ආදිවාසීන්ට අහිමි වූ රතුගල කැලේ


උතුරු දෙසට ඇති කුළල් ඇට කන්ද 

 

ආදිවාසී නායකගේ නිවසක් 

 

 

 

හිරු සඳු නොපෑයූ ඉසව්වක් මෙන් එදා නිසංසලේ තිබුණ රතුගල පෝරුගම් පොජ්ජට මෙදා සිදුවී තිබෙන පාරිසරික විනාශය හා ග්‍රාමීය ප්‍රශ්න ගැන තමන් බලවත් සිත් වේදනාවට පත්ව සිටින බව ආදිවාසී නායක සුදා වන්නිලා ඇත්තෝ පවසති. 


අම්පාර පොලිස් අධිකාරි කොට්ඨාසයට අයත් ඉඟිනියාගල පොලිස් වසමේ මෙම රතුගල ගම්මානය පිහිටා ඇත. එහි පරිපාලන කටයුතු සිදු කරන්නේ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගිනි. 


නැගෙනහිර දෙසට දානිගල කන්දත් බටහිර දෙසට වියනේ හෙල කන්දත් උතුරු දෙසට කුළල්ඇටකන්ද සහ දකුණු දෙසට නිල්ගල ඔසු උයන ආශ්‍රීත මාකඩ කන්දටත් මැදිවන්නට රතුගල ආදිවාසී ගම්මානය පිහිටා ඇත. 


ප්‍රවේණියෙන් තම නිජබිම කරගත් ආදිවාසීන්ගේ පවුල් අනූවක් පමණ මෙහි ජීවත්වන අතර මේ වනවිට පිටස්තර ප්‍රදේශවලින් පැමිණ පදිංචි වී සිටින පවුල් සංඛ්‍යාවත් සමග රතුගල වසමේ පවුල් 130ක් පමණ ජීවත් වෙති. 


ඌව පළාතේ දිගු ඉතිහාසයකට නෑකම් කියන රතුගල වැසියන්ට එදා නායකත්වය දුන් හඳුනා, පොරමොලා, රන්දුනු වන්නියා, ආදී වැදි නායකයෝ දැන් ජීවතුන් අතර නැත. 
එම සාම්ප්‍රදායික නායකත්වය දැන් ඔවුන්ට ලබා දෙන්නේ සුදා වන්නිලා ඇත්තන්ය. 


අද ඒ ආදී වැදි නායකයන් දක්නට නැතත් ඔවුන්ගේ කළු සුදු ඡායාරූප කීපයක් එහි ගිය අපට දැකගත හැකි විය. 


නැගෙනහිර පළාතේ වැදි ජනයා පිළිබඳ ජනශ්‍රැති පර්යේෂකයකු ලෙස අතිවිශාල මෙහෙයක් කළ විදේශික ශල්‍ය වෛද්‍යවරයකු වන ආර්.එල්. ස්පිටල් මහතා විසින් මෙම ඡායාරූප ගෙන තිබිණි. 


ඔහුට පින්සිදුවන්නට එදා මෙසේ කළු සුදු ඡායාරූප කීපයක් හෝ ගෙන තිබීම අගය කළ යුතු සිද්ධියකි. 


රතුගල සුදා වන්නිලා ඇත්තන් හමුවීමට අපි ගල්ඔය ජාතික වනෝද්‍යානය මැදින් බිබිල දක්වා මාර්ගයේ ඉකුත් දා රතුගල ගමට ගියෙමු. 


එදින ආදිවාසී නායකයාගේ නිවසට ගියවිට ඔහු මුණගැසීමට පැමිණි විදේශික යුවලක් සමග ඔහු බැද්දට ගොස් සිටියේය. 


වැදි නායකගේ නිවස අලුත්වැඩියා කරමින් සිටි පොරමොලාට අප එහි ආ කාරණය පැවැසීමෙන් පසුව නායකතුමා එන තුරු රැඳී සිටින ලෙස පැවැසීය. සුළු වේලාවකින් විදේශීය යුවලක් සමග පැමිණි ඔහු අපගේ දෑත්වලට දෑත් තබා ආචාරකොට උණුසුමෙන් පිළිගත්තේය. 


