අවසන් ගමනට බණ්ඩාරවෙළට ආ ෂන්ටින් දුම්රිය එන්ජිම


 

1933 දී තමයි ඉස්සෙල්ලාම ඩීසල් දුම්රිය එන්ජිමක් ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. ඒ පරීක්ෂණ ධාවන කටයුතු සඳහායි. එම ඩීසල් එන්ජිම ආම්ස්ට්‍රෝන් විත්වර්ක් නම් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද්දක්. ලංකාවේ පරීක්ෂණ ධාවනවලින් පසු එම දුම්රිය එන්ජිම ආජන්ටිනාවට ගෙනියලා තියෙනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ. ඒ වන විට ලංකාවේ වාෂ්ප බලැති දුම්රිය ප්‍රචලිත වෙලයි තිබිලා තියෙන්නේ.   


පරීකෂණ ධාවනය සඳහා ලංකාවට ප්‍රථමයෙන්ම ෂන්ටින් දුම්රිය එන්ජිමක් ආනයනය කරලා තියෙන්නේ 1934 වර්ෂයේදී. එම දුම්රිය එන්ජිම No:500 ලෙසට නම් කරලා තමයි තිබිලා තියෙන්නේ. එම ෂන්ටින් එන්ජිම අද කඩුගන්නා ජාතික දුම්රිය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තියෙනවා. පරීක්ෂණ ධාවනවලින් පසුව ලංකාවට ගෙනල්ලා තියෙන ප්‍රථම ෂන්ටින් දුම්රිය එන්ජින් වර්ගය තමයි G1 නම් එන්ජින් කාණ්ඩය. ඊට වර්ෂ 22 කට විතර පස්සේ තමයි G2 නම් ෂන්ටින් දුම්රිය එන්ජින් කාණ්ඩය ලංකාවට ආනයනය කරලා තියෙන්නේ. එම දුම්රිය එන්ජින් 1952 වරෂයේදී තමයි ලංකාවට ආනයනය කරලා තියෙන්නේ. එහි නිෂ්පාදකයා තමයි මහා බ්‍රිතාන්‍යයේ නොත් බ්‍රිටීෂ් කියන සමාගම. 


නොන් බ්‍රිටිෂ් සමාගමෙන් G2 කාණ්ඩයේ දුම්රිය එන්ජින් 8ක් 1952 වර්ෂයේ ලංකාවට ආනයනය කරලා තියෙනවා. ඒවා 531 සිට 538 දක්වා අංකනය කරලා තමයි තියෙන්නේ. ලංකාවේ තියෙන දුම්රිය එන්ජින් නාමකරණය පටන් ගත්තේ දුම්රිය එන්ජින් ලංකාවට ආනයනය කරන මුල්ම කාලයේ. ඒ වුණාට 1937 වර්ෂයේදී නැවත නාමකරණය කරන්නේ වාෂ්ප හා සාමාන්‍ය දුම්රිය එන්ජින් නැවත නාමකරණය 1937 යටතේයි. (දුම්රිය එන්ජින් නාමකරණය පිළිබඳව පසුව ලිපියක් ලියන්නම්) 


මේ විදියට නාමකරණය කරලා තියෙන දුම්රිය එන්ජින්වලින් G කාණ්ඩයට අයත් වන්නේ ඩීසල් ඉලෙක්ට්‍රික් ෂන්ටින් එන්ජින් කාණ්ඩයටයි. G කාණ්ඩයේ දුම්රිය ඉන්ජින් ෂන්ටින් වැඩ කටයුතු සඳහා පමණයි ලංකාවේදී භාවිතයට ගන්නේ. 


G-2 එන්ජින් කාණ්ඩයේ එන්ජින්වල උපරිම බලය අශ්වබල 375 සිට අශ්ව බල 625 දක්වා වෙනවා. වේගය පැයට කිලෝමීටර් 32ක් වෙනවා. එන්ජිමක බර ටොන් 54ක් වෙනවා. එන්ජිමේ දිග අඩි 37.6 කි. ධාරිතාව D ලෙසටයි සඳහන් වෙන්නේ. 


මෙම G2 කාණ්ඩයේ ෂන්ටින් එන්ජින් වැඩි වශයෙන් භාවිතයට අරගෙන තියෙන්නේ බඩු ප්‍රවාහන දුම්රිය සඳහා සහ ෂන්ටින් වැඩකටයුතු සඳහා පමණයි. මින් දුම්රිය එන්ජින් කිහිපයක් කොළඹ-පුත්තලම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සඳහා භාවිතයට ගත්තා. මාළිගාවත්ත දුම්රිය අංගණයේත්, රත්මලාන දුම්රිය වැඩපොළේත්, කොළඹ වරායේ මෙන්ම තලේමන්නාරම ජැටියේත් ෂන්ටින් වැඩ කටයුතු සඳහා භාවිතයට අරගෙන තියෙනවා. ඒ වාගේම මහනුවර දක්වා එක් දුම්රිය එන්ජිමක් ගමන් වාර කිහිපයක් සඳහා යොද‌ාගෙන තිබුණා කියලත් දැනගන්න තියෙනවා. එහෙත් මෙම දුම්රිය එන්ජින් සඳහා ඩයනමික් වර්ගයේ තිරිංග නොමැති නිසා මහනුවර ගමන සීමා කරන්න සිදුවෙලා තියෙනවා. 


මෙම G2 ෂන්ටින් එන්ජින් 1952 වර්ෂයේ ඉඳන් 1990 වර්ෂය දක්වාම ධාවන කටයුතුවලදී භාවිතයට අරගෙන තියෙනවා. G2 කාණ්ඩයේ 536 එන්ජිම හැර ඉතිරි එන්ජින් සියල්ලම 1980 වන විට ධාවනයෙන් ඉවත් කරල තියෙනවා. G2-535 ෂන්ටින් එන්ජින් 1990 දක්වාම රත්මලාන දුම්රිය වැඩපළෙහි සේවයට අරගෙන තියෙනවා. එහෙම ෂන්ටින් ධාවන කටයුතුවලින් ඉවත් වුණු දුම්රිය ඉන්ජින් 8න් 2ක් හැර ඉතිරි ඒවා කාලයාගේ ඇවෑමෙන් විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. 536 දුම්රිය එන්ජිම දැනට රත්මලාන දුම්රිය වැඩපොළේ තියෙනවා කියලා දැනගන්න ලැබෙනවා. G2-535 ෂන්ටින් දුම්රිය එන්ජිම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කරලා, එය පේරාදෙණිය විශ්වවිද්‍යාලය දක්වා රැගෙන යාමේ අපහසුතාව නිසා වර්ෂ ගණනාවක් මහනුවර දුම්රිය ස්ථානයේ නතර කරලා තිබිලා තියෙනවා. මෙම දුම්රිය එන්ජිම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට භාරදීම සඳහා 2004 වර්ෂයේදී තමයි මහනුවරට ගෙනල්ලා තියෙන්නේ. 


G2-535 ෂන්ටින් දුම්රියේ ඉංජිම ශ්‍රී ලංකා දුම්රිය මිතුරන්ගේ සංගමයේ ඉල්ලීමක් පරිදි 2011 අගෝස්තු මස බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට රැගෙන එන්නේ එහි නිත්‍ය වශයෙන් ප්‍රදර්ශනය සඳහා තැබීමටයි. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ඉදිරියේ ස්ථිර වශයෙන් යකඩ කණු භාවිත කර ආවරණයක් සකස් කරලා ඒ ආවරණය ඇතුළේ තමයි මෙම G2-535 ෂන්ටින් දුම්රිය එන්ජිම ප්‍රදර්ශනය පිණිස තියලා තියෙන්නේ. 


2011 අගෝස්තු 16 දින එවකට දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී. ආරියරත්න මහතා විසින් මෙම ජී2 535 ෂන්ටින් දුම්රිය එන්ජිම මහජන ප්‍රදර්ශන සඳහා නිරාවරණය කරලා තියෙන්නේ උත්සවශ්‍රීයෙන්. 

 

 

 

 

(ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ සමහර තොරතුරු සහ පැරණි ඡායාරූප සොයාගැනීම බොහෝම අසීරු කාලයක මෙහි පළවන පැරණි ඡායාරූප පිලිප් ඩෙන්වොන්පොට්, පැක්ස්මන් හිස්ට්රි සමාගමේ අන්තර්ජාල පිටුව සහ අන්තර්ජාලයෙන් ලබා ගත් ඒවා වේ.) 


ඉන්දක කරුණාදාස