අවුරුදු මිලියන 140 ක් පැරැණි යෝධයකුගේ ඇටකටු


 

ආර්ජන්ටිනාවේ පැටගෝනියා ප්‍රදේශයේ කළ කැණීමකදී ක්‍රිටේෂස් යුගයේ මුල් අවධියේ (මෙඝසොයික යුගයේ අවසාන භාගයේදී) ජීවත්වූ ටයිටනෝසෝර් (Titanosaur) සිව්පාවෙකුගේ වසර මිලියන 140 ක් පැරැණි පොසිල මාර්තු මස මුලදී සොයා ගැනීමට ආර්ජන්ටිනාවේ පාෂාණධාතු විද්‍යාඥයකුවූ ආචාර්ය Pablo Ariel Gallina ප්‍රමුඛ ගවේෂක කණ්ඩායමක් සමත්වී ඇත. 

 
ටයිටනෝ​සෝර් යනු ඩයිනෝසෝර් උරග ගණයට අයත් දිගු බෙල්ලක් හා වලිගයක්ද කුඩා හිසක්ද ඇති පෘථිවිය මත ජිවත්වූ විශාලතම ශාකභක්ෂක සිව්පාවා ලෙස සැලකේ. සත්ව පරිණාම ඉතිහාසයේ අසමාන විශාලත්වයකින් හා විවිධ ජීවන රටාවලින් යුත් ටයිටනෝසෝර් වැනි ශාක භක්ෂකයන් ජුරාසික් අවසාන භාගයේ සිට ක්‍රිටේෂස් අවසාන යුගය දක්වා (වසර මිලියන 145 සිට වසර මිලියන 66 දක්වා) බොහෝ මහාද්වීපවල ජීවත්ව සිටි බව හමුවී ඇති ටයිටනෝසෝර් සිවුපාවුන්ගේ පොසිල මගින් තහවුරු වී ඇත. ටයිටනෝසෝර් සිව්පාවුන් අනිකුත් ශාක භක්ෂක සතුන්ට වඩා විශාල ශරීරයකින් හා ශක්තිමත් පාද හතරකින් යුක්තවූ අතර විශේ‍ෂයන් 40 ක් පමණ සිටින බව වාර්තා වේ. ඉතා කුඩා ටයිටනෝසෝර් සිව්පාවකු වන න්‍යුක්වෙනිසෝර් (Neuquensgut) දිගින් මීටර් 7 ක් (අඩි 23) හා දළ වශයෙන් බර කිලෝ ග්‍රෑම් 10,000 ක් (ටොන් 11) වන බව විද්‍යාඥයින් සඳහන් කර ඇත.   


විශාලතම ටයිටනෝසෝර් ලෙස වාර්තාවී ඇත්තේ Dreadnoughts වන අතර දිගින් මීටර් 26 ක් (අඩි 85) හා ටොන් 65 ක් පමණ බරකින් යුතුවූ බව වාර්තා වේ. ටයිටනෝසෝර් සිව්පාවෙකුගේ සම්පූර්ණ ඇටසැකිල්ල සහිත පොසිල 2009 වසරේදී සොයාගෙන ඇත. 2014 දී ආර්ජන්ටිනාවේ පැටගෝනියා ප්‍රදේශයේ කළ කැණීමකදී ටයිටනෝසෝර් සිව්පාවෙකුගේ පොසිල සොයාගෙන ඇති අතර දිගින් මීටර් 20 ක් (අඩි 66) පමණ විය. මෙම පොසිල වසර මිලියන 77 ක් පැරණි බව කාල නිර්ණය කර ඇත.   


මාර්තු මුලදී ආර්ජන්ටිනාවේ පැටගෝනියා ප්‍රදේශයේ තවදුරටත් කළ කැණීමකදී ආචාර්ය පැබ්ලෝ ඇතුළු ගවේෂණ කණ්‍ඩායමට ටයිටනෝසෝර් සිව්පාවෙකුගේ පොසිල හමුවී ඇති අතර කරන ලද කාල නිර්ණයනට අනුව එම පොසිල වසර මිලියන 146 ක් පැරණි බව ප්‍රකාශකර ඇත. සොයාගත් ​පොසිල හා නෂ්ටාවශේෂ අනුව මෙම ටයිටනෝසෝර් දිගින් අඩි 66 ක් පමණ වන බව නිගමනය කර තිබේ.   


​මෙම නවතම සොයා ගැනීම කරුණු තුනක් නිසා වැදගත්වන බව ආචාර්ය පැබ්ලෝ සඳහන් කරයි. ටයිටනෝසෝර් සිව්පාවා ඩයිනසෝර් වර්ගයට අයත් පෘථිවිය මත ජීවත්වූ විශාලතම සිව්පාවා බව තහවුරු වීමත් හමුවූ පොසිල ආර්ජන්ටිනාවේ පමණක් නොව මිහිතලයෙන් මෙතෙක් හමුවූ පැරණිතම පොසිල බවට පත්වීමත් ටයිටනෝසෝර් උරගයින් ජීවත්වූ කාලවකවානුව කලින් සිතුවාට වඩා ඈත අතීතයට යාමත් එම කරුණු වේ. ඒ අනුව ටයිටනෝසෝර් උරගයින් වසර මිලියන 145 ඉහත සිට වසර මිලියන 66 දක්වා කාලය තුළ මහාද්වීපවල ජීවත්ව සිට ඇති බවත් වසර මිලියන 66 න් පසු මිහිමතින් වඳවී ගොස් ඇති බවත් තහවුරු වේ.   


වසර මිලියන 140 කට පෙර ජීවත්වූ ටයිටනෝසෝර් සිව්පාවෙකුගේ පොසිල සොයාගැනීම ඉතා අපහසු කාර්යයක් වූ බව මෙම ගවේෂණ කණ්ඩායමේ ප්‍රධානි ආචාර්ය පැබ්ලෝ ඒරියල් ගැලිනා ආර්ජන්ටිනාවේ පළවන Ameghinina නම් විද්‍යා සඟරාවක තම අධ්‍යයන වාර්තාවේ තොරතුරු සපයමින් ප්‍රකාශ කර ඇත. ආර්ජන්ටිනාවේ තවත් පාෂාණධාතු විද්‍යාඥයකු වන Sebastian Apesteguia හා Rogrlio Zapata මෙම ටයිටනෝසෝර් උරගයා විශාල නිනිණි යන අර්ථය ගෙනදෙන Ninjatian Zapatai යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා ඇත. 

 

ශාස්ත්‍රවේදී පී. ඩබ්ලිව් ගුණතිලක   
තොරතුරු සයන්ස් නිව්ස් හා අන්තර්ජාලයෙනි