ආශා දෑසින් දකිනා සිහිනේ මිහිර මැකී යනවා


සත්සර

දේවානන්ද වෛද්‍යසේකර ගේ ගී හඬ

1949 වසරය. හරියම අදට වසර 70 කට එපිටය. මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ ඉගෙනීම ලබමින් සිටි ශිෂ්‍යයෙකු ස්කූල් කට් කොට මහනුවර වෙම්බ්ලි සිනමා ශාලාවට රිංගුවේ හොඳට වට පිට බලමිනි. සිනමාහලේ සෙනඟ පොදි කමින් සිටියේ බර්සාත් (Barsaat) නම් හින්දි චිත්‍රපටය නැරඹීමටය. චිත්‍රපටයේ රඟ පෑ රාජ් කපූර්, නර්ගීස්, නිම්මි, ප්‍රේමනාත්ට වඩා මේ ශිෂ්‍යයාගේ සිත ඇදී ගියේ එහි සංගීතය නිර්මාණය කොට තිබූ Shankar Jaikishan මෙන්ම එහි ගී ගැයූ මුකේෂ් හා මොහොමඩ් රාෆිගේ භාවපූර්ණ ගායනා විලාසයටය. ඔහුගේ වඩාත් සිත් ගියේ මුකේෂ්ගේ මේ ගීතටය ය. චෝද ගයේ බාලම් මුජේ හාය අඛෙලා - චෝද ගයේ   
ඒ චිත්‍රපට පසුබිම් ගායනයට ආදරය කළ මේ ශිෂ්‍යයා පසු කලෙක සිංහල චිත්‍රපට කිහිපයක ගී ගැයුවේය. මනහර තනු නිර්මාණය කළේය. ඒ හැම ගීතයක්ම සිනමා රසිකයන්ට ගීත රචනා සහිතවම මතක ඇති හැමටම ගායනා කළ හැකිවීම තවත් විශේෂයකි. ඔහු ගැයූ ගුවන් විදුලි සරල ගී ද සුභාවිත ගීතයේ මං සලකුණු විය. එරබද්දේගොඩ දොන් ධර්මසේන වෛද්‍යසේකර නොහොත් දේවානන්ද ​ෙවෙද්‍යසේකර ඔහු 1934 වසරේ මාර්තු 23 වෙනිදා මහනුවර කටුකැලේ උපන්නේය. ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ එරබද්දේගොඩ දොන් පිලිප්පු වෛද්‍යසේකර සහ සීලවතී වෛද්‍යසේකර යුවළට දාව උපන් ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙනි. ඉන් පසු මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයටත්, පසුව කොළඹ පෙම්රොක් ඇකඩමියටත් (Pembroke Academy) ඉගෙනීමට ගියේය.   


“පාසල් යන කාලයේමයි මම සංගීතයට යොමු වුණේ. ජනප්‍රිය හින්දි චිත්‍රපටවල එන ගීත ගුවන් විදුලියෙන් නිතර ඇසීමෙන් මෙවැනි පරිසරයක දක්ෂ තබ්ලා වාදයකයකු වූ මගේ මස්සිනා කෙනෙකු වූ ඊ.ඒ. ජයනෙත්ති මාව ශාස්ත්‍රීය සංගීතය පැත්තට යොමු කළා. මේ මස්සිනා ගායක ජේ.ඒ. මිල්ටන් පෙරේරාගේ පියා වූ පොඩි අප්පුහාමිගේ ගෝලයෙක්. ඒ කාලයේ රාත්‍රියට ගුවන් විදුලියේ ශාස්ත්‍රීය සංග්‍රහයෙන් ප්‍රචාරය වූ පණ්ඩිත් රවි ශංකර්, ඔස්තා ද බිස්මිල්ලා ඛාන්, ඔස්තාද් අල්ලා රක්කා, ඔස්තාද් අමීර් ඛාන් ආදීන්ගේ ශාස්ත්‍රීය වාදන රස විඳීමට මම පෙලඹුණා. වැඩිදුර සංගීතය හැදෑරීමට හිතුව මම ලංකාවේ ලියාපදිංචි කළ පළමු වන කලායතනය වූ සංගීතඥ එම්.ජී. සුගතදාසගේ “සරසවි කලායතනය” ට බැඳී සිතාරය, එස්රාජය, තබ්ලාව, බැංජෝ මැන්ඩලීනය ආදී භාණ්ඩ මෙන්ම ඉන්දියානු රාගධාරී සංගීතය ඉගෙනීමට අත්පොත් තැබුවා.”   


දේවානන්ද වයස අවුරුදු 16 දී එනම් 1950 දී ලංකා ගුවන් විදුලියේ (Radio Ceylon) කටහඬ පරීක්ෂණයට පෙනී සිටියේ ගායන ශිල්පීන් ශ්‍රේණිගත කිරීමට පැමිණි මහාචාර්ය ශ්‍රී ක්‍රිෂ්ණනාරායන් රතන්ජංකර් ඉදිරියේය. ළාබාල ඔහුට C ශ්‍රේණියෙන් සමත්වීමෙන් පසුව පැවැත් වූ පරීක්ෂණයෙන් A ශ්‍රේණියෙන් සුදුසුකම් ලබා මාසික රැඟුම වැඩසටහනට තම ගුරුවරයා වූ සුගතපාලගේ සංගීත නිර්මාණයක් වූ “රාජිනි ප්‍රේ​ෙම් රාජනී” නම් ස්වතන්ත්‍ර ගීතය ගැයීමට අවස්ථාව ලැබිණ.   


මට ගුවන් විදුලියේ දී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා හමුවීම මගේ සංගීත ජීවිතය වෙනස් කළා. ඔහු රචනා කළ පී. ඩන්ස්ටන් සිල්වා තනු නිර්මාණය කළ මනෝහරී ගීත නාටකයේ ගීත ගැයීමට අවස්ථාව ලැබුණා. එදා මා සමග ගී ගැයුවන් අතර ඉන්ද්‍රානි විජේබණ්ඩාර, දයාරත්න රණතුංග, අමරා කස්තුරි ආරච්චි (පසුව රණතුංග), ෆ්‍රීම් රෝස් ජයසිංහ, වජිරා බාලසූරිය, පියසිරි විජේරත්න හා මිල්ටන් ලියනගේ ආදීන් මට මේ අවස්ථාවේ මතකයට එනවා.   


දේවානන්දගේ මුල්ම සරල ගී වැඩසටහන ලැබූ විට ඔහු සුදුසු පදමාලා සෙවීය. නිතර ගුවන් විදුලියේ “ගීත නාටකවලට” සහභාගී වන නිසා දැක පුරුදු කරුණාරත්න අබේසේකරට කියා ගීතයක් ලියවා ගැනීමට සිතා ගත්තේය. තමා ගීත නාටක වල ගී ගයනු දැන තිබුණත් කරු සමග කතා කොට නොතිබිණි.   


දිනක් ගුවන් විදුලියේ කොරිඩෝව දිගේ කරු එනු දුටු දේවානන්ද ඔහු එනතරු බලා සිටියේය.  


“කරු මම දේවානන්ද වෛද්‍යසේකර. මගේ සරල ගී වැඩ සටහනට ගීතයක් ලියලා දෙනවාද?”   


“ඔයාගේ ගම් පළාත?”   


“නුවර.”   


“එහෙනම් අපි නුවර මැණිකේලා සම්බන්ධ ගීතයක් ලියමු. හැබැයි මේක යුග ගීතයක්.”   


කරු දේවානන්ද කැඳවා ගුවන් විදුලියේ 10 වැනි මැදිරියට ගියේය. කරු ගීතය ලියා නිමවා දේවානන්දට දුන්නේය. එය අපූරු රචනයකි. ගෙදර ගිය දේවානන්ද අපූරු තනුවක් දැම්මේය.   


ඒත් මේ ගීතය ගයන්ත ගායිකාවක් ගැන ඔහු බොහෝ වේලාවක් කල්පනා කළේය. ඒ කාලයේ යුග ගී ගැයූ ගායිකාවක් ඔහුගේ මතකයට අාවේය. ඇය විල්ප්‍රඩ් පෙරේරා නම් ගායකයා සමග ගැයූ ගීතයක් ද මතකයට ආවේය. ගායිකාවගේ නම මාලා නන්දනී පෙරේරාය. ඇය විල්ප්‍රඩ් සමග ගැයු “තනියම ඇයි වනේ” ගීතය දේවානන්ද කැමති ගීතයකි. “මගේ යුග ගීතයට හොඳම ඇය තමා” දේවානන්ද සිතුවේය. ගීතය සඳහා ඔහු ඇයට ඇරැයුම් කළේය. ඒ යුග ගීතයෙන් අපූරු ගායකයෙක් මතු විය. ඒ දේවානන්දය. ගීතය මෙසේය.   


මොකද මැණිකේ හනික යන්නේ   
තාම නෑනෙ රෑ වෙලා   
කළයේ දිය නෑ ළිපට දර නෑ   
මඟ ඇති අම්මා බලා   
ඔහොම පිටුපා ඒ දවස් වල   
කිසිම දුක දී නැහැ ගියෙ   
ඔය නෝක්කඩු කියන බව ඔබ දන්නවා මම නම් ප්‍රියේ   
ළඟදි ඉඳලා වෙනස් වීලා  
මගේ මැණිකේ මා කෙරේ   
සත්තකයට නෑ ඇත්තමයි සුදා  
එ් වගෙමයි ආදරේ   


මේ ගීතය ඔහු සමග ගැයූ මාලා නන්දනී පෙරේරා මෑතක දී මියගියාය.   


මේ ගීතය ගුවන් විදුලියේ අතිශයින්ම ජනප්‍රිය වුණා. මම ඒ දවස්වල තවත් ගීත රචනයක් ගැන හිත හිතා හිටියේ. ඒ 1950 ගණන් වල. අහම්බෙන් “ඉරිදා ලංකාදීප” පත්‍රයේ අපූරු කවි පන්තියක් පළ වී තිබුණා.   


ලියලා තියෙන්නේ කවුද කියලප බැලින්නම් මා ඉගෙන ගත් මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. මට මතකයි අලව්වේ සිට පාසලට ආව මඩවල සිරිසේන රත්නායක. ඔහු මඩවල එස්. රත්නායක නමින් පත්තරවලට කවි කෙටි කතා ලියනවා. මඩවල ඒ කාලේ බොරැල්ලේ තරුණ බෞද්ධ සමිතියේ නේවාසිකව හිටියේ. වැඩ කළේ “ලංකාදීප” පත්‍රයේ. මම මේ කාලයේ කොළඹ ආණ්ඩුවේ විද්‍යාලයේ ඉගෙන ගන්නවා. මම මඩවල හමුවෙලා. ඒ ගීතය ගායනා කරන්න ඉල්ලුවා. ඔහු කැමැත්තෙන්ම අවසර දුන්නා. ඒ විතරක් නොවෙයි. අලුතින් ලියූ තවත් ගීතයකුත් දුන්නා. මේ ගීත දෙකටම මම තනු නිර්මාණ කළා. මේ එදා ඉරිදා ලංකාදීප පත්‍රයේ පළ වූ ගීතය.   


නීල නුවන් මානෙල් මල්   
නීල නුවන් මානෙල් මල්   
ඇගේ වත පුන් සඳ වෙයි   
ගමනින් නා ලිය පරදන   
ටිකිරි ලියා ටිකිරි ලියා   
කළෙත් අරන් ළිඳට ගියා   
කියඹු ලතා නළලෙ වැඩී   
නව රසයක් මුහුණෙ සැදී   
කෝමල පාන කියා තියා   
ටිකිරි ලියා   


මඩවල ලියා දුන් අනිත් ගීතය යුග ගීයක්. එය මම ගැයුවේ චන්ද්‍රානි රුද්‍රිගු (පසුව ගුණවර්ධන) සමග.   


සඳ පායා සිනා සී   
ඔබේ මුහුණේ උදා වී   
රස මේරූ ගමේ   
මනහාරී මගේ මැණිකේ   


දේවානන්ද ඉන් පසු ගැයූ යුග ගී අතර පෙම් මදිරාවේ රන් කුසලානේ (සහාය ගායනය - ඉන්ද්‍රානි විජේබණ්ඩාර / ගීත රචනය - විමල් අභයසුන්දර) ගීතය ද, සුජාතා පෙරේරා (පසුව අත්තනායක) අමිතා වැදිසිංහ (පසුව දළුගම) මල්ලිකා ද සිල්වා (පසුව කහවිට) වජිරා බාලසූරිය සමග ගැයූ යුග ගීත ද වේ.   


දේවානන්දගේ වැඩිමහල් සොහොයුරා විමල් වෛද්‍යසේකර චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. දහසක් සිතුවිලි චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා වූ විමල් තරංගා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාය. ඔහු දැන් එංගලන්තයේ වෙසෙයි.   


විමල් අයියා ජී.ඩී.එල්. පෙරේරාගේ කලා පෙළට සම්බන්ධ වෙලා සිටියා. එපමණක් නොවෙයි. 1961 කලා පෙළ නිෂ්පාදනය කළ “සාමා” චිත්‍රපටය සඳහා විමල් අයියා අපිට අයිති ඉඩමක කොටසක් විකුණා සල්ලි දුන්නා.   


​මේ නිසා විමල් අයියාත් මමත් මේ චිත්‍රපටයට හැම උපකාරයක්ම කළා.“සාමා” චිත්‍රපටයේ කතානායිකාවක වූ සාමාවතීගේ අහිමි ප්‍රේමය වෙනුවෙන් දිවි පුදා අවසන් ගමන් යන අවස්ථාවේ පසුබිමින් ගැයෙන ගීතය ගැයීමට අධ්‍යක්ෂ ජී.ඩී.ඇල්. පෙරේරා මට පැවරුවා. ඒ වන කොට මම 1958 වසරේ සිරිසේන විමලවීර මාස්ටර්ගේ ‘මා ආලය කළ තරුණිය’ චිත්‍රපටයේ තේමා ගීතය ගයා තිබුණා. මට මේ අවස්ථාව දුන්නේ එහි සංගීත අධ්‍යක්ෂ ෂෙල්ටන් ප්‍රේමරත්න ගේ ඉල්ලීමකට. විමලවීර මාස්ටර් රචනා කර දුන් ගීත රචනයට ෂෙල්ටන් තනුවක් යෙදුවා. ඈත පිටිසර මහ කැලෑවක ගහක අතු කොළ රිකිලි දාලා නම් මේ ගීතය මම ගැයුවේ දයා නෙල්ලම්පිටිය සමග. සාමා චිත්‍රපටයේ මට ලැබුණේ මගේ දෙවන චිත්‍රපට ගීතය.   


​මේ කාලයේ ආයුර්වේද විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. මා සමග වෙදකම ඉගෙන ගත් මිත්‍රයෙක් හිටියා. එයා දක්ෂ කවියෙක්.“සාමා” 1963 චිත්‍රපටයේ ගීතයක් ගයන්න අවස්ථාව ලැබුණාම මට මතක් වුණේ මගේ මිත්‍ර කවියා වූ ස්වර්ණ ශ්‍රී බණ්ඩාරව. ඔහු පසුව දක්ෂ නාට්‍ය රචකයකු, ගීත රචකයකු, කවියකු ලෙස කලා ක්ෂේත්‍රයේ හපන්කම් පෑවා. රජරට ගුවන් විදුලියේ පාලක වෙලත් හිටියා. බණ්ඩාරේට චිත්‍රපටයක සින්දුවක් කියන්න ලැබිලා තියෙනවා. ගීතය බණ්ඩාරම ලියන්න. තනුව දාන්නේ මම.   


මම චිත්‍රපටයේ අවස්ථාව කිව්වා.   
ලියමු.   
ඒ බණ්ඩාරගේ මුල්ම චිත්‍රපට ගීතය ඒ.   
ආශා දෑසින්   
දකිනා සිහිනේ   
මිහිර මැකී යනවා   
ඒ සිහිනේ පුතු තනියම ඉපදී   
හද තුළ තෙරපෙනවා.   
ආ මඟ දෑලේ පිපි මල් කර වී   
නෑ පල හට ගන්නේ.  
සිතුවිලි මී මැසි පොදි නැත මී බැඳ   
උන්මය රිදවන්නේ   
ආශා දෑසින් පැතුමේ වරපට   
ගිලිහී බිම වැටිලා   
දෛවයෙ ගොනු ඇද ජීවන ගැල ගෙන   
ඈ මඟ දිග වැටිලා   
දෛවයෙ ගොනු ඇද   
ජීවන ගැල ගෙන   
අෑ මඟ දිග යනවා.   


දේවානන්ද වෛද්‍යසේකර විසින් තවත් චිත්‍රපට දෙකක ගී ගයා ඇත. ජී.ඩී.එල්. පෙරේරා අධ්‍යක්ෂණය කළ “දහසක් සිතුවිලි” චිත්‍රපටය ඉන් එකකි. මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයා වූයේ විමල් වෛද්‍යසේකරය. මේ ගීතය රචනා කළේ නිමල් වික්‍රමසේකර නම් නවක ගීත රචකයාය. තනුව නිර්මාණය කළේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ ජයතිස්ස අලහකෝන්ය. මේ දෙදෙනාම මේ වන විට ජීවිතයෙන් සමුගෙනය. මේ ඒ ගීතයයි.   


සතුට විලයි සැපත විලයි   
නෙළුවොත් මල අතින් එකයි   
පමා වුණොත් මල පරවෙයි   
ඉරට යටින් හඳට යටින්   
කාලය පැන යනවා   
මළ හීයට ඇයි අඬන්නේ   
​​මොකටද හෙට ගැන හිතන්නේ   
කඳුළයි ඉකියයි ඇයි පිළිගන්නේ   
සිනාම ආවම කොතන ද ඉන්නේ   
මල් කෙමියේ රස තියෙන්නේ   
ජීවිතයේ රස තියෙන්නේ   


තම වැඩිමහල් අයියා වූ විමල් වෛද්‍යසේකර හා පුරා කියා අධ්‍යක්ෂණය කළ “තරංගා” චිත්‍රපටයේ යුග ගීයක් ගැයීමට දේවානන්දට අවස්ථාවක් ලැබෙයි. එහි සංගීත නිර්මාණය අමරදේවගෙනි.   


ධර්මසිරි ගමගේ ගීත රචකයාය. සහාය ගායිකාව වූයේ ඉන්ද්‍රානි පෙරේරාය.   


පවන් සුසුම් දැලින් වෙළී   
ශාංගාර රාවේ නොසංගා   
නුවන් කොනින් සුපෙම් හැඟුම්   
නින්නාද නැං වූ තරංගා   
කුසුම් ළඳුන් බිඟුන් මුවින්   
අනුරාග පෙම් රාව නංගා   
ප්‍රසන්න වැවේ තෙරේ නැගේ   
සංයෝග පෙම් ගී තරංගා   
මේ සීත වරුසාව නිල් වැව් තලාවේ   
අනුරාග හෝරාව එළඹී තියේ   
ළං වී සිනාසෙන්න මුව මී උරා බොන්න   
අභිෂේක යාමේ උදා වී තිබේ.   