විදේශීය යුවල පිටත්වූ පසුව ආදිවාසී නායක සුදා වන්නිලා ඇත්තෝ කතාබහට එක්වෙමින් මෙසේ කීය. 


“ඒ සුදු හූරලා ආවේ අපේ නාකයන්ගේ පරණ පොටෝ බලන්න. ඒකයි බැද්දට එක්ක ගියේ” යැයි අප සමග කීය. 


‘බැද්දේ කොහෙද පොටෝ තියෙන්නේ’ අපි ප්‍රශ්න කළෙමු. 


“දානිගල හිටපු අපේ අත්තා මුත්තලාගේ පොටෝ සංරක්ෂණය කරලා පොඩි කාමරයක තියෙනවා” යැයි කීය. ඔහු ඒවා පෙන්වීමට අප බැද්දට කැඳවාගෙන ගියේය. 


කටුමැටි ගසා තනාගත් කුඩා කාමරයක් තුළ එම ඡායාරූප අතර ශේෂ වී යන ආදිවාසී පරපුරේ නායකයන් කීපදෙනකුගේම ඡායාරූප ද ඔහු පෙන්වීය. 

 

 


සුදා වන්නිලා ඇත්තෝ අදහස් දක්වමින් මෙසේ පැවැසීය. 


“අපේ සීයා මුත්තා හිටපු කාලේ රතුගල දානිගල කියන්නේ ඉරක් හඳක් නොපායපු ගානට නිස්කලංකේ තිබුණ ඉසව්වක්. ඌව පළාතේ කිසිම පරිසර හානියක් සිදු නොවුණ ප්‍රදේශයක් මෙය. ඒත් දැන් හරිම කනගාටුවක් දැනෙනවා. දැන් රතුගල කාන්තාරයක් වේ​ෙගන යනවා. ඔයවල් දිය සීරාවල් ඉවරයි. කැලේ ඉන්න සතා සීපාවා විනාශයි. ව්‍යාපාර කරන ඇත්තෝ ඇවිත් ව්‍යාපාර කරගෙන යනවා. අපේ අත්තා මුත්තා මේ කැලේ ජීවත්වෙලා හිටියා. සතෙක් මරාගත්තේ වෙළෙඳ ව්‍යාපාර කරන්න නෙවෙයි. මාසෙකට සැරයක් කෑමට සතෙක් එළා ගත්තා. ගෑනු සතුන් සහ ගැබ්බර එවුන් මැරුවේ නැහැ. 


අපි තරම් කැලේට ළෙන්ගතු කවුරුත් නෑ. කැලේ ගැන කැක්කුමක් තියෙන්නේ අපටයි. නිලධාරීන්ට වඩා අපිට ඒ හැඟුම් පොජ්ජ තියෙනවා. මට හරිම දුකයි” කී සුදා වන්නිලා ඇත්තෝ හැඟුම්බරව කතා දමද්දී ඔහුගේ දෑස් කඳුළින් තෙත්විය. 


සංවේදී වූ ඔහු නැවත මෙසේ ද කීය. 


“දැන් අපේ පොඩි දරුවන්ට ගෝනෙක් මුවෙක් පෙන්වන්න ලැබෙන්නේ නැහැ. ඒ සත්තු පෙන්වන්න පොඩි අය කැන්දාගෙන කොළඹ තියෙන සත්තු වත්තට යන්න වෙනවා. 
දැන් මේ වනාන්තරවල ඌරෙක් මුවෙක් ගෝනෙක් පේන්නට නැහැ. මේ කැලේ දිවියෝ ටිකක් හිටියා උන්ට මොනවා වුණා ද දන්නේ නැහැ. මගේ ගෙය ඉස්සරහින් බලපත්‍ර ලබාගෙන වැලි ලොරි කීයක් දවසකට යනවා ද? ඌව පළාතේ රතුගල රඹකැන් ඔය හාරලා ඒකෙන් විතර ද වැලි ගන්න තියෙන්නේ? අපේ ආදිවාසී අනන්‍යතාව පණ මෙන් රැකෙන මේ ප්‍රදේශයෙන් වැලි අරන් යනවා. ඔයවල් ඇළවල් සේරම හිඳීගෙන යනවා. ඖෂධ වනයේ වටිනා ගහ කොළ බේත් ජාති හොයන්න අපි දැන් කැලේට යන්නේ නෑ. සත්තු මරන්නේ නැහැ. එහෙම නම් මේ වන අඩවියට මොකද වෙලා තියෙන්නේ කියලා බලධාරීන් සොයා බලන්න ඕනෑ. 


මී කැඩීමට කැලේ ගිහින් අරළු, බුලු, නෙල්ලි, ගල් සියඹලා එකතු කරපු කාලයක් තිබුණා. ඒත් දැන් අපි කැලේට ඇතුළු වෙන්නේ නෑ. ඇත්ත කියන්න මම බය නෑ. අපි මෙම අසාධාරණ මාධ්‍යයට කියන්න ඕනෑ. නැතිනම් ඉහළ ඇත්තෝ කොහොම ද දැනුම්වත් වෙන්නේ? මේ තරම්වත් අපි රැකිලා ඉන්නේ ජනමාධ්‍ය නිසයි. ලෝකය මේවා දැනගත යුතුයි. 
අපිට වැසිකිළි දෙසිය ගාණක් පාස්වුණා. එකක්වත් රතුගල ගමේ හැදුවේ නැහැ. ඕනෑම නිලධාරියකුට ඇවිත් බලන්න පුළුවන් ඇත්ත ද කියලා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අහනකොට කීවා රතුගල ඔක්කොම හදලා ඉවරයි කියලා. ප්‍රාදේශීය ලේකම්තුමාවත් ගමට ඇවිත් බැලුවා නම් ඇත්ත දැනගන්න පුළුවන්.” 


ටී.බී. හීන්මැණිකා: 


“අපේ පරම්පරාවේ අය කැලේ ඉන්නකොට මස්, මී පැණී, අල වර්ග, ගඩා ගෙඩි කාලා ජීවත් වුණා. දැන් ඒ කාලේ අවසන් වෙලා. 


අපිට දැන් ගොවිතැන් කරන්න ඉඩමක් නෑ. වැහි කන්නයට විතරයි බටු, මෑකරල් ටිකක්, මඤ්ඤොක්කා ගහක් හිටවා ගන්නේ. මේ පවුල්වල හතර පස්දෙනා ඉන්නවා. හැබැයි අපේ අහිංසකකම දැනගෙන බලෙන් ඉඩම් අල්ලනවා. මගේ සැමියා සර්පයෙක් කාලා මැරුණා. අක්කර දෙකක ඉඩම බිම් කුලියට වගේ කෙනකුට දීලා රුපියල් හාරදාස් පන්සීයක් ඉල්ලා ගත්තා. ළමයින් අටදෙනෙක් එක්ක මම දැන් පොඩි ගේක ජීවත් වෙනවා. මේ ගැන නායකතුමාත් නිලධාරීන්ට කීවා, ඒත් ඒ අය නිලධාරීන්ට අරක්කු දීලා ඉඩම බලෙන් අල්ලා දුන්නා.” 


ඩී.ඇම්. විමලාවතී: 


“මගේ ඉඩමත් දරුවන්ට කොටස් කරලා බෙදා දෙන්න වෙලා තියෙනවා. පසුගිය රජයෙන් දීපු ඉඩමේ තමයි තවමත් ඉන්නේ. ඒ ආණ්ඩුවෙන් පාර හැදුවා. ලයිට් දුන්නා. අලුතින් කියලා ඉඩම් දීලා නැහැ. රජයට අපි කීවා අක්කර දෙක බැගින් ඉඩම් දෙන්න කියලා. ඒත් නිලධාරීන් ගානකට ගත්තේ නැහැ. ජීවත් වෙන්න කිසිම විදියක් නෑ අපට. වැවක් අමුණක් නෑ. වැහි හය මාසෙට ජීවන මාර්ගයක් තියෙනවා නම් හොඳයි. අපි දැන් අසරණ වෙලා ඉන්නේ. මේ කන්නයේ බඩඉරිඟු වගාව සේනා දළඹුවා කෑවා. අවුරුද්දට ඉස්සර වෙලා වන්දි දෙනවා කියලා ලියාගෙන ගියා. තවම මුදල් ලැබුණේ නැහැ. මේ ගමේ තියෙන අඩුපාඩු සහ ඕනෑකම් අපේ නායකතුමා මහ තැන්වලට කියනවා. 

 

රතුගල ආදිවාසීන් සමග දොස්තර ස්පිටල් මහතා පෙනී සිටි සංරක්ෂිත ඡායාරූපයක්. අතීතයේ සිටි වැදි නායකයන්.

 


සමහර නිලධාරීන් කියනවා ජනමාධ්‍යයෙන් ගමට ආවාම එතුමා බොරු කියනවා කියලා. මේ අසාධාරණකම් අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්.” 


මඩුල්ල ප්‍රාදේශීය ලේකම් එස්.සී. වීරකෝන් මහතා: 


“රතුගල ගම්මානයට නිවාස රැකියා ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය මගින් ඇති පදම් සහනාධාර ලබාදී තිබෙනවා. මෙම අයට ඉඩම් දුන්නාට ඒවායේ වගා කරන්නේ නැහැ. ඉරිඟු ටිකක්වත් හිටවන්නේ නැහැ. නමුත් සේනා දළඹුවා හානි කළැයි වන්දි ආධාර ඉල්ලනවා. ඉඩම්වලට අවසරයක් නැතැයි කියන නිසා ඔවුන්ගේ ඉඩම් සඳහා 2008 වසරේදී බදු මුදලක් ද නැතිව වාර්ෂික බලපත්‍ර පවා ලබාදුන්නා. එම ඉඩම්වල වගාකර සංවර්ධනය කළාට පසුව පෙන්වන්න කීවා. මේතාක් ඉඩම් සංවර්ධනය කළේ නැහැ. ඉඩම් කැලෑවට යනවා. මේ අය වාර්ෂික බලපත්‍ර දීපු ඉඩම් පවා වෙනත් අයට මුද්දරයක් උඩ අත්සන් කරලා විකුණනවා. ඉන්පසුව කැලෑ ඉඩම් අල්ලනවා. ඉඩම් ප්‍රශ්න ඇති වුණාම ඒවා නැවත ඔවුන්ට ලබාදෙන ලෙස අපෙන් ඉල්ලා සිටිනවා. රජයේ ඉඩම් විකිණීම මිලදී ගැනීම නීති විරෝධී පදනමක් මත සිදුවන නිසා පොලිසිය ද දැනුම්වත් කර තිබෙනවා. ‘දිරිය නිවාස’ ආධාර ලබා දී තියෙනවා. ඒ මුදලින් බඩු ගෙනැත් අපේ නිලධාරීන්ගේ ශ්‍රමයෙන් වැදි නායකගේ නිවස වහල මට්ටමට හදා දුන්නා. ඉතිරි වැඩ කරගන්න කියලා. ඒ අය බලා පොරොත්තු වෙන්නේ ඔක්කොම හදලා යතුර අතට දෙන ක්‍රමයක්. ඒ අයගෙන් ඉටුවිය යුතු දායකත්වය ගැන කල්පනා කරන්නේ නැහැ. වැසිකිළි ආධාර පවා විකුණනවා.”ලංකාවේ සූරියකෝෂ ගම්මාන පිහිටුවීම යටතේ රතුගල ගම පළමු ගම්මානය බවත් අද ඒ වීදි ලාම්පු ඇතුළු කිසිවක් නැති අතර තිබුණ බැටරි පවා ගලවාගෙන ගොස් ඇති බව ද ප්‍රාදේශීය ලේකම්වරයා කීය. තමන් රාජකාරියට පැමිණීමෙන් පසුව වැලි බලපත්‍ර දීම ද නතර කර ඇති බව ද ඔහු කීය. 

 

 


සංචාරක සටහන සහ සේයාරූ: 
හිඟුරාන නවරත්න සමරතුංග