ඇඟලුම් හලේ වැඩට ගිය සුජාතාගේ මළසිරුර රබර් වත්තේ


මළවුන්ගේ 
      අනාවරණ

 

 ‘‘කොහේද දුවන්නේ ?’’   

‘‘ගෑනු කෙනෙක් මරලා දාලාලූ’’   


‘‘කොහේද?’’   


‘‘දොරේ මහත්තයාගේ රබර් කෑල්ලේ ඇළ අයිනෙලු. මිනිය සත්තු කාලා අඳුනගන්න බැහැයිලු’’


‘‘අප්පේ ඒ මොන අපරාධයක්ද? ඉඳිං ඉඳිං මාත් එනවා යන්න.’’  


සුජාතාත් ආ ගිය අතක් නෑ කියලා පොලිසියේ පැමිණිල්ලකුත් දාලා තිබුණා. දෙයියනේ ඒකිවත්ද? 

 
ගමේ උන් නම් කතා වුණේ ඒකි පැනලා යන්න ඇති කියලයි.   


එහෙම වෙන්නත් පුළුවන්. අපි තාම මිනිය දැක්කේ නැතුව ඒ සුජාතාමද කියන්න බැහැනේ සීතෝ.’’ ඒ ගම්වැසින්ගේ කතා බහය.   

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණ පණිවුඩයකට අනුව පොලිසියද එහි පැමිණියේය. පොලිස් ස්ථානාධිපතිවරයා හා අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් කීප දෙනකු මිනිය දෙසට ගොස් එය පරීක්ෂාවට ලක් කරද්දි තවත් නිලධාරින් පිරිසක් එම ස්ථානයට ආරක්ෂාව සැපයූහ. අවට පැතිරුණ දුර්ගන්ධය නිසා කවුරුත් මිනිය අසලට ළං වුණේ නහය වහගෙනය. එහෙත් පොලිස් නිලධාරින්ට නහය වසාගෙන පරීක්ෂණ කළ නොහැකිය. ඔවුන් මිනිය වෙත ළඟාවන විටත් එහි මස් දියවෙමින් පැවතිණ. සිරුර වැටී තිබුණේ උඩුබැලි අතටය. දෑත් දෙපසට විහිදී තිබිණ. මුහුණේ හා සිරුරේ බොහෝ තැන් සතුන් කා විනාශ කර තිබිණ. දිගු සායක් හා හැට්ටයක් ඇඳ සිටි ඇය කොණ්ඩය තනි කරලට ගොතා තිබූ අතර එය දිගු කොණ්ඩයකි. සිරුර තිබූ ආකාරය අනුව එය එම ස්ථානයෙන් ගෙන යාමට පෙර මහේස්ත‍්‍රාත්වරයාට දැනුම් දිය යුතු යැයි පොලිස් ස්ථානාධිපතිවරයා තීරණය කළේය.   


පැය එකහමාරක් ඇතුළත මහේස්ත‍්‍රාත්වරයා පැමිණ පරීක්ෂණ කළ අතර අධිකරණ වෛද්‍ය නිලධාරියාද එහි කැඳවනු ලැබිණ. සිරුර හඳුනන කිසිවෙක් පැමිණෙන තෙක් මදක් එහි තිබෙන්නට හැර එසේ කවුරුත් නොවන්නේ නම් අධිකරණ වෛද්‍යවරයාගේ පරීක්ෂණයෙන් පසු සිරුර රෝහල් මෘත ශරීරාගාරයට ගෙන යාමට නියෝග කෙරිණ.   


මේ වන විට ආරංචිය දසත පැතිරී ගියේ සුළඟ මෙනි. ගමේ ගෑනු, පිරිමි හැමෝම වගේ තමන් කරමින් හිටි කටයුතු පසෙක දමා දොරේ මහත්තයාගෙන් රබර් වත්ත දෙසට දිව ගියේ සිය සවන් වැකුණ අලුත්ම ආරංචිය සියැසින් දැක තහවුරු කර ගැනීමටය. අර අතුරුදන් කියපු ගෑනු කෙනාගේ පවුලේ කවුරුහරි ඇවිත් ඉන්නවාද? පොලිසිය ගම්මුන්ගෙන් ප‍්‍රශ්න කළේ සුජාතාගේ පවුලේ කෙනකු සිටීදැයි දැන ගැනීමටය.   


‘‘ඔව් මම ඉන්නවා.’’ තරුණ පහේ පිරිමියෙක් කීවේය.   


‘‘තමුන් ඒ ගෑනු කෙනාගේ කවුද?’’   


‘‘අයියා’’


‘‘ඇවිත් බලනවා මේ අයව අඳුනනවාද කියලා.’’   


