අලි මැරුවොත් සොහොනටත් හෙණ


හබරණ හිරිවඩුන්න තුම්බිලම රක්ෂිතයේ සිටි ඇතින්නියන් හත්දෙනෙකු හදිසියේ මිය යාමත් සමග මෙරට ස්වභාව ධර්මයට හා සතුන්ට ආදරය ඇති ජනයා මහත් සංවේගයට පත්ව ඇති බව පැවසීම රහසක් නොවේ. තවමත් එම මරණයන් පිළිබඳව ඇත්තේ කුකුසකි. මත පළවන්නේ විෂක් ශරීර ගත කිරීමෙන් මෙම මරණ සිදුකර ඇති බවයි. 

මේ අනුව ගෙවීයන්නේ මෙරට අලි ඇතුන්ට නරක දශාවකි. එක දිගටම අපට අසන්නට ලැබුණේ අලි ඇතුන්ගේ ඝාතනයන්ය. වැල නොකැඩී ගලා එන මෙම සිද්ධි දාමයේ මූලාරම්භය ගල් ගමුවේ දළ පූට්ටුවාගේ මරණය විය. ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනය මුළු රටම කම්පනයට පත්කළ බව පැවැසීම සාධාරණය. එම සතාගේ මරණය ඇසූ මිනිසුන් ඇඬුවේ යැයි පැවසුව හොත් එය ද නිවැරැදිය. එම නිසාවෙන් එම ඇතා වෙනුවෙන් මිනිසුන් දානමාන පවා දෙන ලදි. එම ඇතුගේ මරණයෙන් පසු තවත් දළ ඇතුන් කිහිප දෙනෙකුගේ මරණ අපට අසන්නට ලැබුණි. ඒවා එසේ සිදුවෙද්දී අලි ඇතුන් මැරූ නරුමයන්ට හා එවන් අදහසක් හෝ ඇති නරුමයන්ට සිහිපත් කිරීමට කතාවක් ඇත. ඒ “අලි ඇතුන් මරණ පාපකර්මය නිසාවෙන් නුඹලාගේ සොහොන්වලට පවා කවදා හෝ හෙණ ගසන” බවය. එය එසේ වන බවට පැහැදිලි සාක්ෂි අප සතුව ඇත. 


අතීතයේ පිටරැටියන් මේ ලක්දිව හැඳින්වීම සඳහා “ඇතුන්ගේ දේශය” elephant country යන නාමයද භාවිත කර ඇත්තේ මෙරට ඒතරම්ම අලි ඇතුන්ගෙන් පිරී පැවතුණු නිසාවෙනි. මෙරට වෙසෙන අලි ඇතුන් ආසියාතික වර්ගයට අයත්වන අතර සත්ව විද්‍යාත්මක වශයෙන් එලපාස් මැක්සිමුස් (elephas maximus) ලෙස හඳුන්වයි. අප්‍රිකානු ඇතුන් හඳුන්වනු ලබන්නේ ලොක්සොඩොන්ටා අප්‍රිකානා (loxodonta Africana) ලෙසය. නමින් පමණක් නොව කන්වල හැඩයෙන්, උසින් පමණක් නොව ආහාර රටාවෙන්ද මෙම වර්ග ද්විත්වය අතර බොහෝ වෙනස්කම් පවතී. 


මෙරට පුරා සැරිසරමින් සිටි ලාංකේය අලි ඇතුන්ට අභාග්‍ය සම්පන්න කාලයක් උදාවූයේ විදේශිකයන් මෙරට යටත් කරගැනීමෙන් පසුවය. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ දී සුදු ජාතිකයෝ මෙරට කැලෑ එළිකරමින් තේ, කෝපි ආදී වැවිලි භෝගයන් ව්‍යාප්ත කරන්නට වූහ. එම නිසා අලි ඇතුන්ට වාසස්ථාන අහිමි වූ අතර එම නිසා උන් ගම් වදින්නටත් ගම් වැදීම නිසා මිනිසුන් අතින් මරණයට පත්වීමටත් සිදුවිය. 


එසේම මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයන් විනෝදාංශයක් ලෙස අලි ඇතුන්ට වෙඩි තැබීම ද සිදුකර ඇත. වෙඩි තැබීමේ තමන්ගේ හැකියාව පෙන්වීමට ඔවුන් ඉලක්කය ලෙස තෝරාගෙන ඇත්තේ වනයේ තුරුලතා අතර සැරුසැරූ අහිංසක අලි ඇතුන්ය. වැඩි වශයෙන් අලි ඇතුන් මැරූ තැනැත්තා අන්‍ය හිතවතුන්ට එය පවසමින් හා පෙන්වමින් උද්දාමයටත් ආඩම්බරයටත් පත්ව ඇත. අද අපි සොයා යන සොහොන් දෙකේ හිමිකරුවෝ ද එවන් පුද්ගලයන් වෙති. 


සිංහල ගැමියන්ගේ වාග් මාලාව දෙස අවධානය යොමු කිරීමේ දී ඔවුන් තමන්ට මහත් විපතක්, උවදුරක් හෝ කරදරයක් සිදුකළ අයවලුන්ට ශාප කිරීමට “හෙණ වදීවා” යන ශාප පාඨය භාවිත කරන ආකාරය හඳුනාගත හැකිය. ඌට හෙණ හතම වදින්න ඕන, තොට හෙණ ගහනවා ආදී වශයෙන් එය භාවිත කරයි. හෙණ අපට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක වන්නේ නැත. එය සිදුවන්නේ සොබාදහමේ ක්‍රියාවලියත් සමගිනි. විශේෂයෙන්ම වර්ෂා කාලයේ දී හෙණ හෙවත් අකුණු හට ගැනීම බහුලව සිදුවේ. අද ජනයුගයෙන් කියන්නට යන්නේ අලි ඇතුන් අති විශාල ප්‍රමාණයක් මරා දමා ඒ පාප කර්මය නිසාවෙන් අකුණු සැර වැදී මිය ගිය සුදු ජාතිකයෙකුගේ සොහොනට පවා තවමත් හෙණ වැදෙන බවය. එය ඇත්තේ නුවරඑළියේය. ඒ අන්දමින්ම අලි ඇතුන් විශාල ප්‍රමාණයක් මැරූ පවට අලියෙකුගේම පහරදීම හේතුවෙන් මියගිය තවත් සුදු ජාතිකයෙකුගේ සොහොනකට මේ මොහොතේත් හෙණ වදින බව පැවැසිය යුතුය. එම සොහොන ඇත්තේ යාල කැලේය. 

 

කැප්ටන් විලියම් රොජර්සන්ගේ සොහොන පිහිටි නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජ කාර්යාලය 

 

 


 පුංචි එංගලන්තය යන විරුදාවලිය ලත් ලංකාවේ ශීතම ප්‍රදේශය වූ නුවරඑළියට නොගිය ලාංකිකයෙකු නොමැති බව පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත. මන්ද එහි ශීත දේශගුණය, නැවුම් එළවළු වගාවන්, දෑස් මන බන්ධන දසත සුවඳ පතුරුවන මල් ගොමු, කඳු හෙල් මතින් කඩා හැලෙන දිය දහරාවන්, අලංකාර උද්‍යානයන්ගෙන් හා ඓතිහාසික ස්ථානයන්ගෙන් අනූන නුවරඑළිය දෙස් විදෙස් සංචාරකයන්ගේ අනිවාර්ය ගමනාන්තයකි. 


අද අපි සොයා යන සොහොනක් පිහිටා ඇත්තේ නුවරඑළිය නගර සභා ප්‍රදේශයට අයත්ව පිහිටා ඇති නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජ කාර්යාලය අසබඩය. කැප්ටන් විලියම් රොජර්සන් මහතා ක්‍රීඩාවට මෙන්ම දඩයමට ද ඉමහත් ප්‍රියතාවක් දැක්වූ අයෙකි. යටත් විජිත පාලන සමයේ මෙරට විනෝදයෙන් කාලය ගත කළ ඔහු තමන්ගේ ගිනි බටයෙන් වෙඩි තබා මැරූ අලි ඇතුන්ගේ සංඛ්‍යාව 1500ක් පමණ වේ යැයි සඳහන් වේ. එය සුළුපටු සංඛ්‍යාවක් නොවන බව ඔබට පැහැදිලිය. ඔහු විසින් සිදුකර ඇත්තේ මහත් අපරාධයකි. සිංහල ගැමියන්ගේ වහරෙන් කියන්නේ නම් හෙණ ගහන අපරාධයකි. 


