුවට තියලා ණය මුදල ගත්තේ. එ්ක සින්න වුණොත් දරුපැටවුනුත් අරගෙන පාරට බහින්න තමයි වෙන්නේ.


ඔවුහු ජීවිතේ මේ තාක් අසරණ තත්ත්වයට පත්වුණු මිනිසුන් නොවෙති. එ්ත් අද ඔවුන්ට ජීවත් වීම විශාල අරගලයක් වී ඇත. අද ඉතිරි වී ඇත්තේ පැතු හීනවල සේයාවක් පමණි.   
බෝම්බ ප්‍රහාරයෙන් ගමක් මළගමක් වුණු කටුවාපිටියේ ජීවත් වන්නට වරම් ලැබුවන්ද බොහෝ දෙනා තවමත් සයනයක හෝ රෝද පුටුවක හිඳ ප්‍රාර්ථනා සමග ජීවත් වන්නේ හෙට දවස ගැන හීන මවමිනි.  


නිරෝධා සමාලි කියන්නේත් ඒ හීන බලාපොරොත්තු අතර හිරවෙච්ච කාන්තාවක්.   


ඔළුවට සිදු වුණ හානිය නිසා තමයි මගේ වම් අතයි වම් කකුලයි අප්‍රාණික වෙලා තියෙන්නේ. මට මතක එදා මගේ ඔළුවට මොනවදෝ ඇවිල්ලා වැදුණා කියලා විතරයි.   
සැමියාගෙත් අතට මැහුම් පහක් දාලා තිබුණා. සැමියාගේ කකුලටත් යකඩ බෝලයක් ගිහින් අයින් කළා. මාස 1 1/2 විතර සැමියත් එක තැන තමයි හිටියේ. දැන් නම් ඔහුට ගොඩක්ම සුවයි. මගේ හිසට බෝම්බ කෑල්ලක් වැදිලා කියලා තමයි වෛද්‍යවරු කිව්වේ හිසට වැදුණ බෝම්බ කෑල්ල නිසා මොළේට ලේ බැහැලා කියලාලු. එතන හිස් කබල කෑල්ල නැහැ. දැනට ශල්‍යකර්මයක් කරලා තියෙනවා. මොළයට ලේ බැහැපු එක තමයි අතයි කකුලයි අප්‍රාණික වෙන්න බලපාලා තියෙන්නේ.  


මේ වෙනකොට කොහොම ද අසනීප තත්ත්වය?  


දැන් ස්නායු ශක්තිමත් වේගෙන එනවා කියලා වෛද්‍යවරු කිව්වා. ව්‍යායාම කරනවා පොළොවට අඩිය තියලා ඇවිදින්න ටික කාලයක් යාවි කියලා තමයි කියන්නේ. මට තවම ගේ වැඩක්වත් කරගන්න අමාරුයි. මගේ සැමියා කරන්නේ ත්‍රිවිල් රස්සාව. සැමියාටත් රැකියාවට යන්න විදිහක් නැහැ.  


මට අත උස්සගන්න බැරි නිසා නාගන්න කොණ්ඩේ පිරගන්න කිසිම දෙයක් කරගන්න බැහැ. එයා තමයි උදව් වෙන්නේ.   


මුල් දවස්වල නම් මට කම්පනය ව​ෙග් තිබුණා. හිසට තදට පහරක් වැදුණා වගේ දැනුණත් මට සිහිය නැති වුණේ නැහැ. මඳ සිහිගතියක් මට තිබුණා. මහත්තයා මාව ඇදලා අරගෙන තියෙන්නේ බංකුව යට ඉඳලා.  


රජයෙන් දෙනවා කියපු සහන මුදල ලැබුණ ද?  


සැමියාගේ මුදල ලැබුණා. මට තවම සතපහක්වත් ලැබිලා නැහැ. කදිනල්තුමාගෙන් ලැබුණු සහන මුදලින් තමයි බේත් ගන්න රෝහල් යන්න කෑමට බීමට ගත්තේ. අපි ආර්ථික මට්ටමින් බිංදුවටම වැටිලා ඉන්නේ. රජයෙන් දෙනවා කියන සහන මුදල ලැබේවි කියන විශ්වාසය තියෙනවා. එ්ත් අපට උවමනා වෙලාවට නැති සල්ලි වැඩක් නැහැ.   


බේත් ගන්න මට සමහර යාළුවෝ උදව් කරනවා. පල්ලියෙන් අපේ හිත මිතුරන්​ෙග් උදව්වෙන් තමයි අපි යන්තන් ඔළුව උස්සගෙන ඉන්නේ. ඉන්න රෝගී තත්ත්වය සුවවුණාට පස්සේ අපට මොනවා දුන්නත් වැඩක් නැහැ. බෙහෙත් ටික ගන්නවත් මේ වේලාවේ රජයෙන් දෙන වන්දි මුදල දෙනවානම් ඒක ලොකු දෙයක්.   


අතපය හතර හොඳට තියෙනවානම් අපි කාටවත් වඳින්නේ නැහැ. අපි හම්බකරගෙන කනවා. අපි මේ රෝද පුටුවකට වෙලා ගෙවෙන්නේ මේ රටේ මහ පුටු රත්කරන පාලකයන්ගේ පව්.  


එදා සිද්ධ වුණ දවසේ ඉඳලා තවම පල්ලියට ගියේ නැහැ. කකුල් දෙකෙන් සෙබස්තියන් උන්වහන්සේගේ ආශිර්වාද ගන්න ගිය මට අබ්බගාතයෙක් විදිහට උන්වහන්සේ ළඟට යන්න බැහැ. දෙපයින් නැගිටින්න පුළුවන් දවසක පල්ලියට යනවා. හැබැයි පල්ලිය ඇතුළට නම් ආයේ යන්නේ නැහැ. එළියේ ඉඳන් යාච්ඤා කරලා එනවා. මාව රෝද පුටුවකට සීමා කළාට මම උන්වහන්සේ එක්ක තරහ නැහැ.


ණය තුරුස් වලින් සහ ජීවනෝපායක් කරගන්නට නොහැකිව දැඩි ආර්ථික ප්‍රශ්න හමුවේ හෙම්බත් වී සිටින පවුල් ගණනාවක් මේ ව්‍යසනය නිසා අද ඉතා ඛේදනීය තත්ත්වයකට පත්ව සිටිති. මුළු ජීවිතයම කණපිට පෙරළී ඇති ඔවුන් වෙනුවෙන් රජයට මීට වඩා යමක් කළ හැකි වේ නම් එය විශාල සහනයක් වනු නොඅනුමානය.  


මන්දපෝෂණයෙන් දරුවන් මැරෙන රටේ අකාලයේ වැනසුණු මිනිසුන් වෙනුවෙන් යමක් කරතැයි කිසිදු විශ්වාසයක් නැතත් පාලනයේ අදූරදර්ශී බව නිසා අද මෙලෙස වන්දි ගෙවන ජීවිතවලට යම් සහනයක් සලසනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.  


දායාව කරුණාව හිත් ඇති ඔබට ද ඔවුන් වෙනුවෙන් කළ හැකි යමක් වේනම් අගරදගුරු පදවි සමාජ සේවා ආයතනය මහත් සද්භාවයෙන් ක්‍රියාත්මක කර ඇති සෙත්සරණ කරිටාස් ආයතනයට උපකාරයක් කළ හැක. විස්තර 0112688999, 0777177925 දුරකථන අමතා දැන ගත හැකිය.  

 

 


නදීශා අතුකෝරළ  
ඡායාරූප- චානුක කුලසේකර