 සුජාතා තිස් හය හැවිරිදි එක්දරු මවකි. සැමියා ඇය හැරගොසිනි. දස හැවිරිදි දියණියත් සමග තනිව ජීවත් වන ඇය ජීවිකාව ගෙන ගියේ ඇගලුම් කම්හලක සේවය කිරීමෙන් ලැබෙන සොච්චම් වැටුපෙනි. උදේ පාන්දරම අවදි වන සුජාතා සිය උදේටත් දවල්ටත් සෑහෙන ලෙස ආහාර පිස දියණිය පාසල් යාමට සුදානම් කරවා රැකියාවට යන්නී ආපසු ගෙදර එන්නේ පස්වරු හයට හතට පමණය. ඇය එන තෙක් දියණිය මාමාගේ ගෙදරට වී සිටින්නීය.   


 එහෙත් මීට හත් දිනකට පෙර රැකියාවට ගිය සුජාතා සුපුරුදු පරිදි යළි ගෙදර පැමිණියේ නැත. ඇය එනතෙක් දියණිය දෑස් නොපියවා බලා සිටියාය. මාමා ලවා අම්මාගේ ජංගම දුරකථනයටද ඇමතුම් ලබාගත්තද දියණියට සිය මවට කතා කිරීමට නොහැකි විය. ඒ දුරකථනය නාද වුවද අනෙක් පසින් සුජාතා ඊට ප‍්‍රතිචාර නොදැක්වීම නිසාය. ඒ අනුව ජෝති පොලිසියට පැමිණිල්ලක් කළේ තම නංගිට සිදුවූයේ කුමක් වුවත් පැමිණිල්ලක් කර තිබීම වඩාත් සුදුසු යැයි සිතූ නිසාය.   


අතුරුදන් සුජාතාගේ අයියා ජෝති මළ සිරුර අසලට ගොස් එබී බැලූවත් මුහුණ අඳුනාගත නොහැකි ලෙස නරක් වී සතුන් කා තුවාල සිදුකර තිබිණ. එහෙත් ඇයගේ ඇඳුම හඳුනාගැනීමට ජෝතිට හැකි විය. සිරුර පසෙකින් වැටි තිබූ අත්බෑගයද තම සහෝදරියගේ බවට ජෝති හඳුනාගත්තේය. ඔහුට මෙය අදහා ගැනීමට නොහැකි විය. සිය සහෝදරිය අතුරුදන් වුවත් මෙවැනි මරණයක් ඇයට අත්පත්ව ඇතැයි ඔහු කිසිසේත්ම විශ්වාස කළේ නැත. නැගණිය කවුරුන් හෝ තරුණයෙක් සමග පලා යන්නට ඇතැයි ඔහු විශ්වාස කර තිබිණ.   

 


‘‘අනේ මහත්තයෝ නංගිට මේ මොකද වෙලා තියෙන්නේ? එයාට කවුද මේ අපරාධය කළේ?’’   


මෙය ඝාතනයක්ද? නැත්නම් වෙනත් හේතුවක් නිසා සිදුවු ස්වාභාවික මරණයක්ද? සිය දිවි නසා ගැනීමක්ද? යන්න පොලිසියට තීරණය කිරීමට නොහැකිය. සිරුර හමුවන විටත් එය දින පහක් හයක් පමණ පරණ වී තිබු අතර තැනින් තැන සතුන් කා විනාශ කර තිබිණ. සිද්ධිය ඇසින් දුටු කිසිවෙක්ද නොවූහ.   


මහේස්ත‍්‍රාත් නියෝගය පරිදි අධිකරණ වෛද්‍ය විශේෂඥ බන්දුල අබේසිංහ මහතා පශ්චාත් මරණ පරීක්ෂණයේ වගකීම භාරගත්තේය. 

 
රෝහලේදි සිරුර කපා පරීක්ෂා කරනු ලැබිණ. සුජාතාගේ දේහය පරීක්ෂා කළ වෛද්‍යවරයා මුහුණේ, පපු පෙදෙසේ, දෑත්වල හා දෙපාවල පවතින තුවාල සතුන් කෑමෙන් ඇති වූ ඒවා බව හඳුනාගත්තේය. මරණය සිදුවීමට පෙර සිදුවූ තුවාල නම් ඒවායින් ලේ වහනයක් සිදුව තිබිය යුතුය. එහෙත් එවැනි දෙයක් පෙනෙන්නට තිබුණේ නැත. ඒ අනුව මේවා මරණය සිදුවී පැය ගණනකට පසුව ඇති වූ තුවාල බවට තීරණය කළේය. සිරුර වැටී තිබූ ස්ථානය අනුව කබරයන් හෝ බල්ලන් හෝ කා දමන්නට ඇතැයි සැක කළ හැකිය.   

 

රෝහලේදී සිරුර කපා පරීක්ෂා කරනු ලැබිණ. සුජාතාගේ දේහය පරීක්ෂා කළ වෛද්‍යවරයා මුහුණේ, පපු පෙදෙසේ, දෑත්වල හා දෙපාවල පවතින තුවාල සතුන් කෑමෙන් ඇති වූ ඒවා බව හඳුනාගත්තේය. මරණය සිදුවීමට පෙර සිදුවූ තුවාල නම් ඒවායින් ලේ වහනයක් සිදුව තිබිය යුතුය. එහෙත් එවැනි දෙයක් පෙනෙන්නට තිබුණේ නැත. ඒ අනුව මේවා මරණය සිදුවී පැය ගණනකට පසුව ඇති වූ තුවාල බවට තීරණය කළේය. සිරුර වැටී තිබු ස්ථානය අනුව කබරයන් හෝ බල්ලන් හෝ කා දමන්නට ඇතැයි සැක කළ හැකිය.   

 මෙසේ සතුන් කෑම නිසා ඇති වූ තුවාල හැර වෙනත් කිසිම තුවාලයක් ඇගේ සිරුරේ පිටතින් හෝ අභ්‍යන්තරයෙන් හමු නොවිණ. එහෙත් ගෙල ඉදිරිපස කොටසේ ඇතුළු පැත්තේ යටිහනුව අසලින් කළුපාට ලේ කැටිති දෙකක් වැනි යමක් දැකිය හැකි විය. මස් දියවෙමින් පැවතීම නිසා මේ ලේ කැටි බවට කිව නොහැකි වුවත් අන්වීක්ෂීය පරීක්ෂණ මගින් මාංශ පේශි එක තැන දැඩිව තද වීමෙන් කේශනාළිකා හානිවී ඇති වූ ලේ කැටියක් බව නිගමනය කළ හැකි විය. එසේ විය හැක්කේ ගෙල කිසිවකින් තද වීම නැත්නම් කිසිවෙක් ගෙල මිරිකීම නිසාය. තවදුරටත් පරීක්ෂා කිරීමේදී බෙල්ලේ කාටිලේජ කැඩී තිබූ අතර තයිරොයිඩ් ග‍්‍රන්ථියටද හානි වී ඇති බව නීරික්ෂණය විය.


 මෙසේ සතුන් කෑම නිසා ඇති වූ තුවාල හැර වෙනත් කිසිම තුවාලයක් ඇගේ සිරුරේ පිටතින් හෝ අභ්‍යන්තරයෙන් හමු නොවිණ. එහෙත් ගෙල ඉදිරිපස කොටසේ ඇතුළු පැත්තේ යටිහනුව අසලින් කළු පාට ලේ කැටිති දෙකක් වැනි යමක් දැකිය හැකි විය. මස් දියවෙමින් පැවතීම නිසා මේ ලේ කැටි බවට කිව නොහැකි වුවත් අන්වීක්ෂීය පරීක්ෂණ මගින් මාංශ පේශි එක තැන දැඩිව තද වීමෙන් කේශනාළිකා හානිවී ඇති වූ ලේ කැටියක් බව නිගමනය කළ හැකි විය. එසේ විය හැක්කේ ගෙල කිසිවකින් තද වීම නැත්නම් කිසිවෙක් ගෙල මිරිකීම නිසාය. තවදුරටත් පරීක්ෂා කිරීමේදී බෙල්ලේ කාටිලේජ කැඩී තිබූ අතර තයිරොයිඩ් ග‍්‍රන්ථියටද හානි වී ඇති බව නීරික්ෂණය විය.   


පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වූ කරුණු අනුව මෙය ඝාතනයක් බව තහවුරු විය. එහෙත් එය සිදුකළේ කව​ෙරක්ද?   


ඇගේ සහෝදරයාටද ඊට නිසි පිළිතුරක් නොවිණ. සුජාතා වැටී සිටි ස්ථානයේ තිබූ ජංගම දුරකථනයේ වූ සිම්පත පරීක්ෂාවට ලක් කිරීමෙන් ඇය නිතර ඇමතුම් ලබාගෙන තිබූ අංකයක් සැකයට භාජනය විය. එම සැකකටයුතු දුරකථන අංකය ගැන පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය. එය මොනරාගල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බව සොයාගැනිණ. ඒ අනුව දියණියගෙන් ප‍්‍රශ්න කිරීමේදී මව බලන්නට පැමිණි මාමා කෙනෙක් ගැන තොරතුරු අනාවරණය වූ අතර ඔහු මව අතුරුදන් දිනට දින කීපයකට පෙර ඇවිත් ගිය බවත් නැවත එන්නට සිටියේ මව අතුරුදන් දිනට දින දෙකකට පසුව බවත් එහෙත් ඔහු ඒ දිනයේ පැමිණියේ නැති බවත් දියණිය ප‍්‍රකාශ කළේය. මේ මාමා කවුරුන් ද?.   


