ආසියාවේ සුරූපීම යුවතිය රොක්සානා ඇලෙක්සැන්ඩර්ගේ බිරිය වෙයි


 ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ඉන්දියානු ආක‍්‍රමණය-4

 

පර්සියාව අත්පත් කරගැනීමත් සමඟ ඇලෙක්සැන්ඩර් මෙසිඩෝනියාවේ මෙන්ම පර්සියාවේ ද අධිරාජයා බවට පත් වූ අතර බටහිර ආසියාවේ පූර්ණ පාලනය ඔහුට නතු විය. පරිපාලකයකු ලෙසින් සාර්ථක වූ ඇලෙක්සැන්ඩර් පර්සියානු සංස්කෘතියට ගරු කළේය. පර්සියානුවන් ම්ලේච්ඡයන් නොව ග්‍රීකයන් හා සමානව හෝ ඇතැම් විට ඔවුනටත් වඩා ශිෂ්ට සම්පන්න ජාතියක් හෝ බැව් ඔහුට හැඟී ගියේය. ග්‍රීකයන්ගේ දීර්ඝ කාලීන සතුරන් වූයේ පර්සියානුවන්ය යන්න අමතක කළ ඇලෙක්සැන්ඩර් මෙසිඩෝනියානු පාලන ක‍්‍රමය අනුව නොව, පර්සියානු පාලන ක‍්‍රමය අනුව රාජ්‍ය පාලනය ගෙන යෑමට ක්‍රියා කළේය. ඔහු නගර පාලනය සඳහා දේශීය පාලකයන් පත් කිරීමට හා පර්සියානු ජනතාව දිනා ගැනීමේ අරමුණින් පර්සියානු වස්ත‍්‍ර පැලඳීමට ද කටයුතු කළේය. ඇතැම් පර්සියානු නායකයන් තම සමීප මිතුරන් බවට පත් කර ගත් ඇලෙක්සැන්ඩර්ගේ පළමු විවාහය සිදු වූයේද පර්සියානු කුමරියක වූ රොක්සානා සමඟිනි. 

පර්සියාව අත්පත් කර ගැනීමෙන් පසු ඇලෙක්සැන්ඩර් තමා දෙවියකු යැයි සිතා කටයුතු කළේය. හමුදා භටයන් මහ මග හමු වූ විට වචනයෙන් පමණක් සුබ පැතීමෙන් නොනැවතී පර්සියානුවන් මෙන් එකිනෙකා සිපගත යුතු බවට නීති පැනවීය. මෙය නොරිස්සූ හමුදා නායකයන් පිරිසක් ඇලෙක්සැන්ඩර් ඝාතනය කිරීම සඳහා සැලසුම් කළහ. එයට සම්බන්ධ සත්දෙනකු අත්අඩංගුවට ගත් ඔහු ඔවුන් සියලු දෙනා ඝාතනය කළේය. 


එම කුමන්ත‍්‍රණයට නායකත්වය දී තිබුණේ පාර්මේනියන්ගේ පුත‍්‍රයා වූ පිලොටස් විසිනි. පාර්මේනියන් දෙවැනි පිලිප් රජුගේ හා ඇලෙක්සැන්ඩර්ගේ හමුදාපතිවරයා වූ අතර ඇරිස්ටෝටල් පඬිවරයාගේ බෑණනුවන් විය. එමෙන්ම ඔහු ඇලෙක්සැන්ඩර්ගේ හමුදා නායකයා මෙන්ම භාණ්ඩාගාරයේ සහ සැපයුම් අංශවල පාලනය ගෙන ගිය හමුදා අනුකණ්ඩයේද ප‍්‍රධානියා විය. පිලොටස් මරා දැමීම හේතුවෙන් පාර්මේනියන් තමාට එරෙහිව නැගී සිටිනු ඇතැයි බියපත් ඇලෙක්සැන්ඩර් ක්‍රි. පූ. 330දී තම හමුදාවේ විශිෂ්ටතම ජෙනරල්වරයා වූ 70 හැවිරිදි පාර්මේනියන්ද මරා දැමීය. ඇලෙක්සැන්ඩර්ගේ නියෝගය මත ක්ලෙයැන්ඩර් සහ සිටැල්සස් නම් හමුදා නිලධාරීන් දෙදෙනා හුදෙකලා ස්ථානයක දී පහර දී පාර්මේනියන් මරාදැමූහ. ක්‍රි. පූ 328දී ඇලෙක්සැන්ඩර් තවත් සමීප හමුදා ප‍්‍රධානියකු වූ ක්ලෙයිටස් ද හෙල්ලයකින් ඇණ ඝාතනය කළේය. ඇලෙක්සැන්ඩර් පර්සියානුවකු බවට පත් වීම පිළිබඳව නොරිස්සූ ක්ලෙයිටස් ඔහුගේ හැසිරීම ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීම ඔහු ඝාතනය කිරීමට නිමිත්ත විය. 


