අවුරුදු 800,000 කට පෙර පෘථිවියට කඩා වැටුණ උල්කාපාතය


 

 

මෑත අයිස් යුගය අවසන්වීමෙන් පසුව පෘථිවියට පතිත වූ විශාලතම උල්කාපාතයෙන් ඇති වූ ආවාටය ලාඕසයේ බොලවෙන් සානුවෙන් සොයාගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමකට හැකිවී ඇති බව ‘නැෂනල් ඇකඩමි ඔෆ් සයන්සස්’’ සඟරාවේ පළවූ වාර්තාවක සඳහන් වේ.  


අවුරුදු 800,000 කට පෙර පෘථිවියට කඩා වැටුණු උල්කාපාතය පතිත වූ ස්ථානය සොයා ගැනීමට පර්​ෙ‌ය්ෂකයෝ වසර කීපයක ඉහත සිට උත්සාහ කරමින් සිටියහ. ‘‘නැෂනල් ඇකඩමි ඔෆ් සයන්ස්’’ වාර්තාවල පළකළ නවතම අධ්‍යයනක දී විද්‍යාඥයෝ මෙම විශාල උල්කාපාතය පතිත වූයේ ලාඕසයේ ඩොලවෙන් සානුවේ පිහිටි යමහල් පිටියට බව පෙන්වා දෙති. මෙම සොයා ගැනීම සඳහා උතුරුදිග කාම්බෝජයේ සිට මධ්‍යම ලාඕසය දක්වාත් දකුණුදිග චීනය හා නැගෙනහිර තායිලන්තයේ සිට වියට්නාම් මුහුදු සීමාව දක්වාත් ගවේෂණය කිරීමට සිදුවූ බව මෙම පර්​ෙ‌ය්ෂණ කණ්ඩායමේ ප්‍රධානී ‘‘කෙරී සී’’ (Kerry Sieh) CNN වාර්තාකරුට පවසා ඇත මෙම ගවේෂණ කණ්ඩායම උල්කාපාතය පතිතවීමෙන් සෑදුණ අාවාටය පොළව යට වැළලී ගොස් ඇති බවත් මීට පෙර මෙම ආවාටය සෙවීම්වල නිරත වූ ගවේෂකයන්ට සොයා ගැනීමට නොහැකි වූ හේතුන්වලට ප්‍රබල සාක්ෂි ඇති බවත් සඳහන් කරති.   


අවුරුදු 800,000 ට ඉහතදී පෘථිවියට කඩා වැටුණු මෙම සැතපුම් 1.2 පළල උල්කාපාතය ඉතා තදින් හා වේගයෙන් පොළවෙහි ගැටී ඉන් විසිරුණු සුන්බුන් පෘථිවියෙන් 10% ක ප්‍රදේශයක් පුරා විසිරීගොස් ඇති බව මෙම පර්​ෙ‌ය්ෂණ කණ්ඩායම පෙන්වා දී අැත. උල්කාපාතය පොළවෙහි ගැටීමේදී එම ගැටීම සිදුවුණ ස්ථානයේ සිට රත් වූ පාෂාණ අහසට විසිවේ. මෙම ගිනියම් වූ ද්‍රව්‍ය සිසිල් වූ පසු එ්වා පාෂාණ කැබැලි බවට පත්වේ. මේවා ටෙක්ටයිට්ස් (Tektites) යනුවෙන් හඳුන්වන අතර ඒවා විසුරුණු ප්‍රදේශ පරීක්ෂාකිරීමෙන් උල්කාපාතයෙන් සෑදුණ ආවාටය සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි බවත් ඔවුන් පෙන්වාදී ඇත.   
ටෙක්ටයිට්ස් කැබලි විසිරුණු ප්‍රදේශ ගවේෂණය කිරීමෙන් මෙම විශාල උල්කාපාතය පතිත වූ ස්ථානය මෙම මහාද්වීප අතර ඇති ස්ථානයක් විය හැකි බව අනුමානකර ඇත. ‘‘කෙරී සී’’ ප්‍රමුඛ පර්​ෙ‌ය්ෂණ කණ්ඩායමට කාම්බෝජය, ලාඕසය හා වියට්නාමය ඇතුළත් ඉන්දුචීන ප්‍රදේශයේ බහුල ලෙස විසිරුණ ‘ටෙක්ටයිට්ස්’ සොයා ගැනීමට හැකි වී ඇත. උල්කාපාත ආවාටය සෙවීම සඳහා මෙම ප්‍රදේශය තෝරා ගැනීමට මෙය ඉවහල් වී ඇත.   


විශාල උල්කාපාතයක් පොළවෙහි ගැටීමේදී සැතපුමක් පමණ පළල අඩි 300ක් පමණ ගැඹුර ඇති ආවාටයක් ඇති වේ. ‘‘කෙරී සී’’ පළමුව තම අවධානය යොමුකළේ කාම්බෝජය, මධ්‍යම ලාඕසය හා දකුණුදිග චීනය වෙතය. නමුත් එම ප්‍රදේශවලින් හමුවූ උල්කාපාත අාවාට අවුරුදු මිලියන දහස් ගණනක් පැරණි ඒවා බව පෙනීගොස් ඇත. දකුණුදිග ලාඕසයේ ‘‘බොලවෙන්’’ සානුවේ (Bolaven Plateau) ලාවා ගලාගිය ප්‍රදේශයක් මෙම ගවේෂණ කණ්ඩායමට දැකගත හැකිවී ඇති අතර එම ලාවා අවුරුදු 51,000 සිට 780,000 අතර කාලයක ඇතිවූ ඒවා බව සොයාගැනීමට හැකිවී ඇත. මේ සානුවේ ඇතිවූ ලාවා විදාරණයෙන් අඩි 1000ක් ගැඹුරට ලාවා තට්ටුවක් සෑදී ඇති බවත් විශාල උල්කාපාතයෙන් ඇතිවූ ආවාටය නිශ්චිත වශයෙන්ම ලාවාවලින් වැසී ගොස් ඇති බවත් මෙම පර්​ෙ‌ය්ෂණ කණ්ඩායම සඳහන් කරයි.   


අවසාන නිගමනයට පැමිණීමට ‘‘කෙරී සී’’ ගේ පර්​ෙ‌ය්ෂණ කණ්ඩායම යමහල් පිටියේ ඇති පාෂාණ හා උල්කාපාතයෙන් විසිරුණු ටෙක්ටයිට්ස්වල රසායන සංයුතිය පරීක්‍ෂාකර ඇත. එසේම බොලවෙන් සානුවේ ඇති ගුරුත්වාකර්ෂණ පිටියේද පිරික්සීම් කර ඇත. මෙහිදී මෙම පර්​ෙ‌ය්ෂණ කණ්ඩායමට අඩි 300ක් ඝනකම සැතපුම් 11ක් දිග හා සැතපුම් 8ක් පළල පොළව යට ඇති ඉලිප්සාකාර ප්‍රදේශයක ඇති ගුරුත්ව බලය දැක මවිතයට පත්වී ඇත. උල්කාපාත ආවාටය පිරීගොස් ඇත්තේ, අවට ප්‍රදේශයේ ඇති පාෂාණවලට වඩා අඩු ඝනත්වයක් ඇති පාෂාණවලින් බව සඳහන් කරන පර්​ෙ‌ය්ෂණ කණ්ඩායම ලාඕසයේ යමහල් පිටියේ ගුරුත්ව සංඥා භූගත ආවාටය එහි පිහිටා ඇති බව පෙන්නුම් කරන බවද සඳහන් කරති.   


උල්කාපාත ආවාටය මතුපිට ඇති ලාවා අවුරුදු 800,000 කාලයකට වඩා අඩු කාලයක සිදුවූ ඒවා බවද සොයාගැනීමට මෙම පර්​ෙ‌ය්ෂකයන්ට හැකිවී ඇත. ලාවා පිටියෙන් සැතපුම් 12ක් ඈතින් සුන්බුන්වලින් වැසීගොස් ඇති හුණුගල් තට්ටුවේ කැඩුණු තිරිවානා ගල්කැබලි තිබී හමුවීම භූ විද්‍යාඥයන් විශ්වාස කරනුයේ ඒවා උල්කාපාතය පතිතවීමෙන් විසිරුණ ඒවා බවය.  


මෙම පර්​ෙ‌ය්ෂණය සඳහා සහභාගි නොවූ ඕස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥ ‘‘ඇරොන් කැවෝසි’’ (Aaron Cavosie) මෙය සෙවීමට ඉතා දුෂ්කර ආවාටයක් බවත් නව අධ්‍යයනය ලාඕසයේ භූගත වී ඇත්තේ අවුරුදු 800,000 පෙර පතිතවූ උල්කාපතයෙන් සෑදුන ආවාටය බව නිශ්චිත ලෙස ප්‍රකාශකළ නොහැකි බවත් ‘‘නිව්යෝක් ටයිම්ස්’’ වෙත ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් විද්‍යාඥයන්ට මෙම ලාවා ස්ථරය මීටර් සියගණනක් යටට හාරා බැලීමෙන් අවුරුදු 800,000 කට පෙර පෘථිවියට පතිතවූ උල්කාපාතයෙන් සෑදුණ ආවාටය මෙයම දැයි නිශ්චය කර ගැනීමට හැකිවන බව සමහරුන්ගේ මතයයි.   


තැපැල් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අධික්‍ෂණ නිලධාරි  ශාස්ත්‍රවේදී 
පී.ඩබ්ලිව් ගුණතිලක  
ඡායාරූප හා විස්තර අන්තර්ජාලයෙනි