දිනක් සුජාතාගේ දුරකථනයට නොදන්නා කෙනෙකුගෙන් ඇමතුමක් ලැබිණ. එය වැරදීමකින් පැමිණි ඇමතුමක් බව සුළු මොහොතකින් වැටහිණ. ඒ නිසා ඇමතුම අවසන් කළ සුජාතා සුපුරුදු පරිදි තමන්ගේ කටයුතුවල නිරත වූවාය. පසුදිනද ඒ පුද්ගලයාගෙන්ම ඇමතුමක් ලැබිණ. එදින වැරදීමක් බව සුජාතා පෙන්වා දුන්නත් අනෙක් පැත්තෙන් කතා කළ කෙනා ඇමතුම අවසන් කිරීමට සුදානම් බවක් පෙන්වූයේ නැත. ඔහු කතා කළ ආදරණීය ස්වාභාවය නිසා සුජාතාටද ඇමතුම විසන්ධි කිරීමට හිත දුන්නේ නැත. තම සැමියා හමුවූ මුල් කාලය ඇයට මතක් විය. මේ ආකාරයට දින කීපයක් කතා බහ කිරීමෙන් අඳුනාගත් දෙදෙනා අතර ආදර සම්බන්ධයක් ගොඩනැගෙන්නට විය. දෙදෙනා නිවාඩු අවස්ථාවල මුණ ගැසෙන්නටද පුරුදු විය. ඒ හමුවීම නිවහන තුළම සිදුවන තත්ත්වයට පත්වීමට වැඩි කාලයක් ගත නොවිණ.   


සුජාතාගේ මේ අලුත් පෙම්වතා මොනරාගල ප‍්‍රදේශයේ අයෙකි. ජානක නමින් හැඳන්වූ ඔහුද විවාහය කඩාකප්පල් වී තනිව ජීවත් වූවෙකි. ජානක ගෙදරට ගෙන්වා ගැනීම පිළිබඳව සුජාතාගේ මාපියන් සහ සහෝදරයා දැන සිටියේ නැත. ජානක සුජාතාලාගේ ගෙදරට ආවේ රාත‍්‍රියේ කාටත් හොරාය. උදේ පාන්දරම නැවත පිටව ගියේය. කිසිවකු හොරෙන්ම නිවෙසට ගෙන්වා ගන්නා බවට යම් සැකයක් ඇති වීම නිසා ජෝති ඒ ගැන නංගිගෙන් ප‍්‍රශ්න කර අවවාද කර තිබිණ. ඒ නිසා ජානක ටික කලක් නිවෙසට පැමිණිමෙන් වැළකී ඇත.   


 සුජාතා රාත‍්‍රී දහයට වැඩ අවසන්වන දිනවලදී ඇය සමග නිවෙසට එන්නට ජානක පුරුදුව සිටියේය. එවැනි අවස්ථාවල නගරයේ සිට ගමට එන්නට තිබෙන ප‍්‍රධාන මාර්ගය මගහැර ඇළ අයින දිගේ රබර් වතු මැදින් වැටුණ කැළෑබද අතුරු මාර්ගයකින් නිවෙසට පැමිණීමට සුජාතා පෙලඹුණාය. ඒ ගමේ අය කියන කතාවලින් හා අහන ප‍්‍රශ්නවලින් ගැලවීමටය.   


 කාටත් රහසේ මේ සම්බන්ධය වසරක් පමණ පවත්වාගෙන ගිය පසු තමන් විවාහ කරගන්නා ලෙස සුජාතා ජානකගෙන් ඉල්ලා සිටියාය. එහෙත් විවිධ හේතු මතුකරමින් ජානක එය කල්දැමීය. මේ නිසා දෙදෙනා අතර නිතර රණ්ඩු ඇති වූ බව දියණිය පොලිසියට පවසා තිබිණ. දුරකථන දත්ත අනුව සැකකරු සුජාතා අතුරුදන් දිනයේ හමුවූ බවට සැකකළ හැකි විය. ඒ ඇය රාත‍්‍රී වැඩමුරය අවසන්ව වැඩපළේ ගේට්ටුවෙන් එළියට එන්නට ඇතැයි සිතිය හැකි අවස්ථාවේ සැකකරුට ගත් ඇමතුමක් එහි සඳහන්ව තිබීම හා එදින යළි කිසිදු ඇමතුමක් එම අංකයට ගෙන නොතිබීමත් එම සැකකටයුතු අංකයෙන් මේ දිනයට පසු කිසිම ඇමතුමක් ගෙන නොතිබීමත් නිසාය. අනෙක් සෑම දිනකදීම රාත‍්‍රී කාලයේ පවා එම අංකය සමග සුජාතා සම්බන්ධ වී තිබිණ. මොණරාගල පොලිසිය සැකකරුගේ නිවෙසට ගොස් පරීක්ෂා කළද සැකකරු සොයාගත නොහැකි විය.   


සැකකරුගේ දුරකථන අංකය ළග තබාගත් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කාන්තා පොලිස් නිලධාරිනියන් සැකකරු සම්බන්ධ කරගැනීමට උත්සාහ කර තිබූ නමුත් වසරක් පමණ වන තෙක් ඔහු සම්බන්ධ කරගත නොහැකි විය. වසරකට පමණ පසුව පොලිස් කාන්තාවකගේ ඇමතුමකට සම්බන්ධ වූ ඔහු ඇය සමග සබඳතාවක් ඇති කරගත් අතර ඇය හමුවීමට දිනයක්ද යොදාගත්තේය. එය උගුලක් යැයි ඔහු කිසිසේත්ම සිතුවේ නැත. ඒ නිසා කිසිවක් නොදැනම ඔහු පොලිසියේ අත්අඩංගුවට පත්විය.   


එදා සිදුවූදේ ඔහු පොලිසියට පාපොච්චාරණය කළේ මෙසේය.   


 එහෙත් ඔහු සුජාතා මිය ගිය බවක් දැන සිටියේ නැත. සිද්ධිය වූ දිනයේ ඔහු සුජාතා සමග සුපුරුදු මාර්ගයේ ගමන් කරමින් සිටියදි වෙනදා මෙන්ම තමන් විවාහ කරගන්නා ලෙසට බල කරමින් සුජාතා රණ්ඩුව පටන්ගෙන තිබේ. ඉක්මන් කේන්තිකාරියක වන සුජාතා තමන්ගේ ප‍්‍රශ්නයට උත්තරයක් නොදෙන ජානකගේ මුව විකුවාය. ඇගේ දත් අතරට තද වූ ජානක යටිතොලෙන් ලේ ගලන්නට විය. වේදනාවට පත් ජානක සුජාතාගෙන් බේරෙන්නට ඇයව තල්ලු කරන්නට හැදුවත් එය සාර්ථක වූයේ නැත. ඒ නිසා ඔහු ඇගේ ගෙල තදින් මිරිකා ඇල්ලූ අතර සුළු මොහොතකින් ඇය අමුතු හඬක් නඟමින් ඇද වැටිණ. ඇයට කුමක් වී දැයිවත් විපරම් නොකළ ජානක ඉරීයාමෙන් ලේ ගලන යටිතොළ අල්ලාගෙන පසු නොබලා දිව්වේය. කැලෑබද මාර්ගයෙන් පිටව නගරයට විත් බසයක නැගී රෝහල වෙත ගියේය.   


සැකකරු අල්ලාගත් පසු යළිත් අධිකරණ වෛද්‍යවරයා වෙත ඔහුව ඉදිරිපත් කෙරිණ. ඒ ඔහු කියන දේ සත්‍ය දැයි පරීක්ෂා කරගැනීම සඳහාය. ඔහු කියන පරිදි සැබවින්ම ඔහුගේ යටිතොල මැහුම් දමා තිබිණ. රෝහලේ වාර්තා පරීක්ෂා කිරීමේදී ද එය තහවුරු විය. හිතා මතා හෝ නොහිතා හෝ ඔහු අතින් ඝාතනයක් සිදුව තිබූ නිසා සුජාතාගේ ඝාතනයට එරෙහිව ජානක අධිකරණයට ඉදිරිපත් කෙරුණ අතර ඔහු එහි වගකීම භාරගත්තේය. එය මරණ චේතතාවෙන් සිදුකරන ලද්දක් නොවන බවට තහවුරු කළෙන් ඔහුගේ දඬුවම වසර අටක සිර දඬුවමකට සීමා විය. 

 

 
(බන්දුල අබේසිංහ මහතා සමග කළ සාච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස් වී ඇති අතර මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න.)   

 

 

 


සටහන   : මුදිතා දයානන්ද