අළු පුහුල් යක්ෂ පිල්ලියෙන් කොඩිවින කරන සාමිතුමා


 

නිර්වස්ත්‍රව මහා මන්ත්‍ර බලයෙන් ශුද්ධ අළු මවා, අළු පුහුල් යක්ෂ පිල්ලියෙන් රෝගීන් සුවපත් කරන, අනවින කොඩිවින සිදුකරන රටක් නොව ලොවක් මවිත කරවන අරුම පුදුම සාමිගේ කතාව බිය ජනකය.   
ඇතුල්කෝට්ටේ නගරයේ සුන්දර පරිසරයක රජ මාලිගාවක් වැනි දේවාලයකි. ප්‍රසන්න නිසංසල පරිසරය කියා පෑවේ අමුතුම කතන්දරයකි. දේහධාරී අයෙකු සුදු වතින් සැරසී ගාම්භීර ලීලාවෙන් දේවාලය තුළ සිට පැමිණේ. ප්‍රතාපවත් පෙනුමෙන් යුක්ත ඔහු වෙන කවරකුවත් නොව දේවාලයේ සාමිතුමාය. රට තොට ඉතාමත් ප්‍රසිද්ධ අයෙකි. මෙම සාමිතුමා මහා බලගතු අයෙකි. තමන් වෙතට පැමිණෙන අයගේ සියලු විස්තර, ආ කාරණාව, නම, ගම, වයස, උපන් දිනය, දෙමාපියන්ගේ නම්, වාහනයක් තිබෙනවා නම් එම වාහනයේ පාට, අංකය, බිරිඳගේ/ සැමියාගේ/ දෙමාපියන්ගේ/ පෙම්වතාගේ/ පෙම්වතියගේ නම මෙකී නොකී සියලු විස්තර කියන්නට පමණක් නොව ලියා දීමටද මෙම සාමිතුමාට හැකියාව ඇත. මොහුගේ විශේෂත්වය බලා සිටින්නවුන්ගේ ඉදිරියේදීම අළු මැවීමයි. ඉණ වටා රතු පාට රෙදි කඩක් බැඳ ඇත. බෙල්ල වටා රත්රන් කඹයක් තරම් මහත මාලයකි. අතේ ඇඟිලිවල රත්රන් මුදුය. හෙතෙම මහා ගාම්භීර ප්‍රතාපවත් පෙනුමකින් යුක්ත වන නිසාම ඔහු පා අඩි තබා පැමිණෙන විට දකින ඕනෑම කෙනෙකුට සිතෙන්නේ ඔහු නම් මහා බලගතු අයෙකු කියාය.   


අළු යනු යමක් දැවීමෙන් පසු ඉතිරිවන සියුම් කුඩු වැනි කොටසයි. නැතිනම් භෂ්ම යන අර්ථය දේ. අපේ කතාන්දරයේ සාමිතුමා මිනී අළු සපයා ගන්නේ පුදුම ආකාරයෙනි. ඒ මන්ත්‍ර බලයෙන් ජප කරන ලද තෙල් හිස සිට දෙපතුල දක්වා ගල්වාගෙන නිර්වස්ත්‍රව (ඇඳුම් නැතිව) සොහෙනකට යන මෙතුමා දැවෙන පිච්වෙන මළ මිනියෙන් පිරිත් පැන් නොගසන ලද මිනී අළු ලබා ගන්නේය. මේ සඳහා දැවෙන මිනියේ හදවත ආශ්‍රිත මිනී අළු ලබා ගන්නට සාමි කටයුතු කරන්නේ ආදාහනාගාරයේ හෝ සුසානයේ පාලක කම්කරුවන්ගේ සහයෝගයෙනි.   


 චිතකයට ගිනි දැල්වූ පසුව මෙරට නම් වැඩිදෙනෙක් එම ස්ථානයේ සිටින්නේ නැත. උදෑසන වෙනතෙක් මිනී අළු ගෙනයාමට එන්නේ නැත. සමහරු එනවාය කියා පැත්ත පළාතේ වත් එන්නේ නැත. මෙවැනි අවස්ථාව දී සාමි යම් ගතමනාවක් ආදාහනාගාරයේ සේවකයන්ට දී උණු උණුවේම මළ මිනියෙන් මිනී අළු ලබා ගන්නේය. මෙය මංජුසාවක (හට්ටිටක / මුට්ටියක) දමාගෙන මන්ත්‍ර බලයෙන් ජපකර ආතුරයන්ගේ අසනීප සුවපත් කරන්ටත් අනවින කොඩිවින හදි හූනියම් කරන්නට ද මේ කිල්ලකට අසු නොවූ මිනී අළු අප සාමි විසින් ආතුරයන්ට ලබාදෙන්නේය. ඒ ඒ ආකාරයේ රෝගවලට නැති නම් අනවින සිදුකරන පුද්ගලයා හෝ ව්‍යාපාර ස්ථානයේ හෝ පුද්ගලයාට පෑගෙන්නට නැතිනම් නිවසේ හෝ වත්තේ හෝ ව්‍යාපාරික ස්ථානයේ අයිතිකරුවන්ගේ ශරීරයේ ස්පර්ශ වන පරිදි භාවිතා කෙරේ. සාමි උතුමාණෝ මේ මහා බලගතු මිනී අළු ශාන්තිය හෝ කොඩිවිනය සිදු කිරීම​ට සාමි විශාල මුදලක් අය කරන්නේය.   


අළු පුහුල් ගෙඩියකට මිනී අළු දමා හොර රහසේ වළ දමන්නට කටයුතු කළ යුතුය. නැතිනම් එය කළ නොහැකි නම් මතුරන ලද ජප කරන ලද මිනී අළු වත්තේ හෝ නිවසේ අතර දිගින් සතර වටින් ඉස දැමිය යුතුය. මේ අනුව අදාළ මරණකරුගේ දිෂ්ඨිය අළුවලට සතපවා පිල්ලියක් ආකාරයෙන් අසනීප දුරුකරන්නට ද මේ සාමිට හැකියාවක් ඇත. මිනියක් දැවෙන විට ඊට බැල්ම හෙළන යකුන් විශාල පිරිසක් අහසේද පො​ෙළාවේද දිෂ්ඨි දමාගෙන සිටින්නාහුය. මේ යක්ෂ, භූත, කුම්භාණ්ඩයන්ට, පිසාචකයින්ට දැවෙන සිරුරේ එක් එක් තැන්වලට අයිතිවාසිකම් වෙසමුණි රජුගෙන් උරුම වී ඇත.   


අළු ටිකක් අරගෙන එය මන්ත‍්‍ර ශක්තියකින් බල ගැන්නුවොත් මේ යකුන් යක්ෂ පිල්ලි හරහා ක්‍රියාත්මක වෙනවා. යම් භූමියකට මේ අළු එක් ක​ෙළාත් ඒ භූමිය යකුන්ට අයත් භූමියක් බවට පත් වෙනවා. භූමි පාළු කියා අදහස් වෙන්නේ මෙවන් තත්ත්වයන්ට ලක්වූ භූමිවලට බව සාමි කියයි.   


යක්ෂ පිල්ලිවලදී භාවිත වෙන්නෙත් මේ ක‍්‍රමවේදයයි. පිල්ලියක් වඩා සාර්ථක වෙන්නනම් අදාළ මළමිනියේ හදවතින් ගන්නා අංශුවක් අවශ්‍ය වෙනවා. මිනී අළු තුළත් මේ ආකාරයේම ක‍්‍රියාවලියක් වෙනවා. මෙහිදී යම් නිවසකට හදිහුනියම් කටයුත්තක් උදෙසා යොදාගන්නේ හදිසියේ මියගිය තරුණ මිනියකින් ගන්නා අළුයි.   


මිනියේ හදවතින් එම අළු ලබාගන්නට යා හැක්කේ හොඳින් මන්ත‍්‍ර ශාස්ත‍්‍රය දන්නා මෙවැනි මහා බලගතු සාමිවරුන්ට පමණි. නිමේෂයක දී වැඩේ අව කැපුණහොත් සිදුවන්නේ මහ ව්‍යවසනයකි. ජීවිතයත් මරණයත් අතර සටනකි. ශාස්ත‍්‍රයේ සඳහන් වන්නේ මෙසේ අළු ලබා ගන්නට යන කෙනා නිරුවතින් යා යුතු බවය. අප සාමිද එසේ පේවත් වී මේ කටයුතුවලට අවශ්‍ය මිනී අළු සොයාගන්නේය. මියගිය කෙනාගේ ඡායාවක් පිල්ලුවක් බවට මන්ත්‍ර බලයෙන් පත් කරයි. ඒ අනුව අප සාමී උතුමා මේ ශාස්ත්‍රය සූත්තරයට සිදුකරන්නාහුය.   


රජිත ජීවත් වන්නේ රාජගිරිය ප්‍රදේශයේය. පියා, අම්මා, නංගි ඔහුගේ පවුල විය. රජිත අවිවාහක තරුණයෙකි. රැකියාව කළේ කොළඹ ඇඟලුම් කර්මාන්ත ආයතනයක කාර්යාල කාර්ය සහායකයකු වශයෙන්ය. ඔහු හැර නිවසේ වෙනත් කවුරුවත් රක්‍ෂාවක් කළේ නැත. නංගී අ.පො.ස. සා/පෙළ දක්වා ඉගෙනුම ලබා නිවසට වී සිටින්නීය. මාපියන් හා තම එකම නැගණියගේ බර කරට ගෙන කටයුතු කරන්නේ රජිතය. රජිතගේ පියාට කලක් තිස්සේම කොන්දේ අමාරුවක් තිබුණි. එයට තෙල් බේත් කළද අඩුවක් නොවීය. දිනක් රජිතගේ පියාට ක්ලාන්තයක් සෑදී මිදුලේ ඇදගෙන වැටීම නිසා එක්තැන් වීමට සිදුවිය. රජිතගේ මාසික පඩියෙන් නිවසේ වියහියදම් වලට අමතරව තවත් බරක් එකතු විය. තාත්තා එක්තැන් වීම රජිතට දරාගත නොහැකි වුණි.   


තාත්තා කෙසේ හෝ සුව කරගැනීම ඔහුගේ එකම අභිප්‍රාය විය. ආයුර්වේද ප්‍රතිකාර කළද සුවයක් නොවීය. ආර්ථික අපහසුතාවන්ද එමටය. රක්‍ෂාවට නොගිහින් සිටීමට ද නොහැකිය. තම පියාට ඇති සෙනෙහස නිසා නොයෙකුත් දේවාල ගානේ ගිහින්ද පිහිට පැතීය. එහෙත් සුවයක් නොලැබුණි.   


සාමිතුමා ගැන දැනගත් රජිත පියා කැටුව හිමිදිරි පාන්දරම දේවාලය වෙත ගියේය. සුන්දර පරිසරයෙන් රජිතගේ සිත පහන් විය. මහා ප්‍රතාපවත් යෝධ පුරුෂයෙකු ගාම්භීර ලීලාවෙන් තමන් ඉදිරියට පැමිණේ. රජිත පසෙකට විණි. පැමිණ සිටි පිරිස දෙස ඇස් කරකවා බැලූ සාමිතුමා ප්‍රතාපවත් ගමනින් දේවාලය තුළට පිවිසිණි. සාමිතුමා අනෙක් කපුවන් සේ ආරූඪ වන්නේ නැත. පියවි සිහියෙන් යුතුව පුටුවක ඉඳගෙන සාස්තරය කියයි. කීප දෙනෙකුගේම අවස්ථාව අවසන් වූ පසු රජිතගේ වාරය එළඹිණි. රජිත තාත්තා සමඟ සාමිතුමා අසලින් බිම ඉඳගත්තේය.   


සාමිතුමා කොළයක් පෑනක් ගෙන රජිතගේ මුහුණ දෙස බලා කිසිවක් සටහන් කරන්නේය. ‘‘දැන් මම ඔය දරුවා ගැන හැම දෙයක්ම ලියනවා මේ කොළේ” කියමින් සාමිතුමා රජිත සම්බන්ධ තොරතුරු කිසිවක් ලියාගෙන ගියේය. ලියා අවසන් වූ කොළ කැබැල්ල බුලත්, මල්, කැවිලි වට්ටිය මත තැබීය. ඉන්පසු දුම් අල්ලමින් සායිබබාතුමාගේ පින්තූරය දෙස බලා නොතේරෙන භාෂාවකින් යමක් පවසාගෙන ගියේය. ඉන්පසු රජිත දෙස බලා ප්‍රශ්න ඇසුවේය. නම රජිත වික්‍රමසිංහ, ලිපිනය නො.211 බණ්ඩාරනායක මාවත රාජගිරිය, වයස අවුරුදු විසි අටයි, පැමිණි කාරණාව පියා ගැන දැනගැනීමට, අසනීපය අංශභාගය යනුවෙන් සියලු ප්‍රශ්නවලට පිළිතුරු සැපයිණි. සාමිතුමා බුලත් වට්ටිය මත තැබූ කොළ කැබැල්ල ගෙන රජිතට දික් කළේය.   


එය අතට ගත් රජිත කියවා බලා පුදුම විය. තමන් පැවසූ සියලු විස්තර සාමිතුමා දුන් කොළ කැබැල්ලේ ලියා ඇත. ඊට අමතරව පියාගේ අංශභාග රෝගය සුව කරගැනීම සම්බන්ධවද එහි සටහන් කර ඇත. සාමිතුමා මවන ලද අළු ගෙන ගොස් නිවසේ හතර කොනේ වළලන ලෙස ද ඉතිරි අළු වතුරකට දමන ලෙසද එහි ලියා තිබිණි. සාමිතුමාගේ දේවාලයෙන් මවන ලද අළු ද රැගෙන තාත්තා සමඟින් රජිත නිවසට පැමිණ හතර කොනේ අළු වළලා දැමීය. ඉන්පසු මෙතෙක් පියාට කරගෙන ආ ආයුර්වේද ප්‍රතිකාර ද ඔහු නැවැත්වීය.   


ඒ සාමිතුමා විසින් ඒවා නතර කරන ලෙස ඔහුට පැවසූ නිසාය. දින සති මාස ගණන් ගතවිය. පියාගේ රෝගය සුවඅතට හැරුණේ නැත. රජිත බොහෝ කලකිරීමට පත්විය. මුදල් අඩුපාඩු බොහෝය. කුමක් කළ යුතුදැ’යි නිශ්චයක් නොමැත. නමුත් ඔහුගේ සිතේ සාමිතුමා ගැන තිබූ විශ්වාසය නැති වූයේ නැත. පියාට ප්‍රතිකාර නොකර ඔහු සාමිතුමාගේ විශ්වාසයෙන් පසුවිය. කොයි මොහොතේ හෝ පියා ඇවිදියි යන විශ්වාසය ඔහුගේ සිතේ විය. මාස ගණන් ගත වුණිද පියාට සුවයක් නොලැබීත් සාමිතුමා විසින් තමන් ඉදිරියේ පෙන්වූ බලගතුකම් ඔහුගේ සිත තදින් වෙළාගෙන තිබුණි. නමුත් පියාගේ කෙඳිරිගෑමත් ඔහු විඳින වේදනාවත් බලා සිටිය නොහැකි විය.   
ඒ අතරතුරදී රජිතට විද්‍යාකුලපති මහතා ගැන දැනගැනීමට ලැබුණි. ඔහු මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මුණගැසුණි. සියලු තොරතුරු විද්‍යාකුලපති මහතා හමුවේ පැවසීය. සියලු තොරතුරුවලට හොඳින් සවන් දුන් වෛද්‍යතුමා රජිතට පැවසූවේ තාත්තාව කායික රෝග වෛද්‍යවරයෙකුට පෙන්වන ලෙසත් හිතේ තිබෙන මනස්ගාත නතර කරන ලෙසත්ය.   


