ආසියාවේ දිගම ගල්ලෙන කරඳහෙළ කන්දේ


මොණරාගල පොතුවිල් මාර්ගයේ 13 කණුව අසල පිහිටි හුලංනුගේ හන්දියෙන් වමට වැටී ඇති බක්මිටියාව මිරගල දක්වා වූ ගුරු පා​රේ කිලෝමීටර් දෙකක් පමණ ගොස් වමට හැරී මීටර් තුන්සියයක් පමණ ගිය විට කරඳහෙළ කන්ද පාමුලට පිවිසිය හැකිය. කන්දපාමුල පිහිටියේ හබුතගල විහාරයයි. මෙරට ප්‍රකට ආරණ්‍ය සේනාසන ලෙස සැලකෙන බුද්ධංගල, සමන්ගල, පියන්ගල, නිමලව, කුඩුම්බිගල, ශාස්ත්‍රවෙල, බුදුගල්ලෙන හා ආඬියාකන්ද මෙන් ඓතිහාසික ආරණ්‍ය සේනාසනයක් වන තරුගල්ලෙන මෙම භූමියේ පිහිටා තිබේ. මෙම ආරණ්‍යය පිහිටි කඳුයාය කරඳහෙළ නමින් හඳුන්වයි.
  
මෙම ආරණ්‍ය භූමිය අපට වඩා වැදගත් කාරණය වන්නේ ආසියාවේ පිහිටි දිගම කටාරම් කොටන ලද ගල්ලෙන පිහිටා තිබීමය. ලෙන දිගින් අඩි 512 කි. පළල අඩි 30 කි. උසම ස්ථානය අඩි 82 කි. මෙම ප්‍රධාන ලෙනට අමතරව තවත් ලෙන් කිහිපයක් මෙම කරඳහෙළ භූමිය තුළ දක්නට ලැබෙයි.  


කරඳහෙල තරණය කිරීම සඳහා අපි උදේ දහය පමණ වන විට කඳුපාමුලට ගොස් සිටියෙමු. තරුගල්ලෙන ආරණ්‍යයේ කටයුතු භාරව සිටින බැලුම්මහර ශාන්තසිරි හිමියන් බැහැදැක අපි ඒ සඳහා අවසර ලබාගත්තෙමු.  
මෙහි ඇති ඓතිහාසික කාරණා පිළිබඳව කෙටියෙන් නමුත් වැදගත් දේ කියාදුන් උන්වහන්සේ අපට අවවාදයක් ද කළහ. ඒ මෙම භූමියේ ඉහළ කොටසේ වලසුන් සිටින නිසා ආරක්ෂාව තහවුරු කරගතයුතු බවය.  
මුහුදු මට්ටමේ සිට අඩි 633 ක් වූ කරඳහෙල කන්ද රුදුරු වනසතුන්ගේ නිවහනකි. පාළු වනගත ස්වභාවයක් උසුලන කඳු ගැටයට නැගීමේදී ගල්තලා කීපයක් ඔස්සේ ගල විද සකස් කර ඇති අත්වැටවල් අල්ලාගෙන ඉතා බිහිසුණු ගමනක් යා යුතුය. බිහිසුණු බෑවුම් කීපයකින් ගමන් කරද්දී සිහියට එන්නේ යළිත් ආපසු ගමන් ගතහැකිද යන්නයි. ගල්තලා බෑවුම දිගේ ඉහළට ගිය පසු විවේක ගත හැකි ස්ථාන හමුවෙයි. එම ස්ථානයේ පිහිටි බුදුපිළිම වහන්සේ අසළට ගියවිට ගත සිත වෙහෙස ක්ෂණිකවම පලායයි.  


කරඳහෙළ තරණය කරමින් ඉහළට ගමන් කරන විට මුලින්ම හමුවන්නේ ගොඩනැගිලිවල නටබුන්ය. විනාශ වී ගිය ගොඩනැගිලිවල තත්ත්වය තේරුම් ගැනීමට පවා අපහසුය. ඒ අතර කෙළින් අතට තිබෙන ගල් කණු නවයකි. ඒවා ඉතා පැරණිය. අසළ ඇති පියගැටපෙළ හා සඳකඩ පහණ මෙම ස්ථානයේ පැරණිකම මොනවට පැහැදිලි කරයි.  


තරුගල්ලෙන පිළිබඳ ගවේෂණයක යෙදී ඒ පිළිබඳව අංගසම්පූර්ණ විග්‍රහයක් සිදුකරමින් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් විසින් ලියන ලද හබුතගල විහාර හෙවත් තරුගල්ලෙන වන සෙනසුන කෘතියේ සඳහන් වන පරිදි මෙම ගොඩනැගිල්ලේ තවත් කණු තිබෙන්නට ඇත. ​ඒවා විනාශ වූ ලකුණු තිබූ බවත් උන්වහන්සේ පෙන්වා දෙති.  


මෙම ගොඩනැගිල්ලට ඉහළින් පිහිටි සමතලා භූමියේද ගොඩනැගිල්ලක ශේෂ දක්නට ලැබේ. එම ස්ථානයේ පිහිටි කෙසකිළි ගල වෙනත් ස්ථානවල ඇති පැරණි කෙසකිළි ගල්වලට වඩා අමුතු ලක්ෂණ ඇති බවත් මෙහි භික්ෂුණී ආරාමයක් තිබෙන්නට ඇතිදැයි මේධානන්ද හිමියෝ සැක පහළ කරති.  


ඊට අමතරව ඒ ආසන්නයේ පිහිටා ඇති මෙයට පහළින් තවත් විශාල ගොඩනැගිල්ලක කුලුනු මුල්ගල් නවයක් දැනට මතු වී තිබේ. එය බොහෝ විට උපෝෂතාගාරයකට අයත් වියහැකිය. මේ සියල්ලට අමතරව තවත් ගොඩනැගිලි කීපයක නටබුන් ශේෂ දක්නට ලැබේ. 

 
අති දුෂ්කර ගමනකින් අපි මේ යන්නේ ආසියාවේ පිහිටි දිගම කටාරම් සහිත ගල් ලෙන සොයාය. කඳු මුදුනට වන්නට වලසුන් ඇතුළු වනසතුන් සිටින බවට ලත් අනතුරු හැඟවීම නිසා කඳු මුදුනට යත්ම අවට ඇති ඓතිහාසිකත්වය සොයා බැලීමටත් වඩා අපි උනන්දු වූයේ වනසතා කොතනක සිටිනවාද යන්නයි.  


දිගම ලෙන සොයා යන විට ඊට පහළින් තවත් ලෙන් කිහිපයක් හමුවෙයි. ඒ සියල්ලේ කටාරම් කොට තිබේ. මේ ලෙන් සියල්ල ස්වභාවික නිර්මාණයන්ය. මුලින්ම හමුවන ලෙන තුළ මැටි ගසා ගත් කොටසක ස්වාමීන් වහන්සේ වැඩ සිටියහ. එම ලෙන ආසන්නයේ තවත් ලෙන් දෙකක් පිහිටා තිබේ. ඒවායේද කටාරම් කොටා තිබේ. එම ලෙන් දෙකට ඉහළින් පිහිටි ලෙන නාගලෙනයි. නාගයකුගේ නියම ස්වරූපය පෙන්නුම් කෙරෙන නිසා එය නාගලෙන ලෙස හැඳින්වෙයි.  


කඳුමුදුනේ වූ ගල්ලෙන් පේළියෙන් පසුව කරඳහෙළ කඳුබෑවුම් අනෙක් කොටසට වන්නට ආසියාවේ පිහිටි දිගම ගල්ලෙන හමුවෙයි. පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් ප්‍රකාශ කරන පරිදි උන්වහන්සේ ශ්‍රී ලංකාව තුළ දුටු විශාලතම ගල් ලෙන මෙයයි. ලෙන පාමුල පිහිටි භූමිය සමතලා භූමියකි. එම බිම් තට්ටුව මට්ටම් අටකින් යුක්තය. බිත්ති බැඳ තිබුණු බවට සැලකෙන ගඩොල් තැන තැන විසිරී තිබෙනු දක්නට ලැබෙයි.  
මුළු ලෙනම කටාරම් කොටා තිබේ. මෙම දිගම ලෙන ඉහළ කොටසේ කටාරමට යටින් අංක 1 සටහන කොටා ඇති බවත්, කන්ද මුදුනේ වූ ස්තූපවලින් එකක් පිහිටියේ එම ලෙන පිහිටි පර්වතය මත බවත් එම ලෙන රාජා ලෙන ලෙස හැඳින්වීමට යෝජනා කරන බවත් මේධානන්ද හිමියෝ දක්වති.  


මෙම රාජ ලෙනට බටහිරින් යාර 100 ක් පමණ දුරින් එකදිගට යාව පිහිටි ලෙන් තුනකි. ඒවායේද කටාරම් කොටා තිබේ. පැරණි බිත්තිවල ගඩොල් දක්නට ඇත. මෙහි අංක 2 යනුවෙන් සඳහන් කර ඇති බවත් එයට යෝධ ලෙන යන නම යෝජනා කරන බවත් එල්ලාවල​ මේධානන්ද හිමියෝ ප්‍රකාශ කරති.  

යෝධ ලෙන පසුකර කඳු ගැටයේ බටහිර බෑවුම අතට යන විට බඹරගල නමින් හැඳින්වෙන පර්වතය හමුවේ. මෙහි විශාල වශයෙන් බඹර බඳින නිසා ඒ නම යෙදී තිබේ. බඹරගලට දුරින් බටහිරට මුහුණ ලා පිහිටි දිග අඩි 130 උස අඩි 60 ක් හා පළල අඩි 31 ක් වූ ලෙනක් හමුවේ. මේ ලෙනේ කටාරමට යටින් ලිපියක් පිහිටුවා ඊටත් අඩි 5 ක් දුරින් තවත් ලිපියක් පිහිටුවා තිබේ.  


එම ලෙන් පසුකර දකුණු පසට මද දුරක් ගියවිට පිපුණු හත්තක හැඩය ගත් දර්ශනීය ලෙනක් හමුවේ. මෙහි රවුම් අඩි 101 කි. කටාරම් කොටන ලද එහි ලිපියක් පිහිටුවා තිබේ. මෙම ලෙන තුළ අංක 3 ලෙස සංකේත කොටා තිබේ. ලිපිය උසින් අඟල් 8 කි. මේ ලිපිය යටින් 4, 5 යන සංකේත කොටා ඇති බව මේධානන්ද හිමියෝ පෙන්වා දෙති.  


රාජා ලෙනට නැගෙනහිරින් තවත් අලංකාර ලෙනක් පිහිටා තිබේ. එය එතරම් විශාල නැකත් කටාරමට යටින් අංක 2 යන සංඛේතය සඳහන් කර ඇත. මෙවැනි ගල් ලෙන් 28 ක් කරඳහෙළ කඳුමුදුන තුළ දක්නට ඇතත් එ්වා සියල්ලේ කටාරම් කොටා ඇතත් ලෙන් එකක්වත් අභිලේඛන පිහිටුවා නොමැති බව උන්වහන්සේ පවසති.  


කරඳහෙළ කන්ඳට ප්‍රවේශවන ස්ථානයේ පිහිටි ලෙනකි. මෙම ලෙන දිග අඩි 175 කි. ලෙන සම්පූර්ණයෙන්ම කටාරම් කොටා තිබේ.ලෙන තුළ බැඳ ඇති ආසනයක් තුළ සැතපෙන බුදුපිළිම වහන්සේ තැන්පත් කර තිබේ. එහි දිග අඩි 41 කි. මැටි හා ගඩොල් භාවිතයෙන් සකස් කර ඇති පිළිම වහන්සේගේ උරහිස අඩි 6 යි. අඟල් 5 ක් විශාලය. සිරිපතුලේ දිග අඩි 4 යි. අඟල් 6 කි. පිළිම වහන්සේගේ ළැම පෙදෙස නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ. මෙම ලෙන පිළිම ලෙන යි.  


අතීතයේදී ඓතිහාසික හා පූජනීය තත්ත්වයෙන් අග්‍ර පූජා භූමියක් වූ කරඳහෙළ වලසුන්ගෙන් පිරි ප්‍රදේශයක් වූ බැවින් කෙමෙන් ජන ශුන්‍ය ප්‍රදේශයක් වූ අතර පසුගිය යුද සමයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ තර්ජන හමුවේ තව තවත් ජනශුන්‍ය ප්‍රදේශයක් බවට පත්විය.  


1943 දී හුලංනුගේ ගැමි ජනපදය පිහිටුවීමෙන් පසුව 1948 දී භික්ෂූන් වහන්සේ නමක් කරඳහෙළට පැමිණ කුඩා කුටියක් තනා ගෙන වාසය කළ බවට තොරතුරු ඇත. 1972 ජුලි මාසයේදී මාතර අකුරැස්සේ දියලපේ ඉන්ද්‍රානන්ද හිමියන් ගල්තලාවේ පහළම ලෙන තුළ මැටිගසා ගත් කුටියක වාසය කිරීම ආරම්භ කළහ. අති දුෂ්‍කරතා මැද හරිහැටි ආහාරයක් පවා නොගෙන මෙම වටිනා ස්ථානය ආරක්ෂා කරගෙන වැඩ විසූ උන්වහන්සේ වලසෙකුගේ ග්‍රහණයට හසු වී 1983 වසරේදී අපවත් වූහ.  


කරඳහෙළ විහාරයේ මුල්ම දායකයා කාකවර්ණ තිස්ස මහරජු බව එහි අැති සෙල් ලිපියක සඳහන්ව ඇත. ලෙන් තුනක් පුජා කරන ලද දායකයන් ගැන බ්‍රාහ්මී ලිපිවලින් කියැවේ. ඒ සෝමදේව උත්තිය හා තිස්සය. එල්ලාවල මේධානන්ද හිමියන් විසින් සොයාගත් ලෙන් ලිපි තුනකින් කියවෙන්නේ පළමු ලෙන භදන්ත සෝම​දේවගේ ලෙනය. දෙවැන්න ආචාර්ය උත්තිය ගේ ලෙනය. තෙවැන්න කුම්භකාර තිස්සගේ ලෙනය. එම ලෙන සංඝයාට පූජා කර ඇත.  


කරඳහෙළ වටා වැව් කිහිපයක් පිහිටියේය. නමුත් කරඳහෙළ වැව හැර සෙසු වැව් සියල්ල කැලයට යට වී කැලෑබවට පත්ව තිබේ. කරඳහෙළට ඊසාන දිගින් කරඳ ඔය ගලා බසින නිසා කරඳහෙළ වූ බවට සැලකේ. කරඳහෙළ ආශ්‍රිතව ජනප්‍රවාද කීපයක් එයි. අඩි 512 ක් දිග රාජාලෙන තුළ කාවන්තිස්ස රජු හා සේනාව නැවතී සිටීම පිළිබඳව ද ජනප්‍රවාදයකි.  


කරඳහෙළ විහාරයේ සිට ලාහුගල මගුල් මහා විහාරයටද එහි සිට දහම්පළ දුටුගැමුණු මාලිගාවටද යාමට ගල් ඇතිරූ මාර්ගයක් තිබූ බවටද ජනප්‍රවාදයක් තිබේ. කාවන්තිස්ස රජු නිතර මේ මාර්ගය ඔස්සේ කරඳහෙළ විහාරයට පැමිණි බව කියැවේ.  


කරඳහෙළ කඳු ගැටය පුරා වස්තුවලින් පිරී ඇති තැනකි. මෙහි පළමුවෙන්ම ගවේෂණයක් සිදුකර ඇත්තේ සී.ඩබ්ලිව්. නිකලස් මහතාය. එහෙත් මෙම ස්ථානය පිළිබඳව පුර්ණ ගවේෂණයක් සිදුකර ඇත්තේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ය. උන්වහන්සේ ඒ සඳහා මුලින්ම එහි ගොස් ඇත්තේ 1965 දීය. පසුව 1981 දී එහි ගල් ලෙනක දින ගණනාවක් නතරවී උන්වහන්සේ දීර්ඝ ගවේෂණයක යෙදුණහ. පසුව පසුගිය වසරේදී ද මේධානන්ද හිමියෝ කරඳහෙළට ගොස් ගවේෂණයේ නිරත වූහ.  


කරඳහෙළ මෙම පූජනීය භූමිය අදවන විට හඳුන්වන්නේ තරුලෙන්ගල ආරණ්‍යය සේනාසනය නමිනි. ප්‍රදේශයේ ජනතාවගේද උනන්දුව, වැඩිකරවා නව ප්‍රබෝධයකින් මේ ධර්ම කේන්ද්‍රස්ථානය නව මාවතකට යොමු කරන්නට වත්මන් භාරකරු ලෙස ක්‍රියා කරන බැලුම්මහර ශාන්තසිරි හිමියෝ කටයුතු කරති.  


අනේක දුක් කම්කටොලු මැද මෙම ස්ථානය අාරක්ෂා කරගනිමින් උන් වහන්සේ සිදුකරන මෙම සේවාවන්ට ජාතියක් වශයෙන් සැමගේ ප්‍රණාමය පුදකළ යුතුය. දියලපේ ඉන්ද්‍රනන්ද හිමියන් තම ජීවිතය පූජා කළේද මෙහි පැවැත්ම වෙනුවෙනි. එම නිසා වගකිව යුතු අංශවල අවධානය කරඳහෙළ හෙවත් තරුලෙන්ගලට යොමුවිය යුතු කාලය උදා වී තිබේ.  

 

 

 

 

දොම්පේ අජිත් මදුරප්පෙරුම