අහිංසක තරුණයෙක් මිනීමරුවකු කළ ‘ දඩබිබර පුතා ’


පොලිස් චෝදනාගාරයෙන්

ළමයි ගහ බැණ ගත්තාම ඒවා දීර්ඝ කාලයක් හිතේ තියාගෙන සිටිනු ඇතැයි සිතීමට ඔබ අකමැති වනු ඇත. ඒ ඔබේ කුඩා කාලයේදී එසේ නොවූ නිසාය. එනම් දශක කීපයකට පෙර දරුවන්ට තරහ මරහ හිතේ තියාගෙන වෛරයෙන් පැසව පැසවා සිටීමට තරම් ඉඩක් දෙමාපියන්ගෙන් ද ලැබෙන්නේ නැත. දරුවන් මොන වරදක් කළ ද එය දෙමාපියන්ට අසල්වැසියන්ගෙන් දැනගන්නට ලැබෙනු ඇත. එවිට සිදුවූයේ කුමක්දැයි විමසා එය එතැනින්ම අවසන් වෙන පරිදි කටයුතු කිරීමට දෙමාපියන්ට අවස්ථාව උදා වේ. එසේම තමන්ගේ දරුවෙකුට අසල්වැසියකු තරවටු කළැයි ප‍්‍රශ්න ඇති කර ගත්තේ කලාතුරකිනි. ඒ තමන්ගේ දරුවා සේම අසල්වැසියාගේ දරුවා ද තමන්ගේ කරගෙන සිතන්නට එකල ඔවුහු පුරුදුව සිටි නිසාය. 
  
එහෙත් කාලය සමග මේ සබඳතා සියල්ල බිඳී විසිරී ගොසිනි. අසල්වැසියන් සමග ඇසුරු කිරීමට කාලයක් දෙමාපියන්ට නැත. අද වැඩිපුරම දැකගන්නට ලැබෙන්නේ මරණයක් මඟුලක් හෝ වෙනත් විශේෂ අවස්ථාවක පමණක් අසල්වැසි නිවෙසකට ගොඩවීමේ යාන්ත‍්‍රික සබඳතා පවත්වාගෙන යාමකි. ඒ නිසාම කෙබඳු පුද්ගලයන්දැයි හරිහැටි වටහා නොගත් අසල්වැසියාට ඔවුන්ගේ දරුවන්ගේ වැරදි කියන්නට ගොස් අමනාපකම් ඇතිකර ගන්නවාට වඩා කිසිවක් නොදැක්කා සේ සිටීම මැනවැයි වැඩි දෙනෙකු සිතන්නට පුරුදු වී තිබේ. මේ සමාජමය වෙනස බොහෝ සමාජ ව්‍යසනයන්ට බලපා ඇතැයි එක්වර පිළිගන්නට මැළිකමක් ඇතිවුවද එය තිත්ත ඇත්තකි. 


හෝකන්දර නිලංග මධුෂාන්ගේ කතාව අපට මේ ගැන යළි යළිත් සිතා බැලීමට පොළඹවනු නිසැකය. 


හෝකන්දර, හොරහේනේ පදිංචිව සිටි නිලංග මධුෂාන් පෙරේරා දහනව හැවිරිදි තරුණයෙකි. මව මිය ගොස් ඇති අතර පියා සහ සහෝදරියන් දෙදෙනා සමග ඔහු ජීවත් විය. පාසල් යන වයසේ පසුවුවද ඔහු පාසල් අධ්‍යාපනය ලැබුවේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ දක්වා පමණි. 


නිලංග උදේ දහය එකොළහ පමණ වෙනතුරු සාලයේ දිග පුටුවක දිගා වී නිදාගැනීම පුරුද්දක් කරගෙන සිටියේය. පසුගිය පෙබරවාරි 15 වැනිදා ද නිලංග පුරුදු පරිදි නිදාගෙන සිටියේය. එක් වරම තම ඇසක් සිදුරු කරගෙන තියුණු යමක් ඇස තුළට කිඳා බසිනු දැනී ඔහු කෑගසාගෙන නැගිට්ටේය. එහෙත් ඔහුට නැගිටින්නට ඉඩක් නොතබා අනෙක් ඇසට ද පහරක් එල්ල විය. ලේ ගලන දෑස් සහිතව වේදනාවෙන් ඇඹරෙමින් නිලංග තමන්ගේ ප‍්‍රතිවාදියා සමග පොර බැදුව ද කිසිදු ප‍්‍රතිඵලයක් නොලැබිණ. ප‍්‍රතිවාදියා මිනිත්තු කීපයක් ඇතුළත ඔහුගේ ගෙල, පපුව හා උදරය පෙදෙස කපාකොටා පළා ගියේ හීයක වේගයෙනි. 

 

 

අසල පිහිටි කඩයක සිටි අයෙක් නිලංගගේ කෑ ගැසීම ඇසී ඒ දෙසට දිව එද්දී රතු පාට කමිසයක් හෝ ටීෂර්ට් එකක් ඇඳගත් තරුණයෙක් නිලංගලාගේ ගෙදරින් පිටව දුව යනු දැක ගන්නට හැකි විය. එහෙත් ඒ පුද්ගලයා පසුපස හඹායාමට අසල්වැසියාට ඉඩක් නොවුණේ ලේ විලක් මැද වැටී සිටි නිලංග බේරා ගැනීම ඊට වඩා වටිනේ යැයි ඔහු සිතූ නිසාය. අසල්වැසියාගේ කෑ ගැසීමට එක් රොක් වූ පිරිස වහාම ක‍්‍රියාත්මක වී නිලංගව රෝහල් ගත කළහ. එහෙත් ඒ වෙන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරු පැවසූහ. 


මේ සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ අතර නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප‍්‍රසාද් රණසිංහ මහතා තමන් යටතේ පවතින මිරිහාන නොවිසඳුණු අපරාධ විසඳීමේ ඒකකයේ පොලිස් සැරයන් 56750 පියල් මහතා වෙත වැඩිදුර විමර්ශන සිදු කිරීමේ වගකීම භාර දෙනු ලැබිණ. ඒ අනුව පොලිස් කොස්තාපල් 36709 සුකුමාරන්, 40946 ගමගේ, 70701 සම්පත්, 85151 මඩවල යන නිලධාරීන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් මෙහි වැඩිදුර පරීක්ෂණ පැවැත්වූහ. 


එහිදී අනාවරණය වූ තොරතුරුවලට අනුව පාසල් ගමන හමාර කර ගමේ තරුණයන් සමග නඩේට වැටුණ නිලංග ගංජා සහ හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී ඇත. සංගීත සංදර්ශනවලට එක්වෙන ඔහු ඒ ගමන කෙළවර කරන්නේ කවුරුන් හෝ සමග ඇති කර ගන්නා ගුටිබැට හුවමාරුවකිනි. මරණය සම්බන්ධයෙන් සැක කරන කිසිවෙක් ගැන පැවැසීමට තරම් අදහසක් නිලංගගේ පියාට හෝ සහෝදරියන්ට තිබුණේ නැත. ඔවුන්ගේ අදහස වුණේ තම සහෝදරයා නැත්නම් පුතා අතින් පහරකෑමට ලක්වූවෙක් කළ පළිගැනීමක් විය හැකි බවය. 


ඒ අනුව පොලිසිය මාස හය හතක කාලය තුළ නිලංග සම්බන්ධ වූ සංගීත සංදර්ශන ගැනත් ඒවායේදී ඇති වූ කළහකාරි තත්ත්වයන් ගැනත් තොරතුරු රැස් කළේය. එසේම වෙනත් විවිධ ස්ථානවලදී නිලංගගෙන් පහර කෑමට ලක්වූවන් ගැන ද තොරතුරු රැස් කළේය. අනතුරුව ඔවුන් සොයා ගොස් කටඋත්තර ලබා ගත්තේය. එහෙත් ඒ කිසිවකින් පරීක්ෂණය ඉදිරියට ගෙන යා හැකි සාක්ෂියක් ලැබුණේ නැත. 


ඝාතනයෙන් පසුව මාසයක් පමණ කාලයක් ඉක්ම ගියේය. සිවිල් පුරවැසියන් සේ ගමට ගිය විමර්ශන ඒකකයේ නිලධාරීන්ට අලුත් තොරතුරක් ලැබිණ. එනම් නිලංගගෙන් පහරකෑම නිසා ලෙඩ වූ තරුණයෙක් පිළිබඳවය. පොලිසිය ඔහු සොයා ගොස් කට උත්තරයක් ලබාගත්ත ද ඔහු කරනු ලබන ප‍්‍රකාශවල පරස්පරතාවක් තිබුණෙන් එම තරුණයා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරන ලදී. එහිදී හෙළිදරව් වූයේ හදකම්පා කරවන පාපොච්චාරණයකි. අහිංසක තරුණයෙක් මිනීමරුවෙක් බවට පත් කළ කථාවකි. 


 සැකකාර තරුණයා තවමත් පාසල් අධ්‍යාපනය ලබන සිසුවෙකි. පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුණ ද හිසේ අමාරුවක් නිසා ඔහුට එය කළ නොහැකි විය. නිලංග මිය යාමට මාස හතකට පමණ පෙර සැකකාර තරුණයාට තදබල හිසේ කැක්කුමක් ඇති වී තිබේ. එසේම සිහිකල්පනාව මඳ ගතියක් ද ඇති වූයෙන් දෙමාපියන් ඔහුව වෛද්‍යවරයෙක් වෙත රැගෙන යනු ලැබිණ. 
තරුණයා පරීක්ෂා කළ වෛද්‍යවරයා ප‍්‍රකාශ කර සිටියේ හිස දැඩි යමක වැදීමෙන් හෝ හිසට එල්ල වූ දරුණු ප‍්‍රහාරයක් නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බවය. එයින් ඇති වූ තත්ත්වයක් මත නහයේ අභ්‍යන්තරයේ ශල්‍යකර්මයක් ද කරන්නට සිදුවිය. මේ හේතු නිසා ඔහුට තම බලාපොරොත්තුව පරිදි උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකි විය. සිදුවූයේ කුමක්දැයි සැකකාර තරුණයා දෙමාපියන්ට පැවසුයේ වෛද්‍යවරයාගේ නිගමනයෙන් පසුවය. 

 

 

ඒ අනුව ඔහුගේ මේ හිසේ අමාරුවට හේතු වූ දරුණු ප‍්‍රහාරය එල්ල කර තිබුණේ මිය ගිය නිලංග විසිනි. මේ තරුණයා ද නිලංගගේ ගමට අල්ලපු ගමේ වෙසෙන්නෙකි. සැකකාර තරුණයා රණ්ඩුවලට පැටලී නොයන නිසාදෝ රණ්ඩුව එතෙකින් අවසන් විය. එය සිදුවූයේ වසර එක හමාරකට පමණ පෙරය. 


මේ ආරංචියෙන් කම්පාවට පත් තරුණයාගේ මව නිලංග හමු වූ අවස්ථාවක පුතාට මේ ලෙස පහර දුන්නේ ඇයි දැයි විමසුවාය. එහිදී ඔහු මවට ද තර්ජනය කරමින් කියා සිටියේ “මගෙත් එක්ක හැප්පෙන්න ආවොත් පුතාට විතරක් නෙවෙයි අම්මටත් වෙන්නේ මගෙන් කන්න තමයි” යැයි පවසා ඇති බව සැකකාර තරුණයාගේ මව පොලිසියට පවසා තිබේ. මේ ප‍්‍රකාශයෙන් සැකකරු තුළ තව තවත් වෛරය වැඩිණ. 


උසස් පෙළ විභාගයට ද පෙනී සිටීමට තිබූ අවස්ථාව අහිමි වූ සැකකාර තරුණයා තුළ නිලංගගෙන් පළිගැනීමේ චේතනාවක් හට ගත්තේය. හෙතෙම කොළඹ කොටුවට ගොස් රම්බෝ පිහියක් මිලදී ගත්තේය. එය දෙමාපියන්ගෙන් සඟවා තබාගත් ඔහු නිලංග පමණක් නිවසේ සිටින වේලාවක් දැනගෙන දිනක් දහවල් දොළහයි තිහට පමණ නිලංගගේ නිවසට ගියේ හොර පූසෙකු මෙන් කාටත් නොදැනෙන්නට අඩි තබමිනි. නිලංග පුරුදු පරිදි දිග පුටුවේ නිදාගෙන සිටියේය. වෛරයෙන් කැකෑරෙමින් සිටි සැකකරු පිහිය අතට ගත් සැණින් පළමුව නිලංගගේ දෑසට පිහි පහර එල්ල කළේය. අනතුරුව තමන්ට හිතුන හිතුන තැන්වලට පිහි පහර එල්ලකොට මිනිත්තු කීපයක් ඇතුළත පළා ගියේ නිලංගගේ කෑ ගැසීමට එකතුවන්නන්ගෙන් මිදීමටය. 


ආපසු නිවස බලා යන අතර නිලංගට පහර දුන් රම්බෝ පිහිය වෙළට විසි කළ තරුණයා නිවසේ පිටුපස ළිඳ වෙත ගොස් ලේ තැවරුණ ඇඳුම් මාරු කර ඒවා සියල්ල පුලුස්සා දැමුවේය. වෛරය පිරිමැසූ ඔහු කිසිවක් නොවුවා සේ කාලය ගත කළේය. එහෙත් අපරාධයක් කර මොන තරම් පරෙස්සමෙන් සාක්ෂි විනාශ කරන්නට තැත් කළ ද අපරාධකරුවන්ට ගැලවීමක් නොවන බව තහවුරු කරමින් නිලංගගේ මිනීමරුවා පොලිසියට කොටු විය. 
දඩබ්බර තරුණයෙකුගේ, නොමග ගිය තරුණයෙකුගේ වැරදි ක‍්‍රියාවක් නිසා අහිංසක තරුණයෙක් මිනීමරුවෙක් බවට පත් විය. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා කළ පාපොච්චාරණයට අනුව ඔහු විසි කළ පිහිය සොයා ගත් අතර පුලුස්සා දැමූ ඇඳුම්වල කොටස් ද හමු විය. අසල්වැසි වෙළෙඳ සලේ හිමිකරු පැවසූ පරිදි පැනගිය තරුණයා හැඳ සිටියේ රතු පැහැ ටීෂර්ට් එකක් හෝ කමිසයකි. පිළිස්සූ ඇඳුම් කොටස් අතරින් ඉතිරිව තිබූ රතුපාට කොටස්වලින් ඒ සාක්ෂිය තහවුරු විය. 

 

 


මුදිතා දයානන්ද සමග


මොරගහහේන - බුද්ධික කුමාරසිරි