අසිරිමත් විපාක ගෙනදෙන සරණාගමනය


ධර්ම ගවේෂී

 

තුනුරුවන් සරණාගමනය නැතහොත් තෙරුවන් සරණයෑම බෞද්ධ පින්වතුන් සේම අබෞද්ධ පින්වතුන් විසින්ද නිරන්තරයෙන් අසා ඇති කරුණෙකි. නිරන්තරයෙන් ඒ පිළිබඳව අසා ඇතත් ප්‍රමාණාත්මක දැනුමක් බෞද්ධ පින්වතුන්ට ඇත්දැයි වෙසෙසින් සලකා බැලිය යුතුය. ප්‍රාමාණික අවබෝධයකින් තොරව යමෙක් ලෝකෝත්තර විමුක්තිය බලාපොරොත්තුවෙන් තුනුරුවන් සරණයෑම සිදුකළද එය කොතරම් දුරකට අපේක්ෂිත ප්‍රතිඵල ලබාදෙන්නේදැයි ජිනවචනය හා සසඳා බැලීම වටින්නේය. මක්නිසාද යත් බොහොමයක් බෞද්ධයන්ට තෙරුවන් සරණයෑම පිළිබඳව යම් පමණකට අදහසක් අවබෝධයක් ඇතත් ඒ පිළිබඳව පරිපූර්ණ අවබෝධාත්මක ඥානයක් ඇත්දැයි විමසා බැලිය යුතුව පවතින තත්ත්වයක් වර්තමානය වනවිට දකින්නට ඇති බැවිනි. ඉරිදා ලංකාදීප ධම්ම ගවේෂී ලිපි පෙළ ඔස්සේ අප බලාපොරොත්තු වන්නේද ධර්මය පිළිබඳව ඔබට බුද්ධ වචනය හා මනාව සැසඳෙන අයුරින් ඔබගේ මෙලොව ජීවිතයත් සංසාරික ගමනත් විමුක්තියත් සාධනය කර ගැනීමට අවැසි ධර්මානුකූල අවවාද අනුශාසනා ලබාදීමයි. ඒ සඳහා නිරන්තරයෙන් වෙහෙස මහන්සි වන සියලු‍ දෙනාටම මෙහි ආනිසංස විශේෂයෙන් ලැබිය යුතු බව මෙත් සිතින් සිහිපත්කර සිටින්නෙමු.   

 

තුනුරුවන් සරණයෑම පිළිබඳව ඉගෙනගැනීමේදී ප්‍රධාන මාතෘකා කිහිපයක් ඔස්සේ එය ඉගෙනගත යුතුය. එනම් සරණත්‍රය කවරෙකු විසින් දේශනා කරන ලද්දේද? කොතැනකදී දේශනා කරන ලද්දේද? කවදා දේශනා කරන ලද්දේද? කවර කරුණක් අරබයා දේශනා කරන ලද්දේද? බුද්ධත්වයෙන් අනතුරුව ප්‍රථමයෙන්ම දේශනා නොකරන ලද මෙය කුමක් නිසා අනතුරුව ප්‍රථම වශයෙන් දේශනා කරන ලද්දේද? යන ප්‍රධාන කරුණු පහ ඔස්සේ වැඩිදුර ඉගෙනගත යුතුය. එවිට තුනුරුවන් සරණයෑම පිළිබඳව මූලික අවබෝධයක් ලබාගත හැකිවනු ඇත. එමෙන්ම සරණාගමනයට පත්වන අයෙකුට ඉන් ලැබෙන ආනිසංස පිළිබඳවත් අවබෝධයක් ලබාගැනීමෙන් සරණාගමනයට පත්වීම වඩාත් සාර්ථක කරගත හැකිවනු ඇත.   


බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය පිහිට කොට පවත්වා ගැනීම සරණාගමනය වේ. සරණ යනු පිහිටයි. නැතහොත් පිහිටකොට පැවැත්මයි. වර්තමාන කාලය තුළ යම් උපද්‍රවයක් පවතින්නේද කායික, මානසික, වාචසික යම් දුකක් තැතිගැනීමක් පවතින්නේද අනාගත කාලයෙහිද යම් උපද්‍රවයක් කායික, මානසික, වාචසික යම් දුකක් තැතිගැනීමක් ඇතිවිය හැකිද එවැනි සියලු‍ දුකින් මිදීම සඳහා පවත්නා උතුම් වූ පිහිටට සරණ යැයි කියනු ලැබේ. පුද්ගල වශයෙන්ද ධර්මතා වශයෙන්ද අපට සරණ දෙයාකාරයකින් උපකාර වශයෙන් පවතී. පුද්ගල අර්ථයෙන් මව, පියා, සහෝදර, සහෝදරියන්, ඥාති හිතමිත්‍රාදීන් ආදී බොහෝදෙනා අපට මෙලෝ වශයෙන් ඇතිවන කවරාකාර දුකක් කරදරයකදී වුවද ආරක්ෂාව පිණිස සිටිති. සමාජයේ බොහෝ දෙනෙකුට එසේ පුද්ගල වශයෙන් තවත් අයෙකුට පිහිට විය හැක. එසේ පුද්ගල අර්ථයෙන් පිහිටවන බොහෝ දෙනෙකුට ධර්මතා වශයෙන් ගුණානුභාවමය වශයෙන් අන්‍යයන්ට පිහිට විය නොහැක. උදාහරණයක් වශයෙන් දෙමාපියන්ට යම් පමණකට අපට ඇතිවන දුකක් හමුවෙහි පිහිට විය හැකි වුවත් ඔවුන් සම්මුඛයෙහි හෝ අසම්මුඛයෙහි දෙමාපියාදී යමෙකුගේ ගුණ සිහිපත් කළ පමණින් ඇතිවන උපද්‍රවය දුරුකර දීමට එය ප්‍රමාණවත් නොවේ. එසේ ප්‍රමාණවත් වන්නට එම දෙමාපියන් විසින් අනන්ත අපරිමාණ මට්ටමින් පවත්නා ගුණයක් ඔවුන් හමුවෙහි වර්ධනය කර පැවතිය යුතුය.   


නමුත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්ම රත්නය පිළිබඳව, සංඝ රත්නය පිළිබඳව සිහිපත් කිරීම් මාත්‍රයෙන්ම සියලු‍ දුක් කරදර දුරුකර දීමට ත්‍රිවිධ රතනය සමත් වෙති. බුදුරජාණන් වහන්සේද, සංඝ රත්නයද පුද්ගල හා ධර්මතාමය වශයෙන් ගුණානුභාවමය වශයෙන් යන දෙයාකාරයෙන්ම පිහිට කොට පවතින අතර ධර්ම රත්නය සත්ත්ව පුද්ගල වශයෙන් නොගැණෙන නිසා ධර්මතාමය වශයෙන් ගුණානුභාවමය වශයෙන් පිහිටකොට පවතී.   


 දෙමාපියන්, සහෝදර - සහෝදරියන් කොතරම් ගුණසම්පන්න වුවත් එම ගුණය එසේ ඇතිවන දුක් කරදර දුරුකිරීමට ප්‍රමාණවත් නොවෙති. නමුත් බුද්ධ, ධම්ම, සංඝ යන වචන මාත්‍රයම සියලු‍ දුක් කරදර දුරුකිරීමට සිහිකිරීම් මාත්‍රයෙන්ම ප්‍රමාණවත් වෙති. මෙයට හොඳම උදාහරණයක් ධජග්ග සූත්‍ර අටුවාවෙහි මෙසේ දක්වා ඇත. දීඝවාපී චෛත්‍යය රාජෝත්තමයින් වහන්සේ ඉදිකරන කාලයෙහි ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවන්ද ගෞරවනීය භික්ෂු භික්ෂුණීන් වහන්සේලාද නිරන්තරයෙන් එම ස්ථානයට පැමිණ එහි ඉදිකිරීම් කටයුතු අවසන්කර ගැනීම පිණිස අත්වැඩ ලබාදෙමින් උපකාර කළහ. දිනක් චෛත්‍යරාජයාගේ සුනු පිරියම් කරමින් සිටි එක්තරා තරුණයෙක් කුඩා වේදිකා පාදයෙන් පය ලිස්සා ගර්භය ඔස්සේ පහතට පැකිළී වැටෙන්නට විය. එසේ වැටෙන තරුණයා දුටු පේසා වළලු‍ සමීපයෙහි සිටි භික්ෂූන් වහන්සේලා පිරිසක් ඇවැත්නි ධජග්ග පිරිත සිහිපත් කරවයැයි ශබ්ද නගා කියන්නට වූහ. මරණ භයෙන් පීඩිතව සිටි එම තරුණයාට ඒ සිහිපත් කිරීමත් සමගම ධජග්ග පිරිත මා ආරක්ෂා කෙරේවායි කියැවෙන්නට විය. එසේ සිහිපත් වනවාත් සමගම චෛත්‍යය රාජෝත්තමයින් වහන්සේගේ ගර්භයෙන් ගඩොල් කිහිපයක් පිටතට නික්මී හිනිමගක් සේ අල්ලාගත හැකි පරිද්දෙන් උපකාරව ඔහුගේ ජීවිතය ආරක්ෂාකර සිටියේය. පසුව ඔහුව වැල් හිණිමගක් ඔස්සේ බිමට බස්සවා ගත්බව ධජග්ග සූත්‍ර අටුවාවෙහි විස්තර කර තිබේ.   
මෙවැනිම අවස්ථාවක් අප මහා බෝධිසත්ත්වයින් වහන්සේ සම තිංසත් පාරමිතා ධර්මයන් පූරණය කරමින් වැඩම කරන කාලයෙහිද දක්නට තිබේ. ඒ බ්‍රහ්මදේව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහිය.   


දිනක් උන්වහන්සේ ලෝකාර්ථ චර්යාවෙහි යෙදෙමින් සූවිසි අසංඛ්‍යෙයක් ලෝක සත්ත්වයින් නිවන් පුරයට නංවමින් භික්ෂුන් සංඝයා පිරිවරා චාරිකාවේ වැඩවාසය කරමින් කාරකණ්ඨක නුවරට වැඩම කළහ. ඒ කාලයෙහි අප මහා බෝධිසත්ත්වයින් වහන්සේ අතිදේව සක්විති රජුව එම නගරයේ සක්විති රාජ්‍ය විචාරමින් අර්ථයෙන් ධර්මයෙන් යුක්තව කල්ගත කරති.  
 දිනක් මැති ඇමැතියන් පිරිවරාගෙන රාජ්‍ය විචාරමින් සිටින අවස්ථාවක ශ්‍රී සම්බුද්ධ ලීලෝපිතව සවනක් ඝන සම්බුද්ධ රශ්මි ධාරාවන්ගෙන් දසත නහවමින් මහරහතන් වහන්සේලා පිරිවරා වැඩමකරන බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේගේ සවනක් ඝන බුදුරැස් මාලාවන්ගෙන් සක්විති රජුගේ මාලිගාව නැහැවෙමින් අලංකාරවත්ව බැබලෙන්නට විය. තමන් ඇතුළු මැති ඇමැතිවරුන්ගේ ශරීර වස්ත්‍රාභරණයන්ගේ ප්‍රභාව නිෂ්ප්‍රභා කරමින් බුද්ධ රශ්මි ධාරාවන්ගෙන් නැහැවෙනු දුටු අප මහා බෝධිසත්ත්වයින් වහන්සේ මහත් සේ බියට පත්ව සිංහාසනයෙන් බැස ඒ මේ අත තමන්ට ආරක්ෂාවක් සොයන්නට වූහ.   
එම අවස්ථාවේ මේ මහා භද්‍ර කල්පයේ අවසානයේ ලොව්තුරු සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට මහා පාරමිතා ගුණාංගයන් පූරණය කරමින් වැඩම කරන අජිත මෛත්‍රීය මහා බෝධිසත්ත්වයින් වහන්සේ අතිදේව අප බෝධිසත්ත්වයින් වහන්සේට සිරිගුත්ත නම් ප්‍රධාන පුරෝහිත බ්‍රාහ්මණතුමන්ව අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් වැඩ සිටියහ. සක්විති රජුගේ මේ ස්වභාවය දුටු මෛත්‍රීය බෝධිසත්ත්වයින් වහන්සේ මහා කල්ප ගණනක් තිස්සේ අප බෝධිසත්ත්වයින්ට වඩා බුදුවරු ඇසුරු කර ඇති බැවිනුත් තමන් වහන්සේ බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසා ඇති බැවිනුත් මහරජ බියට පත් නොවන්න යැයි කියා පහත ගාථාවන් කියා අප බෝසතුන් අස්වැසූහ.   


ඒස බුද්ධෝ මහාරාජ   
ලෝකේ උත්තම පුග්ගලෝ   
සබ්බසත්තහිතත්ථාය   
ලෝකේ උප්පජ්ජි සෝ ජිනෝ   
අයඤ්ච ඛෝ මහාරාජ   
බ්‍රහ්මදේවෝ තථාගතෝ   
භාසන්තෝ වීථියා මජ්ඣේ   
පස්සථේතං පුනප්පුනං   


මෙසේ අප බෝධිසත්ත්වයින් වහන්සේට අනුශාසනා කළ මෛත්‍රී මහා බෝධිසත්ත්වයින් වහන්සේ තවදුරටත් සර්ව සම්පූර්ණ හස්ති අලංකාරයන්ගෙන් යුත් වළාහක කුලයට අයත් උපෝසථ හෝ ඡද්දන්ත කුලයේ පින්වත් හස්ති රාජයන් ලක්ෂයක් ද සෛන්ධර්ව කුලයේ ආකාශචාරී අසුන් ලක්ෂයක් සර්ව සම්පූර්ණ අශ්ව අලංකාරයන්ගෙන් යුක්තවද එවැනි අසුන් සතරදෙනා බැගින් යොදන ලද සියලු‍ රථ අලංකාරයන්ගෙන් යුතු රථ ලක්ෂයක්ද සියලු‍ බිසෝ පලඳනාවන්ගෙන් අංග සම්පූර්ණව අත්‍යාලංකාරයෙන් සැරසූ උතුම් රාජ කන්‍යාවියන් ලක්ෂයක් දන් දීමෙන් ලබන යම් පිනක් වේනම් එය බුදුරජාණන් වහන්සේගේ දර්ශන මාත්‍රයෙන් ලැබෙන පිනට අංශුමාත්‍රම පමණකින්වත් සමාන කළ නොහැකියැයි පැවසූහ. එම වර්ණනාව ඇසූ අප මහා බෝධිසත්ත්වයින් වහන්සේ බුද්ධ යන වචනයම ඇසීම් මාත්‍රයෙන් මහත්සේ සතුටට පත්ව බිමට බසින පඩිපෙළ පිළිබඳව නොසලකාම සත්මහල් ප්‍රාසාදයේ කවුළුවෙන් බිමට පැන්නේය. මහා බෝධිසත්ත්වයින් වහන්සේගේ බුද්ධ රත්නය කෙරෙහි ඇතිවූ මහත් චිත්තප්‍රසාදය හේතුවෙන් විශාල රථ සකක් තරම් විශාල මහා නෙළුම් පුෂ්පයක් මහ පොළොව අභ්‍යන්තරයෙන් පැනනැගී උන්වහන්සේගේ පා පිළිගත්හ.   


මෙලෙස ඒ මහෝත්තමයින් වහන්සේලාට මහත් පිළිසරණක් වූයේ බුද්ධ රත්නයේත් ධම්ම රත්නයේත් සංඝ රත්නයේත් අසමාන ගුණස්කන්ධයමය. මේ නිසා උන්වහන්සේලාගෙන් ලෞකික ලෝකෝත්තර භූමීන්ට පැමිණි ලෞකික ලෝකෝත්තර සත්ත්වයින්ට ලැබෙන පිහිට මෙතෙකැයි විස්තර කරන්නට පවා දුෂ්කරය. මෙතෙක් අප විසින් විස්තර කරන ලද අංශුමාත්‍රද ධර්ම කාරණා පමණින් උවද ප්‍රඥාවන්තයින් විසින් අර්ථය ග්‍රහණය කරනු නොඅනුමානය. එසේම සරණාගමනය පිළිබඳව තවත් බොහෝ ධර්ම කාරණා උපමා උපමේයයන් සහිතව ඉගෙන ගත යුතුව ඇතත් සරණාගමනය පිළිබඳව තවත් ඉදිරි ලිපි පෙළකින් පින්වත් ඔබ දැනුවත් කරන්නට අප බලාපොරොත්තු වෙමු. මෙම ලිපිය තුළින් ඔබ ලබාගත් අවබෝධය ආයති භවයක සැප ප්‍රතිපදාවෙන් වහ වහා ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.