අවුරුදු ලක්ෂයකට එහා සිටි මිත්තණියක් නැගිටියි


 

ඩෙනිසෝවාවන් යනුවෙන් හඳුන්වන්නේ ලෝකයේ නියැන්ඩර්තාල් මානවයන්ට සමකාලීනව ජීවත් වී වඳ වී ගිය මානව විශේෂයක්. ඔවුන් නූතන මානවයන් සමග මිශ්‍ර වූවා ද වෙන්ව ජීවත්වූවා ද යන්න පිළිබඳ ගැටලුවක් තිබුණා. මේ පර්‌​ෙ‌ය්ෂණයෙන් තහවුරු වනවා ඔවුන් නියැන්ඩර්තාල් සහ නූතන මානවයන් සමග මිශ්‍ර වී ඇති බව. මෙය මානව පරිනාමයේ ඉතාමත් වැදගත් අනාවරණයක්. 


අප මියගිය ඥාතීන් ගැන සිහියට නගා ගන්නේ ඔවුන්ගේ ඡායාරූප දැකීමෙනි. ඒ ලෝකයට කැමරාව බිහිකළාට පසු ලැබුණු පහසුකමකි. නමුත් අදින් වසර 100,000කට පමණ පෙරාතුව සිටි අතීත මිත්තණියක සැබෑ ස්වරූපයෙන් ම දැකගත හැකි වුවහොත් එය පුදුම සහගත දෙයක් වනු ඇත. 
දැන් එය යථාර්ථයක් බවට පත්කිරීමට ඊශ්‍රායලයේ විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති. ඔවුන් මිහි මත වාසය කර වඳ වී ගියා යැයි සැලකෙන ඩෙනිසෝවා නමැති වානර විශේෂයේ මුහුණක් ප්‍රතිනිර්මාණය කර තිබේ. 


මෙම ප්‍රතිනිර්මාණයෙන් අපගේ පරිනාමික ඥාතීන් කෙබඳු ආකාරයක් ගත්තේ දැයි යන්න අවබෝධ කරගැනීමට හැකියාව ලැබී ඇත. ඩෙනිසෝවාවන් යනු ආසියාවේ ගුහා දෙකකින් පමණක් සාධක හමුවූ පැරණි මානව විශේෂයකි. ඔවුන්ගේ මෙතෙක් හමුවී ඇත්තේ තනි රෝස පැහැති අස්ථියක්, දත් තුනක් සහ එක් පහළ හකු අස්ථියක් පමණි. 
ඊශ්‍රායලයේ විද්‍යාඥයන් මෙවැනි පූර්වජයන්ගේ ඩී.එන්.ඒ. පදනම් කරගෙන ෆොසිල ප්‍රතිනිර්මාණය කිරී​ෙම් ක්‍රමවේදයක් සකසා තිබේ. ඉතා ඈත අතීතයේ අපෙන් සමුගත් පරිණාමික ඥාතීන්ගේ හැඩ රුව තීරණය කිරීමට මෙම ක්‍රමය මහෝපකාරී වෙයි. 
ඔවුන් මේ සඳහා භාවිත කර ඇත්තේ අදින් වසර 74,000ත් 82,000ත් අතර ජීවත් වූ බවට සැලකෙන කාන්තාවකගේ ඇඟිලි අස්ථියකින් ලබාගත් ඩී.එන්.ඒ. ය. 
“අපි ඩෙනිසෝවාවන්ගේ අස්ථි සැකිල්ලේ පළමු ප්‍රතිනිර්මාණය සපයනවා” යැයි ඊශ්‍රායලයේ ජෙරුසලමේ හෙබ්‍රෙව් විශ්වවිද්‍යාලයේ පර්​ෙ‌ය්ෂක ලිරාන් කමෙල් පවසයි. පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ නියැන්ඩර්තාල්වරු සහ ඩෙනිසෝවාවන් එකම කාලයක පෘථිවිය මත ජීවත් වූ බවයි. 
ලිරාන් කමෙල් මෙසේ කියයි. 


“දැනට හෙළි වී ඇති තොරතුරු අනුව ඩෙනිසෝවන්වරු නියැන්ඩර්තාල්වරුන් හා සමාන වූ ලක්ෂණවලින් යුක්ත වී තිබෙනවා. ඒ වගේම ඔවුන් අපට ද සමාන වුණා. මේ ලක්ෂණ ඉතා සුවිශේෂීයි. ඔවුන් සතුව විශාල දන්ත කුහර සහ ඉතා පුළුල් හිස්කබලක් තිබූ බව සනාථ වෙනවා. මේ ලක්ෂණ අද්විතීයයි.” 
ඩෙනිසෝවා කාන්තාව ප්‍රතිනිර්මාණය කළ විද්‍යාඥයෝ ඉන් පසු ඇගේ ව්‍යුහ විද්‍යාත්මක ගති ලක්ෂණ එකිනෙක සංසන්දනය කළේ නියැන්ඩර්තාල් මානවයන් හා හෝමෝ සේපියන් මානවයන් සමගිනි. 
ඉන් තහවුරු වී ඇත්තේ ඩෙනිසෝවාවන්, නියැන්ඩර්තාල් හා හෝමෝසේපියන් මානවයන්ගෙන් වෙනස් ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ 56කින් යුක්ත වූ බවයි. ඉන් ලක්ෂණ 34ක් ම හිස්කබලේ දක්නට ලැබුණු බව ද පර්​ෙ‌ය්ෂකයෝ කියති. 


“මේ ඩෙනිසෝවාවන් හා නියැන්ඩර්තාල් යන දෙවර්ගයම ඔවුන්ට සමකාලීනව මිහිතලයේ වාසය කළ හෝමෝ සේපියන් සමග පැහැදිලිවම මිශ්‍ර වී තිබෙනවා. ඒ වගේම නූතනයේ සිටින මානවයන්ගෙන් ඇතැම් පිරිස් තවමත් ඩෙනිසෝවාවන්ගේ සහ නියැන්ඩර්තාල්වරුන්ගේ ජාන ඉදිරියට රැගෙන යමින් සිටිනවා.” 
පර්​ෙ‌ය්ෂකයන් පවසන්නේ ඩෙනිසෝවාවන්ගේ ඩී.එන්.ඒ. අද දක්වාම පැසිෆික් කලාපයේ මිනිසුන් අතර, ඕස්​ෙට්‍ර්ලියාවේ සිටින ඇබෝජින්වරු අතර සහ නැගෙනහිර ආසියාවේ ඇතැම් ජනතාව අතර දක්නට ලැබෙන බවයි. 


“මෙලෙස ජාන මිශ්‍රවීමේ ක්‍රියාවලිය නූතන මිනිසුන්ට බලපා ඇති ආකාරය ගැන අපට අධ්‍යයනය කළ හැකියි. ඩෙනිසෝවාවන්ගේ ජාන ටිබෙට් ජාතිකයන්ට ප්‍රබල ලෙස බලපා තිබෙනවා. ඔවුන් කඳුකර ජීවිතයට අනුවර්තනය වීමේ දී ඒ ජාන උපකාරී වී තිබෙනවා. එමෙන් ම ආක්ටික් ප්‍රදේශයේ ජීවත්වීමට අනුවර්තනය වූ මිනිසුන්ටත් මේ ජාන විශාල වශයෙන් උපකාරී වී තිබෙනවා.” 


ඩෙනිසෝවා කතක් ප්‍රතිනිර්මාණය කිරීමෙන් විද්‍යාඥයන් පරිණාමික බන්දුතා අනාවරණය කර ගැනීමේ දැවැන්ත කාර්යයකට අත ගසා ඇති බව මෙම හෙළිදරව් කිරීම් මගින් පැහැදිලි වේ.

 


සජීව විජේවීර