අසුවුණොත් මරණය ගෙනදෙන ලංකා මුහුදේ දියවැල්


 
 
ජෛව ගෝලයේ ඇති විශාලම හා ඉතා සුවිශේෂ පරිසර පද්ධතිය මහා සාගරය වෙයි. මිනිසාගේ ප්‍රියජනකම ස්ථානයක් ලෙසත් අතිශය භායනකම පරිසර පද්ධතියක් ලෙසත් මේ මහා සාගරය හැඳින්විය හැක.   
මේ සඳහා අපට අත්දැකීම් ගණනාවක් ඇතත් ඉන් අප මුහුණ දුන් බරපතළම අත්දැකීම සුනාමියයි. මීට අමතරව මුහුදේ දිය නෑමට සහ අනාරක්‍ෂිත ලෙස මුහුදු වෙරළ, ගල්පර මත විනෝද වීමට ගොස් සිදුවූ අනතුරුවලින් මියයන සංඛ්‍යාව අද දිනෙන් දින වැඩිවෙමින් පවතී.  
 
විනෝද චාරිකා අතරතුර ගඟත් මුහුදත් දුටුවහොත් පීනන්නට දැන හෝ නොදැන වතුරට බැස, විනෝද වෙන්න බොහෝ අය අමතක කරන්නේ නැහැ. එහෙත් මෙලෙස විනෝදයට, ආසාවට මහ මුහුද සමඟ එක්ක කරන්නට යන අනාරක්‍ෂිත ක්‍රියාවන් නිසා අවසානයේදී දියේ ගිලී මිය යෑමේ ලැයිස්තුවට එකතු වෙනවා. අවාසනාවන්ත ලෙස වසරකට දහසකට අධික සංඛ්‍යාවක් දියේ ගිලී මිය යන බවට වාර්තා වන අතරම මෙයත් අටසියයකට අධික පිරිසක් වර්තා වන්නේ මුහුදේ නෑමේදී මිය යෑම් ලෙසය. මේ වසරේ මුල් මාස තුන ඇතුළත මුහුදේ ගිලී මියගිය සංඛ්‍යාව 179කි. ඒ අතර කාන්තාවන් 32ක් සහ පිරිමින් 143ක් වූ බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.  
 
පිහිනීමට නොදැනීම, මත්පැන් පානය කර සිටීම සහ මුහුදු වෙරළ ආශ්‍රිතව ඇති වන දියවැල්වලට හසු වීම මේ අනතුරුවලට හේතු වී ඇත.   
 
මේ අතුරින් මෑතකදී අපට අසන්නට ලැබුණු අනුවේදනීයම සිදුවීම වන්නේ එකම පවුලේ මව පියා හා දියණියන් දෙදෙනා කිරින්දේදී මාරක දියවැලකට හසුවී මිය යෑමේ සිද්ධියයි. මේ නිසා ඔබ මුහුදේ සුන්දරත්වය සහ එහි විනෝදවන්නට යන්නට පෙර එහි සිතා බලන්නට බොහෝ දේ තිබේ. මුහුදේ දියවැල්වලින් බේරෙන්නේ කොහොමද? බේරෙන්න පුළුවන්ද? මොනවද මේ දියවැල්? කියලා සමූද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාගෙන් අප විමසීමක් කළා.   
 
 
පොලිස් මාධ්‍ය ඒකකයේ වර්තා අනුව දියේ ගිලී මිය ගිය සංඛ්‍යාවන් 
වසර මියගිය සංඛ්‍යාව  
 
2016 878  
2017 727  
2018 768  
2019 179
 
(කාන්තාවන් 32 පිරිමි 143)  
 
(මුල් මාස තුන ඇතුළත)  
 
මුහුදු රළ පෑගීමට, මුහුදේ නාන්නට පෙර වෙරළ කලාප නිරීක්‍ෂණ.  
 
මුලින්ම කියන්න ඕන මහ මුහුද කියන්නේ ස්වාභාවික සුන්දර තැනක්. අපි මහ මුහුදට ගෞරව කරන්න ඕන. මුහුදට ගරු නොකර අපි මුහුදට අභියෝග කරන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ අපිමයි.  
 
ප්‍රථමයෙන් මුහුදට බහින්න හෝ රැල්ල පාගන්න කලින් අප කළ යුත්තේ මුහුද සහ මුහුදු රළ පිළිබඳ නිරීක්‍ෂණය කිරීමයි. ඒ ප්‍රදේශයේ මුහුද අනාරක්‍ෂිත බව, මුහුද සහ මුහුදු රළ පිළිබඳ නිරීක්‍ෂණය කිරීමයි. ඒ ප්‍රදේශයේ මුහුද අනාරක්‍ෂිතද, මුහුදු රැල්ලේ ස්වභාවය එම ස්ථානයේ ඉතිහාසය සැලකිය යුතුයි.  
 
අනතුරු වෙලා තියෙනවද? දියවැල්වලට අහුවෙලා තියෙනවද? මරණයට පත්වෙලා තියෙනවද? ආදී දේවල් වගේම එම ස්ථානයේ නෑමට සුදුසුද යන්න අනිවාර්යයෙන්ම දැනගන්න ඕන.  
 
ඒ අවට පදිංචි වෙලා ඉන්න, ඒ අවට නිතර ගැවසෙන, දේශීය, විදේශීය කාගෙන් හෝ ඒ ස්ථානය පිළිබඳ දැනගන්නට පුළුවන්. යන්නන්වාලේ මුහුදේ නාන්න යාම, රළ පෑගීමට යාම නොකළ යුතුමය.  
 
තමන්ගේ හිතු මනාපයට අනතුරුදායක තැන්වලට යනවා කියන්නේ ඔබගේ ජීවිතය වගේම ඔබ සමඟ යන අයගේ ජීවිතය පරදුවට තැබීමක්.  
 
 
නෑමට සුදු මුහුදු වෙරළක්
 
 
 
 
මුහුදේ විතරක් නෙමෙයි දියවැල් වැව් ගංගාවලත් තියෙනවා.  
 
දියවැල්, දියසුලි අනුරාධපුරය, පොළොන්නරුව පැත්තේ වගේම දකුණු පළාතේ තියෙන ඇළ දොළ ගංගාවලත් පවතිනවා. ඒ නිසා මොන ස්ථානයේ නාන්න ගියත් පරිස්සම් වීම තමන් සතුවෙනවා. විශේෂයෙන් මත්පැන් භාවිත කරලා ඇළක, දොළක හෝ මුහුදේ නෑම ඉතාම අනතුරුදායකයි.මොකද මත්පැන් භාවිත කරපු කෙනෙක් ගිලෙන්න දියවැල් ඕනෑම නැහැ.   
 
මුහුද සුන්දරයි වගේම ප්‍රචණ්ඩයි.  
 
මෝසම් සුළං කියන්නේ ගල්පර වැසී යන තරමට මුහුද සැර වෙන කාලය. මේ තත්ත්වය ගොඩක් අය අඳුරන්නේ නැහැ. මෝසම් සුළං නැති කාලෙට ගල් පුවරු මත විනෝද වුණාට මෝසම් සුළං කාලෙට ගල් පවුරු මත නැග විනෝද වීම, එම ස්ථානවල රැල්ල පෑගීම සුදුසු වන්නේ නැහැ. මොකද ක්‍ෂණිකව ඒ දිය රැල්ලට පොර බදන්න කෙනෙකුට අමාරුයි. දියවැලත් වගේ මුහුදටම අරගෙන ගිහින් තමයි රැල්ල අවසන් වෙන්නේ.  
 
වෙරළ කාලපයේ ප්‍රධාන වශයෙන් දියවැල් දෙවර්ගයක් තියෙනවා. RIP Currents සහ Low shore currents වෙරළෙන් මුහුද මැදට ගමන් කරන දියවැල (Rip Currents) ලෙසද මුහුදත් සමඟ වෙරළ දිගේ ගමන කරන දියවැලි (Low shore currents) ලෙස හඳුවනවා.  
 
දියවැලක් ඇති වෙන්නේ සහ දියවැලක් අඳුර ගන්නේ මෙහෙමයි.  
 
දියවැලක් යනු එක් පැත්තකට ගමන් කරන දිය දහරාවයි. එමෙන්ම එහි වේගය, පළල, ස්ථානය අනුව වෙනස් වන්නට පුළුවන්. මුලින්ම දියවැලක් හඳුනා ගැනීම වැදගත්. සාමාන්‍යයෙන් දියවැලක් කියන්නේ පටු වතුර ධාරාවක්. සාමාන්‍යයෙන් මුහුදු වෙරළක ඉඳලා, ගැඹුරු මුහුදට වේගයෙන් ගලාගෙන යන වතුර ධාරාවක්. මිනිත්තුවකට අඩු කාලයකදී මීටර් තුන්සියයක් පමණ වෙරළෙන් ඈතට ඔබව රැගෙන යන්න දියවැලකට පුළුවන්.   
 
දියවැල් ස්ථානයන් හඳුනා ගන්නා මුහුදට බහින්නට පෙර මුහුද රළ මුහුද හොඳින් නිරීක්‍ෂණ කළ යුතු වෙනවා.  
 
දෙපැත්තකින් එන රළ ඇවිත් ගැටෙන තැන මැද අසාමාන්‍ය ලෙස සන්සුන් ජලය රේඛාවක් ලෙස මුහුදු වෙරළේ සිට මුහුදට යනවා නම්, මුහුදු රළ ගොඩක් පෙන සහිත නම්, කැලඹිලි වැඩියි නම් වෙරළ ආසන්නයේ දී රළ බිඳෙන විට සුදු පැහැයක් දක්නට ලැබෙනවා නම් මුහුද අඳුරු පැහැයක් ගන්නවා නම් එම ස්ථාන දියවැල් බහුල ස්ථාන ලෙස හඳුනා ගෙන තිබෙනවා. මේ නිසා ඔබ කොයිතරම් පිහිනීමට දක්‍ෂ වුණත් මුහුදට බහින්න පෙර මුහුද නිරීක්‍ෂණය කිරීම වැදගත් වෙනවා.  
 
ඒ වගේම වෙරළ ආසන්නයේ තිබෙන ගල්පර තෙත සහිත නම් කිසිම විටකත් එම ගල්පර මත විනෝද වෙන්න යන්න එපා. සමහර අවස්ථාවල එකවරම මුහුද සැර වෙන්න පුළුවන්. මේකට අපි කියනවා freak waves කියලා. මේක ක්ෂණිකව ගල් වැහෙන ලොකු රැල්ලක් විදිහට එනවා.  
 
ගල් පරයක ඉන්න අවස්ථාවක freak waves වගේ ලොකු රැල්ලක් ආවොත් බයට දිවීම සුදුසු වන්නේ නැහැ. ඒ අවස්ථාවකදී තමන් ඉන්න තැනම බිමට ගුළි වෙලා ගල බදා ගැනීම තමයි අනතුරෙන් මිදීමට නිවැරදි ක්‍රමය වන්නේ. දුවන කොට අපේ ශරීරය සමබර නැතුව වැටෙන්න සහ මුහුදු රළ සමඟ මුහුදට ගසාගෙන යන්න පුළුවන්. කිසිසේත්ම මුහුදු රැල්ලක් එනකොට දිවීම අනතුරුදායකයි.  
 
තවත් විශේෂම කරුණක් තමයි මුහුද ඇතුළත හදලා තියෙන ගල් වැටි, බෝට්ටු නවත්වන ජැටි, පාලම් වගේ ස්ථානවලින් අඩුම තරමේ මීටර් 150ක් ඈතින් නෑම. එය ඉතා සුදුසුයි. දියවැල් එම ස්ථානයන් අසල ඇති වෙන්න පුළුවන්.   
 
දියවැලකට හසුවුවහොත්  
 
වෙරළෙන් මුහුද මැදට ගමන් කරන දියවැලක් (Rip Currents) නොදැනුවත්ව මුහුදට ඇදගෙන යාම සිදුවෙනවා. බොහෝ අය අනතුරට, මරණයට පත්වෙන්නේ මෙන්න මේ රිප් කරන්ට් කියන දියවැලෙන්. ඉතාමත් නිසල මුහුදේ පවා ඇති වන මෙවැනි දියවැල් මුහුදේ පිහිනමින් සිටින අය මෙන්ම රැල්ල පාගල ඉණ තෙක් මුහුදට බැස සිටින අය පවා ගැඹුරු මුහුදට ඇදගෙන යන්න පුළුවන්.  
 
දියවැලකට හසුවුවහොත් කිසිම විටෙක ඊට එරෙහි ව පීනන්න උත්සාහ නොකළ යුතුයි. අපි මුහුදට විරුද්ධව ගොඩට පීනන්නට උත්සාහ කළත් අපි පීන්නනේ එක තැනමයි. මොකද දියවැලේ වේගය ඔබේ පිහිනුම් වේගයට වඩා වැඩි නිසා ඔබට එය කළ නොහැකි වෙනවා. දියවැලි සමඟ සමාන්තරව පිහිනීමෙන් සහ හරහට පිහිනීමෙන් දියවැලෙන් ඉවත් විය හැකිය.  
 
දියවැල සමඟ විරුද්ධව පිහිනුවහොත් වෙහෙසට පත්වෙලා ශරීරය අප්‍රාණික වෙන්න පුළුවන්. පිහිනීමට දන්න කෙනෙක් නම් (දියවැලකට හසුවුණු ගමන් පාවීමෙන් දියවැලෙන් ඉවත් වීමට හැකිවෙනවා. පිහිනන්න බැරි කෙනෙක් නම් මුහුදට බහින්න ඕන, රැල්ල පාගන්න ඕන මුහුද ගැන දැනුම්වත් වෙලා. එහෙම නොවුණොත් ඔබේ ජීවිතය මරු වැලක සැඟවෙන්න පුළුවන්.   
 
පිහිනීමට නොදන්න කෙනකේ නම් දියවැලකට අහුවුණා කියලා මැරෙන්නේ නැහැ. පළවෙනිම දේ කලබල නොවීම. ඊළඟට දියවැල සමඟ මුහුද දෙසට ගිය පසු රැල්ල කැඩෙන තැනින් (දියවැල ඉවර වෙන තැන) මිනිත්තු කිහිපයකින් වෙරළට සමාන්තරව දියවැල ඉවත් වුණු වහාම උඩට මතුවෙනවා. ඒ අවස්ථාවේදී හොඳම දේ අත්දෙක උස්සලා උදව් ඉල්ලන එක.  
 
යම් හෙයකින් කෙනෙක් දියේ ගිලෙනවා නම් එම තැනැත්තා වහා ඇල්ලීමට යාමෙන් වළකින්න ඕන. මොකද ඔබ පුහුණුව ලත් ජීවිතාරක්‍ෂකයෙක් නොවේ නම් ඔබේ ජිවිතයද අනතුරුදායක වෙනවා. පුළුවන් තරම් ඔහුට බාහිර දෙයක් අල්ලා ගැනීමට දිය යුතුයි.  
 
අපි ගොඩක් වෙලාවට කරන්නේ දරුවා, නෑදෑයා, සහෝදරයා ගිලෙන අවස්ථාවෙම ඔහුව බේරා ගැනීමට පැනීම. මෙයින් වන්නේ කීප දෙනෙකුගේ ජීවිත අනතුරට පත්වීමක්. හොඳ දේ වතුරට බහිනවා නම් ඉණෙන් පහළ වතුර මට්ටමේ සිටීමයි.  
 
මුහුදේ රැල්ල වෙරළේ සීමාව දක්වාම එනව නම් එම ස්ථානවල මුහුදු රළ ඉතාම සැරයි. ඒ ස්ථානයන්හි රැල්ල පෑගීම අනතුරුදායක වෙනවා. මුහුදේ ඈතට වන්නට සුදු පාට පෙණ සහිත නම් ඒ මුහුදු ප්‍රදේශයන් ඉතාම අනතුරුදායකයි.  
 
මුහුදු වෙරළේ බොහෝ තැන්වල අවවාද පුවරු, අනතුරු ඇඟවීමේ පුවරු දාලා තියෙනවා නමුත් ඒවා කියවන්න ලංකාවේ මිනිස්සු ඒවා ගොඩක් ගණන් ගන්නේ නැහැ. අවදානම් සහිත ස්ථානවල තමන්ගේ වීරත්වය පෙන්වන්න ගොඩක් අය කැමතියි. දියේ ගිලෙමින් වැඩිපුරම මරණ වර්තා වෙන්නේ මිනිසුන්ගේ නොසැලකිලිමත්කම නිසා.  
 
 
තව දෙයක්, පිහිනුම් තටාකවල පීනන එකයි මුහුදේ පීනන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා තමන්ගේ පරිස්සම වැදගත්.   
 
 
 
දියවැලක් වෙරළට දිස්වන අයුරු
 
දියවැල්වල චලනය
 
දියවැලේ ස්වභාවය
 
 
 
 
ලංකාවේ හැම මුහුදු වෙරළකම නාන්න, රැල්ල පාගන්න පුළුවන්ද?  
 
ලංකාවේ හැම මුහුදු වෙරළකම නාන්න, රැල්ල පාගන්න බැහැ. ඊට සුදුසු තැන් තියෙනවා. මුහුද කියන්නේ විඳින්න පුළුවන් තැනක්. ඒත් තමන්ගේ සීමාව ඇතුළේ.
 
මුහුදේ නාන්න, වෙරළ පාගන්න යද්දී විවෘත වෙරළ තීරයේ නම් ලොකු අවධානයකින් කල්පනාවකින් විනෝද විය යුතුයි.  
 
විශේෂයෙන් හම්බන්තොට, පොතුවිල්, හලාවත, ගල්කිස්ස, මාතර, නිලාවැලි වැනි විවෘත මුහුදු වෙරළවල අනතුරු ඉතාම වැඩියි. මේ ස්ථානවල නාන්න ඕන මෝසම් සුළං නැති කාලවකවානුවල පමණයි.  
 
පසුගිය දවසක කිරින්දේ මාරක දියවැලට හසුවුණු සිය පවුලම මුහුදු රළ පෑගු ස්ථානය අනාරක්‍ෂිත ස්ථානයක්. කිරින්ද, හම්බන්තොට මුහුද මෝසම් සුළං තිබුණත් නැතත් ඉතාම සැරයි, ප්‍රචණ්ඩයි කිමිදුම්කරුවන්වත් එම ස්ථානවල මුහුදට බහින්නේ නැහැ.  
 
දකුණු මුහුදු තීරයේ මෝසම් සුළං නැති කාලවකවානු වන්නේ නොවැම්බර් සිට මාර්තු දක්වා. දකුණු මුහුදු තීරය නෑමට ඉතාම සුදුසුයි. මුහුද ප්‍රචණ්ඩ නැහැ. ඒවගේම මැයි, ජුනි, ජූලි නැගෙනහිර මුහුදු තීරයට මෝසම් සුළං අඩුවන කාලය ලෙස හඳුන්වන්න පුළුවන්. මේ දිනවල දකුණ මුහුදු තීරය ඉතාම සැරයි, ප්‍රචණ්ඩයි.  
 
ඒ වගේම සෑම විවෘත වෙරළ තීරයකම දියවැල් තියෙනවා. දියවැල දවසේ වෙලාව, මුහුදේ රළ අනුව වෙනස් වෙනවා. පොල්හේන, හික්කඩුව, උණවටුන වැනි දූපතක් ලෙස වටවෙලා තිබෙන රැලි නැති වෙරළ සහ පැහැදිලි වතුර මුහුදේ ගැඹුර පෙනෙන ස්ථාන නාන්න විනෝද වෙන්න නියම සුදුසු ස්ථානයි.  
 
වතුරට බැස්සම පීනන්න බැරි නම් තමන්ගේ ඉණට වඩා පහළ ප්‍රමාණයේ වතුර මට්ටමට සිටිය යුතුයි. මුහුද දැකපු ගමන් ඕනෑම කෙනෙකුට හිතේ සතුටක් උද් යෝගයක් ඇති වෙනවා. විශේෂයෙන් පොඩි දරුවො මේ නිසා මුහුදක් දැකපු ගමන් මුහුදට බැසීම, රැල්ල පෑගීමට යාම මරණයට අතවැනීමක්.   
 
මුහුදට බැස්සට තමන්ගේ සීමාවේ ඉන්න. සෑම පොඩි දරුවකුටම පිහිනන්න පුරුදු කරන්න. ඒවා කවදාවත් අපතේ යන්නේ නැහැ. එවිට තමන්ගේ ආරක්‍ෂාව තමන්ටම සපයා ගන්න පුළුවන්.  
 
ලංකාව කියන්නේ දූපත් රාජ්‍යයක්, රටේ අනාගතය තියෙන්නේ මහ සාගරේ මත. ඒ නිසා ආදරේ කරන්න ඕන. සුන්දර මුහුදට ඔබේ නොසැලකිලිමත්කම නිසා වෛර කරන්න ඉඩ තියන්න එපා.  
 
 
 
නදීශා අතුකෝ‍රළ