අවසන් ධර්ම දේශනාවේ දී මරණය ගැන දේශනා කළේ අනාගතය පෙනිල ද ?


පානදුරේ අරියධම්ම හිමියන් අපවත්වුණේ විෂ ශරීරගත වෙලාද?-4

 

බෝධිපූජා පින්කමකට වඩිමින්...

බෝධිපූජා පින්කමේදී....

 

 

විටෙක අරියධම්ම හිමියෝ රෝගාතුරවී වෛද්‍ය ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් වූහ. එහිදී එහිමියන් වැඩසිටි වාට්ටුව භාරව කටයුතු කරන ලද්දේ මේට්‍රන් ඇලිෂ් බෝගොඩ මහත්මියයි. අහඹුවකින් සේ හඳුනාගත් අරියධම්ම හිමි පිළිබඳව තතු ඇය සිය ස්වාමිපුරුෂයා වූ (පොලිස් නිලධාරී එවකට) පියසේන කලුනායක මහතාට පැවසුවාය. ඇය මාර්ගයෙන් අරියධම්ම හිමි හඳුනාගත් ඔහු කලකට පසුව සියනෑ කෝරළයේ සිටි අරියධම්ම හිමිගේ ප්‍රධාන කැපකරුදායක මහතා බවට පත්විය. 


අරියධම්ම හිමිගේ ජීවිතයේ බොහෝ සන්ධිස්ථානයන් පිළිබඳ අටුවාටීකා දත් ඔහු අද ජීවතුන් අතර නැත. එහෙත් ඔහුත් සමග ඒ ප්‍රජාමය පින්කම්වලට සහභාගී වූ එවකට ගැටවරවියේ දරුවෙකුව සිටි අද ගම්පහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධීක්ෂණ නිලධාරී හා සමාජ සේවකයෙකු ලෙස කටයුතු කරන සුජීව කලුනායක මහතා අපට හමුවිය. 
ඔහු ලද අත්දැකීම් සහ ඔහු ඔහුගේ මහප්පාගෙන් අසාදැනගත් කරුණු පිළිබඳව අපට තොරතුරු දැක්වූයේ මෙසේය. 


අරියධම්ම හිමිගේ කුඩාකල තම බුද්ධදාස ලාල් ප්‍රනාන්දු මහප්පා මට කියලා තියෙනවා අරියධම්ම හිමිගේ කුඩා අවදියේ සිදුකළ විශේෂ සිදුවීම් පිළිබඳව. 


ඒ හිමියන්ගේ පියාණන් වූයේ ඩබ්ලිව්. සොලමන් ප්‍රනාන්දු මහතා මෑණියන් වූයේ නෙලි ප්‍රනාන්දු මහත්මිය. 


එ් හිමියන්ගේ ගිහිකළ නම බුද්ධාය. බුද්ධදාස දරුවා ඉපදුන වෙලාවේ විශේෂ සිදුවීමක් වෙලා තිබෙනවා. එදා වින්නඹු මාතාව ලෙස කටයුතු කර තිබුණේ එමලින් පීරිස් මහත්මිය. බුද්ධදාස දරුවා ඉපදෙන කොට බර රාත්තල් 10 ක් තිබුණලු. ඒ වගේම පෙකණිවැල බෙල්ලේ තුන් වටයක් එතිලා තිබුණලු. එවැනි තත්ත්වයක සිටි දරුවා මවට කිසිදු වේදනාවක් නොදී බිහිවෙලා තිබෙන්නේ. 


මේ සිදුවීම දුටු වින්නඹු අම්මා බුද්ධදාස දරුවාගේ මවට මහණ කමට හොඳ පින්වන්ත දරුවෙක් ලැබිලා ඉන්නවා කියා කියලා තිබෙනවා. ඒ අනුවයි නෙලි මහත්මිය මේ කුඩා දරුවාට බුද්ධදාස කියන නම තබලා තියෙන්නේ. අරියධම්ම හිමියන් පසුකාලයේදී ඇයට දෙවැනි අම්මා කෙනෙකුට වගේ සෙනෙහස කරුණාව දක්වලා තිබෙනවා. 
ඒ වගේම මා ආසා තිබෙනවා බුද්ධදාස දරුවා කුඩා අවදියේ සෙල්ලම් කළ ආකාරය පිළිබඳව. ඔහු ළමයි සමග සෙල්ලම් කරද්දී තෝරාගෙන තිබෙන්නේ හාමුදුරු චරිතය. සුදු රෙදි කෑල්ලක් සිවුරක් වගේ පොරවාගෙන පොල්කට්ටක් අරගෙන පිණ්ඩපාතයේ එනවලු. යාළුවෝ දානයට වැලිබත් දෙනවලු. 


ඒ වගේම මේ දරුවා කුඩා කාලයේ සිට ආගමට දහමට හරිම ලැදිව සිටි කතාව මගේ මහප්පා මට කියා තිබෙනවා. ඔහුගේ මව අසනීප වූ විට දෙල් කොළයක් වටාපතට ගෙන පිරිත් කියනවාලු. 


දරුවාගේ මෙම ක්‍රියාකලාපයන් ධර්මානුකූලවෙන්න ශ්‍රී සද්ධර්මාරාමයත් එක් හේතුවක් වෙලා තිබෙනවා. එම පන්සල හදලා තිබෙන ඉඩම පූජා කරලා තිබෙන්නේ අරියධම්ම හිමිගේ පියාණන්. ඒ නිසා පන්සලට නිතර යෑම සිදුවී තිබෙනවා. ඒ පන්සල් භූමියේ දක්නට ලැබෙන දෑ බුද්ධදාස දරුවාගේ ආගමික ජීවිතයට ආලෝකයක් වෙන්න ඇති. 


බුද්ධදාස දරුවා අවුරුදු 5 දී තමයි නල්ලූරුව සිරි සීවලී බෞද්ධ මිශ්‍ර පාසලට ඇතුළත් වෙන්නේ. උසස් අධ්‍යාපනය ලබලා තිබෙන්නේ සිරිල් ජෑන්ස් විදුහලෙන්. ඉන්පසු හොරණ විද්‍යාරතනයෙන්ද අධ්‍යාපනය ලබා තිබෙනවා. 


අධ්‍යාපන කටයුතු නිමවීමත් සමග ඔහුට අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලයේ ලිපිකරු රැකියාවක් ලැබෙනවා. බෞද්ධාගමික යහසිතිවිලි වලින් ජීවිතය දුටු ඔහුට එම රැකියා ස්ථානයත් ආශිර්වාදයක් වෙලා තිබෙනවා. 


1986 වසරේ නිකුත් කළ පුවත්පතක මා දුටුවා එකල අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අනුරාධපුර දිසාපති ලෙස කටයුතු කළ නිශ්ශංක විජයරත්න මහතා කළ ප්‍රකාශයක්. 


බුද්ධදාස තරුණයා රැකියා කරන කාලයේ ලද හැම අවස්ථාවකම ශ්‍රීමාබෝධිය ළඟට ගොස් භාවනා කරනවාලු. සමහරවිට පසුකාලයේ රන්වන් පාටින් දළුලන බෝධිය, නිල්වන් පාටින් කොළලන බෝධිය ගෞතම මුනිඳුන් පිටදුන් බෝධිය, අපිත් වඳිමු ජය ශ්‍රීමා බෝධිය. වැනි වන්දනා ගාථා ලියවෙන්නට ඇත්තේ එදා ඔහු බෝධිය දෙස බලා සිටියදී සිතට දැනුණු සිතුවිළි අනුව විය හැකියි. 


ඒ වගේම ආරණ්‍ය සේනාසනවල තපෝවනවල කාලය ගත කිරීමට ඔහු බෙහෙවින් ප්‍රිය කර තිබෙනවා. එහි අවසන් ප්‍රතිඵලය තමයි 1966 දෙසැම්බර් 22 ක පැවැදිවීම. රාජගිරියේ කලපලුවාවේ ගෝතම තරුණවනයේ කුඩාවැල්ලේ වංගීය හිමි ඒහිමියන්ගේ ආචාර්යවරයා වූවා. 


බෞද්ධයා පන්සලින් ඈත්වී සිටි අවධියක නැවත පන්සලට ගෙන ඒමට අරියධම්ම හිමිගේ බෞද්ධ කවිගාථා සමත් වුණා. මේ කවි ගාථා සාර්ථකව කරගැනීමට හොරණ කුඩාඋඩුවේ ආරණ්‍යයේ වැඩ විසූ අනගාරික නාරදතුමා උපකාරකර තිබෙනවා. 


කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙන් උපසම්පදාව ලද හිමියන් මාලිගාකන්ද මහ​බෝධි මන්දිරයේ වැඩවාසය කළා. එහිදී හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස හිමියන්ගේ අනුග්‍රාහකත්වයෙන් බෝධිපූජා පින්කම් රාශියක් සිදුකර තිබෙනවා. 


ඒ වගේම මුල් කාලයේදී වේයන්ගොඩ වේබඩගල්ලේ විවේක සේනාසනයේද හත්වැල්ලේ ජල්තර ධම්මිකාරාමයේද බෝධිපූජා පින්කම් කර තිබෙනවා. 
එම බෝධි පූජා පින්කමකට සහභාගී වූ අලහකෝන් කියන මෑණියන් කෙනෙක් සමස්ත ලංකා බෞද්ධ සම්මේලන මූලස්ථානයේ මහා පින්කම් මාලාවක් සංවිධානය කර තිබෙනවා. එය තමයි කොළඹ නගරයේ බෝධි පූජා පින්කම්වල ආරම්භය. 

 

 


ඊට පසුමයි අලහකෝන් මහත්මිය හා සිල්වා මහත්මිය එක්ව කොළඹ විපස්සනා මධ්‍යස්ථානයේ විශේෂ කුටියක් සාදා අරියධම්ම හාමුදුරුවන්ට පූජා කරලා තිබෙන්නේ. 
1986 වසරේ ධර්මසිරි ගමගේ මහතා විසින් ලියන ලද ලිපියක මේ කරුණු සියල්ල අන්තර්ගත වෙලා තිබෙනවා. 


ඒ ආකාරයට ආරම්භ කළ ආගමික මෙහෙවරයි ලංකාව පුරා ව්‍යාප්ත වුණේ. ගම් දනව් බලා පිටත්වූ අරියධම්ම හිමියෝ විශාල පිට්ටනිවල ජනතාව දහස් ගණනකට බණ කිව්වා. බාල තරුණ මහලු සියලුදෙනා ඒ හිමියන් යන්නේ කොහාටද ඒ ස්ථානවලට එක්රොක් වුණා. හමුදාව, පොලිසිය, දේශපාලන බලධාරීන් සියලුදෙනා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබාගන්නා බැතිමතුන් වුණා. විශේෂ අවස්ථාවලදී පවා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබාගෙන යන්න ඔවුන් පුරුදුවෙලා හිටියා. 


අරියධම්ම හිමිගේ අවසන් දවස් ගෙවුණ හැටි 


අරියධම්ම හිමි අවසන් කාලයේ වැඩවාසය කළේ සම්බෝධි විහාරයේ. හාමුදුරුවෝ පාන්දර 4 ට නැගිටලා පැය 2 ක් පමණ භාවනා කරනවා. 


එසේ භාවනා කරමින් සිටිනවිට පෙරදාක ගිය නිලඹ භාවනා මධ්‍යස්ථානය පිළිබඳ මතකය අවදිවී තිබෙනවා. හාමුදුරුවන්ගේ ප්‍රධාන කැපකරු ලෙස කටයුතු කළ මගේ මහප්පාට ද ඊට පෙරදී එම ස්ථානයට නැවතත් ගොස් භාවනා කළ යුතු බව පවසා තිබෙනවා. 


මගේ මහප්පා අරියධම්ම හිමිගේ ප්‍රධාන කැපකරු ලෙස වසර 12 ක් කටයුතු කළා. මේ දවසේ මහප්පා නිට්ටඹුව ශාන්ත තපෝවනයේ සිල් අරගෙන හිටියේ. එදා හවස්වෙනවිට අරියධම්ම හිමි මහප්පා හමුවෙලා ඒ හිමියන්ගේ නීලඹ තපෝ වනයට යාමේ ආශාව පවසලා තිබෙනවා. මහප්පාටත් එහි යෑමේ ආශාව තිබුණා. 


එදා වෙසක් පෝය දවසක්. සිල් සමාදන්ව සිටි පිරිස මහප්පා හමුවීමට පැමිණ සිටින්නේ අරියධම්ම හිමි බව දැනගත්තා. 


ඉන් පස්සේ වෙසක් පෝය දවසේ එ් හිමියන්ගෙන් බණක් අහන්නට ලැබුණොත් කොතරම් අඟණේදැයි කියමින් මහප්පාට ඇවිටිලි කර තිබෙනවා. අවසානයේ ඒ උපාසක උපාසිකාවන්ගේ ඉල්ලීම අනුව නිට්ටඹුවේ ශාන්ත තපෝවනයේදී ධර්මදේශනයක් පැවැත්වූවා. 


පැයක් පුරාවටම උන්වහන්සේ දේශනා කළේ මරණය ගැන ජීවිතයේ අනිත්‍ය ස්වභාවය ගැන. ඒ තමයි අරියධම්ම හිමියන්ගේ අවසන් ධර්ම දේශනාව. 


එදින සන්ධ්‍යාවේ අරියධම්ම හිමි මගේ මහප්පාත් සමග ගලහා බලා පිටත්වෙලා තිබෙනවා. මහනුවරට යනවිට ඒ හිwමිගේම දළදාවහන්සේ වැඳපුදා ගැනීමේ ආශාව ඇති වෙනවා. අරියධම්ම හිමි සමන්පිච්ච මල් වට්ටියක් තබා දළදාවැඳිය යුතු බව පවසා තිබෙනවා. ඒ ආකාරයට දළදා මැදුරට ගිය එ් හිමියන්ට දළදා මැදුරට පිවිසෙන පඩිපෙළ අසලදී එවකට සිටි අධිකරණ ඇමති නිශ්ශංක විජයරත්න සහ ජනාධිපති ලේකම් ඩබ්ලිව්.ඇම්.පී.බී. මැණික්වෙල යන මහත්වරු හමුවෙනවා. 


එදින ඒ හිමියන්ට දළදා කරඬුව පිහිටි මණ්ඩපයට ගොස් සමන් මලින් දළදා සමිඳු පුදා වැඳ නමස්කාර කිරීමට අවස්ථාව උදාවුණා. ඒ කටයුතු නිමකර ගලහට යාමට වේලාව නුසුදුසු වූ නිසා මහනුවර බෞද්ධ මධ්‍යස්ථානයේ රාත්‍රිය ගතකර තිබුණා. 


පසුදා උදෑසන හීල්දානයෙන් පසු ගලහ භාවනා මධ්‍යස්ථානයට උන්වහන්සේ වැඩම කළා. රථයට යාහැකි දුර ගියපසු ඉන් බැසගත් එහිමියෝ දින දෙකකින් ආපසු එන ලෙස දන්වා රියදුරු මහතා රථයත් සමග පිටත්කර හැර තිබෙනවා. 

 


ගලහ භාවනා මධ්‍යස්ථානයේ සිටිය දී හාමුදුරුවන්ට ශාරීරික අපහසුතාවයන් දැනී තිබෙනවා. මහප්පාට කතාකර වතුර ටිකක් ඉල්ලා තිබෙනවා. හාමුදුරුවන්ට හොඳටම දාඩිය දාලා තිබෙන්නේ. මහප්පා අසනීපද අසන විට අසනීපකාරී තත්ත්වයක් නැති බවයි පවසා ඇත්තේ. ඒත් හාමුදුරුවන්ගේ මුහුණේ විඩාබර බවත් හැසිරීමේ වේදනාකාරී බවත් මහප්පා හඳුනාගත්තා. 


ඒ අනුව මහප්පා භාවනා මධ්‍යස්ථානය භාරව සිටි වික්‍රමරත්න මහතාට හාමුදුරුවන්ට අසනීප බව පවසලා තිබෙනවා. වාසනාවකට මෙන් ඒ මොහොතේ වික්‍රමරත්න මහතා හමුවට වෛද්‍යවරයෙකු ද පැමිණිලා තිබෙනවා. එම නිසා එම මොහොතේම හාමුදුරුවන් පුටුවක හිඳුවා කඳුවැටිය පහළ නවතා තිබූ වෛද්‍යවරයාගේ රථය වෙත ගෙනගොස් පේරාදෙණිය රෝහල බාර වෛද්‍ය නිලධාරී ආචාර්ය ධර්මසේන මහතාට යොමුකර තිබෙනවා. ඒ වෙද්දී වෙලාව රාත්‍රී 8.30 පමණලු. වෛද්‍යවරයා අාහාර ගනිමින් සිට තිබෙන්නේ. ඒත් හාමුදුරුවන්ගේ පැමිණීමත් සමග ක්ෂණිකව පරීක්ෂාකර බලා රෝහලට යොමුකර තිබෙනවා. 


එහිදී ප්‍රතිකාර සිදුකළත් හාමුදුරුවන්ට එතරම් සුවයක් ලැබී නෑ. 27 දා හවස යළිත් හාමුදුරුවන් අපහසුතාවයෙන් පෙළී තිබෙනවා. වෛද්‍යවරු දත් සියලු ප්‍රතිකාර කර හාමුදුරුවන්ට විවේකය සළසා දී තිබෙනවා. ඒත් එදින රාත්‍රී 10.50 ට පමණ නින්දේදීම හාමුදුරුවන් අපවත්වෙලා. 


ඒ කාලයේ කිසිදු හිමිනමකගේ අපවත්වීමකට නොආව සෙනඟක් අරියධම්ම හිමිගේ ආදාහන උත්සවයට පැමිණියා. 


පන්සලෙන් දුරස්වූ බෞද්ධ ජනතාව යළිත් පන්සලට ගෙන්වාගත් අරියධම්ම හිමියෝ සදා නොමියෙන මතකයක් තබමින් ජනතා සෝසුසුම් මධ්‍යයේ අඩු කාලයකින් ජීවිතයෙන් සමුගත්තා. ඒත් එදා ඒ හිමියන් නිසා සුමගට ගිය බාල, තරුණ වැඩිහිටි පිරිස අසීමිතයි. විශේෂයෙන්ම මතට හුරුවූ සොරකමට හුරුවූ දුරාචාරයට හුරුවූ තරුණයෝ දහස් ගණනක් සුමගට යොමුවුණා. අදටත් ඒ හිමියන්ගේ බණදම් වැළඳගත් පිරිස අසීමාන්තිකයි. 

 

 


සටහන - කුමාරි හේරත් 
ඡායාරූප - චානුක කුලසේකර