ආප්ප සහ කජු පුහුලම් සමග ජපන් කුමරුට ජේ.ආර්ගෙන් සංග්‍රහයක්


මැති ඇමැති පා ගැටුණු බ්ම්පෙත්-2

ජේ.ආර්ගේ කුඹල්ඔළුව නිවස 

මාහේනවත්ත 

 

 

 

නගරයේ උපන් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ‘ගම්බද මාලිගාව’ ලෙස සලකන ලද්දේ කුඹල්ඔළුව නිවෙසයි. කුඹල්ඔළුව ග්‍රාමයට පමණක් නොව අවට බොහෝ ප්‍රදේශවලට විදුලි බලය නොමැති වකවානුවක ජේ.ආර්ගේ ඉඩමට පළමුව විදුලිය ලැබිණි. ඒ 1960 වසරේදී පමණය. ඉන් අනතුරුව අවට ගම්වලටද විදුලිය ලැබිණි. 


ජේ.ආර් තම ඉඩම්වලින් යම් කොටසක් කුඹල්ඔළුව සුදර්ශනාරාමයට පරිත්‍යාග කළේය. විහාරාධිපති පනාවල පියරතන හිමියන්ගේ මතකයට අනුව සෑම මසකම තිස්වන දින ජේ.ආර්ගේ නිවසින් පන්සලට දහවල් දානයද පිරිනැමිනි. දානය හේරත් කංකානම්ගේ මෙහෙයවීමෙන් නිවසේ වැඩකටයුතු කළ සොපිනා හා දොයියා යන උපාසිකාවන් විසින් පිළියෙල කරන ලදී. 


පියරතන හිමියන් පවසන පරිදි ජේ.ආර්​ෙග් පවුලේ සාමාජිකයන් ගණන 11කි. ඒ පිරිමි 7ක් හා ගැහැනු 4ක් වශයෙනි. පවුලේ බාලයා වූ මොන්ටි හාමු නිතර ආ ගියේ පාරේ දුවන බස් රථයෙනි. පියරතන හිමියන් පසු කලෙක ජේ.ආර්ගෙන් ඉල්ලා සිටියේ ප්‍රධාන මාර්ගයට ඈතින් පිහිටි තම විහාරස්ථානයට විදුලි පහසුකම් ලබාදෙන ලෙසය. 


ඒක මට කියල පලක් නෑ හාමුදුරුවනේ. ඔය ගැන මහේන්ද්‍ර විජේරත්නට කියන්න යනුවෙන් ජේ.ආර් උත්තර දුන්නේය. මහේන්ද්‍ර විජේරත්න යනු හිටපු අමාත්‍ය මෙන්ම මීරිගම එජාප මන්ත්‍රීවරයාය. 


ජපානයේ ඔටුන්න හිමි අකිහිතෝ කුමරු සහ මිචිකෝ කුමරිය කුඹල්ඔළුව වත්තට පැමිණෙන දා රජ යුවලට ආහාර පිළියෙල කිරීමේ වගකීම පැවරුණේ ගම්පහ උදුම්බරා ජයසිංහ මහත්මියටය. ඒ වනවිට රටේම ප්‍රචලිත නමන් දිනා තිබූ කේටරින් සේවාව වූයේද උදුම්බරා මහත්මියට අයත් ව්‍යාපාරයයි. 


දිනක් උදුම්බරා ජයසිංහ මහත්මියට දුරකතන ඇමතුමක් ලැබිණි. එහා කෙළවරින් කතා කළේ ගැඹුරු කටහඬකිනි. මම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති කතා කරන්නේ. උදුම්බරා මහත්මිය සිතුවේ මේ කාගේ හෝ විහිළුවක් කියාය. 


කරකියා ගත දෙයක් කල්පනා නොවූ බැවින් ඇය නිහඬවම සිටියාය. යළිත් එසේම කී නිසා උදුම්බරා මහත්මිය තම කටහඬ අවදි කළාය. ඔව්. මොකක්ද කාරණාව ඇය හිමිහිට ඇසුවාය. 


ඕඩරයක් තියෙනවා කරන්න පුළුවන්ද? එහා කෙළවරින් යළි ඇසිණ. ජේ.ආර්ගේ කටහඬ ඇය අසා තිබුණු නිසා මේ ජේ.ආර්. විය හැකි බව තේරුම් ගත් ඇය ඕනෑ දෙයක් වුනාවේ යන හැඟීමෙන් පුළුවන් සර් යැයි කීවාය. 
ජපන් කුමාරියත් කුමාරයත් ලංකාවට එනවා. ඒ අයට කෑම ටික පිළියෙල කර ගන්න ඕනෑ. ඒක ගැන කතා කරගන්න අපේ කුඹල්ඔළුවේ වත්තට එන්න පුළුවන්දැයි ජේ.ආර්. ඇසූවිට උදුම්බරා ජයසිංහ මහත්මිය දිනයක් වේලාවක් ලබා නියමිත දිනට කුඹල්ඔළුව වත්තට ගියාය. 


ඒ වනවිට වේලාව උදෑසන 8.00ට පමණ විය. ඒ යනවිට උදුම්බරා මහත්මිය සමග ධර්මවර්ධන හා අතුල දිසානායක යන අයත් ඇගේ පිරිමි දරුවාද ගියේය. ඒ වනවිට කුඩා පුතුට වයස අවුරුදු 10ක් පමණ විය. 
ඔවුන් කුඹල්ඔළුව වත්තට යනවිටත් ජේ.ආර්. කොළඹ සිට එහි පැමිණ සිටියේය. 


ආ එන්න එන්න අපිත් මේ ආව විතරයි. ජේ.ආර්. කීවේය. 

 

බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර් මහත්මිය මහනුවර පැවති භෝජන සංග්‍රහයෙන් පසු උදුම්බරා මහත්මියගේ සමරු පොතකට අත්සන් තැබූ අයුරු 

 


උදුම්බරා මහත්මියගේ කුඩා දරුවා දුටු විගස ජේ.ආර්. ගියේ ගෙටය. නිවසේ ඇති ශීතකරණයේ දරුවාට දීමට යමක් ඔහු සෙව්වේය. එහෙත් කිසිවක් එහි නොතිබිණි. පොඩි දරුවාට දෙන්න දෙයක් බැලුවේ යැයි කියමින්ම ජේ.ආර්. කාරණාව පිළිබඳ කතාවට වැටුණි. 


මට අවශ්‍ය කරලා තියෙන්නේ දේශීය කෑම වේලකින් ජපන් රජ යුවලට සංග්‍රහ කරන්න. ජනාධිපති ජේ.ආර්. කෑම බීම පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කළේය. 


ආප්ප ටිකක් ඒ වෙලාවෙ හදා ගන්න කවුරු හරි සොයා ගන්න පුළුවන්ද? ජේ.ආර්. විමසුවේ උදුම්බරා මහත්මියගෙනි. 


පුළුවන් සර්. ඇය පිළිතුරු දුන්නාය. 


කවුද ඒ. ඔහු පෙරළා ප්‍රශ්න කළේය. 


මට පුළුවන් සර්. උදුම්බරා මහත්මිය කී විට ජේ.ආර්. ඉංග්‍රීසි භාෂාවෙන්ම ඇයට ප්‍රශංසා කළේය. 


නියමිත දිනයේ ජපන් රජ යුවල කුඹල්ඔළුව නිවසට සම්ප්‍රාප්ත වූහ. මුලින්ම ඉදිරියට පැමිණි ජේ.ආර්. නිවසේ සූදානම පිළිබඳව විමසිලිමත් වූයේය. ඉතා අලංකාරව සූදානම් කර තිබූ නිවසත්, කෑම මේසය හා ඒ අවටත් තිබූ සූදානම පිළිබඳව ජේ.ආර්. උද්දාමයට පත්ව තිබූ බව උදුම්බරා මහත්මිය පවසයි. 


උදුම්බරා ජයසිංහ මහත්මිය මේ කෑම වේල වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දරා කටයුතු කර තිබිණි. මේස රෙදි හා ඇතිරිලි මේ වෙනුවෙන්ම ඇය අතින් නිර්මාණ විය. දේශීය මල්වර්ග වලින් නිවසත්, කෑම මේසයත් අලංකාර ලෙස සරසා තිබිණි. ජේ.ආර්ගේ නිවසේ තිබූ කෑම මේසයේ ඉඳගැනීමට ප්‍රමාණවත් වූයේ හය දෙනකුට පමණක් වූ නිසා ඇය අට දෙනකුට වාඩිවීමට හැකි උසස් වර්ගයේ මේසයක්ද පිටතින් ගෙන එනු ලැබුවාය. 
ජපන් යුවල වෙත මුලින්ම සංග්‍රහ කළේ තැඹිළි බීමට දීමෙනි. තැඹිලි ගෙඩිය කැටයම් දමා අලංකාර ලෙස කපා ඉරටුවලින් ගොතන ලද වට්ටියක තබා රජ යුවලට පිරිනමන ලදී. බීම බටයක ආදාරයෙන් ජපන් රජ යුවල තැඹිලගෙඩි දෙකම එක හුස්මට හිස් කරන ලද බව උදුම්බරා මහත්මිය කියයි. 


කෑම වර්ග ලෙස බත්, ඉඳිආප්ප, ලැවරියා, හැලප වැනි දේශීය ආහාර වර්ග සැකසිණි. සුප් වර්ග කිහිපයකින්ම ආහාර මේසය රසගන්වා තිබිණි. මුහුදු මාළු වර්ග සෝස් දමා සකසා තිබිණි. අට දෙනකුට සරිලන සේ සකසා තිබූ මේසයේ ජයවර්ධන යුවල සමග ජපන් රජ යුවළත් පළමුව වාඩි වූහ. සුප් පානය කිරීමෙන් අනතුරුව ජේ.ආර්. කෑම මේසයෙන් නැගිට්ටේය. ඔහු අනුගමනය කරමින් පළමුව රජ කුමාරාත්, දෙවනුව රජ කුමරියත් කෑම මේසයෙන් නැගිට්ටාහ. එහෙත් එලීනා ජයවර්ධන මහත්මිය ඒ වනතුරුත් සිටියේ මේසයේ සුප් පානය කරමිනි. 


ජේ.ආර්. විසින් රජ යුවල කැඳවාගෙන ගියේ ආප්ප හදන ස්ථානයටය. එහි ආප්ප හදමින් සිටියේ උදුම්බරා මහත්මියයි. එතනට පැමිණි ජේ.ආර්. උණු උණු ආප්පයක් අතට ගෙන ජපන් කුමරා අත තැබීය. ඔහු එය අල්ලා ගත්තේ මහත් අපහසුවෙනි. ඒ තරමටම ආප්පය උණුසුම්ය. මදක් උණුසුම අඩු ආප්පයක් ගෙන ජේ.ආර්. රජකුමරිය අත තැබීය. රජ යුවළ ආප්ප අනුභව කළෝය. ජේ.ආර්. ද කතා කරමින් සිටගෙනම ආප්ප අනුභව කළේය. 
කෑම මේසයට යළිත් එන්නට හිතක් මේ තිදෙනාටම නොතිබිණි.  තව තවත් උණු ආප්ප රැගෙන තිදෙනා කන්නට පටන් ගත්හ. එහෙත් ජයවර්ධන ආර්යාව සිටියේ කෑම මේසයේ පුටුව මතය. ඇය ජේ.ආර්ට කිව්වේ ඔය දෙන්නා එක්කගෙන එන්න යනුවෙනි. 


කෙසේ නමුත් තිදෙනා යළි කෑම මේසයට එනවිටත් ඔවුන් යහමින් ආප්ප කා තිබිණි. ඒනිසා කෑම මේසයෙන් තවත් වැඩි යමක් ආහාරයට එක්කර ගන්නට ඔවුන්ට නොහැකි විය. කෑම මේසයේ අතුරුපස සූදානම් කර තිබූ පෙදෙසේ උදුම්බරා මහත්මිය විසින් කජුගෙඩි අසුරා ඒ මැදින් අලංකාර මෙන්ම හොඳින් වැඩුණු කජු පුහුලමක් තබා තිබිණි. 


ජේ.ආර්. උදුම්බරා මහත්මියට කතා කර කීවේ මේ කජු පුහුලම හරි මැදින් කපාගෙන එන ලෙසයි. උදුම්බරා මහත්මිය කළේ කජු ගෙඩියේ සිට පුහුලමේ පහළට වන්නට හරි මැදින් කජු ගෙඩිය කැපීමයි. බන්දේසියක තබා උදුම්බරා මහත්මිය එය කෑම මේසය මතින් තැබීය. 


කිසි දිනක දැක නැති කජු ගෙඩිය හා පුහුලම අල්ලන්නට ගිය රජ කුමරිය කජු ගෙඩියෙන් අල්ලන්නට යත්ම උදුම්බරා මහත්මියට කෑගැසිණි. ඇය වහා ගජු ගෙඩිය ඇල්ලීම වළක්වන ලද්දේ කජු ගෙඩියේ තිබූ අලුත්ම අලුත් කජු කිරි ඇල්ලූ පසු මහා අකරතැබ්බයකට කුමිරියට මුහුණ පෑමට සිදුවන බව දැනගත් නිසාය. පසුව ජේ.ආර්. කජු පුහුලන් ජපන් කුමාරයාට කන්නට දුන්නේය. පසුව කුමරියත් කජු පුහුලන් කෑවාය. 


කෑම කා අවසානයේදී ජේ.ආර්. උදුම්බරා මහත්මියට ළඟට එන ලෙස දැන්වීය. පසුව ජපන් රජ යුවලට උදුම්බරා මහත්මියව හඳුන්වා දුන්නේය. ජපන් යුවල ජපන් ක්‍රමයට අනුව හිස කඳින් නමා ආචාර කළාය. 


1982-83 කාලයේදී රටේ යම් භීෂණකාරී තත්ත්වයක් මතුව තිබණි. එහිදී ජේ.ආර්. වැඩිපුර කාලය ගත කළේ කුඹල්ඔලුව නිවසේය. දිනක් ජේ.ආර්. උදුම්බරා මහත්මියට දුරකතනයෙන් කතා කර 15 දෙනකුට පමණ අවශ්‍ය කෑම වත්තට එවන්නට හැකිදැයි විමසීය. 


සර් කෑම හදලා දෙන්න පුළුවන්. ඒත් එවන්න ආරක්ෂාව මදි යැයි ඇය පැවසූ විට කෑම ටික හදන්න මම වාහන එවන්නම් කියා ජේ.ආර්. කීවේය. පසුව උදුම්බරා මහත්මිය කෑම සැකසූ විට පෙලිස් ජීප් රථ දෙකක් ගෙදරට එවන ලදී. 


එංගලන්ත අග්‍රාමාත්‍ය මාග්‍රට් තැචර් මහත්මිය ලංකාවට පැමිණියේද ජේ.ආර්ගේ ආරාධනයක් මතය. ඇය වෙනුවෙන් ආහාරවේල සූදානම් කරන ලද්දේ මහනුවර ජනපති මැදුර තුළය. ඒ සඳහා අවශ්‍ය ආහාර සපයන ලද්දේත් උදුම්බරා මහත්මිය විසිනි. එහිදීත් වැඩි තැනක් ලබා දුන්නේ දේශීය ආහාර සඳහා බව උදුම්බරා මහත්මිය කියයි. 


ජේ.ආර්. කැලණිය ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරද්දී ඔහුගේ ළඟම පාක්ෂිකයකු ලෙස කටයුතු කළ අයෙකු වූයේ උදුම්බරා මහත්මියගේ සැමියා වූ ජයසිරි හදින්නාපොළ මහතාගේ පියාවූ ජේමිස් රාළහාමිය. කැලණිය ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කර පසුව ​ෙජ්.ආර්. ඇතුළු පිරිස පැමිණියේ යක්කල බටගොල්ලේ පිහිටි ජයසිරි මහතාගේ නිවසටය. 


ගම්පහ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා වූ චන්ද්‍ර ජයකොඩි මහතාට අයත් ශාලාවක එජාපයට හිතවත් පිරිස් ගෙන්වා ජේ.ආර්. රැස්වීම් පවත්වන ලදී. එහිදී ගමේ සිටි උක්කුවා නැමැත්තකු ජේ.ආර්ට හඳුන්වා දුන්නේ ජේමිස් රාළහාමිය. 


එතැන් සිට ජේ.ආර්ට උක්කුවා යන නම නිතර මතක් වූ චරිතයකි. ජේ.ආර්ට ලංකාවේ පිහිටි ගම්වල නම් හොඳට මතකය. ඊට උදාහරණයක් සපයන්නේ උදුම්බරා මහත්මියයි. උදුම්බරා මහත්මිය පදිංචිව සිටින්නේ යක්කල, කිරිඳිවැල පාරේ පිහිටි බටගොල්ල නම් ගමේය. 


ජේ.ආර් දිනක් උදුම්බරා මහත්මියට කීවේ ඔයාගේ ගම බටගොල්ල නොවෙයි. ඒ හරිය යොන්ගම්මුල්ල කියාය. ජේ.ආර්. කීවා හරියට හරිය. බටගොල්ල යන නම භාවිත වන්​ෙන් ඒ ප්‍රදේශයේ තිබූ බට පඳුරක් නිසාය. එහෙත් ගමේ පැරණි නම යොන්ගම්මුල්ල. 


ජේ.ආර්ගේ පුත්‍රයා වූ රවි ජයවර්ධනගේ පුත්‍රයෙකුගේ උපන් දින සාදයක් වෝඩ් පෙදෙස නිවසේදී පැවැත්විණි. එම උත්සවය සඳහා අවශ්‍ය ආහාරපාන සපයන ලද්දේ උදුම්බරා මහත්මියයි. එදින රාත්‍රියේ උත්සවය ජයටම සංවිධානය කර තිබිණි. ජේ.ආර්. ඒ වනවිටත් රටේ ජනාධිපතිය. 


එලීනා ආර්යාවත්, තමාත් නිවසේ සිටීම උත්සවයට බාධාවක් ලෙස සැලකු ජේ.ආර්. තම බිරිඳත් සමග යුනියන් පෙදෙසේ පදිංචිව සිටි තම මිතුරකු වූ කර්නල් ධනපාල මහතාගේ නිවසට ගියේය. ජේ.ආර්. එදා නිවසට පැමිණියේ හෝමාගම ආසනයේ පැවැති රැස්වීම් කීපයක් ඇමතීමෙන් අනතුරුවය. එම රැස්වීම් අවසන් කර නිවසට පැමිණි ජේ.ආර්. තම මුණුපුරාගේ උපන් දින සාදය හිතේ හැටියට පැවැත්වීමට ඉඩ තබා මිතුරාගේ නිවසට ගොස් පැමිණෙන විට මධ්‍යම රාත්‍රියද ඉක්මවා ගොස් තිබිණි. 


යළි නිවසට පැමිණි ජේ.ආර්. කෙළින්ම පැමිණියේ කුස්සියටය. එහි සිටි උදුම්බරා මහත්මියට ජේ.ආර්. කීවේ හරි මහන්සියි මිසිස් ජයසිංහ අපි නිදා ගන්න යනවා කියාය. 


උදුම්බරා මහත්මියට අනුව ජේ.ආර්. යනු නිහතමානී නායකයෙකි. සැමට ගරු කරන ඔහු අනුන් සමග කතා කරනවිට කිසිවිටක තමා රටේ නායකයා බව සිතා කටයුතු නොකරන්නෙකි. බොහෝ දෙනා විවිධ අදහස් පළ කළද ​ජේ.ආර්. සැමවිට දේශීය දේ අගය කරමින් කටයුතු කර දේශීය ආහාර මුල්තැනට ගෙන කටයුතු කළ බවත් ඇය කියයි. 


ජේ.ආර්ට අවශ්‍ය ආහාර සැපයීම පිළිබඳ භීෂණ කාලයේදී විවිධ පාර්ශ්ව වලින් තර්ජන පැමිණියේද යන්න උදුම්බරා මහත්මියගෙන් විමසූ විට ඇය කියා සිටියේ බොහෝ තර්ජන පැමිණි බවය. එහෙත් ජේ.ආර්ට පමණක් නොව ජවිපෙ නායක රෝහණ විජේවීර, සිරිමාවෝ බණ්ඩාරනායක, ආර්. ප්‍රේමදාස යන මහත්ම මහත්මීන්ද තමා උයන ලද ආහාර භූක්ති විඳ තිබූ නිසා තමාට ඒ කිසිම පාර්ශ්වයකින් අනතුරක් නොවූ බවද ඇය කීවාය.

 


ලබන සතියේ - ජේ.ආර්ගේ කැලණිය ඉඩම් 


දොම්පේ අජිත් මදුරප්පෙරුම 

 


පැහැදිලි කිරීමක්   

‘‘කදුරු ලී නොමැතිව අඳුරු වූ වෙස් මුහුණු කර්මාන්තය’’ යන හිසින් 2018-10-04 වැනි දින ඉරිදා ලංකාදීප රසවිත අතිරේකයේ පළවූ ලිපියට අදාළව ගුණදාස ටුක්කාවඩු මහතා සම්බන්ධ ඡේදය වැරදි බව පාරම්පරික කෝලම් වෙස් මුහුණු නාට්‍ය ශිල්පී හරිස්චන්ද්‍ර ටුක්කාවඩු මහතා පවසයි.   


ඒ මහතා කියන්නේ එහි සඳහන් වී අැති පරිදි ගුණදාස ටුක්කාවඩු පරපුර මෙම ශිල්පීන්ගෙන් දුරස්වී නැති බවය.   


එ් මහතා මෙසේ ද කියයි.   


අම්බලන්ගොඩ කෝලම් වෙස් මුහුණු නාට්‍ය කලාවේ පුරෝගාමීන් වනුයේ මාගේ පිය පරපුර වන ටුක්කාවඩු ගුණදාස පරපුරය. මහාචාර්ය එදිරවීර සරත්චන්ද්‍ර මහාචාර්ය එම්.එච්. ගුණතිලක වැනි විද්වතුන්ගේ පර්​ෙ‌ය්ෂණ තුළින් මේ බව සනාථ කර ඇත.   


වසර 250ක් පැරැණි ටුක්කාවඩු ගුණදාස පරපුරේ වත්මන් නියාමක වශයෙන් කටයුතු කරන්නේ මා විසින්ය. මෙම සම්ප්‍රදායික කෝලම්, වෙස් මුහුණු සහ නැටුම් කලාව සංරක්ෂණය කර ඉදිරි පරපුරට දායාද කිරීම සඳහා අප විසින් ව්‍යාපෘති රාශියක් මේ වන විට ක්‍රියාත්මක කර ඇත. මෙම සාම්ප්‍රදායික කෝලම් වෙස් මුහුණු කලාව සංරක්ෂණය කිරීමේ අරමුණින් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යතුමාගේ මුදල් ප්‍රතිපාදන තුළින් ටුක්කාවඩු ගුණදාස කෝලම් වෙස් මුහුණු සහ නැටුම් සංරක්ෂණ කේන්ද්‍රය මහ අම්බලන්ගොඩ මාගේ නිවාස භූමියේ ම ඉදිකර ඇත. මෙම සංරක්ෂණ කේන්ද්‍රය තුළින් මේ පිළිබඳව අධ්‍යයනයේ යෙදෙන විශ්වවිද්‍යාල සිසුන් පාසල් සිසුන් සහ පර්​ෙ‌ය්ෂකයින්ට මෙම කලාව පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත. මෙයට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සම්මන්ත්‍රණ වැඩමුළු සහ කෝලම් සංදර්ශන ඉදිරිපත් කරනු ඇත.