අශ්වයා පිටින් ගිය කැප්පෙටිපොළ කැරලිකරුවන්ට එකතු වුණා


 

ආපස්සට යාම කොහොමටත් අමාරුය. විදේශීය හමුදාවන් විසින් මිනිසුන් දහස් ගණනින් මරාදමා ගේදොර දේපල වතුපිටි ගිනිතබා විනාශ කළ ඉසව්වක 1817--1818 කැරැල්ලේ වගතුග සොයා වසර 200ක් ආපස්සට යාම ඉතා අසීරුය. 


එහෙත් ඉරිදා ලංකාදීපය යන මේ දුෂ්කර ගමනේදී අපේ මුතුන් මිත්තන්ගේ දේශානුරාගය, මෙන්ම රට දැය වෙනුවෙන් නැගී සිටීම නිසා ඔවුන් අසීමිත භීෂණයට ලක්වූ හැටි, මහා බි්‍රතාන්‍යයේ අණසකට යටත්වූ කෲර පාලනය නිසා මිනිසුන් විදි පීඩා හා දුක්ගැහැට ඉතිහාසයේ කියා පාන්නට අවස්ථාව උදාවී තිබේ. එමෙන්ම එදා වූ ඒ විනාශය නිසා අද ජීවත්වන ඒ වීර පරම්පරාවේ 5 වන පරපුර තවමත් නඟන මැසිවිලි ද අනාවරණ කළ හැකිවෙයි.


1817 ඌව වෙල්ලස්සෙන් ඇරඹි පළමුවන විමුක්ති අරගලයේ පුරෝගාමියකුවූ බුටාවේ රටේ රාලට අත්වූ ඉරණම අපි පසුගිය ලිපියෙන් විස්තර කළෙමු.


ඒ කැරැල්ලේ තවත් පුරෝගාමියකුවූ කොහුකුඹුරේ රටේ රාල ගැන කියන්නට කලින් ඔහුද සහභාගීවූ අපූරු සිදුවීමක් සිහිපත් කළ යුතු වේ.


ඉංග්‍රීසි ආණ්ඩුවේ හිටපු දිසාපතිවරයකු ලෙස ඌව වෙල්ලස්සේ රාජකාරි කරමින් සිටි මොනරවිල කැප්පෙටිපොළ, බූටාවේ රටේ රාල, කොහුකුඹුරේ රටේ රාල හා කිවුලේ ගෙදර මොහොට්ටාල යන කැරැලි නායකයන් විසින් කැරැල්ලේ නායකයා බවට පත්කර ගනු ලැබීම ඒ සුවිශේෂී සිදුවීමයි.


කැරලි නායකයා ලෙසද, රාජ ප්‍රතිරූපකයා ලෙසද, ඉංග්‍රීසින් හැඳින්වූ විල්බාවේ මුදියන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා යෙදවූ හජ්ජිමුහන්දිරම් බූටාවේ රටේ රාල විසින් අල්ලා බැඳ තලා ඝාතනය කරනු ලැබීමත් හජ්ජි බේරාගැනීමට ගිය ඌවේ උප තානාපති මේජර් ඩග්ලස් විල්සන් මහතාට හීයකින් විද ඝාතනය කිරීමත්, සමඟ ඌවේ කැරැල්ල උණුසුම් විය.


රාජ ප්‍රතිරූපකයා ලෙස හැඳින්වූ විල්බාවෙගේ නියෝගය වූයේ දකින දකින සෑම සුදු ජාතිකයාම මරා දමන ලෙසටය.


රාජ ප්‍රතිරූපකයා බොහෝ බලවත්යැයි සිතූ ඉංග්‍රීසින්, කැරැල්ල මැඬලීමට යොදවන ලද්දේ වීර කැප්පෙටිපොළ දිසාවයි.


මොනරවිල කැප්පෙටිපොළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ උදහසට ලක්වූවෙකි. රජුගේ විරසක වීම නිසා කන්ද උඩරට රාජ්‍යයේ විසීම තම ජීවිතයට අනතුරක් බව තේරුම් ගත් ඔහු, ආරක්ෂාව පතා පලාගොස් ඉංග්‍රීසින්ට එකතුවිය. හේ අවසරය සිංහලයන්ට විරුද්ධව ඔවුන්ගේ යුද ශක්තිය යොදාගැනීමට හැකි කදිම අවස්ථාවක් යැයි සිතූ බ්‍රවුන්ඩි්‍රග් ආණ්ඩුකාරයා, ඔහු ඌව පළාත භාර දිසාවේ ධුරයට පත් කළේය.


ඒ සඳහා නිර්දේශ ලබා දෙන ලද්දේ විල්සන් මහතාගේ මරණයෙන් පසු ඌව පළාත බාර උප තානාපති (දිසාපති) ධුරය ලැබූ සයිමන් සෝවර්ස් මහතා විසිනි.


එහෙත් සිදුවූයේ කුමක්ද?


පස්සර අලුපොතට නුදුරු ගම්මානයේදී කොහුකුඹුරේ රටේ රාල, බූටාවේ රටේ රාල, හා කිවුලේ ගෙදර මොහොට්ටාල කැප්පෙටිපොළ දිසාව මුණගැසුනහ.


එහිදී ඇතිවූ සංවාදය මෙලෙස වූ බව ජනප්‍රවාද ඇසුරෙන් අසන්නට ලැබේ.


‘බූටාවේ රටේ රාලගේ ගැඹුරු කටහඬ වාතලය සිපගත්තේය. නිලමේ තුමනි, ඇයි ඔබ අපට එරෙහිව සටන් කරන්නේ?


එසේ කරන්නේ නම් ඔබ කරන්නේ අපේ රටට ජාතියට ආගමට සතුරුවීමක්. අප මේ සටන් කරන්නේ රජ සැප ලබාගන්නට හෝ රජ වෙන්නට හෝ නොවෙයි. අපේ රට ජාතිය ආගම සතුරාගෙන් බේරාගැනීමටයි. නියම සිංහලයෙක් නම් ඔබ කළ යුත්තේ අප එක්වීමයි. ඔබ අප හා එක් නොවුවත් අපේ සටන අතහරින්නේ නැහැ. අපි අපේ රට ජාතිය ආගම සතුරාගෙන් බේරාගන්නවා යැයි බූටාවේ අභිමානයෙන් පවසද්දී කැප්පෙටිපොළ දැඩි සංයමයකින් හා අසා සිටියේය. එසැනින් ඊට ප්‍රතිචාර දැක්වීය.


මා මේ ගමන එන අතරතුර දහස්වාරයක් සිතින් කම්පනයට පත්වුණා. ඔබ කියන දේ මට වැටහෙනවා හොඳින්ම වැටහෙනවා. ඔබ තුළ රට ජාතිය ආගම ගැන හිතවත් සහෝදරයන් වන ඔබ තුළ ඇති භක්තියට නොදෙවෙනි ආදරයක් ගෞරවයක් මා තුළ තියෙනවා.
මා ගැනීමට සිත සිතා පැමිණි තීරණය දැන් ගැනීමට සූදානම් යැයි පවසද්දී කැරලි නායකයෝ අත්පොළසන් හඬ දුන්හ.
කැප්පිටිපොළ වීරයා ඉන්පසු ඇමතුවේ තමන් සමඟ පැමිණි ඉංග්‍රීසි යුද භටයන්ටය.


‘උඹලාගේ ආයුධ පැහැරගෙන මේ ස්ථානයේදීම නුඹලා විනාශ කරන්න පුළුවන්. හැබැයි ඒක මගේ සිංහලකමට ගැළපෙන්නෙ නැහැ.

කොහුකුඹුරේ නීති පොත


නුඹලාගේ ආයුධ වෙඩිබෙහෙත් රැගෙන ගොසින් ආණ්ඩුකාරවරයාට කියව් මා කැරලිකරුවන්ට එක්වූ බව.


එතැන් පටන් කැරලි නායක වූයේ රාජපක්ෂ වික්‍රමසේකර බණ්ඩාරනායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර මොනරවිල කැප්පිටිපොළ බව එහිදී සඳහන් වෙයි.


එහෙත් මේජර් මැක්ඩොලන්ඞ් හා ඌව වෙල්ලස්ස, බින්තැන්න භාරව සිටි බලය ලත් ඒජන්තවරයා වන හෙන්රි රයිට්ස් මහතා හමුවේ පැවැති විභාගයේදී කතරගම හිටපු මහ බෙත්මේගෙන් අසන ලද ප්‍රශ්න හමුවේ කැප්පෙටිපොළගේ විපර්යාසය ගැන ඔහු පවසා ඇත්තේ වෙනත් කතාවකි. 


අසන ලද ප්‍රශ්නය වූයේ කැප්පෙටිපොළ අලුපොතදී කැරලිකාරයන්ට හසුවූයේ සිය කැමැත්තෙන්ද? නැතිනම් මේ සඳහා අනුගමනය කළේ කුමන උපාය මාර්ගයක්ද යන්නයි.


පිළිතුර වූයේ සිය කැමැත්තෙන්ම කැරැලිකරුවන් හා එක්වූ බවයි. කැරැලිකාරයන් අලුපොත පැත්තේ ඉන්නා බව දැනගත්තේ කැප්පෙටිපොළ කිසිම ආයුධයක් නැතිව නිරායුධ භට පිරිසක් සමඟ කැරැලිකාරයන් සිටි පැත්තට පැමිණීමෙන් ඒබව පැහැදිලි උණා.
කැප්පිටිපොළ ආවේ අශ්වයා පිටින්. කැරැලිකාරයෝ කැලයෙන් එළියට ඇවිත් එතුමා වට කළා.


කැප්පෙටිපොළ සමඟ සේනාව පන්දාහක් විතර හිටියා. නමුත් කැරැලිකරුවන් හිටියේ 250ක් විතර. 


ඒ උනත් කොටඹේ රාල ඉස්සරහට ගියා. ගිහින් මෙහෙම කිව්වා.

ගම්මුලාදෑනි පළඳනාවක් සහ පත්වීම් ලිපියක්


‘මෙතෙක් කල් අඳුරේ තිබුණු අපේ රටට දැන් සියලු දෙනාගේ කැමැත්ත මත හිරුදෙවි වගේ රජෙක් පහළවී සිටිනවා.


එතුමා කෙරෙහි විශ්වාසයක් ඇත්නම් අප හා එකතුවන්න. නැතිනම් ඔබ මෙතැනම මරාදාලා ඔබේ හිස රජතුමාට ගිහින් බාරදෙනවා.’
එවිට කැප්පිටිපොළ පැවසුවේ මම ආවේ හිතවත් කෙනෙක් හැටියටයි. රජතුමා කෙරෙහි විශ්වාසයක් නැතිනම් “මම එන්නේ හේවායන් සමඟයි.


කැප්පෙටිපොළ ඔහුගේ සේනාවයි කැරලිකරුවන්ට එකතු උණා.


මේ ප්‍රකාශයට අනුව සුදු මහත්තුරුන්ගේ මෙම වාර්තාවේ සඳහන් නොවූවද කොහුකුඹරේ රටේ රාල බූටාවේ රටේ රාල හා කිවුලේ ගෙදර මොහොට්ටාල යන අය මේ මෙහෙයුමේ සිටි බව විශ්වාස කළ හැකිය. ඒ බව දනවන ජනප්‍රවාද බොහෝමයක් පවතී. අපි දැන් කොහුකුඹුරේ රටේ රාලගෙ වගතුග සොයාගෙන යමු.


ඔහුද කන්ද උඩරටින් පැමිණි වෙල්ලස්සේදී ජාතික නිදහස් සටනට නායකත්වය දුන් කෙනෙකි. 


ඔහු විසූ කොහුකුඹුර ගම්මානයට යාම සඳහා මල්ලැහාවේ සරණංකර හිමියෝද එකතුවූහ.


ඓතිහාසික ටැම්ගොඩ රාජමහා විහාරස්ථානය ඉදිරියෙන් දිවෙන මාර්ගයේ කි.මී. 5ක් පමණ ගමන් කළ පසු කොහුකුඹුර ගම්මානය හමුවිය.


ඒ එන මඟදී හමුවුණ සේනාපතියා නම් වූ වන ගම්මානය කරැල්ල සඳහා සේනාව සංවිධානය කළ ගම්මානයක් බවද අසන්නට ලැබුණි.

සෙනෙවිරත්න මහතා කොහුකුඹුරේ රටේ රාලගේ කඩුව පෙන්වමින්


කොහුකුඹුර හන්දියේ ස්මාරකයකි.


ඒ කොහුකුඹුරේ රටේ රාල විරුවා සිහිවීම පිණිසය.


පිළිමයක් අඹන්නටවත් තරම් මතකයක් සොයාගත නොහැකි මට මේ බිම විනාශකර තිබීම නිසා කොහුකුඹුරේ රටේ රාලගේ ප්‍රතිමාව වෙනුවට එහි අඹා ඇත්තේ සිංහ රූපයකි.


ගමට ඇතුළු වීමට ඇත්තේ විහාරස්ථානයයි.


ඉතිහාසය සිහිපත් කරවන ගල්කණු කීපයක් පමණක් ඉතිරිව ඇත්තේ විහාරස්ථානය සුද්දන් විනාශ කිරීම නිසා බව දැනගන්නට ලැබුණි.


කලක් භික්ෂූන් වහන්සේ නමක් නොසිටීම නිසා තවත් විනාශ වූ මෙම විහාරස්ථානයට මෑතක භික්ෂූන් වහන්සේ නමක් වැඩම කර ඇත.


එහෙත් කැරැල්ලේ ඉතිහාසය ගැන කිසිම තොරතුරක් උන්වහන්සේ නොදත්හ.


කොහුකුඹුරේ රටේ රාලගේ 4 වන පරම්පරාවට අයත් මීමුනුබුරෙකු වූ ඇතුළත් හේරත් මුදියන්සේලාගේ පුංචි බණ්ඩා නැමති අය අවුරුදු 118ක් ආයු විඳ 2006 නොවැම්බර් මස 30 වනදා මියගිය බව ග්‍රාම නිලධාරි හේමන්ත බණ්ඩාර වික්‍රමසිංහ මහතා පැවසීය.
ඔහු මෙසේද පැවසීය.


මම මේ වසමේ ග්‍රාම නිලධාරිවරයාව සිටියදී විමර්ශනයක් කළා.

 

කොහුකුඹුරේ ගමට යාමට ඇති මරුවළක්

 


ඒ අනුව කොහුකුඹුරේ රටේ රාලගේ නම ඇතුළත් මුදියන්සේලාගේ උක්කුබණ්ඩා, ඔහු නුවර පළාතෙන් ඇවිත් මෙහෙ පදිංචිව සිටි කෙනෙක්. එයා විවාහ වෙලා තියෙන්නේ බූටාවේ රටේ රාලගේ සහෝදරියක්.


මේ දෙන්නට දරුවන් දෙන්නයි. ඇතුලත් මුදියන්සේලාගේ කැලෑ දෙන මුදියන්සේගේ සහ ඇතුලත් මුදියන්සේලාගේ තබානේ මුදියන්සේ.


තබානේ මුදියන්සේට ළමයි නැහැ. කැලෑදෙන මුදියන්සේට දරුවෝ 5 දෙනයි. වැඩිමල් දරුවාගේ නම ඇතුළත් මුදියන්සේලාගේ සුදු බණ්ඩා.


කැරැල්ලෙන් පසුව සුද්දා පළාතම විනාශ කරද්දී මේ පරම්පරාව පණ බේරාගෙන පැනලා ගිහින් ඔක්කම්පිටියේ කැලෑවැදිලා තියෙනවා.


රට සන්සුන් උණාට පස්සේ ආයෙත් ඇවිත් මේ ගමේ පදිංචිවෙලා තියෙනවා. සුදු බණ්ඩාගේ පුතාවූ ඇතුළත් මුදලි මුදියන්සේලාගේ පුංචි බණ්ඩා අවුරුදු 118ක් ජීවත්වෙලා මියගිය බවද ග්‍රාම නිලධාරි හේමන්ත සඳහන් කළේය.


මේ ප්‍රදේශයේ ජනයා අතර කොහුකුඹුරේ රටේ රාල පිළිබඳව ජනප්‍රිය ජනප්‍රවාදයක් තිබේ.


මල්ලැහැවේ සරණංකර හිමියෝ, බිබිල අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු වන පැතුම් ජයසුන්දර, මහතා ඇතුලු බොහෝ දෙනෙක් එම ජනප්‍රවාදය පවසන්නේ මෙසේය.


‘කොහුකුඹුරේ රටේ රාල මහනුවර කෙනෙක්. එයාගේ නම හේරත් මුදියන්සේලාගේ හේරත් බණ්ඩා. ඒත් රජතුමාගේ ඇතුන් බලාගත් නිසා ඇතුලත්මුදලි මුදියන්සේලාගේ ලෙස නම වෙනස්වෙලා තියෙනවා.


මහනුවර ප්‍රදේශයේදී මේ පවුලට නොගැලපෙන පවුලක තරුණියක් මෙයා නිසා ගැබ්ගෙන තිබෙනවා.


නැඟුන අවලාද හා විරෝධතා නිසා මොහු ඒ ප්‍රදේශය අතහැර ඇවිත් වාගොල්ල නමින් හැඳින්වූ බිබිල ප්‍රදේශයේ ජීවත්වෙලා තියෙනවා. 


ඒ ඉන්දෙද්දි තමයි බූටාවේ රටේ රාලගේ සහෝදරියක් විවාහ කරගෙන තියෙන්නේ.


කාලෙකට පස්සේ බූටාවේට අයත් බිබිල-කවුඩැල්ල කුඹුර අස්වද්දමින් ඉන්නකොට තරුණයෙන් එතැනට ඇවිත් තියෙනවා.


එයත් හරියටම බූටාවේ වගේමලු.

කොහුකුඹුරේ ස්මාරකය

 


කුඹුරේ වැඩකරපු අයගෙන් බූටාවේ ගැන විස්තර අහලා එයා යන්න ගිහින්.


ආයෙත් දවසක් නුවර ඉඳලා පයින්ම මේ කුඹුරට එනකොට බූටාවේ ඉඳලා තියෙනවා.


මේ තරුණයාගේ පෞරුෂය ගැන පැහැදුන බූටාවේ එයා වලව්වට එක්කරගෙන ගිහින් තියෙනවා.


කෑම කන්න ගියාම මෙයාට වෙන තැනක කෑම දීලා බූටාවේ පුරුදු පරිදි එයාගේ කාමරය වහගෙන කෑම කන්න පටන් ගත්තා.
මටත් එතැනම කෑම කන්න පුළුවන් දැය මේ තරුණයා ඇසූවිට වලව්වේ සේවකයා කියලා තියෙනවා රටේ රාල කාටවත් පේන්න කන්නේ නැහැ කියලා.


ඊළඟ දවසේ කෑම කන්න හදනකොටම මේ තරුණයා බලෙන් දොර ඇරලා ඒ කාමරයට ඇතුල්වෙලා. බලානකොට හරි... අම්මා කියපු විදියටම බූටාවේ බිම වාඩිවෙලා සේරුවක්කාලෙක් බත් කනවලු.


ආයේ සැකයක් නෑ. මේ මගේ තාත්තනෙ කියලා හිතලා මටත් බත් කටත් කවපන්කො කියලා එතැන වාඩි උණා.


බූටාවේට එතකොට තමයි වැඬේ තේරුණේ. එයා පුතා බදාගෙන සතුට පළකරලා.


