ඇඳගෙන ගිහින් මිනීමැරූ පාතාල අපරාධකාරයා යුද හමුදාවේ හිටපු කෝප්‍රල්වරයෙක්


 

  • ඩුබායි රටේ සැඟව සිටින පාතාල නායක කොස්ගොඩ සුජීගේ ගෝලයෙක්

 

මුස්ලිම් කතුන් පලඳින බුර්කාව ගැන සමාජයේ ලොකු කතිකාවතක් ඇති වූයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් පසුවය. 


බුර්කාව පැලඳ ගෙන ගොස් මරාගෙන මැරෙන ප්‍රහාර පමණක් නොව විවිධ මිනීමැරුම් සහ අපරාධ මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් වුවත් කිරීමට පුළුවන් බව රටේ බහුතරය පිළිගනිති. 


බුර්කාව පැලඳගෙන මෙහි ඇතුළු වීම තහනම් යන වැකිය ඇතැම් රාජ්‍ය පෞද්ගලික ආයතන හා වෙළෙඳසල් ඉදිරිපිට ප්‍රදර්ශනය කළේ ද පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුවය. 


පාතාල කල්ලියක ප්‍රබල සාමාජිකයෙකු බව කියන තරුණයෙකු පසුගිය සෙනසුරාදා නුගේගොඩ උඩහමුල්ල ලංගම ඩිපෝව අසල දී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූවේ නුගේගොඩ කොට්ඨාස නීතිය බල ගැන්වීමේ එ්කකයේ පොලිස් කණ්ඩායමක් විසිනි. 


මොහු යුද හමුදාවෙන් පලා ඇවිත් සිටි හමුදා කෝප්‍රල්වරයෙකි. 


පසුගිය කාලය පුරාවට දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ වරින් වර සිදු වූ මනුෂ්‍ය ඝාතන රැසකට මොහු සම්බන්ධ බවට කල්තියාම පොලිසියට තොරතුරු ලැබී තිබිණි. 
අල්ලා ගත් සැකකරු සමහර මනුෂ්‍ය ඝාතන සඳහා බුර්කාව පැලඳගෙන වෙස් වළාගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇත. 


වසර 10 ක පමණ කාලයක් යුද හමුදාවේ රාජකාරි කරමින් සිටියදී පලා ගිය අයකු වන මොහුගේ නම ආමි රුවන් (29) වන අතර පදිංචිය සූරියවැව ප්‍රදේශයේය. 
දකුණු පළාත් සහ බස්නාහිර පළාතේ සිදු වූ මනුෂ්‍ය ඝාතන රැසකටම ආමි රුවන් සම්බන්ධ බවට පොලිසි ගණනාවක්ම හඳුනාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට සෙව්වේ කාලයක් තිස්සේ සිටය. 
එහෙත් පාතාලයා අපරාධ ක්‍රියාදාමය කරගෙන ගියේ පොලිස් ඇසට වැලි ගසමිනි. 


නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාට මේ පාතාලයා ගැන තොරතුරක් ලැබෙන්නේ ඔය අතරවාරයේය. 
එසේ ලැබුණු තොරතුරු මත නුගේගොඩ කොට්ඨාස නීතිය බල ගැන්වීමේ එ්කකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් එදිරිසිංහ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් වැටලීමක් සිදුකර පාතාලයා කොටු කර ගත්තේ හොරොයින් මත්ද්‍රව්‍යය ද සමඟය. 


සැකකරුගෙන් පොලිසිය මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ද්විත්ව ඝාතනයක් ඇතුළු මිනීමැරුම් හතරක් ගැන තොරතුරු පොලිසිය හෙළි කර ගෙන ඇත. 
මෙම ද්විත්ව ඝාතනය සැකකරු සිදුකර ඇත්තේ බුර්කාවක් පැලඳ ගෙන ගොස් වත්තල හේකිත්ත ප්‍රදේශයේදීය. 


එම අපරාධය සිදුකරන ආකාරය ඒ අසල පිහිටි සී.සී.ටී.වී. කැමරාවක රූප රාමු පරීක්ෂා කර බැලීමේදී පොලිසිය සොයා ගෙන තිබුණේ එම ඝාතනයන් සිදු වූ වකවානුවේදීමය. සතිපන් රාජේන්ද්‍රන් හෙවත් චාල්ස් සහ සුප්පයියා මදිවනන් හෙවත් මදී යන දෙදෙනා වෙඩි ප්‍රහාරයකින් මැරුම් කෑවේ වැගන් ආර් වර්ගයේ රථයකින් වත්තල හේකිත්ත මාර්ගයේ ගමන් කරමින් සිටි අතරවාරයේය. 
රථයේ පසුපස අසුනේ ගමන් ගත් රාජේන්ද්‍රන්ගේ නංගි සහ ඇයගේ කුඩා දරුවා මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිම තුවාලයක් නොලබා දිවි බේරාගෙන තිබුණේ ප්‍රාතිහාර්යකිනි. 
වෙඩි කා මියගිය රාජේන්ද්‍රන් කුඩු සෙල්වි නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය බව කියන කාන්තාවගේ දියණියක විවාහ කරගෙන සිටියේය. 


මෙම ද්විත්ව ඝාතනය සිදුකර තිබුණේ මෙම වසරේ ජනවාරි මාසයේ 13 වැනිදාය. 
ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක් තුළ දෙදෙනෙකු ද වෙඩි ප්‍රහාරයකට ගොදුරු වී බරපතළ තුවාල ලබා සිටියේ පසුගිය ජුලි මාසයේ 28 වැනිදා අලුයම් කාලයේය. 
දකුණු කොළඹ කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙක් මිය ගියේය. 


ඔහු සුසිල් රුවන් පෙරේරා (38) නමැති ධනවත් ව්‍යාපාරිකයෙකි. 


නුගේගොඩ උඩහමුල්ල මාදිවෙල පාරේ විසූ රුවන් වසර 11 ක පමණ කාලයක් ඉතාලියේ රැකියාවක් කර මෙරටට පැමිණ අවන්හලක් පවත්වාගෙන ගොස් ඇත. 
නුගේගොඩ පරණ කැස්බෑව පාරේ තවත් අවන්හලක් අලුතෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී මෙම වෙඩි ප්‍රහාරයකට ලක් විය. 
වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා තිබුණේ ඒ.එච්. ඉන්දික රොෂාන් (40) නමැත්තෙකි. 


නුගේගොඩ තලපත්පිටිය කනත්ත පාරේ විසූ රොෂාන් පෞද්ගලික මගී බස් රථයක අයිතිකරුවෙකි. 
නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ තම මිතුරෙකුගේ නිවසේ පැවති සාදයකට ගොස් ආපසු ඒමට ජීප් රථයට නැග සිටි අවස්ථාවේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත. 
කෙසේ වෙතත් වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු රොෂාන් ජීවිතය බේරා ගත්තේය. 


ලංගම බස් රථයක් තුළදී මනෝහේවා රංජිත් නමැත්තෙකුට වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගිය අගෝස්තු මාසයේ 6 වැනිදාය. 
ඒ මොහු අධිකරණයේ විභාග වෙමින් පවතින ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් සහභාගී වීමට යද්දීය. 
රංජිත් ඌරගාන ප්‍රදේශයේ විසූ අයෙකි. 


​මේ මිනී මැරුම් හතරම සිදුකර ඇත්තේ දකුණු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බවට සැලකෙන කොස්ගොඩ සුජී නමැත්තාගේ වුවමනාවට බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ. කොස්ගොඩ සුජී දැන් පාතාල පොලිසියෙන් බේරීමට ඩුබායි රටට පලා ගොස් සැඟව සිටින්නේය. 
එහිදී මෙම ඝාතන හතරම මෙහෙයවා තිබෙන බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත. 


කොස්ගොඩ සුජීගේ ප්‍රධාන වෙඩික්කරුවා ලෙස සැලකෙන්නේ පොලිසිය කොටුකර ගත් ආමි රුවන් නමැත්තාය. 


කොස්ගොඩ සුජී නමැත්තා ඩුබායි සිට දුරකතනයෙන් කතා කර දෙන ඕනෑම නියෝගයක් ආමි රුවන් නමැත්තා ඉටු කරන බව කියන්නේ දෙවරක් නොසිතාය. 
එසේ ඝාතන කොන්ත්‍රාත්තුවක් කොස්ගොඩ සුජී බාර දුන් පසු ඇයි ඒ මනුස්සයා ඝාතනය කරන්නේ යැයි කියා ආමි රුවන් හේතු විමසන්නේ නැත. 
බාර ගත් වැඩේ අකුරට ඉටු කිරීමට ඔහු ඕනෑම වේලාවක සූදානම්ය. 


ලැබෙන ගාන ගැන අහන්නට ඔහු යන්නේ නැත. ආමි රුවන්ගේ හැටි එහෙමය. 


පොලිසිය පවසන ආකාරයට එක් පුද්ගලයෙකුට ඝාතනය කිරීමට ඔහු ගෙන ඇත්තේ රුපියල් 20,000ක් වැනි මුදලක් පමණකි. 
මෑතකදී පිහිටුවා ගත් දේශපාලන පාක්ෂිකයින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු ඇතුළු තවත් කිහිප දෙනෙකු ඝාතනය කිරීමට මොහු අර අඳිමින් සිටි බවට ද ලැබී ඇති තොරතුරු ඔස්සේ එහි සත්‍ය අසත්‍යතාව හෙළි කරගැනීමට පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි. 

 

 


එය ද කොස්ගොඩ සුජීගේ නියෝග මත බව පැවසේ. 


ජනාධිපති අපේක්ෂකයා ඝාතනය කිරීමට සූදානමක් තිබී ඇති බව කියන්නේ කොස්ගොඩ සුජී නමැත්තා ඔවුන් එක්ක තිබූ බද්ධ වෛරයක් පිරිමැසීමට බවද පැවසේ. 
මොහු තවත් ඝාතන ගණනාවකට සම්බන්ධබවට තොරතුරු ලැබී තිබෙන නිසා රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන තවදුරටත් පොලිසිය පරීක්ෂණ පවත්වති. 
ඝාතන සඳහා යොදා ගත් අවි ආයුධ සොයා ගැනීමට ද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 


සාමාන්‍ය සෙබළෙකු ලෙස යුද හමුදාවට බැඳී ඇති ඔහු හමුදාවෙන් පලා යන කාලයේ කෝප්‍රල් නිලයට උසස් වීම් ලබා සිටියේය. 
යුද හමුදාවේ සේවය කරන ඒ කාලය තුළ ඔහු විශේෂ පාඨමාලා 10ක් පමණ හදාරා තිබේ. 
මෙයින් එක් පාඨමාලාවක් හදාරා ඇත්තේ ඉන්දියාවේදීය. 


ත්‍රස්තවාදීන් මර්දනය කිරීම් හා කෑලෑ සටන් ක්‍රම පිළිබඳව විශේෂ පුහුණුවක් මොහු ඉන්දියාවේදී ලබා ඇත. 


ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයෙකු වන ආමි රුවන්ට සිය ගණනක් අතරේ සිටියත් ඝාතනය කිරීමට අවශ්‍ය කෙනා ඉලක්ක කර ගත හැකි බව තතු දන්නෝ පවසති. 
මඩකලපුව දිස්ත්‍රික්කයේ හමුදා කඳවුරක සැකකරු සේවය කරන කාලයේ පොළොන්නරුවේ කාන්තාවක අඹුකමට තබාගෙන පවුල් ජීවිතය ගත කර ඇත. 
2016 වසරේ සිට මෙම කාන්තාව සමඟ ජීවත් වී ඇති බව කියන ආමි රුවන් හමුදා සේවය අත හැර ගොස් ඇත්තේ 2018 වසරේදීය. 
මොහු පාතාල ලෝකයේ ප්‍රබලයන් ලෙස සැලකෙන බුම්මා කෙනඩි හා මයිකල් යන අය ද ළඟින්ම ඇසුරු කර ඇත. 


මයිකල් නමැත්තා ද හමුදාවෙන් පලා ආ කෝප්‍රල්වරයෙකු වන අතර කොස්ගොඩට සුජී ආමි රුවන් නමැත්තා හඳුන්වා දී ඇත්තේ ද මයිකල් විසිනි. 
කොටහේන ප්‍රදේශයේ පදිංචි කෙනඩි නමැත්තා දමිළ ජාතිකයෙකි. 


කිලි​නොච්චිය දිස්ත්‍රික්කයේ එල්.ටී.ටී.ඊ. පාලනයට නතුව තිබූ වකවානුවේ කෙනඩි නමැත්තා එම ප්‍රදේශයේ පිහිටි කොටි කඳවුරකින් යුද පුහුණුව ලැබූ හිටපු කොටි සාමාජිකයෙකු වන්නේය. පසු කාලයක සමාජ ගත වී ඇති කෙනඩි පාතාල ලෝකයට සම්බන්ධ වී ඇත. 


කෙනඩි හා මයිකල් ද රටින් පලා ගොස් මේ වනවිට සිටින්නේ කොස්ගොඩ සුජී සමඟ ඩුබායි රටේය. 


බුර්කාවට මුවා වී අපරාධ සිදු කළ පාතාල වෙඩික්කරු ඉදිරියේ දී තවත් අපරාධ ගණනාවක තොරතුරු වමාරනු ඇති බවට පොලිසිය විශ්වාස පළ කරයි.

 
නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ විශේෂ උපදෙස් යටතේ නුගේගොඩ කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් එදිරිසිංහ මහතා ප්‍රධාන එම ඒකකයේ පොලිස් කණ්ඩායමක් සැකකරු රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය