අහසේ අවිදින්න යන කාන්තාවෝ දෙදෙනා


ලෝකෙන් ටිකක්

 

 

පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඉන්ජිනේරුවරියන් වන ජෙසිකා මියර් සහ ක්‍රිස්ටිනා කොක් පසුගිය 18 වැනිදා ඓතිහාසික ගගන වික්‍රමයකට එක්වූහ. එම වික්‍රමය, ගගන සක්මනකි. ගගන සක්මනක් (ඉංග්‍රීසියෙන් ස්පේස් වෝක්) යනු අභ්‍යවකාශයේ පාවී යමින් යම් කිසි කාර්යයක හෝ නිරීක්ෂණ කටයුත්තක නියැළීමය. කාන්තා ගගනගාමිනියන්ට අභ්‍යවකාශය ආගන්තුක නොවේ. මීට පෙර අවස්ථා ගණනාවකදී, කාන්තාවන් ගගන සක්මන්වල යෙදී ඇත. එහෙත් ඒ පිරිමි ගගනගාමීන් ද සමඟය. කාන්තාවන් පමණක් සහභාගී වූ ගගන සක්මනක් මින් පෙර සිදුවී නැත. ජෙසිකා මියර් සහ ක්‍රිස්ටිනා කොක්ගේ වික්‍රමය ඓතිහාසික එකක් වන්නේ ඒ නිසාය.   


ජෙසිකා මියර් සහ ක්‍රිස්ටිනා කොක් දෙදෙනා අභ්‍යවකාශ නැවැතුම්පොළෙන් පිටතට ගොස්, පැය 7 කට ආසන්න කාලයක් අභ්‍යවකාශයේ ගත කරමින්, අභ්‍යවකාශ නැවැතුම්පොළට සම්බන්ධ අක්‍රිය බැටරියක් ඉවත් කර නව බැටරියක් ස්ථානගත කළහ. මෙම ‘වික්‍රමය’ ඓතිහාසික එකක් පමණක් නොව, ‘කාන්තා වර්ගයාට ලොකු පිම්මක්’ යැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේ, 1969 ජූලි 20 වැනිදා, පළමුවෙන් සඳට පය තැබූ නාසා ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝන් කී, ‘මිනිස් වර්ගයාට මහ පිම්මක්’ යන වදන් සිහිපත් කරමිනි. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව, කාන්තාවන් දෙදෙනාගේ වික්‍රමය ඇමෙරිකාවේ කාගේත් පැසසුමට ලක් විය.   


ගගන සක්මන ආරම්භ වූයේ ඇමෙරිකාවේ වේලාවෙන් උදෑසන 7.38 ටය. ගගන සක්මන සම්බන්ධ සියලු දසුන් සජීවී ලෙස නාසා ආයතනයට ලැබුණු අතර, ඇමෙරිකන් මාධ්‍ය ඒ දසුන් විකාශය කළේ මහත් උද් යෝගයකිනි. සුදු පැහැති ගගන ඇඳුමින් සැරැසී, පළමුවෙන් අභ්‍යවකාශ නැවැතුම්පොළෙන් පිටතට ආවේ ක්‍රිස්ටිනා කොක් ය. ඇය පසුපසින් ජෙසිකා මියර් ආවාය. කාන්තාවෝ දෙදෙනා කලබලයක් නැතිව, සන්සුන්ව එකිනෙකා සමඟ හොඳින් පණිවුඩ හුවමාරුවේ යෙදමින් දෙදෙනා තම රාජකාරිය අකුරට ඉටු කළහ.   
කාන්තාවන් පමණක් සහභාගී කර ගනිමින් ගගන සක්මනක් පැවැත්වීමට නාසා ආයතනය සැලැසුම් කළේ පසුගිය මාර්තු 22 වැනිදාය. එම අවස්ථාවේදී ද ක්‍රිස්ටිනා කොක් අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටියාය. ඇය සමඟ ගගන සක්මනට එක්වීමට තෝරා ගැනුණු අනෙක් තැනැත්තිය ඈන් මැක්ක්ලේන්ය. එම ගගන සක්මනේ අරමුණ වූයේ ද බැටරියක් මාරු කිරීමය.   


කෙසේ නමුත් අවසන් මොහොතේ ගැටලුවක් මතු විය. ක්‍රිස්ටිනා කොක් සහ ඈන් මැක්ක්ලේන්ගේ සිරුරුවලට හොඳින් සවි වන ගගන ඇඳුම් කට්ටල අභ්‍යවකාශ නැවැතුම්පොළේ තිබුණේ එකක් පමණි. එහෙයින්, ක්‍රිස්ටිනා කොක් ගගන සක්මනට එක්වූයේ ගගනගාමී නික් හේග් සමඟය. ගගන සක්මනට එක්වීමට අවස්ථාවක් නොලැබුණත්, ඈන් මැක්ක්ලේන් ද ඉතිහාසයේ නම රැඳවීමට සමත් වූවාය. ඒ, පළමු වරට පෘථිවියෙන් පිට අභ්‍යවකාශයේ සිට අපරාධයකට එසේත් නැතිනම් නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වීමෙනි.   
ඈන් මැක්ක්ලේන් සමලිංගික තරුණියකි. ඇයගේ සහකාරිය සමර් වෝඩ්න් නමැත්තියයි. මොවුන් දෙදෙනා විවාහ වී සිටින අතර, වෝඩ්න්ට ඇගේ පළමු කසාදයෙන් පුතෙක් සිටී. මෙම පුතා සම්බන්ධයෙන් යුවළ අතර බහින්බස්වීම් පවතී. අභ්‍යවකාශයේ සිටිද්දී, ඈන් මැක්ක්ලේන් අභ්‍යවකාශ නැවැතුම්පොළේ සුපිරි පරිගණක පද්ධතිය යොදා ගනිමින් වොඩ්න්ගේ බැංකු ගිණුමට හොරෙන් ඇතුළු වී, එහි මුදල් කොපමණ ඇත්දැයි සොයා බැලීමක් කර තිබේ. ඈන් මැක්ක්ලේන් යළි පෘථිවියට ගෙන්වා ගැනීමට නාසා බලධාරීන් කටයුතු කළ අතර ඇය සම්බන්ධයෙන් තවමත් විමර්ශන කටයුතු සිදුවෙයි.   


ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ ඇත්තේ පොළොව මට්ටමේ සිට කිලෝ මීටර් 425 ක් ඉහළිනි. නිදන කාමර, වැසිකිළි, (නැවතුම්පොළේ ඇත්තේ සුවිශේෂී වැසිකිළිය. මල බැහැර කෙරෙන්නේ අභ්‍යවකාශයට), රසායනාගාරයක්, හරිතාගාරයක්, ශරීර සුවතා මධ්‍යස්ථනයක් අභ්‍යවකාශ නැවැතුම්පොළට ඇතුළත්ය. 1998 වසරේ ඇමෙරිකාව මෙම අභ්‍යවකාශ නැවතුම්පොළ ඉදිකිරීම ආරම්භ කළේය. ඉන්පසු රුසියාව ඊට සම්බන්ධ විය. 1998 සිට 2000 වනතුරු ලොව අභ්‍යවකාශ ආයතන සියල්ලේම එකමුතුවෙන් නැවතුම්පොළ නිර්මාණය වී අවසන් කෙරුණි. ඒ, කොටස් කොටස් උඩු ගුවනට ගෙන ගොස් එකලස් කරමිනි. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ලෙස මෙය හැඳින්වෙන්නේ එම එකමුතුව නිසාය.   
මේ මොහොත වනවිට ක්‍රිස්ටිනා සහ ජෙසිකාට අමතරව, නාසා ඉන්ජිනේරුවෝ සිවු දෙනෙක් අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටිති. මාස කිහිපයකට වරක්, මාරුවෙන් මාරුවට පෘථිවි අභ්‍යවකාශ ආයතන නියෝජනය කරමින් ඉන්ජිනේරුවන්, පර්යේෂකයන් අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස් එහි රැඳී සිටින්නේ විවිධාකාරයේ පරීක්ෂණ කරමිනි. ඓතිහාසික ගගන සක්මන අවසන් වීමෙන් පසු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට සජීවීව, උඩු ගුවනේ සිටින ක්‍රිස්ටිනා කොක් සහ ජෙසිකා මියර් සම්බන්ධ කර ගනිමින් ඔවුන්ට සුබ පැතුවේය.   


ට්‍රම්ප්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙසිකා මියර් හඳුන්වා දුන්නේ ‘අභ්‍යවකාශයට පළමු කාන්තාවන්’ යනුවෙනි. තමන් අභ්‍යවකාශයට ගිය පළමු කාන්තාවන් නොවන බවත්, කාන්තාවන් පමණක් සහභාගී වූ පළමු ගගන සක්මන තමන් විසින් සිදු කළ බවත් ක්‍රිස්ටිනා කොක් සහ ජෙසිකා මියර් පසුව පැහැදිලි කිරීමක් ද කළහ. ට්‍රම්ප් අභ්‍යවකාශ නැවැතුම්පොළ සමඟ සම්බන්ධ වූයේ, නාසා ප්‍රධානී ජිම් බ්‍රිඩෙන්ස්ටයින්, ට්‍රම්ප් දියණිය මෙන්ම උපදේශිකාවක ද වන ඉවන්කා, උපජනාධිපති මයික් පෙන්ස් ඇතුළු ධවල මන්දිරයේ නිලධාරීන් බොහෝ දෙනකු ද පිරිවරාගෙනය.   
ඉතිහාසයේ පළමු වරට අභ්‍යවකාශයේ ඇවිද ගිය එසේත් නැතිනම් ගගන සක්මනක යෙදුණු පළමු කාන්තාව, සෝවියට් අජටාකාශගාමිනිය ස්වෙත්ලානා සවිට්ස්කියා ය. ඒ, 1984 දීය. ලෝක ඉතිහාසයේ පළමු වරට අභ්‍යවකාශයට ගියේ ද සෝවියට් අජටාකාශගාමිනියකි. ඇය වෙලන්ටිනා තෙරෙස්කෝවාය. ඒ, 1963 දී ය. පසුගිය දා සෝවියට් අජටාකාශගාමී ඇලෙක්සි ලියොනෝව් අභාවප්‍රාප්ත විය. ගගන සක්මනක යෙදුණු පළමු මිනිසා මොහුය. ගගන සක්මනක නියැළුණු පළමු ඇමෙරිකන් කාන්තාව කැතරින් ඩ්වයර් සුලිවාන් ය. ඇය එම වික්‍රමය කළේ 1984 දීය.   

 


ලුසිත ජයමාන්න   
ඩේලිමේල් ඇසුරිනි