පර්සියාව අත්පත් කරගත් ඇලෙක්සැන්ඩර්ගේ ඉදිරි අරමුණ වූයේ බැබිලෝනියාව සමඟ සටන් කොට එය අත්පත් කර ගැනීමය. බැබිලෝනියානු සිලිසියාවේ සත‍්‍රප් නොහොත් ප‍්‍රාදේශික පාලකවරයා වූයේ මෙසියස්ය. ගොගමේලා සටනේදී මෙසියස් ඬේරියස්ගේ සහයට සටන් කළේය. 


තම හමුදා සමග සිපර් ප‍්‍රදේශයට ඇතුළු වූ ඇලෙක්සැන්ඩර් බැබිලෝනියාව ආක‍්‍රමණය කිරීමට සූදානම් විය. ඔහු අපේක්ෂා කළේ මෙසියස් සමඟ සටනකට වුවද ඇලෙක්සැන්ඩර් හා සටනට නොඑළැඹී මෙසියස් තම රාජ්‍යය ඇලෙක්සැන්ඩර්ට පිරිනැමීමට ක්‍රියා කළේය. බැබිලෝනියාව තමන් සතු කරගත් ඇලෙක්සැන්ඩර් ආපසු යන ගමනේදී බැබිලෝනියාවේ සත‍්‍රප් පදවියට යළි මෙසියස් පත් කිරීමට තරම් කාරුණික විය. ඇලෙක්සැන්ඩර්ගේ පාලනය යටතේ එවැනි උසස් තනතුරක් ලද පළමු පර්සියානුවා වූයේ මෙසියස්ය. 


බැබිලෝනියාවෙන් නික්මුණු ඇලෙක්සැන්ඩර් ක්‍රි. පූ. 330 ග්‍රීෂ්ම සෘතුවේ මිඩියාව බලා ගමන් කළේය. ඇරියන් නමැති ඉතිහාසඥයාට අනුව එම සත‍්‍රප් රාජ්‍යය අත්පත් කරගත් ඔහු එය දෙකොටසකට බෙදා එහි දක්ෂිණ ප‍්‍රදේශය මෙසිඩෝනියානුවකු වූ පෙයිතන් වෙතද, උතුරු ප‍්‍රදේශය තුන් වැනි ඩේරියස් රජුගේ සෙන්පතියකු වූ ඇට්‍රොපේටස් වෙතද පවරා දුන් බැව් පැවසේ. 


ක්‍රි. පූ. 329 දී ඇලෙක්සැන්ඩර් හින්දුකුෂ් කඳුවැටිය ඔස්සේ බැක්ටි‍්‍රයාව කරා ගියේය. එහි බලය අත්පත් කර ගැනීමෙන් පසු සොග්ඩියන් කඳු මුදුනේ පිහිටි සොග්ඩියා බළකොටුවට පහර දී එය අත්පත් කර ගැනීමට ඔහුට හැකි විය. එහි වැසියන් විශාල පිරිසක් සිරභාරයට ගැනුණු බැව් ඉතිහාසඥ ඇරියන් සඳහන් කරයි. එම බළකොටුවේ පාලකයා වූයේ වංශවතකු වූ ඔක්ස්යාර්ටස්ය. ඔහුගේ බිරිය හා දියණියන් දෙදෙනාද එම බළකොටුවේ වාසය කළහ. බළකොටුව දැඩි ආරක්ෂාකාරී ස්ථානයක් බැවින් එය කිසි විටෙක ඇලෙක්සැන්ඩර් අතට පත් වනු ඇතැයි ඔක්ස්යාර්ටස් නොසිතුවේය. 


බළකොටුව අත්පත් කරගැනීමෙන් පසු ඇලෙක්සැන්ඩර් එහි සිටි සියල්ලන් සිරභාරයට ගත් අතර සිරකරුවන්ට ගෞරවණීය ලෙස සැලකීය. ඔක්ස්යාර්ටස්ගේ එක් දියණියක වූයේ රොක්සානාය. ඉතා රූමත් තරුණියක වූ ඇය ඇලෙක්සැන්ඩර්ගේ හදවත පැහැර ගැනීමට සමත් වූවාය. ක්‍රි. පූ. 327දී ඇලෙක්සැන්ඩර් උත්සවාකාරයෙන් රොක්සානා විවාහ කර ගත්තේය. එවිට ඇලෙක්සැන්ඩර්ගේ වයස අවුරුදු 28ක් විය. ඉතිහාසඥයන්ට අනුව ආසියාවේ සුරූපීම යුවතිය වූයේ රොක්සානාය. රූමත් බවින් ඇය දෙවැනි වූයේ ඬේරියස් රජුගේ මෙහෙසිය වූ පළමු වැනි ස්ටැටේරියාට පමණි. රොක්සානා යන්න පර්සියානු බසින් රොෂනක්’ නොහොත් ‘කුඩා තාරකාවය’. 
විවාහයෙන් මඳ කලකට පසු ඔක්ස්යාර්ටස් ඉන්දියානු පරෝපාමිසාදේ ප‍්‍රදේශයේ සත‍්‍රප්වරයා ලෙස පත් කිරීමට ඇලෙක්සැන්ඩර් පියවර ගත් අතර ඇලෙක්සැන්ඩර්ගේ මරණය තෙක් ඔහු එම පදවියේ කටයුතු කළේය. රොක්සානා හා විවාහය මගින් මධ්‍යම ආසියානු ප‍්‍රාදේශික පාලකයන් හා ඇලෙක්සැන්ඩර් අතර දේශපාලනික සබඳතාව තවදුරටත් ශක්තිමත් විය. 


මැසිඩෝනියානු රාජ්‍ය පාලනය තුළ බහු විවාහය අසම්මතයක් නොවූ බැවින් ඇලෙක්සැන්ඩර් තෙවරක් විවාහ විය. වෙනත් රාජ්‍යයක කුමරියක සමඟ සිදුකෙරෙන විවාහය මගින් රාජ්‍ය සබඳතා වර්ධනය කර ගැනීමට හැකි වූ හෙයින් එකල සිටි බොහෝ රජවරු වෙනත් රාජ්‍යයක කුමරියක සරණ පාවා ගැනීමට වැඩි කැමැත්තක් දැක්වූහ. විවාහය මගින් සිහසුනට අනාගත හිමිකාරයා බිහිකිරීම ද තවත් අභිලාසයක් විය. ඉතිහාසඥ ප්ලුටාක්ට අනුව ඇලෙක්සැන්ඩර්හට බිරියන් හැර වෙනත් සබඳතාද පැවැති බැව් පැවසේ. රොක්සානා විවාහ කර ගැනීමට පෙර ඇලෙක්සැන්ඩර් බාර්සීන් නමැති පර්සියානු වංශවත් කාන්තාවක හා සබඳකම් පවත්වා ඇතැයි ඔහු සඳහන් කරයි. අර්තබසූස් නම් වංශාධිපතියාගේ දියණියක වූ බාර්සීන්, මෙම්නන් නමැති සෙන්පතියාගේ බිරිය වූවාය. මෙම්නන්ගේ මරණින් පසු ඇය ඇලෙක්සැන්ඩර් සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ බැව් ඇතැම් ඉතිහාසඥයෝ සනාථ කරති. එම සම්බන්ධය මත ඇය හෙරාක්ලස් නමින් පුත‍්‍රයකු ලද බවද පැවසේ. 


ඇලෙක්සැන්ඩර්ගේ තවත් බිරියක වූයේ තුන් වැනි ඩේරියස් රජුගේ දියණියක වූ දෙවැනි සැටේරියාය. ඉස්සූස්හි සටනින් පරාජය වූ ඩේරියස්ගේ බිරිය, මව හා දියණියන් දෙදෙනා ඇලෙක්සැන්ඩර්ගේ සිරකරුවන් බවට පත් වූ අතර ක්‍රි. ව. 324දී සූසාහි පැවැති මහා විවාහ මංගල උත්සවයක දී ඔහු සැටේරියා හා අර්තාසෙරෙක්සස්ගේ දියණිය වූ පැරිසටිස් සමඟ එකම දිනයේම විවාහ විය. එම විවාහ මංගල උත්සවයේ දී තවත් වංශවත් යුවතියන් 90 දෙනෙක් ඇලෙක්සැන්ඩර්ගේ හමුදා නිලධාරීන් හා විවාහ වූහ. 


ග්‍රීසියේ සාමාන්‍ය සිදුවීමක් වූ අතර ඇලෙක්සැන්ඩර් ස්ත්‍රින් සමඟ පමණක් නොව පුරුෂයන් සමඟද සබඳතා පැවැත් වූ බවට ඉතිහාසඥයෝ සඳහන් කරති. ඒ අතරින් ප‍්‍රකට චරිතයක් වනුයේ බගොආස්ය. ඩේරියස්ගේ හමුදාවේ සෙන්පතියකු විසින් ඇලෙක්සැන්ඩර්හට තිළිණයක් ලෙස නර්තන ශිල්පියකු වූ රූමත් බගොආස් පවරා දෙනු ලැබීය. ඔහු සමඟද, තවත් තරුණයන් දෙදෙනකු වූ එක්සිපිනස් හා හෙක්ටර් සමඟද, ජෙනරාල් හෙපෙස්ටියන් සමඟද ඇලෙක්සැන්ඩර් කිට්ටු ඇසුරක් පැවැත්වූ බවට ඉතිහාසඥයන්ගේ මතයයි. හෙපස්ටියන්ය තරුණ වියේ සිටම ඇලෙක්සැන්ඩර්ගේ සමීපතම මිතුරා විය. ඔවුන් දෙදෙනා තුළ වූ ​ෙ‌ප්‍ර‌්මය ප‍්‍රකට වූවකි. 


ඉස්සූස්හි සටන අවසානයේ වූ සිදුවීමක් සම්බන්ධයෙන් දියදුරුස්, ඇරියන් හා කර්ටියස් යන ඉතිහාසඥයන් තිදෙනාම සඳහන් කර තිබේ. ඉස්සූස් සටන අවසානයේ පරාජයට පත් ඩේරිස්ගේ මව, බිරිය සහ දියණියන් දෙදෙනා සිටි කූඩාරම වෙත ඇලෙක්සැන්ඩර් සමඟ හෙපෙස්ටියන් පිවිසි අවස්ථාවේ ඩේරියස්ගේ මව වූ සිසිගැම්බිස් තමන්ට අභයදානය දෙන ලෙසට වැරදීමකින් ඉල්ලා ඇත්තේ ඇලෙක්සැන්ඩර්ගෙන් නොව හෙපෙස්ටියන්ගෙනි. තරුණයන් දෙදෙනාම සම වයසේ වූ අතර එකම අන්දමේ ඇඳුම්වලින් සැරසී සිටියහ. හෙපෙස්ටියන් ඇලෙක්සැන්ඩර්ට වඩා උසින් වැඩි වූ හෙයින් ඔහු ඇලෙක්සැන්ඩර් යැයි ඇය සිතුවාය. පසුව තමන්ට වැරදුණු බැව් වටහාගත් සිසිගැම්බිස් සිදු වූ ක්‍රියාව සම්බන්ධයෙන් ඇලෙක්සැන්ඩර්ගෙන් සමාව අයැදීය. එවිට ඇලෙක්සැන්ඩර් ඇය සනසමින් කියා සිටියේ ‘‘ ඔබට වැරදුණේ නැත මෑණියනි. මොහු තවත් ඇලෙක්සැන්ඩර් කෙනෙක් තමයි’’ යනුවෙනි. හෙපස්ටියන්ගේ මරණයෙන් දැඩි වේදනාවට පත් ඇලෙක්සැන්ඩර් ‘‘මගේ ජීවිතය තරම් ඔහු මට අගනේ යැ’’යි කියා තිබේ. 


ඇලෙක්සැන්ඩර්ගේ පළමු බිරිය වූ රොක්සානාට ඔහුට දාව පුත‍්‍රයකු සිටියේය. ක්‍රි. පූ 323දී ඇලෙක්සැන්ඩර්ගේ මරණය සිදු විය. ඔහුගෙන් පසු තම පුත‍්‍රයාට රාජ්‍යයත්වයට පත් කිරීමේ අරමුණින් රොක්සානා ඇලෙක්සැන්ඩර්ගේ දෙවැනි බිරිය වූ සැටේරියාද, ඇගේ සොහොයුරිය වූ ඩ්‍රිප්ටිස් හා ඇලෙක්සැන්ඩර්ගේ තෙවැනි බිරිය වූ පැරිසටිස් ද ඝාතනය කළ බැව් ඉතිහාසයේ සඳහන්ය. රොක්සානාගේ හා තුන් වැනි ඇලෙක්සැන්ඩර්ගේ පුත‍්‍රයා වූ සිව් වැනි ඇලෙක්සැන්ඩර් කුමරුගේ ආරක්ෂාව පිණිස කුමරු ඇලෙක්සැන්ඩර්ගේ මව වූ ඔලිම්පියාස් රැජින භාරයේ තබන්නට රොක්සානා පියවර ගත්තාය. 


මැසිඩෝනියානු රජකු වූ කැසැන්ඩර් විසින් ක්‍රි. පූ. 316දී ඔලිම්පියාස් රැජින ඝාතනය කරන ලද අතර රොක්සානා හා සිව් වැනි ඇලෙක්සැන්ඩර් කුමරු ඇම්පිපොලිස් බළකොටුවේ සිරගත කෙරිණි. මෙසිඩෝනියානු අධිරාජ්‍යයේ කිරුළට හිමිකරු වූයේ සිව් වැනි ඇලෙක්සැන්ඩර් කුමරුය. ඔහු ජීවත්ව සිටින තෙක් තමාට රාජ්‍යය අත්පත් කරගත නොහැකි බැව් වටහා ගත් කැසැන්ඩර් ක්‍රි. පූ. 310දී ග්ලවුසියස් නම් සෙන්පතියකු ලවා රොක්සානාට හා කුඩා ඇලෙක්සැන්ඩර් කුමරුට වස දී ඝාතනය කළේය. 


රාජ්‍යත්වයට තිබූ බාධක ඉවත්කරගත් කැසැන්ඩර් මැසිඩෝනියාවේ පාලකයා ලෙස ක්‍රි. පූ. 305 සිට ක්‍රි. පූ. 297 දක්වා රාජ්‍ය කළේය. ඇලෙක්සැන්ඩර්ගේ සමකාලිනයකු වූ ඔහු දෙවැනි පිලිප් රජුගේ ජනරාල්වරයකු වූ ඇන්ටිපේටර්ගේ පුත‍්‍රයා විය. මැසිඩෝනියානු රාජ්‍යයේ සාමය හා සෞභාග්‍යය ඇති කළ ඔහු තෙසලෝනිකාව, කැසෙන්ඩ්‍රියාව හා තීබසය වැනි නගර රාජ්‍යය යළි ස්ථාපනය කළේය. 

 

 


මතු සම්බන්ධයි 

 

 

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා