අවුරුදු චාරිත්‍ර ජ්‍යොතිෂ ඇසින්


සිංහල අවුරුදු චාරිත්‍ර මෙලෙස පෙළ ගැස්විය හැකිය. නව සඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්නානය, අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය, හිස තෙල් ගෑම, රැකී රක්ෂා සඳහා පිටත්ව යාම  
 
නව සඳ බැලීම   


මිනිස් දිවියට බෙහෙවින් බලපෑම් ඇති කරන පෘථිවියට ආසන්නම ග්‍රහයකු ලෙස සඳ හැඳින්විය හැකිය. වඩදිය බාදිය ඇතිවීමද පසළොස්වක පොහොය වන විට මිනිසා ඇතුළු බො​හෝ සතුන්ගේ (විශේෂයෙන් මානසික) වෙනස්කම් දක්නට ලැබීමද අත්දුටු සාධක ලෙස දැක්විය හැක. අවසාන මාසයේ අමාවක දිනට පසු පායන මුල්ම සඳ නව සඳ ලෙස සැල​ෙක්. එබැවින්ම මෙය නෙතට දර්ශනය වීම සුබ කාර්යයක් ලෙස පිළිගැනේ. මෙවර නව සඳ බැලීමට ඇත්තේ 2018 මාර්තු මස 18 වෙනි ඉරුදිනය.   


පරණ අවුරුද්ද සඳහා ස්නානයට   


දිනපතා ස්නානය කිරීම නීරෝගීමත් ජීවිතයකට මග පාදයි. ගෙවී ගිය අවුරුද්දේ නෑම සිදු කරන අවසාන දිනය ලෙස මෙය හැඳින්විය හැකිය. ජලය ස්නානය කර පව් බැහැර කිරීමේ චාරිත්‍රයක් භාරතීය හින්දු දහමෙහි එයි. මෙය එහි නෂ්ඨාවශේෂයක් විය හැකිය. මෙවර අප්‍රේල් මස 12 වෙනි බ්‍රහස්පතින්දා බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය කිරීම සුදුසු බව දක්වා ඇත. මෙදින නෑමෙන් පසු හිස තෙල් ගා නාන තෙක් ස්නානය කිරීමක් සිදු නොකරයි.   


අලුත් අවුරුදු උදාව   


අවුරුදු චාරිත්‍රවල කේන්ද්‍රීය සාධකය වන්නේ අවුරුදු උදාවයි. රාශි දොළහෙන් අවසාන රාශිය වන මීන රාශියේ සිට ආරම්භක රාශිය වන මේෂ රාශියට සූර්යයා ගමන් කිරීම මේ මොහොතේ සිදුවෙයි. මෙවර එය සිදුවන්නේ අප්‍රේල් මස 14 වැනි දින පූර්වභාග 8.13ටය. අනෙකුත් අවුරුදු චාරිත්‍ර විදි සියල්ල පැවැත්වීම ද කෙළිසෙල්ලම්වල යෙදෙමින් ප්‍රීති වීමද අවුරුදු උදාවෙන් පසුව සිදුවන දේ අතර වෙයි.   


පුණ්‍ය කාලය 


අලුත් අවුරුද්ද උදාවීමට පෙර ගතවන හෝරා කීපයකුත් අවුරුද්ද උදාවීමෙන් පසු හෝරා කීපයකුත් පුණ්‍ය කාලයට අයත්ය. ආහාර පිසීම, වැඩ අල්ලීම, ගනුදෙනු හා ආහාර අනුභවය යන අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍ර විධි කීපයක්ම සිදු වන්නේ මෙම පුණ්‍ය කාලය තුළය. ​   


මෙවර පුණ්‍ය කාලය යෙදී ඇත්තේ අප්‍රේල් මස 14 වෙනි සෙනසුරාදා දින පූර්ව භාග 01.49 සිට එදිනම අපරභාග 02.37 දක්වාය පුණ්‍ය කාලය එළඹීමට පෙර දෛනික සියලු කාර්යයන් අත්හළ යුතුය. එම කාලය තුළ ආගමික වතාවත්වල යෙදී සිටිය යුතුය. නැකතට ලිප ගිනි දල්වන තෙක් ලිප දැල්වීමක්ද සිදු නොවේ. තවද නැකතට ආහාර අනුභව කරන තුරු කිසිවක් ආහාරයට ගන්නේද නැත.   


ආහාර පිසීම   


නිවසක ආහාර පිසීම දිනපතා සිදුවන්නකි. එමෙන්ම නිරෝගී දිවි පෙවෙතකට පෝෂ්‍යදායී ආහාර ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. මෙය අවුරුද්දේ නැකතට කිරීම චිරාගත සම්ප්‍රදායකි. අලුත් ළිපක් සාදා නැවුම් වළඳක සුබ දිශාව බලා නැකතට ළිප ගිනි මෙළවීම සිදු කරයි. මෙවර එය යෙදී ඇත්​ෙත් අප්‍රේල් මස 14 වන දින පූර්වභාග 10.40ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ය.   


වැඩ අැල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය   


ආහාර අනුභවයත් වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීමත් සිදු වන්නේ එකම නැකතකටය. ගනුදෙනු කිරීමේදී පවුලට ඉතා හිතවත් යහපත් පුද්ගලයකු සමඟ ගනුදෙනු කිරීමද වැඩ ඇල්ලීමේ දී කිරි ගසකට පිහියකින් කෙටීම හෝ කැත්තෙන් උදැල්ලෙන් කරන වැඩක් සිදු කිරීමද සිරිතයි. දිනපතා වතුර ගන්නා ළිඳට අගුරු කැබැල්ලක් වී ටිකක් හා කාසියක් එකට තබා රෙදි කැබැල්ලකින් ඔතා පොට්ටනියක් කර ළිඳට දමයි. පළමු වතුර බාල්දිය ගනු ලබන්නේ ඉන් පසුවය. මෙය ස්වභාව ධර්මය සමඟ මිනිසාගේ ඇති බැඳීම පිළිබිඹු කරන චාරිත්‍රයකි. ආහාර අනුභව කරන මොහොතේ පවුලේ සියලු දෙනා එකට හිඳ අනුභවය සිදු කරයි. එය පවුලේ සමගිය තහවුරු කරන චාරිත්‍රයක් ලෙස හැඳින්විය හැකිය. මෙවර එය යෙදී ඇත්තේ අප්‍රේල් මස 14 වෙනි දින පූර්වභාග 11.53ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිහාව බලා ය.   


හිසතෙල් ගෑම   


හිස මනුෂ්‍ය ශරීරයේ වැදගත්ම කොටසක් ලෙස සැලකේ. සියලු ක්‍රියාවන් පාලනය කරන මොළය පිහිටියේද හිසෙහිය. මෙහි දිනපතා තෙල් වර්ගයක් ආලේප කිරීම නිරෝගී පැවැත්මට මග පාදයි. මෙයද අලුත් අවුරුද්දේ නැකතට කරන්නකි. ඔෟෂධ වර්ග ගණනාවක් සංයෝගකර තැනු තෙල් නානු වර්ගයක් ද සමඟ මිශ්‍ර කොට සුබ දිශාව බලා යහපත් පුද්ගලයකු අතින් හිසතෙල් ගෑම සිදුකරයි. පරණ අවුරුද්ද සඳහා ස්නානය කළ පසු ස්නානය කරන්නේ හිසතෙල් ගෑමෙන් අනතුරුවය. මෙවර එය යෙදී ඇත්තේ අප්‍රේල් මස 16 සඳු දින පූර්වභාග 10.16 ට උතුරු දිශාව බලා ය.   


රැකිරක්ෂා සඳහා පිටත්ව යාම   


අලුත් අවුරුදු චාරිත්‍රවල අවසාන අංගය වන්නේ නව වසරේ පළමුව තම ජීවන වෘත්තිය සඳහා පිටත්ව යාමයි. ගොවිතැන් කටයුතු, වෙළහෙළදාම් ආදිය සඳහා පිටත් වන්නන්ද කාර්යාලීය සේවය සඳහා යන්නන් ද සුබ මොහොතින් නිවසින් පිටත් වෙයි. මෙවර එය යෙදී ඇත්තේ අප්‍රේල් මස 19 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 06.03ට නැගෙනහිර දිශාව බලා රන්වන් හෝ කහ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පිටත්වන ලෙසටය.   


සමස්තයක් ලෙස ගත්විට අවුරුදු චාරිත්‍රවල සමාජ විද්‍යාත්මක වටිනාකමක්ද ඇති බව පෙනේ. පැරණි සංස්කෘතිකාංග අනාගත පරපුරට දායාද කරන අවස්ථාවක් ලෙසද ජාතික සමගිය වර්ධනය කෙරෙන අවස්ථාවක් ලෙසද අගය කළ හැකිය. තවද නැකතට වැඩ කිරීම යනු නියමිත වේලාවට වැඩක් කිරීමට හුරු කිරීමකි. අලුත් අවුරුදු චාරිත්‍ර නිසි ලෙස ඉටු කිරීමෙන් නව වසර සුබදායක වන බව සමාජයේ පිළිගැනීමයි.   

 

 

 

 

 


ආර්.එම්. පොඩිරාළහාමි,   
රඹුක්කන.