අවුරුදු තිස්දාහක් පැරණි බීජ වලින් උපන් මල


 

වසර තිස්දාහකට උඩදී පොළෝ තලයෙන් වඳවී ගිය තෘණ පැළෑටියකට යළි ජීවය දීමට රුසියානු විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති.
රුසියාවේ උත්තර ධ්‍රැව ප්‍රදේශයට ආසන්නව සයිබීරියානු තුන්දා තෘණ භූමි ප්‍රදේශයේ තිබූ ගහ කොළ පමණක් නොව සතා සිව්පාවුන්ද මීට වසර 30000කට පමණ පෙර හටගත් අයිස් යුගයත් සමඟ පොළෝ තලයෙන් අතුරුදන් විය.


මැමත් නමින් හැඳින්වෙන අලි ඇතුන්ටත් වඩා විශාල දළ සහ ලෝම සහිත සතුන්ද ඩයිනෝසරයන් මෙන් විශාල ලෝම සහිත රයිනෝසරයන්ද දිගු අං සහිත බයිසන් ගවයන්ද මෙසේ අතුරුදන් වූ සතුන් ගෙන් ප්‍රධාන වූ අතර තෘණ වර්ග ඇතුළු ගහ කොළ අසීමිතය.


අයිස් යුගයේ පොළොව මිදී ගල්වීම නිසා එහි එදා ජීවත් වූ සතුන් මෙන්ම රෝපිත ගහ කොළ ආදියද අයිස් තට්ටුවලින් වැසී පාෂාණිභූත විය. එදා එසේ මිහිදන් වූ සතුන් සහ ගහකොළ ආදිය සොයා කැණීම් සිදු කළ රුසියානු විද්‍යාඥයින්ට පොළොව මතුපිට සිට මීටර 30ත් 40ත් අතර ගැඹුරකදී සතුන් විසින් ධාන්‍ය වර්ග රැස්කර තිබූ කුඩා ගබඩා වැනි ගුල් කිහිපයක් හමුවී ඇත.


එහි තිබූ සත්ව ඇට අනුව මෙසේ ධාන්‍ය ගබඩා කර ඇත්තේ එදාු ජීවත් වූ ලේන විශේෂයක් බව සොයාගෙන ඇත. ඒ අතර එහි තිබූ ධාන්‍ය ඇට වර්ග පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ විද්‍යාඥ පිරිස ඒවා යළි රෝපණය කළ හැකිදැයි පරීක්ෂා කර බැලූහ.


මෙම පරීක්ෂණ වල සාර්ථක ප්‍රතිඵල අත්කර දෙමින් අදින් වසර තිස්දාහකට (30000) එපිට මිහිමත ව්‍යාප්තව තිබූ තෘණ වර්ගයක් යළි රෝපණය කර ගැනීමට සමත්ව සිටී. මෙහි දැක්වෙන්නේ එම තෘණ පැළෑටිය මල් පිපී ඇති අයුරුයි.


පී.බී. ඉලංගසිංහ