කොහොමහරි තරුණයා ආයෙත් ගෙදර ගිහින් අම්මට විස්තරය කිව්වට පස්සේ අම්මගෙ උපදෙස් මත දේපල හොයාගෙන ආයෙත් බිබිලට ඇවිත් තියෙනවා. කවුඩැල්ල කුඹුරුයායට අයිතිය ඉල්ලා තියෙනවා. පස්සේ මේ කුඹුර මහියංගණය සමන් දේවාලයට පූජාකරලා. 


අදටත් එම කුඹුරේ ආදායම ගන්නේ සමන් දේවාලය බවද දැනගන්නට ලැබුණි.  


අප මේ පිළිබඳව මහියංගණය සමන් දේවාලයෙන් විමසූ විට කවුඩැල්ල කුඹුරුයාය සමන් දේවාලය සතුව පවතින බව සනාථ කළේය.


වෙල්ලස්සේ සටන් බිමේ දිගටම සිටි කොහුකුඹුරේ රටේ රාලගේ නම රොබර්ට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ සටහන්වලටද නිතර ඇතුළත්විය.


නැගෙනහිර පළාතේ 19 වැනි බළ ඇණියේ අණදෙන නිලධාරි මේජර් මැක්ඩොනල්ඞ් සහ ඌව, වෙල්ලස්ස, බින්තැන්න, පළාත භාර බලයට ලත් ඒජන්තවරයා වූ හෙන්රි රයිට් මහතා අසන ලද ප්‍රශ්නවලට උත්තර දෙමින් කතරගම හිටපු මහ බෙත්මේ සඳහන් කර ඇති පරිදි විල්සන් මහතා ඝාතනයට කොහුකුඹුරේ හවුල්වී තිබේ. හීයකින් විඳීමෙන් පසු විල්සන් මහතාගේ බෙල්ල කපන ලද්දේ කොහුකුඹුරේ රටේ රාලගේ කීම පිට බවද මහ බෙත්මේ සඳහන් කර තිබේ.


කොහුකුඹුරේ හා බූටාවේ සුදු හමුදාවට එක්ව සිටි මැලේ ජාතිකයන් තම පැත්තට හරවා ගැනීම සඳහා උපක්‍රම යොදමින් සිටි බවට සුදු පාලයකයන්ට තොරතුරු ලැබිණ.


ඒ අනුව ඊට ප්‍රති උපක්‍රමයක් යෙදූ ඔවුන් එම උපක්‍රමය ක්‍රියාත්මක කිරීම පළමුවැනි ලංකා රෙජිමෙන්තුවේ ස්වදේශීය ලෙෆ්ටිනන්ට් අන්නන් යෙදවීය.


මැලේ ජාතිකයන් 29 දෙනෙකුගෙන් යුත් බළ ඇණියක්ද ඔහුට ලැබිණ.


ඉන්පසු සිදුවූ දේ ඉංග්‍රීසින්ගේ ලේඛනවල සඳහන් වන අයුරු මෙසේය.


මේජර් හස්කින්ගේ උපදෙස් මත ඔවුන්ගේ භූමිකාව වූයේ ඉංග්‍රීසි හමුදාවෙන් ඉවත්වන බව හැඟවීමය.


මේ වනවිටත් පරණගම මරක්කල මිනිසුන් කීප දෙනෙකු මාර්ගයෙන් මේ මැලේ භටයන් කැරැලිකරුවන්ගේ පැත්තට හරවා ගැනීම සඳහා උත්සාහ කරමින් සිටියේය.


1818 අප්‍රේල් මස 18 වැනිදා මෙම කණ්ඩායම් හමුවීමට කොහුකුඹුරේ රටේ රාල පැමිණියේ ආයුධවලින් සන්නද්ධ පිරිසක් සමඟිනි.
දෙපිරිස හමුවුණි. මැලේ භටයන් කරන්නට යන පරිත්‍යාගය වෙනුවෙන් බොහෝ තෑගි ලබාදෙන බවට කොහුකුඹුර හා සෙසු කැරැලි අනුගාමිකයෝ විවිධ පොරොන්දු දෙමින් ඉදිරියට ගමන් කළහ.


සැතපුම් ගණනක් දුර වනය මැදින් ගමන් කරද්දී කැරැලිකරුවන් මගදිගට එක්වීම නිසා පිරිස ක්‍රමයෙන් වැඩිවන බව සාමාන්‍ය සෙබළෙකු ලෙස පෙනීසිටි මැලේ හමුදා නිලධාරියාට අවබෝධවිය.


කලින් සැලසුම් කර තිබූ ආකාරයටම ලෙෆ්ටිනන් අන්නන් සිටි පිරිසට ඉඟි කළ වහාම ඔවුහු පැන කොහුකුඹුරේ රටේ රාල අල්ලාගත්හ. ඔහුගේ අනුගාමිකයන් ඔහු බේරාගන්නට කළ උත්සාහය පලක් නොවීය.


මැලේ හමුදාව කැරැලිකරුවන්ගේ කණ්ඩායමට පහර දුන්හ. එම ප්‍රහාර හමුවේ කැරලි පාර්ශවයේ 30 දෙනෙක් මියගියහ. තවත් පිරිසක් මැලේ භටයන්ගේ බයිනෙත්තු ප්‍රහාරවලින් බරපතළ තුවාල ලැබූහ. අනෙක් පිරිස දුවන්නට වූහ. 


මැලේ ජාතිකයන්ට කිසිදු හානියක් සිදු නොවීය.


මෙපරිද්දෙන් ඉතා මැනවින් හමුදා සේවය ඉටු කළායැයි සේනාධිපතිගේ සතුට පළකිරීම වස් ලෙෆ්ටිනන් අන්නන්ට ලංකා රෙජිමෙන්තුවේ අතිරේක දේශීය කපිතාන්  තනතුර දක්වා උසස් වීමක් ලබාදුන්නේය. 


මෙම මෙහෙයුමට සහභාගීවූ සියලු මැලේ භටයන්ට විශේෂ පදක්කම් පිරිනමා රික්ස් ඩොලර් 500 බැගින් පාරිතෝෂිකයක්ද ලබා දුන්හ. මේ සියලු තතු විස්තර වන්නේ 1818 මැයි 1 වනදා මහනුවර ප්‍රධාන යුදකාර්යෙන් නිකුත් කළ පොදු ආඥාවකටය. ඊට අත්සන් කරනු ලැබ ඇත්තේ නියෝජ්‍ය ඇජුටන්ට් ජෙනරල් එල්.ඩී. බුෂේ විසිනි.


මැලේ භට පිරිසක් නොමඟ යවා ඔවුන් ඉංග්‍රීසි යුද හමුදා සේවයෙන් ඉවත්කර ගැනීමට කොහුකුඹුරේ හා බූටාවේ ඇටවූ උගුලේ ඔවුන්ම පැටලුණු බවට ඉංග්‍රීසිහු පුරසාරම් දෙඩූහ.


රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකරයා තවදුරටත් උපායශීලී විය. අත්අඩංගුවට ගත් කොහුකුඹුරේ රටේ රාලට ජීවිතදානය දුන්නේය.


 මෙසේ ප්‍රදර්ශනය කළ අනුකම්පාව නිසා කොහුකුඹුරේගේ අනුගාමියන් හා නෑදෑයන් ඉංග්‍රීසි පාලනයට අවනත වෙතැයි සිතූ නිසා කොහුකුඹුරේගේ මස්සිනා වූ බූටාවේ රටේ රාල අල්ලාගැනීම සඳහා ඔත්තුවක් ලබා 


ගැනීමටත් සිතා මෙසේ ජීවිතදානය දුන් නමුත් සුද්දන් සිතූ තරම් වාසියක් නොලැබුණේය. කොහුකුඹරේගේ අනුගාමිකයෝ සටන අත්නොහැර දිගටම කැරලි ගැසූහ.


ඌව වෙල්ලස්ස කැරැල්ලේ තවත් තොරතුරු සමඟ නැවත හමුවෙමු.


මතු සම්බන්ධයි

සටහන හා  ඡායාරූප - 
බදුල්ලේ පාලිත ආරියවංශ