අවුරුදු 176 කට පෙර සුද්දන්ගේ රෝහල


අවුරුදු 175ක් පැරණි නුවරඑළිය රෝහල් සංකීර්ණයේ ගොඩනැගිල්ලක්   

මළමිනි ආදාහනය කළා යැයි සැලකෙන කොටස

 

දෙස් විදෙස් සංචාරකයින්ගේ සොඳුරුතම පාරිසරික පාරාදීසය වනාහි මුහුදු මට්ටමෙන් අඩි 6181ක උසින් ඉංග්‍රීසීන් විසින් නිර්මාණය කළ සුන්දර නුවරඑළිය වේ.   


1815 මාර්තු 2 දින මුළුමහත් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට නතුවීමත් සමග පොරොන්දු ප්‍රකාර වූ ආකාරයට ඉංග්‍රීසීන් කටයුතු නොකිරීම නිසා කලකිරුණු දෑහිතකාමීහු ඉංග්‍රීසීන්ට විරුද්ධව නිදහස් අරගලයක් ඇරඹුවෝය. ඒ 1818 වසරේදීය.   


එම අරගලය පසුබිම් කරගෙන වසර දහස් ගණනාවක් රාජ්‍ය අණපනත්වලින් තොරව ජලපෝෂිත ප්‍රදේශයක් ලෙස සුරක්ෂිත කළ ශ්‍රී ලංකාවේ පියස්ස තුළ ඉංග්‍රීසීහු 1828 දී කුඩා නගරයක් නිර්මාණය කර ඊට පුංචි එංගලන්තය යැයි නාමයක් තැබූහ.   


ඉංග්‍රීසීහු සොල්දාදුවන්ගේ නිවාඩු නිකේතනයක් ලෙස ඇරඹූ නුවරඑළිය තුළ ඔවුන්ට අවැසි උපාංග එකතු කරගන්නට වූහ. ඒ යටතේ ඉතාම අත්‍යවශ්‍ය අංගයක් ලෙස ඉංග්‍රීසි හමුදා කඳවුරක් ද සටන් පුහුණු භූමියක්ද රෝගාතුර වන සොල්දාදුවන්ට අවශ්‍ය වූ සංකීර්ණයක්ද ඉංග්‍රීසීහු නිර්මාණය කළහ. යුදහමුදා කඳවුර ලෙස එදා භාවිත කළ ගොඩනැගිලි සංකීර්ණය පසු කාලයේදී නුවරඑළිය ශුද්ධ ත්‍රිත්ව විදුහලට අයත්ව මෑතක් වනතුරු පරිහරණය කරන ලදී. අද දවසේ එම ගොඩනැගිලි සංකීර්ණය නුවරඑළිය උසස් බාලිකාව සතුවී ඇත. ඉංග්‍රීසි හමුදාව සටන් පුහුණුව ලැබූ ප්‍රදේශය අද සඳතැන්න ගම්මානයත් රජයේ සීතාඑළිය බීජ අර්තාපල් ගොවිපළට නතුව ඇත.   
ඉංග්‍රීසි සොල්දාදුවන් භාවිත කළ තවත් ආරක්ෂිත ප්‍රදේශයක් වූ කාලයක් නුවරඑළිය ජනතාව මිලිටරි කැලය නමින් හැඳින්වූ පෙදෙස අද ගැල්වේස් ජාතික වන උද්‍යානයට අයත් වූ ඉඩම් කොටසක් වී ඇත.   


එම මිලිටරි කැලය සහ නුවරඑළිය ඉපැරණි දුම්රියපොළ අතර ප්‍රදේශයේ එදා ඉංග්‍රීසි සොල්දාදුවන් සඳහා නිර්මාණය කළ රෝහල් සංකීර්ණය තිබුණු බවට සාධක ශේෂ වී ඇත. අද ‘ක්‍රේටන් විලේජ් ' නම් නාගරික කොටස තුළ එම රෝහල් සංකීර්ණ පවත්වාගෙන ගිය බව පෙනේ.   
1843 වසරේදී ප්‍රථම වතාවට රෝගීන් 18 දෙනකුගෙන් මෙම හමුදා රෝහල ස්ථාපිත කෙරිණි. යුද සෙන්පතිවරයෙකු හා උපසෙන්පතිවරු දෙදෙනකු යටතේ මෙම රෝහල පවත්වාගෙන ගොස් ඇති අතර ඉංග්‍රීසි හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලය යටතේ රෝහලේ කටයුතු සිදු වී ඇති අතර එක් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත රෝහල පවත්වාගෙන ගිය බව ඉතිහාස තොරතුරු අනාවරණය කරයි.   

ගොඩනැගිල්ලේ තවත් දසුනක්

මිලිටෙරි කැලය ගැන ලියවුණු දැන්වීම් පුවරුව

 

 


ඉංග්‍රීසීන්ගේ යටතේ යුද කටයුතුවලට සහාය දැක්වූ කාපිරි මිනිසුන් මෙම රෝහලේ යටිතල පහසුකම්වලට සහාය දක්වා ඇත.   
මෙම රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගීහු වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි දිය නෑම සඳහා මිලිටරි කැලයට පහළ හමුදා කඳවුරට ආසන්න නාන පිහිල්ල වෙත කැටුව ගොස් ඇති බවටද තොරතුරු අනාවරණය වේ.   


රෝහල් සංකීර්ණයට අවශ්‍ය වාට්ටු කීපයක්ද වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට අයත් නිවාස කීපයක්ද මිනී තැන්පත් කිරීම සඳහා මිනී කාමරයක්ද වෙන් වෙන්ව පිහිටුවා තිබුණු බවට තොරතුරු දන්නා පැරැන්නෝ ජනප්‍රවාද දක්වමින් කියා සිටිති. බෝවන රෝග වැලඳී මියගිය අයගේ සිරුරු ඉතා ආරක්ෂාකාරීව අාදාහනය කිරීම සඳහා භාවිත කළා යැයි සැලකෙන කුඩා ආදාහනාගාරයක සලකුණු ද ශේෂ වී ඇති ගොඩනැගිලි අතර තිබුණු බව විශ්වාස කෙරේ.   


මෙම හමුදා රෝහල් ගොඩනැගිලි සංකීර්ණය පසු කාලයේදී එනම් 1880 පසු රජයේ අවශ්‍යතාවලට ගෙනඇති බව පෙනේ. ඒ අද ක්‍රියාත්මක වන රෝහල් සංකීර්ණය ආරම්භ වීමත් සමගම අද එම අවුරුදු 175ක් පැරණි හමුදා රෝහල ගොඩනැගිලි රාජ්‍ය නිලධාරි කීපදෙනකුගේ නේවාසිකාගාර වී ඇති අතර තවත් ගොඩනැගිල්ලක් මෙරට ප්‍රසිද්ධ දෙපාර්තමේන්තුවක කාර්යාලයක් ලෙස භාවිත කෙරේ. මළමිනී තැන්පත් කළ ගොඩනැගිල්ල කඩා ඉවත් කර අද ඒ භූමියේ ගොඩනැගිල්ලක් ඉදිකර ඇත.   


1964 වසරේදී එවකට නුවරඑළිය පියතිස්ස විදුහලේ ආචාර්යවරියක වූ අනුලා පෙරේරා ගුරු මහත්මිය (අද විශ්‍රාමික) මෙම රෝහල් ගොඩනැගිල්ලක තවත් ගුරුවරියක සමග නේවාසිකව කාලයක් නවාතැන්ගෙන සිටි බවත් රෝහල් සංකීර්ණ ආශ්‍රිත ප්‍රදේශය රාත්‍රි කාලයේදී කිසිවෙකු ගමන්බිමන් නොගිය අතර ඒ හොල්මන් ඇති බව මතයක් ගොඩනැගී තිබුණු බව සඳහන් කළාය. ඇයද නවාතැන්ගත් ගොඩනැගිල්ල තුළ රාත්‍රි කාලයේදි විවිධ වූ ශබ්දවලට සවන් දීමට සිදුවූ බවද පැවසුවාය.   


නුවරඑළියේ වසර 190ක කාලයක තුළ කාලයේ වැලිතලා මත වියැකී යන දෑ අතර අවුරුදු 176ක් පැරණි මෙම ඉංග්‍රීසි සොල්දාදුවන් සඳහා නිර්මාණය වූ රෝහල් සංකීර්ණය වේ.   
කෙසේ වුවත් ඉතා දුර්වල තත්ත්වයේ වූ ගොඩනැගිලි කෙසේ වෙතත් ශක්තිමත් එක් ගොඩනැගිල්ලක් හෝ දෙකක් සංරක්ෂණය කර පවත්වාගෙන යා යුතුය. ඒ නුවරඑළිය නගරයට ඉතිහාසයක් අවශ්‍ය නිසාය.   

 

 

අද රජයේ දෙපාර්තමේන්තු කාර්යාලයක් තාවකාලික පවත්වාගෙන යන ගොඩනැගිල්ලක්. මෙය එදා වෛද්‍යවරයෙකුගේ නිල නිවසක් විය හැක.

 පැරණි රෝහලේ ගොඩනැගිල්ලක්

ගොඩනැගිල්ල තුළ වූ දර දමා පාවිච්චි කළ උදුනක සලකුණු

 

 

 


ඡායාරූප හා සටහන
නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි