අහිංසක මුරකාරයෙක් දංගෙඩියෙන් බේරූ වෛද්‍ය පරීක්ෂණය


මළවුන්ගේ අනාවරණ

මිය ගිය මාලනීගේ හිස්කබලේ පතුලේ වූ භග්නය ඇගේ මරණය ගැන සාක්ෂි සැපයූ අයුරු අපූරු කතාවකි. මාලනී මියයාමට සතියකට පමණ පෙර රුධිර පීඩනය වැඩිවී ක්ලාන්තව ඇද වැටී රෝහල්ගත කර තිබිණ. එහෙත් ඇය දින කීපයකින් සුවය ලබා නැවත නිවසට පැමිණ ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වූ ඇගේ හිස් කබලේ වූ භග්නයේ ස්වභාවය අනුව එවැන්නක් සහිතව දින ගණනාවක් නොව පැය කීපයක් වත් ජීවත් වීම පුදුම සහගතය. ඒනිසා මෙය පෙර වැටීමෙන් සිදුවූ භග්නයක් විය නොහැකි බව අධිකරණ වෛද්‍යවරයාගේ මතය විය. එසේ නම් ඇය මරණයට පත් දිනයේ කිසිවකු විසින් එල්ල කළ ප්‍රහාරයකින් මෙම භග්නය සිදුව ඇය මරණයට පත්වීම සිදුවිය හැකි යන්න යථාර්ථයයි. එහෙත් මරණය සිදුවූයේ එවැනි පහරදීමකින් සිදුවූ භග්නයක් නිසා නම් හිස් කබලේ එම ස්ථානය ආසන්නයේ මාංශ පේශි තැළී තිබිය යුතුය. රුධිර ගලනයක් සිදුවිය යුතුය. එහෙත් එවැන්නත් මෙහි දක්නට නැත. එසේ නම් මේ මරණය සිදුවූයේ කෙසේද?   

 

මාලනී හැත්තෑ එක් වැනි වියේ පසුවූ වයෝවෘද්ධ කාන්තාවකි. ඇය වසර ගණනාවක් සිට ජීවත් වෙන්නේ තනිවමය. ඇගේ සැමියාගේ මරණයෙන් පසු ඇයට මෙසේ තනිවන්නට සිදුව තිබේ. මාලනීගේ සැමියා ධනවත් ව්‍යාපාරිකයෙකි. මේ දෙපළට දරුවන් තිදෙනෙක් සිටිය ද ඔවුන් සියලු දෙනා වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වූ අතර විදේශගතව ජීවත් වෙති. ඒනිසා මාලනීගේ සැමියාගේ මරණයෙන් පසු ඔවුන්ගේ දේපළ රැකබලාගන්නට කෙනෙක් නොමැති වූයෙන් ජීවත් වූ නිවස සහිත ඉඩම හැර අනෙක් සියල්ල විකුණා දැමීමට මාලනී කටයුතු කළාය. දේපළ විකුණා ලද ආදායම බැංකුවේ තැන්පත් කර ලැබෙන පොලියෙන් ඇය ජීවත් වූවාය. ඇගේ තනි නොතනියට හා නිවසේ ආරක්ෂාවට මුරකරුවකු බඳවා ගත්තාය. ඔහු කාලයක් තිස්සේ මාලනි සහ සැමියා හඳුනන කෙනෙක් වූ නිසා මාලනී ගැන හොඳින් සොයා බැලුවේය.   


මාලනී අධිරුධිර පීඩනයෙන් පෙළුණ අතර ඒ සඳහා ප්‍රතිකාර ලබාගත්තාය. එක් දිනක් ඇය හදිසියේ ක්ලාන්ත වී බිම ඇද වැටුණාය. ඇගේ මුරකරුවා වහාම ඇයව රෝහල්ගත කළ අතර දින කීපයකින් සුවය ලබා නැවත නිවසට පැමිණියාය. එහෙත් ඇයට තනිවම කොතැනකටවත් යා නොදී මුරකරු ඇයව රැකබලා ගත්තේ දරුවකු රැකබලා ගන්නා ආකාරයෙනි.   


ඇය රෝහල්ගතව සිට නැවත නිවසට පැමිණ දින 13ක් ගතවූ පසු දිනක මාලනීගේ මුරකරු උදෑසන තේ කෝප්පයත් රැගෙන ඇගේ කාමරයේ දොරට සුපුරුදු ලෙස තට්ටු කළේය.   


“නෝනා තේ ලෑස්තියි...” මුරකරු පැවසීය. එහෙත් කාමරයෙන් කිසිම ප්‍රතිචාරයක් නැත. නෝනාට තදට නින්ද ගිහින් දැයි මුරකරුට සිතුණ ද ඇයට උදේ හයෙන් පසු මේ තරම් තදින් නින්ද නොයන බව දැන සිටි මුරකරු නැවතත් කාමරයට තට්ටු කර ඒත් ප්‍රතිචාරයක් නොවූයෙන් දොර තල්ලු කර කාමරයට එබී බැලුවේය. මාලනී නෝනා තවම නිදියහනේමය. ඇයට අසනීපයක්වත්දැයි මුරකරුට සිතිණ. එහෙත් හීන් කෙඳිරියක්වත් නැතිව ඇය නිදා සිටිනා ආකාරය ඔහුගේ සිතේ සැක සංකා ඇති කරන්නට සමත් විය. මාලනීට ළංවූ මුරකරු ඇයට තවත් වතාවක් කතා කර ඒත් කිසි ප්‍රතිචාරයක් නොවූයෙන් අැඟ සොලවා කතා කළේය.   


මුලු සිරුරම සීතලව ගොසිනි. මේ සිදුවූයේ කුමක්දැයි සිතා ගත නොහැකිව ඔහු අන්දමන්ද විය. “මාලනී නෝනා මැරිලා” ඔහු වහාම ඒ බව ළඟම ඥාතීන්ට දැනුම් දෙනු ලැබිණ. ඥාතීන්හු කීප දෙනෙක් පැමිණ විස්තර දැනගෙන ඒ බව හදිසි මරණ පරීක්ෂකවරයාට දැනුම් දුන්හ. මේ මරණය සිදුව තිබෙන්නේ මුරකරු හා නිවසේ තනිවම සිටින අවස්ථාවක නිසා අධිරුධිර පීඩනය හේතුවෙන් මරණය සිදුවීදැයි හදිසි මරණ පරීක්ෂකවරයාට නිශ්චිතවම තීරණය කළ නොහැකිය. ඒ සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකළ යුතුව තිබේ. ඒනිසා පශ්චාත් මරණ පරීක්ෂණයකට සිරුර යොමු කරනු ලැබිණ. එය සිදුකළේ දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරි විසිනි.
මාලනී අවුරුදු හැත්තෑ එකක කාන්තාවක වීම නිසාත්, ඇය අධිරුධිර පීඩනයෙන් පෙළුණ නිසාත් මේ මරණය ස්වාභාවික මරණයක් ලෙස නිගමනය කළ හැකිව තිබිණ. එහෙත් ඇය සැලකිය යුතු ධනයක් සහිත බැංකු ගිණුම් හිමි ධනවත් ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක වූ නිසාත්, මරණය සිදුවන අවස්ථාවේ නිවසේ සිටියේ මුරකරුවෙකු පමණක් වූ නිසාත් පසුකලෙක ඥාතීන්ගෙන් ඉදිරිපත් විය හැකි ප්‍රශ්න එකවරම නිරාකරණය කරගැනීමේ අරමුණ ඇතිව හදසි මරණ පරීක්ෂකවරයා කැඳවූ පශ්චාත් මරණ පරීක්ෂණය නිසා ප්‍රශ්නය වෙනම පැත්තකට ගමන් කරනු ලැබිණ.   


අධිකරණ වෛද්‍ය නිලධාරි සිරුර බාහිරින් පරීක්ෂා කළ විට එහි කිසිදු තුවාලයක් හෝ සීරීමක්වත් දක්නට තිබුණේ නැත. සිරුර විච්ඡේදනය කළ ද අභ්‍යන්තර වශයෙන් ද කිසිදු තුවාලයක් දැකගත නොහැකි විය. ඇයගේ හෘදය වස්තුව විශාල වී තිබූ අතර වකුගඩු නියමිත ප්‍රමාණයට වඩා කුඩා වී තිබිණ. එය හෘදයාබාධයකින් නැත්නම් අධිරුධිර පීඩනයෙන් මියගිය අයකුගේ දැකිය හැකි තත්ත්වයකි. ඉහත කී ප්‍රශ්න නොවුණි නම් මේ සාක්ෂි අනුව එය අධිරුධිර පීඩනයෙන් වූ මරණයක් ලෙස සෘජුවම නිගමනය කළ හැකිව තිබිණ. එහෙත් මෙහි යම් ඝාතනයක් සිදුව ඇත්දැයි නිශ්චිත කරගැනීමට අධිකරණ වෛද්‍යවරයා ඇගේ හිස්කබල ද විවෘත කර බැලුවේය.   
එහිදී දක්නට ලැබුණේ අධිකරණ වෛද්‍යවරයා අන්දමන්ද කරන දර්ශනයකි. මියගිය මාලනීගේ හිස් කබල පතුලේ හරහට ඉතා පැහැදිලිව පෙනෙන ගැඹුරු අස්ථි බිඳීමක් හෙවත් භග්නයක් දක්නට ලැබිණ. ඒ නිසා මාලනීගේ මරණය හිස්කබලේ අස්ථි භග්නය නිසා සිදුවූවක් බව වෛද්‍යවරයාට සහතික විය.   

 

අධිකරණ වෛද්‍යවරයාගේ මේ නිගමනයෙන් මුරකරු වික්ෂිප්ත භාවයට පත්විය. තමන් කිසිසේත්ම මෙවැන්නක් නොකළ බව ඔහු සිය නීතිඥයාට පැහැදිලි කළේය. නීතිඥවරයා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි හමුවී සාකච්ඡා කළ ද සහනදායී පිළිතුරක් ලැබුණේ නැත. පොලිසියට ද මෙම මරණය මුරකරු විසින් සිදුකළ බවට තහවුරු කළ හැකි වෙනත් කිසිම සාක්ෂියක් සොයාගත නොහැකි විය. ඔහු මෙය සිදුකළේ නම් මාලනීට පහරදුන් පොල්ලක් කොතැනක හෝ තිබී හමුවිය යුතුය. එවැනි පහරදීමක් සිදුවී නම් එම ස්ථානයේ ලේ තිබී හමුවිය යුතුය. ලේ සහිත රෙදි ඉවත් කළේ නම් ඒවාට සිදුකළ දෙයක් සොයාගත යුතුය. එම කාමරයේ යම් ගැටුමක් ඇති වූ බවට කිසිම සලකුණක් හෝ සොයාගැනීමට පොලිසියට නොහැකි විය. ඒ නිසා සාක්ෂි සොයා ගන්නා තුරු නඩුව ඇදී ගියේය. එතෙක් මුරකරුට රිමාන්ඩ් භාරයේ පසුවන්නට සිදුවිය. මේ තත්ත්වය හමුවේ විත්තිකරු වූ මුරකරුගේ නීතිඥයා අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් නඩුව නැවත කැඳවා මේ පරීක්ෂණ වාර්තා අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකු මගින් නැවත පරීක්ෂා කරවා දෙවැනි මතයක් විමසන ලෙස ඉල්ලා සිටියේය. අධිකරණය ඊට ඉඩ දුන්නේය.   


මෙවැනි අස්ථි භග්නයක් සිදුවිය හැක්කේ එකකෝ තරමක ලොකු උසකින් බිම වැටීමෙන්, නැත්නම් මාර්ග අනතුරක දී වාහනයක ගැටී විසිවී වැටීමෙන්, එසේත් නැත්නම් කිසිවෙකු විසින් කිතුල් පොල්ලක් හෝ යකඩ පොල්ලක් වැනි තද යමකින් වැර යොදා පැත්තට හැරී හිසට එල්ල කළ පහරදීමකිනි. මෙවැනි භග්නයක් සිදුවූ අයෙක් කිසිසේත් පැය කීපයක්වත් ජීවත් නොවනු ඇත. ඒ නිසා මේ මරණය ඇය මීට පෙර වතාවක් බිම ඇද වැටීමෙන් සිදුවූවක් යැයි කිසිසේත්ම නිගමනය කළ නොහැකිය. ඇය ඇඳ මත මියගොස් තිබූ නිසා මෙහිදී සිදුවිය හැකිව තිබෙන්නේ තෙවැනි උපකල්පනයයි. ඒ අනුව යමින් හදිසි මරණ පරීක්ෂකවරයාට මේ බව දැනුම්දීමෙන් පසු ඔහු එය පොලිසියට දැනුම් දෙනු ලැබුවේ මෙය දැන් තමන් භාරයෙන් එපිට අධිකරණය සතු කාර්යයක් බව තහවුරු වූ නිසාය. අධිකරණයට ඉදිරිපත් වූ කරුණු අනුව යමින් මුරකරු අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කෙරිණ.   


අධිකරණ වෛද්‍යවරයාගේ මේ නිගමනයෙන් මුරකරු වික්ෂිප්ත භාවයට පත්විය. තමන් කිසිසේත්ම මෙවැන්නක් නොකළ බව ඔහු සිය නීතිඥයාට පැහැදිලි කළේය. නීතිඥවරයා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි හමුවී සාකච්ඡා කළ ද සහනදායී පිළිතුරක් ලැබුණේ නැත. පොලිසියට ද මෙම මරණය මුරකරු විසින් සිදුකළ බවට තහවුරු කළ හැකි වෙනත් කිසිම සාක්ෂියක් සොයාගත නොහැකි විය. ඔහු මෙය සිදුකළේ නම් මාලනීට පහරදුන් පොල්ලක් කොතැනක හෝ තිබී හමුවිය යුතුය. එවැනි පහරදීමක් සිදුවී නම් එම ස්ථානයේ ලේ තිබී හමුවිය යුතුය. ලේ සහිත රෙදි ඉවත් කළේ නම් ඒවාට සිදුකළ දෙයක් සොයාගත යුතුය. එම කාමරයේ යම් ගැටුමක් ඇතිවූ බවට කිසිම සලකුණක් හෝ සොයාගැනීමට පොලිසියට නොහැකි විය. ඒ නිසා සාක්ෂි සොයා ගන්නා තුරු නඩුව ඇදී ගියේය. එතෙක් මුරකරුට රිමාන්ඩ් භාරයේ පසුවන්නට සිදුවිය.   


මේ තත්ත්වය හමුවේ විත්තිකරු වූ මුරකරුගේ නීතිඥයා අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් නඩුව නැවත කැඳවා මේ පරීක්ෂණ වාර්තා අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකු මගින් නැවත පරික්ෂා කරවා දෙවැනි මතයක් විමසන ලෙස ඉල්ලා සිටියේය. අධිකරණය ඊට ඉඩ දුන්නේය.   


අධිකරණ වෛද්‍ය විශේෂඥ සරත්චන්ද්‍ර කොඩිකාර මහතාට මෙම පරීක්ෂණය භාර වෙන විටත් මාලනීගේ සිරුර භූමදානය කර තිබිණ. ඒ නිසා එළැඹෙන්නට සිදුවූයේ දැනට පවතින වාර්තා, ඡායාරූප, අන්වීක්ෂීය පටක පරීක්ෂණ අනුව නිගමනයකට එළැඹීම ඔහුගේ පළමු වෑයම විය. පළමුව ඔහු මාලනීගේ හෘදය වස්තුවේ සහ වකුගඩුවල පටක කොටස් අන්වීක්ෂීය පරීක්ෂාවට ලක් කරනු ලැබුවේය. එහි අධි රුධිර පීඩනය නිසා සිදුවන වෙනස්වීම් රැසක් දක්නට ලැබිණ. මොළය පරීක්ෂා කිරීමේ දී රුධිර නාළවල සැලකිය යුතු වෙනස්කම් දැකිය හැකිය. වෙනත් පැහැදිලි හේතුවක් නොවූයේ නම් ඇගේ මරණයට හේතුව අධිරුධිර පීඩනය ලෙස නිගමනය කළ හැකිව තිබිණ. එහෙත් මෙහි ගැටලුවක් තිබූ නිසා වෛද්‍යවරයා තවදුරටත් පරීක්ෂණය ඉදිරියට ගෙන ගියේය. 

 
මාලනීගේ හිසේ ඡායාරූප ද එකිනෙක පරීක්ෂා කළේය. ඇගේ හිස් කබලේ ඉදිරි කොටස අසාමාන්‍ය ලෙස ඝනකම් බව එම ඡායාරූප අනුව පැහැදිලි විය. හිස් කබලේ පතුල බිඳී ගොස් තිබුණ ද ඒ ආශ්‍රිතව රුධිර ගැලීමක් සිදුව නැත. සාමාන්‍යයෙන් මරණයට පෙර මෙම අස්ථී භග්නය සිදුවී නම් රුධිර වහනයක් සිදුවිය යුතුමය. එහෙත් මෙහි එවැන්නක් දක්නට නැත. එසේම මෙවැනි භග්නයක් සිදුවූයේ නම් අනිවාර්යයෙන්ම මොළයට හානියක් සිදුවී තිබිය යුතුය. එහෙත් මොළයේ කිසිම තුවාලයක් දක්නට නැත. හිස් කබලේ පතුල ආශ්‍රිත මාංශ පේශිවල තැළීමක් මෙන්ම පටක ඉරී යාමක් දක්නට ලැබිය යුතු නමුත් එවැනි කිසිවක් ද දක්නට නැත. මේ කිසිවක් නැතිව ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ හිස්කබලේ පතුල බිඳී යා නොහැකිය. දිස්ත්‍රික් අධිකරණ වෛදවරයා මේවා ගැන නොසලකා හැරියේ ඇයි?   


වෛද්‍ය විශේෂඥවරයාට යම් සැකයක් හිතේ ඇඳින. එහෙත් එය නිගමනය කිරීමට ද සාක්ෂි තිබිය යුතුය. තවදුරටත් ඡායාරූප පරීක්ෂා කරනු ලැබුවේ එහි කිසියම් සැක සහිත දෙයක් දක්නට තිබේ දැයි දැන ගැනීමේ අභිලාෂයෙනි. ඔහුගේ සැකය තහවුරු කරමින් එක් ඡායාරූපයක යම් උපකරණයක් දැකිය හැකි විය. හිස්කබල විවෘත කළ පසු එහි අභ්‍යන්තරය පෙන්වන ඡායාරූපයක හිස්කබල ආසන්නයේම පැත්තකින් දිස්ත්‍රික් අධිකරණ වෛද්‍යවරයා භාවිත කළ උපකරණයක් පෙන්නුම් කෙරිණ. එය පශ්චාත් මරණ පරීක්ෂණයක දී හිස්කබල විවෘත කිරීම සඳහා යොදාගන්නා යකඩ උපකරණයකි. මෙය භාවිත කර වෙර යොදා හිස්කබල විවෘත කිරීමට දරන උත්සාහයේ දී සිදුවන අතපසුවීමකින් මෙවැනි බිඳීමක් සිදුවිය හැකි බව වෛද්‍යවරයා දැන සිටියේය.   


ඒ අනුව යමින් අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා සිය නිගමනය අධිකරණයට ඉදිරිපත් කළේය. එහි සඳහන් වූයේ මාලනී අධිරුධිර පීඩනයෙන් මියගොස් ඇති බවය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අධිකරණයෙන් මුරකරු නිදොස්කොට නිදහස් කිරීමට නියෝග නිකුත් කෙරිණ. අධිකරණ වෛද්‍යවරයෙකු තමන්ගේ හිතේ සැකයක් තබාගෙන එය තහවුරු කිරීමට යාමෙන් මෙන්ම තමන් අතින් සිදුවන අතපසුවීම් නිසා ද එළැඹෙන නිගමන විසින් නිර්දෝෂී මිනිසෙකුගේ මුළු මහත් ජීවිතයම අඳුරට පත්වනු ඇත. ඔවුන් තමන්ට පැවරී ඇති වගකීම නිසියාකාරව හඳුනා ගෙන කටයුතු කිරීමට පරෙස්සම් වීම වැදගත්ය.   


(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත ඒවා බව කරුණාවෙන් සලකන්න.)   

 


අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් සටහන් කළේ 

 


මුදිතා දයානන්ද