ඇඟිලිවලින් කියැවෙන ජීවන තොරතුරු


මාපටැඟිල්ල, දඹරැඟිල්ල, මැදැඟිල්ල, වෙදැඟිල්ල සහ සුළැඟිල්ල යනුවෙන් අතක ඇඟිලි පහක් පිහිටා ඇත. එම ඇඟිලි එකිනෙකට වෙනස් ප්‍රමාණයන්ගෙන් යුක්ත වේ. සමහර ස්ත්‍රී, පුරුෂයන්ගේ අතේ ඇඟිලි පහකට වඩා පිහිටා තිබීමට පුළුවනි. එවිට එය අශුභ ලක්ෂණයක් හැටියට දත යුතුය. එවැනි ඇත්තන්ගේ ආයුෂ හීනය. අන්‍යයන්ගේ යටතට පත්වන ගතියකි. වෙසෙසින්ම දුක්බර ජීවිතයක් උරුම වෙයි. මනාව වැඩුණු ප්‍රියමනාප දිගු ඇඟිලි දේහ ලක්ෂණ බැලීමේදි ශුභ ප්‍රතිඵල ඇති කරයි.   

යමකුගේ දබරැඟිල්ල මැදැඟිල්ලට වඩා දිගු නම් හෝ සමාන දිගකින් යුතු නම් ඔහු හෝ ඇය විනෝදයට බර කෙනෙකි. තම අභිලාෂයන් කෙසේ හෝ මුදුන් පත් කර ගනී. තනතුරු නම්බුනාම ප්‍රිය ය. දබරැඟිල්ල වෙදැඟිල්ලට වඩා දිගු නම් සහකරුට හෝ සහකාරියට පක්ෂපාතීය. මැදඟිල්ල වක්ව පිහිටයි නම් ඔවුනට ඇත්තේ දැඩි දරුණු සිතකි. මනුෂ්‍ය ගුණ ධර්මවලින් හීනය. කෙටි සුළැඟිල්ලක් පිහිටීම දියුණු බවේ ලක්ෂණයකි. එසේම සුළැඟිල්ල දිගු නම් දියුණුවට පැමිණේ. ආර්ථිකය අතින් බොහෝ ශක්තිමත් වේ. වියත් කථිකත්වයකි. ලිවීමෙහි දක්ෂය.   


යම් ස්ත්‍රියකගේ ඇඟිලි සිනිඳු නම් ද වටව මනාව පිහිටා ඇඟිලි තුඩු උල්ව ඇත්නම් ද එය වාසනාවන්ත ලකුණකි. උතුම් මනුෂ්‍ය ගුණධර්ම සිත පිහිටයි. ධන ධාන්‍යාදී සැප සම්පත් ලබන්නීය. වැඩ කටයුතු ක්‍රමානුකූලය.

කාර්යක්ෂමය. එම ඇඟිලි රත් පැහැ නම් ඉතාමත් වාසනාවන්ත කතකි. කළු හෝ කහ පැහැ ගනී නම් අශුභ ප්‍රතිඵලය. ඇඟිලි කොට නම් දුක්බර ජීවිතයකි. වක් වූ ඇඟිලි ද එම ප්‍රතිඵලයක්ම ගෙන දෙයි. ඇඟිලි එක් කළ විට ඇඟිලි අතර සිදුරු පිහිටන්නේ නම් දිළිඳු බවේ සංකේතයකි. ශරීර සනීපයටද බාධා ඇති වේ. සිදුරු නොමැති නම් විවාහය සැපවත්ය.   


පුරුෂයන්ගේ ඇඟිලි දිගුවීම ශුභය. හොඳ ශරීර සෞඛ්‍යයක් හිමි වේ. කම්මැලි නැත. ඕනෑම ආපද‌ා තත්ත්වයක දී වුවද නොසැලී සිටීමට තරම් සිත ශක්තිමත්ය. ප්‍රේමය, විවාහය, ඉක්මන් වේ. අභියෝග ජය ගනී. ක්ෂණික තීන්දු තීරණ ගන්නා අතර සමහර ඒවා වැරදි තීන්දු තීරණය. මාපටැඟිල්ල දබරැඟිල්ල දෙසට නොනැමී දකුණට හැරි මනාව පිහිටා ඇත්නම් ඔහු ධනවතෙකි. උනන්දුව උත්සාහය ඔහු කෙරෙන් විද්‍යමානය. ඉවසීමේ ගුණයෙන්ද යුතුය. තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට වෙසෙසින්ම උනන්දුය. වක්වූ හෝ කොට ඇඟිලි පිහිටීම ජීවන ගමන දුක්බරය. වියළී ගිය ආකාරයෙන් ඇඟිලි පිහිටීම වැරදි තීරණ ගන්නා ලක්ෂණයකි. එහෙයින්ම පසුතැවිලිවීමට කරුණු ද සැලසේ.   

 

 


මංජුල තරුකෙම
වැල්ලවාය