අවුරුදු සියය පිරෙන නුවරඑළියේ ‘සාම’ගස


 

ලෝකයේ විවිධ රටවල මානව වර්ගයා තමන්ගේ ඇදහිලි හා විශ්වාස පදනම් කරගෙන ගස් ගල්වලට වැඳුම් පිදුම් කළේ ඒ සඳහා දේවත්වයක් ද ආරෝපණය කරමිනි. ඒ ආකාරයෙන්ම ශ්‍රිී ලංකාවේ ආදි වැසියන් ද අර්ථශූන්‍ය වූ වෘක්ෂ වන්දනාවකට එක්ව සිටි වකවානුවක දී අරහත් මිහිදු මා හිමියන්ගේ වැඩමකරවීම ඔස්සේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් මෙරටට වැඩම කළ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව නිසා වෘක්ෂ වන්දනාවට නව අරුතක් එක්විය. බෝධි සංස්කෘතිය නිසා සතළිස්ඵල බෝධීන් වහන්සේලා දිවයින පුරා රෝපණය කර පුද පූජා පැවැත්වීම, වන්දනාමාන කිරීම නිසා මෙරට ජනතාව පිරිපුන් සංස්කෘතික උරුමකරුවන් බවට පත්ව අද ද එය ක්‍රියාවට නංවනු දැකගත හැක. 


එහෙත් විසංවාදී ජන සමාජයේ හා ලෝකයේ ද ධන බලය හා බලකාමය සඳහා බෙදී වෙන්ව පරසතුරන් ලෙස ඔවුනොවුන් අවි අමෝරාගෙන, අවි දරා ගෙන කළ මහා විනාශයක තොරතුරු අපට පළමු ලෝක යුද්ධයෙන් කියා දී ඇත. පළමු ලෝක යුද්ධය ලෝක වැසියාට ගෙන දුන් කඳුළු හා සුසුම් නිසා මහත් කම්පනයට පත් වූ සංවේදී කාන්තාවක් වන බ්‍රිතාන්‍ය සමයේ නුවරඑළියේ විසූ එම්.එම්. වෙඩබන් ආර්යාව 1919-07-19 වන දින ලෝකයට සාමය ප්‍රාර්ථනා කරමින් නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයේ දී සයිප්‍රස් ගසක් රෝපණය කළාය. 


එම ගසට 2019-7-19 වන දිනට වසර 100ක් සපිරේ. සාමයේ ගස ලෙස සලකන මෙම අහස උසට නැගි මහ සයිප්‍රස් ගස වික්ටෝරියා උද්‍යානයේ ඇති ගහ කොළ අතර ඉතා අභිමානයෙන් යුතුව වැජඹෙන්නේ විවිධ අවස්ථාවන් හි දී විවිධ හේතු මත විවිධ තරාතිරමේ පුද්ගලයින් සිටවනු ලැබූ සමරු ගස් අතරය. එමෙන්ම වෙඩබන් ආර්යාව විසින් ලොවට සාමය ප්‍රාර්ථනා කරමින් සිටවූ ගසට හේතු වූ පළමු ලෝක යුද්ධය කෙබඳු එකක් වන්නට ඇද්දැයි පැනයකි. 


“සාමය හදිසියේ අහසින් කඩා වැටෙන දෙයක් නොවේ. එය ලබා ගත හැක්කේ අරගලයට හේතු වූ මූලික හේතු සමතයකට පත් කර ගනිමිනි.” ඒ ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙකු වූ ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහල්ලාල් නේරු තුමාගේ වටිනා කියමනකි. එය පොදු මහත් සමාජයට මෙන්ම ලෝකයට වලංගු සත්‍ය කියමනකි. ප්‍රථම ලෝක යුද්ධයේ තරම අපට ශ්‍රී ජවහල්ලාල් නේරුතුමා විසින් රචිත “ලෝක ඉතිහාසයේ නෙතඟ බැලුම් ” තුළ නමින් රචිත කෘතිය තුළ බොහෝ දේ සඳහන් කර ඇත. ''GLIMPSES OF WORLD HISTORY'' යනුවෙන් රචිත එම කෘතිය එතුමාග් සොයුරියක වූ පණ්ඩිත විජයලක්ෂ්මි මහත්මිය විසින් 1934 වසරේදී මුද්‍රණයෙන් පළ කර මුදා හැර ඇත. එහි අනුවාදය 1967 දී ඬේවිඩ් කරුණාරත්න මහතා විසින් සිංහලයට නගා ඇත. එය ලෝක ඉතිහාසයේ සිහිවටන නමිනි. එම කෘතිය අධ්‍යයනය කිරීමේ දී පළමු ලෝක ඉතිහාසයට හේතු කාරණා වූ බොහෝ දේ අපට උගත හැක. 


1914 අගෝස්තු සිට 1918 නොවැම්බර් 11 දක්වා වසර 4 ක කාලයක් සමස්ත ලෝකයාටම මහත් පීඩාවක් ගෙන දුන් ලෝක යුද්ධය සඳහා මිත්‍රපාර්ශ්වික රටවල් බ්‍රිතාන්‍යය ප්‍රධාන කොටගෙන රටවල් 14කට වැඩි ගණනක් එකතු වී ඇත. ජර්මනිය ප්‍රධාන රටවල් 4 ක් එක්ව යුධ වැදීමෙන් සිදු වූ විනාශය එවකට ඇමරිකන් ජනාධිපති වුඩ්රෝ විල්සන් මහතා ගෙන ආ සුළු ජාතීන්ට සැලකීම, නිරායුධ කිරීම, රහස් සම්මුති අවලංගු කිරීම ඇතුළත් යෝජනා 14 කට එකඟව යුධ වැදුණු පාර්ශ්වකරුවන් පළමු ලෝක යුද්ධයේ නිමාවට පත් කරගෙන ඇත. කුරිරු යුද්ධය හමුවේ ආදරය, කරුණාව, දයාව වල් වැදී ඒ වෙනුවට ද්වේශය, වෛරය, ක්‍රෝධය, අවිශ්වාසය සමාජගත වූ බව කියැවේ. යුද්ධයක කුරිරු බව අපට දැනුණේ ගෙවුණු වසර 30ක යුද්ධයක් හමුවේ අප ජන සමාජය ගත කිරීමෙන් ලැබූ අත්දැකීම් නිසාය. 


පළමු ලෝක යුද්ධය සඳහා මිත්‍රපාර්ශ්වික කණ්ඩායම කළ වියදම පවුම් 40,999,600,000 වන අතර ජර්මන් පාර්ශ්වය පවුම් 1,522,300,000 වශයෙන් පිළිගෙන ඇත. වියදම එසේ වෙද්දි මිය ගිය පිරිස, තුවාල ලත් අය, සිරකරුවන්, යුද්ධයෙන් අනාථ වූවන්, වැන්දඹු වූවන්, යුද්ධයෙන් පැන ආවෝ වශයෙන් ලෝක ඉතිහාසය සිහිවටන පොතේ 669 පිටුවේ මෙසේ සඳහන් කර ඇත. 


මිය ගිය භටයින් (දන්නා) - 10000000 
මිය ගිය බවට විශ්වාස කරන භටයින් - 3000000 
මිය ගිය මහජනයා - 13000000 
තුවාල ලද්දෝ - 20000000 
සිරකරුවෝ - 3000000 
යුද්ධයෙන් අනාථ වූවෝ - 9000000 
යුද්ධයෙන් වැන්දඹු වූවෝ - 5000000 
යුද්ධයෙන් පැන ආවෝ - 10000000 
මිය ගිය හා තුවාල ලද්දෝ - 46000000 


එම දත්ත අනුව ලෝක යුද්ධයේ හැඩරුව අපට පසක් කර ගත හැකි වේ. ගෙවුණු තිස් වසරක ශ්‍රී ලංකාව වෙලාගත් කුරිරු යුද්ධයෙන් දැඩි ලෙස අසරණ වූයේ අපේ අම්මාවරුය. බිරින්දෑවරුය. සහෝදරියන් මෙන්ම දූ දරුවන්ය. ඉකුත් අප්‍රේල් 21 පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය නිසා අපේ රටේ ජනතාව අතර ජාති, ආගම්, භේද නොසලකා කඳුළු හා සුසුම් හෙළුවෝ අතර බහුතරයක් කාන්තාවෝය. ඒ එදා පළමු යුධ හමුවේ ද කාන්තාවෝ අත්විඳින්නට ඇතැයි සිතේ. 


ඒ අතර සිටි එක් කාන්තාවක වූ වෙඩබන් ආර්යාව යුද්ධයෙන් ප්‍රකම්පනය අත් විඳින්නට ඇත. නුවරඑළියේ එවක සහකාර ආණ්ඩු ඒජන්තවරයාව කටයුතු කළ එම්.එම්. වෙඩබන් මහතාගේ ආදරණීය බිරිඳ වූ වෙඩබන් ආර්යාව පළමු ලෝක යුද්ධය නිමා වී මාස 8 කට පසු එනම් 1919 ජුලි 19 වන දින මුළු මහත් ලෝකයාටම සාමය ප්‍රාර්ථනා කරමින් සිට වූ ගස වසර 100ක් ගෙවුණු තැන වුවද අදද නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයේ අපට පසක් කරන්නේ සාමයට ඇති අවශ්‍යතාව පිළිබඳවය. 


වෙඩබන් ආර්යාවට මෙම සාම ගස සිටුවීමට හේතු වූ තවත් සාධකයක් වන්නේ පළමු ලෝක යුදධය වෙනුවෙන් නුවරඑළිය ආශ්‍රිත පුද්ගලයන් 17 දෙනෙකු මිත්‍ර පාර්ශ්වය වෙනුවෙන් යුද්ධයට එක් වී මිය යාම වේ. ඒ පිළිබඳ නුවරඑළිය යුධ ස්මාරකයේ ද සටහන්ව ඇත. මෙම අභිමානවත් වූ වෘක්ෂයට වසර 93ක් පිරීම නිමිති කරගෙන හිටපු පුරපති මහින්ද දොඩම්පෙගමගේ මහතා ද 2012 ජුලි 19 වන දින එවක නාගරික මන්ත්‍රී මණ්ඩලයත්, මහා නගර සභාවත්, නුවරඑළියේ එවක දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි, නුවරඑළියේ හිටපු පොලිස්පති ආනන්ද විජේසූරිය මහතාගේ සහභාගීත්වයෙන් යුතුව සමරු උත්සවයක් ද පවත්වා ඇත. 


වෙඩබන් ආර්යාව විසින් ලෝකයට සාමය ප්‍රාර්ථනා කර රෝපණය කළ මෙම සයිප්‍රස් ගසට වසර 100ක් පිරීම නිමිති කරගෙන වර්තමාන පුරපති චන්දන ලාල් කරුණාරත්න මහතා ඇතුළු මහා නගර සභාව ජූලි 19 වන දින සමරු උත්සවයක් ද පැවැත්වීය. එය අගය කළ යුතු කටයුත්තකි. 


බෝධි වන්දනාව තුළ අාධ්‍යාත්මික පෝසත් බවක් ලබා ගන්නා වූ ජන සමාජයට රටක පුරවැසියන් වූ අප ලෝක සාමය වෙනුවෙන් සිටවූ මෙම වෘක්ෂයට ද ගෞරව දැක්විය යුත්තේ අද ලෝකයා හමුවේ පවතින ගැටුම් දෙස බලද්දීය. උතුම් වූ ප්‍රාර්ථනාවක් මත වසර 100කට පෙරාතුව වසර 112ක් පැරැණි නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයේ සාම ගස සෙවනේ සිට අපිද ලෝකයට සාමය ප්‍රාර්ථනා කරන්නෙමු. 

 

 


ඡායාරූප හා සටහන
නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි