අවුරුදු තිස් නවයේදී ලෝකයේ ලොකුම ධනවතා වූ බිල් ගේට්ස්


අධිෂ්ඨානයක ජයග්‍රහණය

 

  • දිනකට ඩොලර් මිලියන 20ක ආදායමක් ලබනවා 

 

 

මිනිස්සු සිහින දකිති. නමුත් ඒ දකින සෑම සිහිනයක් ම සැබෑවක් වන්නේ නැත. නමුත් මේ තමන් දුටු සිහිනය සැබෑවක් කරගනිමින් ලෝකය ද වෙනස් කළ මිනිසකුගේ කතාන්තරයයි. 


දැවැන්ත කාමරයක් පුරා සැකසූ පරිගණකය වෙනුවට සෑම මිනිසකු අතටම පරිගණකයක් ලබාදීමේ තමන් දුටු සිහිනය ඔහු සැබෑවක් කරගත්තේ වරක් ලෝකයේ ලොකුම පොහොසතා බවට ද පත්වෙමිනි. ඒ අන් කවරකුවත් නොව ලොව ලොකුම පොහොසතුන් අතර දෙවැන්නා බවට පත්ව සිටින බිල් ගේට්ස් ය. 


බිල් ගේට්ස් යනු මයික්‍රොසොෆ්ට් සමාගමේ වත්මන් සභාපතිවරයාය. 


ඇමෙරිකාවේ වොෂිංටනයේ සියැටල් ප්‍රාන්තයේ දී 1955 ඔක්තෝබර් 28 වැනි දින ඔහු උපත ලැබුවේය. ඔහුට ලැබුණේ ද පියාගේම නම වන විලියම් හෙන්රි ගේට්ස් යන්නයි. පසුව ඔහු බිල් ගේට්ස් ලෙස ප්‍රසිද්ධියට පත්වූවේය. මව මාරි මැක්ස්වෙල් ය. පියා නීතිඥයෙකි. මව පාසල් ගුරුවරියකි. පියාගේ සීයා ද නගරාධිපතිවරයෙකි. මේ පවුල් පසුබිම හේතුවෙන් ඔහු ධනවත් පවුලක දරුවෙකු වූයේය. 


ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ගේට්ස් යවන ලද්දේ පොදු විද්‍යාලයටය. ඉන් අනතුරුව ද්විතීක අධ්‍යාපනය සඳහා ලේක් සයිඩ් විද්‍යාලය නම් පෞද්ගලික පාසලකට ගේට්ස් යොමු කිරීමට මාපියන් කටයුතු කරන ලද්දේ ඔහු අනාගතයේ දී නීතිඥයකු වනු දැකීමේ බලාපොරොත්තුවෙනි. 


නමුත් පොත පත පාඩම් කිරීමට ඔහු වැඩි උනන්දුවක් දැක්වූයේ නැත. ගණිතය වැනි අවබෝධයෙන් කරගෙන යන විෂයයන්ට වැඩි උනන්දුවක් දැක්වූ ගේට්ස්ට වයස අවුරුදු 13 දී විද්‍යාලයේ තිබූ පරිගණකයක් අත පත ගාන්නට ලැබිණි. මේ පරිගණකයේ අධ්‍යයන කටයුතු කරන්නට ගේට්ස් සිසුන්ට අවස්ථාව ලැබෙන්නේ මුදල් ගෙවීමෙන් පමණි. 
ධනවත් පවුලක උපන් ගේට්ස්ගේ මාපියන් ඔහුට මුදල් දුන්න ද පරිගණක පන්තියට යන විට ඔහු අතේ කිසිදු මුදලක් ඉතිරිවන්නේ නැත. මෙයට පිළියමක් ගේට්ස් විසින්ම සොයා ගනු ලැබිණි. පරිගණකය මුදල් නොමැතිව පරිහරණය කළ හැකි ආකාරයේ ක්‍රමයක් තැනූ ගේට්ස් ඉබේම පරිගණක හැකර්වරයකු වූයේය. 


නමුත් ගේට්ස් පාසලේ පන්ති කාමරයට නියමිත මාර්ගයෙන් නොපැමිණිය ද පරිගණකය භාවිත කරන බව දත් ගුරුවරු විදුහල්පතිවරයාට කියූ විට විදුහල්පතිවරයා ගේට්ස් ගෙන්වා ප්‍රශ්න කළේය. ඔහුගෙන් ලැබුණු පිළිතුරු විදුහල්පතිවරයා සසල කරන්නට සමත් විය. ගේට්ස් පාසලේ පරිගණකය මුදල් නොගෙවා භාවිත කළ හැකි ආකාරයට හැක් කර තිබිණි. ඒ අනුව ගේට්ස් යනු හැකර්වරයෙකි. මේ කොලු ගැටයාගේ හැකියාව අසාමාන්‍ය බව දැනගත් විදුහල්පතිවරයා ඔහුට පාසලේ පරිගණකයේ හටගන්නා දෝෂ සකස් කිරීමට අවස්ථාව ලබා දුන්නේය. 


පොත පත කියවීමට උනන්දු නොවූව ද ධාරණ ශක්තියෙන් හා අවබෝධ කරගැනීමේ හැකියාවෙන් ඉදිරියෙන් සිටි බිල් ගේට්ස් පාසලේ අවසන් විභාගය සමත් වූයේ අසාමාන්‍ය දක්ෂතාවක් පෙන්වමිනි. ඒ විභාගයේ ලකුණු 1600න් 1590ක් ම ඔහු තමන් සතුකරගෙන තිබිණි. 


බිල් ගේට්ස් නම් අති දක්ෂ සිසුවාට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය සඳහා වරම් හිමිවිය. එහි දී ද ඔහුගේ වැඩි අවධානය යොමුව තිබුණේ පරිගණක විෂය අධ්‍යයනය කෙරෙහිය. දිනක් විශ්වවිද්‍යාලයේ දී තාක්ෂණික සඟරාවක් කියවමින් සිටිය දී බිල් Altair නමැති ආයතනයකින් දමා තිබූ දැන්වීමක් දුටුවේය. එහි සඳහන් වූයේ පරිගණක භාෂාවක් අවශ්‍යව ඇති බවයි. ඒ වනවිට බිල් පරිගණක භාෂාවක් සකස් කර නැතත් එවැන්නක් සිදුකරන ආකාරය දැන සිටියේය. වහාම එම සමාගමට දුරකථන ඇමතුමක් දුන් බිල් එවැනි භාෂාවක් තමන් ලියා ඇති බවත් එය රැගෙන පැමිණෙන බවත් පැවසීය. 


වහාම තම පාසල් මිතුරා වූ පෝල් ඇලන් සමග එක්ව බිල් දිවා රෑ නොබලා පරිගණක භාෂාව සකස් කරන්නට විය. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඇති පරිගණක භාවිත කරමින් දිවා රෑ නොබලා ඔවුහු මේ පරිගණක භාෂාව සකස් කළහ. දින කිහිපයක ඇවෑමෙන් එය සාර්ථකව නිමා කළ බිල් සහ පෝල් යන දෙදෙනා එය ද රැගෙන මෙක්සිකෝවට ගියේ එය සමාගමට විකුණා දැමීමේ අරමුණෙනි. 


ඔහුගේ ඉලක්කය සාර්ථක විය. පරිගණක භාෂාව පිරික්සූ සමාගම බිල්ගේ නිර්මාණය මිල දී ගැනීමට කැමැත්තක් දැක්වීය. අවසානයේ BASIC නමින් හඳුන්වා තිබූ එය ඇමෙරිකානු ඩොලර් 3000ක මුදලකට විකුණා දැමුවේ එහි කර්තෘ අයිතිය තමන් සන්තකයේ තබා ගනිමිනි. 


බිල් ගේට්ස් පෝල් ඇලන් සමග එක්ව මයික්‍රෝසොෆ්ට් ආයතනය ආරම්භ කළේ 1975 වර්ෂයේ දී ය. ඔහුගේ එකම සිහිනය වූයේ සෑම මේසයකටම පරිගණකයක් ලබා දීමයි. 1976 වර්ෂය වන විට විවිධ පරිගණක පද්ධතීන් සඳහා යොදා ගත හැකි මෘදුකාංග නිෂ්පාදනයට යොමු වූ මේ සමාගමේ දියුණුවට හේතු වූයේ එහි සේවය කළ තමන් ඇතුළු සියලුම දෙනා තම උපරිම ශ්‍රම දායකත්වය යොදා ව්‍යාපාරයේ දියුණුව උදෙසා දැඩි කැපවීමෙන් කටයුතු කිරීම බව බිල් ගේට්ස් ප්‍රකාශ කරයි. 


“අපට හැම දෙයක්ම අභියෝගයක් වුණා. සිතට නැගෙන විකාර සිතුවිලි ඇතැම් අවස්ථාවල දී හීනයක් වගේ වුණාට මේසයක් මත ඇති පරිගණකයකින් මේ දේ කරන්න පුළුවන්ය’’ යන්න යථාර්ථයක් කරන්න අපේ කණ්ඩායමට හැකියාව ලැබුණා. අපේ සාර්ථකත්වයේ රහස එයයි. පළමු වසර පහේ දී අපේ ආයතනයේ නිර්මාණය වූ සියලුම පරිගණක කේත මම පුද්ගලිකව පරීක්ෂා කළා.” බිල් පවසයි. 

 

බිල් ගේට්ස් පෝල් ඇලන් සමග

බිල් ගේට්ස් හා පෝල් ඇලන්

පවුලේ සාමාජිකයන්

 


1980 වර්ෂය බිල් ගේට්ස්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වූයේය. එවකට පරිගණක ලෝකයේ දැවැන්ත සමාගමක් වූ IBM සමාගමට පරිගණක මෙහෙයුම් පද්ධතියක් අවශ්‍යව තිබිණි. මෙවැනි මෙහෙයුම් පද්ධතියක් තිබේදැයි බිල් ගේට්ස්ගෙන් ඇසූ විට ඔහුගේ ක්ෂණික පිළිතුර වී ඇත්තේ ‘‘ඔව්’’ යන්නයි. නමුත් ඔහු සතුව ඒ වනවිටත් එවැන්නක් තිබුණේ නැත. සියැටල්වල දී තමන්ට හමු වූ එවැනි මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කළ තැනැත්තෙකුගෙන් ඒ නිර්මාණය මිල දී ගන්නා බිල් ගේට්ස් එය IBM සමාගමට විකුණා දැමුවේ ලාභයක් ද තබා ගනිමිනි. 


මේ අප කවුරුත් දන්නා MS DOS නමැති මෙහෙයුම් පද්ධතියයි. අනාගතයේ දී මෙවැනි මෙහෙයුම් පද්ධතිවලට මූල්‍යමය වශයෙන් දැවැන්ත වටිනාකමක් එක්වනු ඇතැයි ඉවෙන් මෙන් වටහාගන්නා බිල් ගේට්ස් එහි අයිතිය තමන් සන්තකයේ තබා ගත්තේය. IBM සමාගම අයිතිය ගැන වැඩි තැකීමක් කර නැත. 

 

ලෝකයේ සාර්ථකම ව්‍යාපාරිකයකු වන බිල් ගේට්ස් ව්‍යාපාර අතරතුර තම පුද්ගලික ජීවිතය කෙරෙහි ද සිත යොමුකරමින් 1994 ජනවාරි 01 දා මෙලින්ඩා ග්‍රෙන්ච් සමග විවාහ වූවේය. මේ විවාහයෙන් ඔහුට දරුවන් තිදෙනෙකි. පොත පත කියවීමට වැඩි රුචිකත්වයක් නොදක්වන බිල් ගේට්ස්ගේ ලොකුම විනෝදාංශය වන්නේ ගොල්ෆ් ක්‍රීඩා කිරීමයි. 

 


මේ අතර ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් කරළියට පැමිණ සිටියේය. ඔහුට අවශ්‍ය වූයේ මෙතෙක් පරිගණකයන්හි භාවිත කරන කළු සහ සුදු අකුරු මුහුණත සහිත DOS වෙනුවට රූපමය අකුරු මුහුණතක් නිර්මාණය කර ගැනීමයි. මේ සඳහා ඔහු බිල් ගේට්ස් සමග සාකච්ඡා කළේය. බිල් ඇපල් සමාගමට එක්වූයේ ඒ ආරාධනයෙනි. ඇපල් සමාගමේ කණ්ඩායමක් සමග බිල් තමන්ට පැවරුණු කාර්යය කරගෙන ගිය ද මේ ගැන ස්ටීව් ජොබ්ස් සෑහීමකට පත්වන්නේ නැත. එසේ වුව ද බිල් කිසිවෙකුට නොදන්වා තමන්ගේ කාර්යය කරගෙන ගියේ ආරම්භ කළ දේ නවතා දැමීමට තිබූ නොකැමැත්ත හේතුවෙනි. 


පසුව ඔහු තමන්ගේ නිර්මාණය Windows යන නමින් එළි දක්වන්නේ පරිගණක ලෝකයේ දැවැන්ත වෙනසකට මුල පුරමිනි. මේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ලෝකයේ පරිගණක භාවිත කරන්නන් විසින් වැලඳ ගනිද්දී බිල් ගේට්ස් ලෝකයේ ධනවත්ම පුද්ගලයා බවට පත්වන්නේ වයස අවුරුදු 39 දී. 


වසර ගණනාවක් ලෝකයේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි බිල් ගේට්ස් දැන් ලෝකයේ ධනවතුන් අතර දෙවැනි තැනට පත්ව ඇත්තේ ජෙෆ් බෙසෝස්ට පමණක් දෙවැනි වෙමින්. ඔහු දෙවැනි තැනට ඇද වැටීමට හේතුවක් වූයේ තම වත්කම්වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 28ක් ඇමෙරිකාවේ ඇති සමාජ සුබසාධන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීම හේතුවෙන් බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. 


ඒ ගැන ඔහු පවසා ඇත්තේ මෙවන් අදහසකි. 


“මගේ ලොකුම සතුට වුණේ පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීම. නමුත් මම ඒ වගේම ඇතැම් විට ඊටත් වඩා අනුන්ට උදව් කිරීමෙන් සතුටු වෙනවා. මට අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් තිබීම ඇතැම් විට අයහපත් දෙයක් කියා හිතෙනවා. ඒ නිසා සමාජ සුබසාධන කටයුතුවලට යොමුවීම සතුටක්. එයට මගේ බිරිඳගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. දරුවන්ටත් එය යහපතක් කියා තමයි මම හිතන්නේ.” 


ලෝකයේ සාර්ථකම ව්‍යාපාරිකයකු වන බිල් ගේට්ස් ව්‍යාපාර අතරතුර තම පුද්ගලික ජීවිතය කෙරෙහි ද සිත යොමුකරමින් 1994 ජනවාරි 01 දා මෙලින්ඩා ග්‍රෙන්ච් සමග විවාහ වූවේය. මේ විවාහයෙන් ඔහුට දරුවන් තිදෙනෙකි. පොත පත කියවීමට වැඩි රුචිකත්වයක් නොදක්වන බිල් ගේට්ස්ගේ ලොකුම විනෝදාංශය වන්නේ ගොල්ෆ් ක්‍රීඩා කිරීමයි. 
ඔහු පරිගණක ලෝකයේ දැවැන්තයා වුව ද නවීන තාක්ෂණික මෙවලම්වලින් තම දරුවන් ඈත් කර තැබීම ද විශේෂත්වයකි. 


“මට මගේ දියණිය නිතරම කියනවා එයාගේ පන්තියේ හැම කෙනෙකුටම ෆෝන් එකක් තියෙනවා. ඒත් එයාට නෑ කියලා. ඒක එයාට ලැජ්ජාවක්ලු. නමුත් අපේ පවුලේ දරුවන්ට යම් නීති මාලාවක් විනයක් තියෙනවා. දරුවන්ට ළමා කාලයක් තිබිය යුතුයි. වයසට අවශ්‍ය දේ පමණක් දිය යුතුයි.” බිල් ගේට්ස්ගේ අදහසයි. 


බිල් ගේට්ස් තම දැනුම ලෝකයට බෙදා දීමට ද කටයුතු කරන්නෙකි. ඒ වෙනුවෙන් 1995 දී ඔහු විසින් රචිත The Road Ahead නමැති ග්‍රන්ථය සති හතක් වැනි කාලයක් ඇතුළත විශාල වශයෙන් අලෙවි වී හොඳම අලෙවියක් ඇති පොත් අතර පළමු තැනට පත් විය. 


1999 දී ඔහු විසින් රචනා කරන ලද “බිස්නස් ඇට් ස්පීඩ් තෝ” නමැති ග්‍රන්ථය මගින් ඔහු පෙන්වා දුන්නේ පරිගණක භාවිතයෙන් ව්‍යාපාරික ගැටලු විසඳාගත හැකි ආකාරයයි. භාෂා 25කට පරිවර්තනය වූ මේ ග්‍රන්ථය ලෝකය පුරා විශාල වශයෙන් අලෙවි විය. මේ පොත් අලෙවියෙන් උපයාගත් ආදායම ඔහු අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් කැපවූ ලාභ නොලබන සංවිධාන කිහිපයකට පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබේ. 


බිල් ගේට්ස් හා ඔහුගේ බිරිඳ මෙලින්ඩා ගේට්ස් එක්ව “බිල් සහ මෙලින්ඩා පදනම” පිහිටුවා තිබේ. එමගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශාල වැඩකොටසක් මේ වනවිටත් සිදුකර ඇත. 


පරිගණක ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇතිකළ මේ අපූරු මිනිසා දැන් තාක්ෂණය භාවිතයෙන් සමස්ත ලෝකය වෙනස් කිරීමේ සිහිනය දකිමින් සිටියි. ජීව තාක්ෂණය, ඩිජිටල් ඡායාරූප ශිල්පය, ජංගම දුරකථන තාක්ෂණය වැනි අති නවීන තාක්ෂණික උපාංග නිපදවන සමාගම්වල මුදල් ආයෝජනය කරන අතරතුරම චන්ද්‍රිකා කිහිපයක් අභ්‍යාවකාශගත කර දුරකථන සන්නිවේදන සේවාවක් ලෝක ව්‍යාප්තව ආරම්භ කිරීම කෙරෙහි ඔහු දැන් සිත යොමු කර සිටියි. 


1975 අප්‍රේල් මස 04 වැනි දා ආරම්භ කරන ලද මයික්‍රොසොෆ්ට් සමාගමේ අද වනවිට සේවය කරන පුද්ලයන් සංඛ්‍යාව 135,000 ඉක්මවා ඇත. රටවල් 60කට වැඩි සංඛ්‍යාවක් එම සමාගමේ ශාඛා ව්‍යාප්තව තිබේ. 


ඔහුගේ තත්ත්පරයක ආදායම ඇමෙරිකානු ඩොලර් 250ක් බවත්, දිනකට ඩොලර් මිලියන 20ක් සහ වසරකට ඩොලර් බිලියන 7.3ක් ඔහු ආදායම ලබාගන්නා බවත් ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. බිල් ගේට්ස් රටක් ලෙස සැලකුවහොත් ඔහු ලෝකයේ ධනවත්ම රාජ්‍යයන් අතර 37 වැනි තැනට පත්වෙයි. 


ඇමෙරිකාවේ වොෂිංටනයේ සුන්දර විලකට මුහුණ ලා පිහිටි සුවිසල් මැදුරකට හිමිකම් කියන බිල් ගේට්ස්ගේ මැදුරේ සහ භූමියේ තක්සේරුව ඇමෙරිකානු ඩොලර් මිලියන 147.5කි. මෙහි ඇති පිහිනුම් තටාකයේ ජල තුළ දී පවා සංගීතය රස විඳිය හැකි ආකාරයෙන් නිර්මාණය කර තිබේ. මෙහි ඇති පුස්තකාලයේ ලියනාඩෝ ඩාවින්චිගේ ලිපි රචනා එකතුවක් තිබීම ද විශේෂත්වයකි. 


බිල් ගේට්ස් ප්‍රසිද්ධ දේශනවල දී පවසන ප්‍රකට කතාවක් තිබේ. 


“ඔබගේ සතුටට පත් නොවන සේවාදායකයකු ඇත්නම් ඔහු ඔබට ඉගෙනීමට ඇති හොඳම මාර්ගයයි. එමෙන් ම දියුණු වීම වෙනස් වීමෙන් තොරව කළ නොහැකියි. ඔබට තම සිත වෙනස් කර ගත නොහැකි නම් මේ ලෝකයේ කිසිවක් වෙනස් කළ නොහැකියි. ඒ නිසා සිත වෙනස් කරගන්න. ඔබට ලෝකය වෙනස් කළ හැකි වේවි.” 

 


සජීව විජේවීර