​දේවානන්ද පාසල් යන අවදියේ සිටම හඳුනන ගායන ශිල්පිනියකි සුජාතා පෙරේරා (අත්තනායක). ඇය සමග ගීත නිර්මාණ කිරීමට ඔහුට අවස්ථාව ලැබිණ. ගුවන් විදුලියේ ගායකයකුව සිටින කාලයේ රජයේ සංගීත විද්‍යාලයට (වර්තමාන සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය) දේවානන්ද හය මසක සංගීත පාඨමාලාවක් හදාරා 1964 ඉන්දියාවේ කල්කටා විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය විද්‍යාලයට බැඳී හෝමියෝපති වෛද්‍ය විද්‍යාව හැදෑරූ ඔහුට එහි අධ්‍යාපනය හදාරන කාලයේදි රවි ශංකර්, අලි අක්බාර් ඛාන්, විලයාත් ඛාණ් වැනි විශිෂ්ට සංගීතඥයන් පෞද්ගලිකවම අැසුරු කිරීමට අවස්ථාව ලැබී ඇත.  


එදා ඔහු සමග එකට අධ්‍යාපනය ලැබූ මහාචාර්ය වෝල්ටර් මාරසිංහ සහ දේවානන්ද එකට එක් වී ප්‍රසංග ද පවත්වා ඇත. පසුකාලීනව දේවානන්දට රවීන්ද්‍රනාත් තා​ගෝර් තුමාගේ මිනිබිරියක වන බානි චැටර්ජිගේ සංගීත කණ්ඩායමට බැඳී ගායනයෙන් ද රවීන්ද්‍ර සංගීතය අැසුරෙන් භාරතීය සංචාරක මණ්ඩලය සංවිධානය කළ ප්‍රසංගයේ ප්‍රධාන ගායකයා වීමට මෙන්ම ගායන වෘන්දය මෙහෙයවීමේ අවස්ථාවද ඔහුට හිමි වී ඇත. එහිදි ඔහු අමරදේවයන් ගැයූ “හෝයියා හෝයියා”, සූරිය ශංකර් මොල්ලිගොඩ ගැයූ අක්ක අක්​ෙක අර බලන්නකෝ, ආනන්ද සමරකෝන් ගැයූ ඇසේ මධුර ජීවනයේ ගීතා වැනි සිංහල ගීත ගැයීමට අවස්ථාව ලැබිණ. 1992 තම ගීත සඳහා නව සංගීත අධ්‍යක්ෂණය යටතේ “නීල නුවන්” කැසට් පටය නිකුත් කළ දේවානන්ද වෛද්‍යසේකර පසුගිය මාර්තු මාසයේ සිය 85 වැනි ජන්ම දිනය මහරගම දී පැවැත්වීය.   


ඔහු විවාහ වූයේ මානෙල් අලුත්ගමහේවා මෙනෙවිය සමගය. ලංකා විශ්වවිද්‍යාලයේ සංස්කෘත ගෞරව උපාධිධාරිනියක් වූ ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විජයවර්ධන ශාලාවේ (කාන්තා) ශාලාධිපතිනිය ලෙස සේවය කළාය.   


ඇය, භාෂා විශාරද කෘතහස්ත ආචාර්යවරයෙකු වූ සඳදස් කෝපරහේවා මහතාගේ බිරිඳගේ සොහොයුරියකි. එසේම මහාචාර්ය සඳගෝමී කෝපරහේවාගේ පුංචි අම්මාය. දේවානන්ද මානෙල් යුවළගේ වැඩිමහල් පුත් නදීන් වෛද්‍යසේකර ජර්මන් නාවික සමාගමක ප්‍රධාන ඉංජිනේරුවෙකි. බාල පුත් ප්‍රවීන් වෛද්‍යසේකර බ්‍රිතාන්‍ය නාවික වෙළෙඳ නැවක කපිතාන්වරයෙකි.   


දේවානන්ද වෛද්‍යසේකරයන් වෛද්‍යවරයෙකු ලෙස තවමත් රෝගීන්ට ප්‍රතිකාර කරමින් මහනුවර දංගොල්ලේ තම නිවසේ බිරිඳ සමග ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටී.   
පෙරදිග සංගීතයේ මෘදු බව කුමන සංගීත රැළිවල හෝ ඉලෙක්ට්‍රොනික් පරිගණක සංගීතයක නැහැ යැයි දේවානන්ද වෛද්‍යසේකර තරයේම කියන්නේය.   

 


ඒ.ඩී. රන්ජිත් කුමාර