ඒ අනුව රජිතගේ තාත්තාට වෛද්‍ය ප්‍රතිකාර කිරීම නැවත පටන් ගැනුණි. නමුත් රජිත පවසන්නේ සාමිතුමාගේ බලගතුකම අවිශ්වාස කළ නොහැකි බවයි. තමන් ඉදිරියේදී අළු මවන බවත්, තමන් ඉදිරියේදීම තමන්ගේ මුහුණ දෙස බලා තමන්ගේ තොරතුරු සටහන් කළ බවත් ඔහු වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාට පැවසීය.   


එහි සත්‍යතාව විද්‍යාකුලපති මහතා පැහැදිලි කර දුණි. මම ඔබ ගැන කිසිවක් දන්නේ නැහැ. ඒත් මම කිසිවක් සටහන් කරනවා. ඉන්පසු මම ඔබගෙන් ප්‍රශ්න කිහිපයක් අසනවා. ඒ ප්‍රශ්නවලට ඔබ පිළිතුරු දෙනවා. ඉන්පසු මම දුම් අල්ලනවා. නැවත ඔබගෙන් ඇසූ ප්‍රශ්නම නැවත අසමින් මා ලියූ කොළ කැබැල්ල ඔබ අතට දෙනවා. එය බලා ඔබ පුදුම වන්නේ එහි ඔබේ සියලු විස්තර සඳහන් වන නිසා. නමුත් මා ලියූ කොළ කැබැල්ලේ ඔබේ කිසිදු තොරතුරක් ලියා නැහැ. මොකද මා ඔබ ගැන දන්නේ නැති නිසා. එහෙත් ඔබෙන් ප්‍රශ්න අසද්දි දොර ළඟ සිටි මගේ මිතුරා එය සටහන් කරගත්තා. මම දුම් අල්ලන විට එම කොළ කැබැලි දෙක මාරු කළා. අවසානයේ මා ඔබට දුන්නේ මා ලියූ කොළ කැබැල්ල නොවේ. ඔබගේ විස්තර ඔබ කියන අතරතුරදී දොර මුල්ලේ සිට මාගේ මිතුරා ලියූ කොළ කැබැල්ලයි. එකම වර්ගයේ කොළ දෙකයි එකම වර්ගයේ පෑන් දෙකයි.   


අළු මැවීමත් ඒ වගේමයි. සාමිතුමා කර ඇත්තේ විජ්ජාවක්. සියලුදෙනා රැවටී ඇත්තේ එයටයි. දැන් ඔබට පේනවා නේද ඔහු කර ඇත්තේ ඇස් බැන්දුමක් කියා. රජිතට සියල්ල වැටහිණි. වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ රජිතගේ පියාට තරමක් සුවය ලැබිණි.   


වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මෙයද පවසා සිටියේය. ‘‘බොහෝ දෙනෙක් සිතන්නේ මා අපේ සංස්කෘතික උරුමයන්ට පහර දෙන බවත්, දේවාලවලට, දෙවියන්ට විරුද්ධව කතා කරන බවයි. යකැදුරන්, ජ්‍යොතිෂඥයන්, කපු මහත්වරුන් වැනි අය සිතන්නේ මා ඔවුන්ට පහර දෙන බවයි’’.   


එය වැරදියි. ඒ මුවාවෙන් මිනිසුන් රවටමින් මුදල් ගරාගන්නා හොර තක්කඩියන්ට පමණයි මා පහර ගසන්නේ. ජ්‍යොතිෂය මගින් හෝ යාතිකා මගින් හෝ කෙනෙකුට යහපතක් සැලසේ නම් අප එයට පහර ගසන්නේ නැහැ. මිනිසුන් මුළා කරන්නන් පමණයි මා විවේචනය කරන්නේ.   


ඒ බවක් නොදැන සමහර අය කුලපති මහතාට වස් කවි කියා, පොල් ගසා, අනවින කළ අවස්ථාද ඇති බව ඒ මහතා පවසයි. කතරගමදී පොල් ගැසූ පුවත අප කවුරුත් දන්නා සත්‍යයකි.   


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්‍ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, වූ සත්‍ය සිදුවීමකි.)   

 


සටහන හා ඡායාරූප 
හබරාදුව නිමල් අල්ගෙවත්ත