අහිංසක සිසුවියක රැවටූ ‘ෆේස්බුක්’ පෙම්වතා


හිමිදිරි උදෑසන සුපිපි පින්න මලක් බඳු වූ ඇය 14 හැවිරිදි පාසල් සිසුවියකි.  ඇය ඉගෙනුම ලබන්නේ බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයකය.  


යමක් කමක් ඇති පවුලක එකම දියණිය වන ඇය හැදුනේ වැඩුණේ සියලු සැප සම්පත් මැද්දේය.  ඉගෙනීමට ද එකසේ හපන්කම් දැක්වූ ඇය පාසලේ ගුරුවරු ගුරුවරියන්ගේ ද නොමද ආදරයට ලක්වූවාය.  
අනාගතය පිළිබඳ දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැඳගෙන මව්පියෝ ඇයට අධ්‍යාපනය ලබා දුන්හ.  
‘දුවේ කොච්චර සල්ලි බාගෙ තිබුණත් ඔයා තමා අපිට තියෙන එකම වස්තුව. ඔයා හොඳට ඉගෙනගෙන දොස්තර නෝනා කෙනෙක් වෙන්න.’   


ඔවුන් ඇයගේ හිස අතගාමින් නිතර පවසා ඇත්තේ උතුරා ගිය සෙනෙහසකිනි.  
ගුරුවරු ගුරුවරියෝ ද ඇය ගැන මහත් බලාපොරොත්තු තබාගෙන සිටියහ. පන්තියේ සිටි කීකරුම ළමයා ද ඇය බැවිනි. සිසුවිය රෑ බෝවන තෙක් කාමරයට වී පාඩම් කිරීම පුරුද්දක් කරගෙන සිටියාය.  
‘දුවේ දැන් ඉතින් පාඩම් කළා ඇති ගිහින් නිද‌ාගන්න’ යැයි මව කියන තුරුම ඇය පාසල් පොත්වල ඇලී ගැලී උන්නාය.  
ඇය නිද‌ාගන්න යන්නේ මවගේ මුවින් ඒ වචන ටික කිහිපවරක්ම පිටවූ පසුවය. මව්පියන්ට ද ඇය අසීමිත ලෙස ආදරය කළාය.  


පාසල් පොත් අතරට මුහුණු පොත ආවේ ඔය අතරය. මුහුණු පොත ඔස්සේ ඇයට සමාජයේ පාසල් සිසුවෙකු හඳුනා ගැනීමට ලැබිණ. ඒ සිසුවා ඇය වෙත මුහුණු පොත හරහා එවා තිබුණ කෙටි පණිවිඩයකි. ඊට අවනත වූ ඇය ඔහු ඇසුරු කිරීමට පටන් ගත්තේ තමාගේම සහෝදරයෙකු ලෙස සිතාගෙනය.  
පාසල් සිසුවා ද ඇය වෙත එස්.එම්.එස්. පණිවිඩ එව්වේ නංගී යනුවෙන් සඳහන් කරමිනි.  
මට හොඳ අයියා කෙනෙක් ඉන්නවා යැයි ඇය තම මිතුරියන්ට ද කියා ඇත.  
 ‘ඔයා කොහොමද ඔච්චර හොඳ අයියා හඳුනා ගත්තේ’  
‘ෆේස්බුක් එකෙන් තමා ඒ අයියා මම හඳුනාගත්තේ’  
 ඇය ඔහු ගැන නිතර යෙහෙළියන් සමග දොඩමලු වූවාය.  
රෑ පාඩම් කරන හැම මොහොතකම ඇයට පාසල් සිසුවා වයිබර් තාක්ෂණය ඔස්සේ කතා කිරීමට අමත කළේ ද නැත.  


 ඇය ද ඔහුට අයියේ යැයි කටපුරා කියමින් කතා කළාය.  
ෆේස්බුක් සහෝදරත්වය ප්‍රේම සම්බන්ධයක් දක්වා දුර දිග යාමට වැඩි කාලයක් ගතවී නොමැත.  මුලින්ම ආදරය ඉල්ලා ඇති බව කියන්නේ සිසුවාය. ඇය ද ඔහුට කැමැත්ත දුන්නේ දුරදිග නොසිතාය.  
දවසක් රෑ පාඩම් කරමින් සිටින අතරවාරයේ ෆේස්බුක් ​පෙම්වතා ඇයට අයුතු යෝජනාවක් ගෙනැවිත් ඇත.  
‘අනේ මට ලැජ්ජයි අයියේ.’ යැයි කියා ෆේස්බුක් පෙම්වතාගේ ඒ ඉල්ලීම ඇය ප්‍රතික්ෂේප කළාය.  
ෆේස්බුක් පෙම්වතා නිතර නිතර ඒ ඉල්ලීම ඉටුකරන ලෙස ඇවිටිලි කිරීමට පටන්ගත් නිසා ඇය අවසානයේ ඔහුගේ ඉල්ලීම ඉටුකිරීමට එකඟ වූවාය.  මේ බාල වයස්කාර දැරියට ඉගැන්වූ ගුරුවරියකගේ මුහුණුපොතට නිරුවත් තරුණියකගේ වීඩියෝ පටියක් ලැබී ඇත.  
ඒ නිරුවත් වීඩියෝ පටිය තමාගේ පන්තියේ ඉගෙන ගන්නා මේ සිසුවියගේ බව හඳුනා ගැනිණි.  
 ඒ දිනවලම ඇයගේ නිරුවත් වීඩියෝව පාසලේම තවත් ගුරුවරියන් කිහිප දෙනෙකුගේ මුහුණු පොතට ද ලැබී තිබිණ.  
ගුරුවරියන් මේ බව ඇයගේ මව්පියන්ට දන්වා ඇයගේ ඒ නිරුවත් වීඩියෝ එය පෙන්වා ඇත.  
 බාල වයස්කාර සිසුවියගේ මව්පියන්ගේ හිස ගිනි ගත්​තේ ඒ වීඩියෝ පටිය දැකීමෙනි. කිසිම අඩුපාඩුවක් නොකර ආදරය කරන එකම ආදරණීය කීකරු දියණිය මේ වගේ දෙයක් කරාවි යැයි ඔවුන් සිහිනෙකින්වත් නොසිතන්නට ඇත. 

 
ඇයගේ මව්පියන්ට දැනුණේ තම සිරුරුවලට අකුණුසැර වැදුණා සේය.  
ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂිකා වරුණි බෝගහවත්ත මහත්මිය සොයාගෙන මව්පියන් දෙදෙනා ගොස් ඇත්තේ දියණිය ද කැටිවය.  
ළමයින්ට හා කාන්තාවන්ට සිදුවූ හිංසනයන් විවිධ අපචාර ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඒවාට සම්බන්ධ පුද්ගලයන් නීතියේ රැහැනට කොටුකරගෙන ප්‍රසිද්ධියට පත්ව සිටින නිසා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත මහත්මිය වෙත ඇබැද්දිය පැමිණිලි කිරීමට යාමට ඔවුන් ගත් තීරණය නිවැරදියි.  
කිසිම දවසක සැබැවින් දැක කතා බහ කර නොමැති ෆේස්බුක් පෙම්වතාගේ බලවත් ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නොහැකිව මෙවැන්නක් කිරීමට පෙළඹුණ බව බාල වයස්කාර දැරිය පොලිසියේදී හඬමින් පවසා ඇත.  


“මට එයා නිතරම ඇවිලිටි කළා. මේක මට වහා වදයක් වුණා. පාඩම් කරන වෙලාවට නිතර කතා කරනවා. මේ හින්ද‌ා මට පාඩම් කරන්නත් බැහැ. මම ඒ අයියාට කතා කරන එක නවතා දැම්මා. ඊට පස්සේ තමා එයා ඔය මගේ වීඩියෝ එක ෆේස් බුක් එකෙන් ප්‍රසිද්ධ කරලා තියෙන්නේ” යැයි ද සිසුවිය දෙඩුවාය.  
දැරිය පාසලෙන් ඉවත් කරන තෙක්ම නිරුවත් වීඩියෝව අතින් අතට යවා ප්‍රසිද්ධ කරන බවට ද ෆේස්බුක් පෙම්වතා තර්ජනය කර ඇති බව ඇය වැඩිදුරටත් කීවාය.  


මෙසේ තර්ජනය කර බාල වයස්කාර දැරිය රවටා ඇයගේ නිරුවත් වීඩියෝවක් ගෙන්වා ගෙන ඇත්තේ දකුණු පළාතේ පාසලක ඉගෙනුම ලබන මෙවර අ​.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත 23 හැවිරිදි සිසුවෙකු බව පොලිසිය කළ පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත.  


‘දරුවන්ට අසීමිත ලෙස ආදරය වාගේම ඔවුන් ගැන නිතර විපරමින් සිටීම අවශ්‍යයි. බාලවයස්කාර දරුවන්ගේ අතට ජංගම දුරකතන පත්කිරීමත් මෙවැනි සිදුවීම් වීම වළක්වන්න බෑ. මේ සිද්ධිය කාටත් හොඳ පාඩමක් බව ප්‍රධාන පොලිස් පරික්ෂිකා බෝගහවත්ත මහත්මිය බාලවයස්කාර සිසුවියගේ මව්පියන් දැනුම්වත් කරමින් පැවසුවාය.  


ඔබේ බාලවයස්කාර දරුවා අතට ජංගම දුරකතන පත්කිරීමෙන් මෙවැනි සිදුවීම් වීම වළක්වන්න බෑ. මේ සිද්ධිය තවත් හොඳ පාඩමක් බව ප්‍රධාන පොලිස් පරීක්ෂිකා බෝගහවත්ත මහත්මිය බාලවයස්කාර සිසුවියගේ මව්පියන් දැනුම්වත් කරමින් පැවසුවාය.  ඔබේ බාලවයස්කාර දරුවා අතට ජංගම දුරකතනයක් පත් කිරීමට​ පෙර දෙවරක් සිතා බලන්න. අධ්‍යාපන ක්‍රියාකාරකම් සඳහා දරුවා අතට එවැන්නක් පත් කරන්නේ නම් ඒ ගැන දැඩි අවධානයෙන් පසුවිය යුතුයි.  


මේ සිද්ධියෙන් ගත හැකි පාඩම් බොහෝය.  


ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත මහත්මිය ප්‍රධාන පොලිස් කණ්ඩායමක් වැරදිකාර සිසුවා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යති.  
 

 

සටහන 
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය