අසාධාරණයට එරෙහිව කතා කළ මධූෂ් පාතාලයට තල්ලු කළේ කවුද ?


අවිගත් දඩබ්ම

රටම හොල්ලන මධූෂ්ගේ පාතාලය-10

 

සමයං ඝාතනයට ලක්වූ අවස්ථාවේ ගමන් කරමින් සිටි බන්ධනාගාර බස් රථය

සමයං ඝාතනයත් මධූෂ්ගේ ගිණුමට බැරවූ තවත් එක් අපරාධයකි. සමයං ඝාතනයේ මහාමොළකරුවා බවට පත්ව තිබෙන්නේ මධූෂ්ය. එහෙත් එයින් අඩක් අංගොඩ ලොක්කාටද හිමිවිය යුතුමය. මක්නිසාද යත් සමයං ඝාතනයේදී මධූෂ් කළේ එතෙර සිට අණදීම අවිආයුධ සැපයීම හා අවශ්‍ය මගපෙන්වීම් කිරීම පමණි. ඝාතන සැලැස්මේ බොහෝ දේවල් සිදුකළේ අංගොඩ ලොක්කා විසිනි. විශේෂයෙන්ම ඝාතනය සඳහා පිරිස රැගෙන ගිය වාහනය කොල්ලකෑවේද අමුතුම ක්‍රමයකටය. අහඹු ලෙස හමුවූ පුද්ගලයකුගෙන් එවැනි වැඩක් ගත්තේ ලොක්කාගේත් ඔහුගේ කල්ලියේ අයගේත් මොළේ නිසාය. 

මරදානේදී හමුවන වාහනයක් විදේශ ගතව සිටි බිරිඳ පසුදින පැමිණෙන බැවින් කටුනායක සිට ඇයත් රැගෙන තලවාකැලේට යා යුතු බව පවසා මීගමුවට ගෙන්වාගෙන තිබේ. එහිදී ඔහුට කෑමවලට නිදි පෙති යොදා දී ගමන අතර මගදී නින්ද යාමට සලස්වා වාහනය පැහැරගෙන ඔහුවද ඉංගිරිය ප්‍රදේශයට රැගෙනගොස් රෝහල අසළ මග දමා ගොස් තිබිණ. ඒ 2017 ජනවාරි 05 වැනිදාය. මේ වන විට බණ්ඩා හා රත්තරං ඝාතනය කර තිබුණේ නැත. එහෙත් අංගොඩ ලොක්කා මෙන්ම මධූෂ්ද තමන්ගේ ප්‍රබලතම ප්‍රතිවාදියා ඝාතනයට සැලසුම් පෙර සිටම සකස් කර තිබූ බව පැහැදිලිය. 2015 සැප්තැම්බර් 23 වැනිදා කඩුවෙල අධිකරණයේදී සමයං ඝාතනයට  අංගොඩ ලොක්කා හර්ෂ සමග කළ සැලසුම ව්‍යර්ථ විය. 


ඉන්පසු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුම් ඇඳ බන්ධනාගාර බස් රථවලට පහරදී ඝාතනය කිරිමටද සැකසූ තවත් සැලැසුමක් වේලාසනම ව්‍යර්ථ වුයේ එයට සම්බන්ධ වූ එක් අයෙක් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් වෙනත් කාරණාවක් මත අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ ප්‍රශ්න කිරීම් හමුවේ එය හෙළිදරව් වූ නිසාය. ඉන් පසුව සමයං කෑම ගෙන යන බිරිඳ ඝාතනය කර ඔහුට බන්ධනාගාර පෝලිමේ සිට කෑම ගන්නට සලස්වා එම ස්ථානයේදී ගැටුමක් ඇති කරගෙන ඝාතනය කරන්නටද සැලසුම් කළේය. එහෙත් ඔවුන් සමයංගේ බිරිඳ කියා රැවටී ඝාතනය කළේ වෙනත් කාන්තාවකි. කළුතර එතනමඩළේදී එල්ල කළ ප්‍රහාරය ඔවුන්ගේ සිව්වැනි උත්සාහයයි. එයද වැරදුණේ නම් සමයං ඉස්සර ​ෙවනවාට කිසිම සැකයක් නැතැයි ලොක්කා දැන සිටියේය. 


ඒ නිසා ඔවුහු සැලසුම මාස ගණනාවක සිට සකස් කළ අතර එයට අවශ්‍ය කළමනා එකින් එක සීරුවට එකතු කරගත්හ. බණ්ඩා හා රත්තරං ඝාතනය වන්නේ මේ සැලසුම් අතරය. ඒ නිසා ලොක්කාට මරුවා නැග්ගේය. ‘‘දැන් නම් ඉතිං උඹට මගෙන් ගැලවීමක් නැතැයි’’ ලොක්කා දත්මිටි කමින් ගුගුළේය. තමන්ගේ මරණයද අත ළගටම ඇවිත් ඇතැයි ඔහුට සිතිණ. තමන්ගේ හොඳාම ගෝලයින් දෙදෙනෙක් නැතිවීම සැලසුමට මහත් බාධාවක් විය. එහෙත් මධූෂ් එය සපුරාලීය. ඒ තමන්ගේ ගෝලයින් සිව් දෙනෙකු යොමු කරමිනි. 


මරදානෙන් කටුනායකට යන අතර මගදී පැහැරගත් වාහනය ඔවුන් ක්‍රමයෙන් වෙනස් කළේය. එහි පැහැය, වාහනයේ සීට් කවර. මේ සියල්ලක්ම වෙනස් කළේය.සමයං කඩුවෙලට ගේන තුරු සිටීම නුවණට හුරු නැත. මන්ද සමයංගේ ආරක්ෂාව දැන් තවත් දැඩි කර ඇති බැවිනි. ඒනිසා ඔවුන් ප්‍රහාරයට සැලැසුම් කළේ කලුතර එතනමඩළේ පාලු ස්ථානයක සිටය. අතහැර දැමූ ගබඩාවක්ද සහිත ඉඩම ඔවුන්ට සැඟවී සිටිමට අවශ්‍ය ඉඩකඩ සැපයීය. මෙම සැලැස්මේදි අවශ්‍ය සියලුම මුදල් මධූෂ්ගෙන් ලැබිණ. ඒ මුදල් යොදවා අවශ්‍ය අනෙකුත් සියලු ද්‍රව්‍ය සපයා ගැනීම වාහන සොයා ගැනීම, ප්‍රහාරයට සුදුසු තැන නියම කරගැනීම ඇතුළු බොහෝ සැලසුම් ලොක්කාගෙනි. 
තැඹිලි කපා එකතු කරන්නෙකු ලෙස ලඩියා කැබ් රථයක්ද ගෙන බන්ධනාගාර පාරේ තැඹිලි සහිත වාහනය තබාගෙන සිටියේ ගමන අඩාළ කරන්නටය. ඔවුන්ගේ සැලසුම් සාර්ථක විය. 2017 පෙබරවාරි17 වැනිදා සමයං කළුතර ජාවත්ත බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණයේ පැවැත්වෙන නඩුවකට රැගෙන යමින් සිටියදී සමයං සමග බණ්ඩා ඝාතනයේ සැකකරුවන්ද ඇතුළු සැකකරුවන් පස් දෙනෙක් හා එහිදී ඔවුන්ගේ ඉලක්කයට බාධා කළ බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙක් ඝාතනය කර විනාඩි කීපයක් තුළදී ප්‍රදේශයෙන් පළායාමට පවා ඔවුහු සමත් වූහ. ඔවුන් ගිය මගවත් සොයා ගැනීමට පොලිසියට නොහැකි විය. 

සමයං ඝාතනයෙන් පසුව ඔහුට ඔත්තු සැපයූ බවට අතුරුගිරියේ රූපලාවන්‍ය ශිල්පිනි මංජුලා ඝාතනය කරනු ලැබුවේ එම වසරේදී නොවැම්බර් 30 වැනිදාය. ඉන් වසරකට පමණ පසුව එනම් 2018 වසරේ මුල් භාගයේදි කොස්මල්ලි ඝාතනය කරනු ලැබුවේ සෘජුවම මධූෂ්ගේ සැලසුමකට මධූෂ්ගේ උවමනාවටමය. ඒ තමන්ගේ ළගම මිතුරෙක් සහෝදරයෙක් වන රිස්වාන් අලුත්කඩේදී ඝාතනය කිරීමට පිළිතුරු ලෙසය. 

 


පසුව ඝාතනයට යොදාගත් ඩොල්ෆින් වර්ගයේ වාහනය හමුවිය. එතැන් සිට කරන ලද පරීක්ෂණවලදී සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණ. එහෙත් ප්‍රහාරයේ ප්‍රධාන මොළකරුවන් දෙදෙනෙකු වූ අංගොඩ ලොක්කා හා ලඩියා රටින් පැන ගත්හ. ඒ මධූෂ්ගේ සහයෙනි. ප්‍රහාරය අවසන් කළ පසු මන්නාරමෙන් බෝට්ටුවක නැගී තෙල් බාලාගේ කලාපයට ගොස් එතැන් සිට දකුණු ඉන්දීය පාතාලයේ සහය ඇතිව ඉන්දියාවට යාමට මධූෂ් ඔවුන්ට සහය විය. ඒ  සියල්ල මධූෂ් සැලසුම් කර තිබිණ. අවශ්‍ය මුදල්ද සපයා තිබිණ. 


දැන් අංගොඩ ලොක්කා හා ලඩියා සිටින්නේ ඉන්දියාවේය.ඔවුන් වෙස් මාරු කරගෙන රටින් පැන යාමට තැත්කරද්දී ආගමන විගමන කොන්දේසි කඩකිරීමේ වරදට අත්අඩංගුවට පත්විය. එහෙත් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වන තරම් ප්‍රබල ලෙස අපේ නෛතික අංශය දියුණු නැත. සැකකරුවන් හුවමාරුකරගැනීමට අවශ්‍ය උදර්පන නිතියට යටත්ව අපි විදේශ රටවල් බොහොමයක් සමග ගිවිසුම් ගත වී නැත. ඒ නිසා ලංකාවට ගෙන්වා ගත යුතු සැකකරුවන් බොහොමයක් ගෙන්වා ගත නොහැකි වන තත්ත්වයකට අප මුහුණ පා ඇත. ඒ නිසා මධූෂ්ලාට, ලොක්කලාට, ලඩියලාට විදේශ ගතව සිටිනා තුරු අබමල් රොණක තරම වරදක් සිදුනොවනු ඇත. 

 

සමයං ඝාතනයට ඝාතකයන් පැමිණි  රථය

 

සමයං ඝාතනයෙන් පසුව ඔහුට ඔත්තු සැපයූ බවට සැකපිට අතුරුගිරියේ රූපලාවන්‍ය ශිල්පිනී මංජුලා ඝාතනය කරනු ලැබුවේ එම වසරේදී නොවැම්බර් 30 වැනි දාය. ඉන් වසරකට පමණ පසුව එනම් 2018 වසරේ මුල් භාගයේදි කොස්මල්ලි ඝාතනය කරනු ලැබුවේ සෘජුවම මධූෂ්ගේ සැලසුමකට මධූෂ්ගේ උවමනාවටමය. ඒ තමන්ගේ ළඟම මිතුරකු සහෝදරයකු බඳුවූ රිස්වාන් අලුත්කඩේදී ඝාතනය කිරිමට පිළිතුරු ලෙසය. 


කොස්මල්ලී ඝාතනයේ සැකකරුවන් සමහරෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ පුංචි අම්මාගේ නිවසේ සැඟවී සිටියදීය. මධූෂ්ගේ පුංචි අම්මා උපාධිධාරී ගුරුවරියකි. ඒ නිසා ඔහු මුඩුක්කු පරිසරයක හැදී වැඩී අපරාධ සමගම ජීවත් වී පාතාලයට වැටුණෙක් නොවේ. ඒ නිසා උපතින් පාතාලයේ උරුමය රැගෙන නොආ මධූෂ්ගේ පාතාල ආගමනයට ඉවහල් වූ හේතු සමුදායක් ජීවත්වන පරිසරයෙන් ලැබෙන්නට ඇත. 


මධූෂ්ගේ මව ආකාලයේ හමුදා වෙඩි ප්‍රහාරයකින් ඝාතනය ලක්වීම. ඉන්පසු ආච්චි අම්මා හා ලොකු අම්මා සමග තනිවූ මධූෂ්ගේ මල්ලීගේ හා නංගීගේ ජීවිතවලට මුහුණ දෙන්නට සිදුවූ බොහෝ අත්දැකීම්, පියා දෙවන විවාහයක් කරගෙන ඔවුන්ගෙන් ඈත් වීම, පාසල් කාලයෙන් පසුව කළ වෘත්තීන්වලදී මුහුණ දෙන්නට වූ සිදුවීම් එයට හේතු සපයන්නට ඇත. 


ඔහු කීවේ මෙවැනි කතාවකි.


මධූෂ් ඔය තත්ත්වට පත්වෙන්න පාර කැපුවේ ඒ කාලේ කඹුරුපිටිය පොලිසියේ හිටපු ලොක්කෙක් 


’’ඇයි එහෙම කියන්නේ?’’


‘‘ඉස්කෝලේ ගිහින් නැවතුණ මධූෂ් ටවුමේ ත්‍රිවිල් එකක් හයර් කළා. මිනිහාට අසාධාරණය පේන්න බැහැ. කවුරු හරි ඇවිත් චණ්ඩිකමට පාර්ක් එකේ කොල්ලෙකුට මොනවා හරි අසාධාරණ කතාවක් කිව්වොත්, අසාධාරණ විදිහට පාර්ට් එකක් දැම්මොත් මුලින්ම ගේම ඉල්ලන්නේ මධූෂ්. ඒ නිසා පාර්ක් එකේ කොල්ලා් මිනිහට හරිම ආදරෙයි වගේම පොලිසියේ අර කියපු ලොක්කා නම් ඔහු සමග හරිම තරහයි. ටවුමේ කවුරු චණ්ඩිකමක් කරලා තිබුණත්, හොරකමක් වෙලා තිබුණත් පොලිසියට ගෙනිහිං කූඩු කරන්නේ මධූෂ්වයි. ඒ නිසා මිනිහා කරපු දේවල්වලට වගේම නොකළ දේවල්වලටත් අත්අඩංගුවට පත්වුණා. පොලිසියෙන් ගුටි කෑවා. සමහර දේවල්වලට මිනිහා රිමාන්ඞ් බන්ධනාගාර ගත වුණා. ඒ දේවල්වලින් පස්සේ මිනිහා ත්‍රීවිල් රස්සාව කළේ නගරේ රැඳෙන්න එක මාර්ගයක් හැටියට විතරයි. මිනිහගේ ජීවන වෘත්තිය බවට පත්වුණේ මුදලාලිලාගෙන් කප්පම් ඉල්ලීම. ඊළගට බස්වලිනුත් කප්පම් ගන්න පුරුදු වුණා. චණ්ඩිකම්වලින් නමත් හදාගත්තා. කුලියට මැරකම් කළා. ඒ නිසා දේශපාලකයෝ ඔහුව ළංකර ගත්තා. මැතිවරණවලදී ඔහුගේ සහය නැතිව බැරි වුණා. ඔහොම යනකොට ඔහුට අවි අායුධත් අතපත ගාන්න ඉඩ ලැබුණා. ඊට පස්සේ නම් අපි දැක්කේ අපි කලින් දැකපු මධූෂ් නෙවෙයි.


කවුරු මොනවා කිව්වා කළා වුණත් මිනිහෙකුට තමන්ගේ හෘද සාක්ෂියක් කියලා දෙයක් තියෙනවානේ, තමන්ට වරදක් කළ අය පස්සේ පැන්නුවා නම් ඒක සාධාරණයක් කියලා කියන්න පුළුවන්. එහෙම නැතිව මේ විදිහට සාමාන්‍ය මිනිස්සු පීඩාවට භීතියට පත් කරන එක යුක්ති සහගත නෑ නේද?

 

 

කියන එකනම් ලේසියි. ඒත් ප්‍රශ්නෙට මුහුණ දීපු මධූෂ් තමයි දන්නවා ඇත්තේ ඒ සියලු ප්‍රශ්න හමුවේ තමන්ගේ හිත දැඩිවුණ ආකාරය ගැන. අපි කියන්න දන්නේ පිටින් දැකපු දේවල් එක්ක අපිට හිතුණ දේවල් විතරයි. ඒ කතාවේ 


මධූෂ්ගේ වැඩවලට සම්බන්ධ කරගත් මල්ලීද ඝාතනයට ලක් විය. මේ ප්‍රශ්නවලට එලෙසම මුහුණ නොදුන්නද පොඩි කාලේ සිදුවූ බොහෝ දේවල්වලට මුහුණ දුන් මධූෂ්ගේ නංගී මේ සියල්ලෙන් මිදී හොඳා පවුල් ජීවිතයක් ගත කරමින් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ජීවත් වේ. 


මධූස්ගේ අපරාධ රැසක් ගැන අප හෙළිදරව් කරමින් මෙම ලිපි පෙළ සකස් කරනු ලැබුවේ මධූෂ් සුද්දවන්තයෙක් කිරීමට හෝ ඔහු මේ වැරදි වෙනුවෙන් එල්ලා මරන්නැයි බලපෑම් කිරීමට නම් නොවේ. ඕනෑම කෙනෙකුට හෘද සාක්ෂියක් තිබේ. තමන් කරන දේවල්වල හරි වැරැද්ද තෝරාගැනීමට කෙනෙකුට හැකි විය යුතුය. තමන්ට ප්‍රහාර එල්ල කරන්න කරන්න හිත දැඩි කරගෙන දියුණුව කරා ගමන් කරනා අයද අපට සමාජයේ හමුවේ. ඒ නිසා මධූෂ් ශුද්ධවන්තයකු කිරිමට අපට නොහැකිය. 


එසේම කෙනෙක් අතින් සුළු වරදක්වූ විට සියලු වැරදි ඔහු මත පටවා ලකුණු දාගැනීමට උත්සාහ කරනා පොලිස් නිලධාරින්ද නැතුවා නොවේ. එවැනි අයගේ පිහිටෙන් බන්ධනාගාරගතව පාතාල ඇසුරේ සුරතල්ව වැඩෙන මධූෂ් වැන්නත් තමන්ගේ අතකොළු කරගෙන තම දේශපාලන ගමන ශක්තිමත් කරගන්නා දේශපාලකයන් සිටිනා තුරු, පාතාලයන්ගේ උදව් ගෙන තමන්ගේ ඕනෑ එපාකම් පිරිමහ ගන්නා ඇතැම් පොලිස් නිලධාරීන්ද සිටිනා තුරු මධූෂ් එල්ලා මැරුවද තව තවත් මධූෂ්ලා බිහිවීම වැළැක්වීය නොහැකිය. මරු සිරාලාගේ සිට සොත්ති උපාලි, බැද්දගානේ සංජීව, කඩුවෙල වසන්ත, කරාටේ ධම්මික, බොරැල්ලේ ඕල්කට්, කඩුවෙල සමයං ඇතුළු පාතාල නායකයින්”පාතාල සාමාජිකයන් රැසක් ඝාතනය කළද තවමත් පාතාලය අඩුපාඩුවකින් තොරව ඉදිරියට ගමන් කරන්නේ ඒ නිසාය. සමයං ඝාතනය වන විට ඔහුගේ තැන ගන්නට ඌරුජුවාලා පෙරමුණ ගනු ඇත. ලොක්කා ඝාතනය වුවහොත් ඒ තැන ගන්නට ලඩියා සූදානමින් සිටිනු ඇත. කොස්ගොඩ සුජී ඝාතනය වුවහොත් ඒ තැන ගන්නට තවත් සාමාජිකයන් රැසක් පෙරට එනු ඇත. ඒ නිසා පාතාලයක් නිර්මාණය වීමට අවශ්‍ය පරිසර සාධක පවත්නා තෙක් පාතාලයේ අවසාන සාමාජිකයා දක්වා වුවද එල්ලා මැරීමෙන් පාතාලය අවසන් කළ හැකි නොවේ. එසේම ඔවුන් පුනරුත්තාපනය කරනවා වෙනුවට අපාරධ කිරීමට අවශ්‍ය සියලු පහසුකම් හා ආරක්ෂාව සපයන බන්ධනාගාරයද පාතාලය නැති කිරිමට විසඳුමක් නොවන වග ඉතාමත් පැහැදිලිය. දැන් අවශ්‍ය වන්නේ ඔළු ගෙඩි සුද්දකළ හැකි ක්‍රමවේදයකි. දැනුමෙන් සමාජය පෝෂණය කළ හැකි ක්‍රමවේදයකි. දැනුමෙන් සන්නද්ධ තරුණයාට රජයේ හෝ පෞද්ගලික අංශයේ හෝ රැකියාවක් සොයාගැනීමට හැකි වන පරිදි නිෂ්පාදන ආර්ථිකය දියුණූ කළ හැකි ක්‍රමවේදයකි. දේශපාලකයා මැර බලයෙන් මැතිවරණ දිනන්නට නොපෙළඹෙන දේශපාලන ක්‍රමවේදයකි. පොලිස් නිලධාරින්ට අනිසි ක්‍රම මගින් මුදල් උපයන්නට බල කරන්නේ නැති ක්‍රමවේදයකි. පාතාලයන්ගේ තුවක්කුවට බයේ ඔවුන් කීවක් කරන්නට නොපෙළඹෙන නිලධාරීන්ගෙන් යුතු පොලිසියක් සහිත රටකි. මධූෂ්ගේ ලිපිපෙළට තිතක් තබමින් අප ප්‍රාර්ථනා කරන්නේ එවැනි රටකි. 

 

 

 

 


මුදිතා දයානන්ද