මේසා විශාල අලි සංහාරයක් කළ රොජර්සන් මහතා අකාලයේ මියගොස් ඇත්තේ අකුණු සැර වැදීමෙනි. ඒ හපුතලේ තානායමේ සිටින අවස්ථාවකදීය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 41කි. ඔහු මියයාමෙන් අනතුරුව ඔහුගේ සිරුර නුවරඑළියේ වර්තමාන ගොල්ෆ් ක්‍රීඩා සමාජ කාර්යාලය අසල භූමිදානය කර ඇති අතර ඒ මත ගලින් කරන ලද ඵලකයක්ද යොදා ඇත. පුදුමයකි. ජනප්‍රවාදයේ සඳහන්වන පරිදි එම සොහොනටද අවස්ථා ගණනාවකදී අකුණු සැර වැදී ඇත. සොහොන් ඵලකය ඉරිතලා දෙකඩ වී ඇත්තේද එම හේතුවෙන් බව එම මතයේ සඳහන් වේ. තතු දත් නුවරඑළියේ වැසියන් පවසන්නේ අලි ඇතුන් මැරීමේ පාපය නිසාවෙන් රොජර්සන් මහතාට මෙන්ම ඔහුගේ සොහොනට ද මෙසේ අකුණු සැර වැදී ඇති බවයි. 


 අපි සොයා යන දෙවන සොහොන පිහිටා ඇත්තේ කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ නම් ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානය තුළය. ඉංග්‍රීසි පාලන සමයේ දී කතරගම ප්‍රදේශය පාලනය කර ඇත්තේ ජේ.පී. ඉරේෂන් නම් සුදු ජාතිකයාය. දක්ෂ දඩයක්කාරයෙකු වූ ඔහුගේ ප්‍රියතම දඩයම වී ඇත්තේ අලි ඇතුන්ට වෙඩි තැබීමයි. මෙසේ ඔහු අතින් මිය ගිය අලි ඇතුන්ගේ ප්‍රමාණය සිය ගණනකි. මෙසේ අලි ඇතුන්ට විනයක් වූ ඉරේෂන්ට දිවි අහිමි වූයේ ද අලියෙක් පහරදීම නිසාවෙන් වීම දිට්ඨධම්මවේදනීය කර්මය පඩිසන් දුන්නා සේය. 
මියගිය ඉරේෂන් වෙනුවෙන් ඔහුගේ මිතුරන් යාල කැලයේ ඇති ගල් තලාවක ඔහුගේ සොහොන ඉදිකර තිබේ. එහි සඳහන් වන්නේ ගල්ගේ ප්‍රදේශයේ නිර්මාතෘ හා බ්‍රිතාන්‍ය ජාතික ශූර දඩයක්කරුවෙකු වූ ජේ.පී. ඉරේෂන් මහතා සිහිවීම පිණිසයි. උපත 1877 අප්‍රේල් 03 දා විපත 1923 නොවැම්බර් 12දා, ඔහුගේ මිතුරන් විසින් මෙම සිහිවටනය ඉදිකරන ලදි. ඔහු සාමදානයේ සැතපේවා ලෙසය. 

 

 

හෙණ වැදී දෙකඩ වූ කැප්ටන් විලියම් රොජර්සන් සොහොන 

 

 


මෙම සොහොන අඩි 40ක් පමණ උසකින් නිර්මාණය කර තිබේ. නමුත් කලින් කලට මෙම සොහොනට හෙණ වැදීම නිසා කලින් කලට මෙය ප්‍රතිසංස්කරණය කර ඇත. තමන්ගේ රටේ පුරවැසියෙකුගේ සොහොනක් බැවින් මෙම සොහොන පිළිබඳව නිරන්තරයෙන් වාර්තා කරන ලෙස බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වනජීවි දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ. ඒ අනුව මෙම සොහොනට හෙණ වැදී කැඩී යන සෑම අවස්ථාවකදීම ඒ පිළිබඳව අඩවියභාර නිලධාරියා බ්‍රිතාන්‍ය කොමසාරිස් කාර්යාලයට දැනම් දී තිබේ. ඒ අනුව එම කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහය යටතේ මෙම සොහොන අලුත්වැඩියා කර ඇත. නිරන්තරයෙන් අකුණු වැදෙන බැවින් වර්තමානයේ මෙම සොහොනේ උස අඩි 20ක් දක්වා අඩුකර තිබේ. මේ පිළිබඳව ප්‍රදේශවාසීන්ගේ අදහස වන්නේ අලින් මැරූ පාපය නිසාවෙන් එම අලින්ගේ ආත්මයන් ඔහුගේ සොහොනෙන් පවා පළිගන්නා බවයි. 


 සොබාදම් මාතාවගේ හැසිරීම අපූරුය. අපට එහි ක්‍රියාකාරිත්වය තේරම්ගත නොහැකිය. නමුත් අප වටහාගත යුතු කරුණ වන්නේ සොබාදහමට එරෙහිව ගියහොත්, මනුෂ්‍ය ගුණදම් අතහැර දැමුවහොත් අපට සොබාදහමෙන්ම පාඩම් උගන්වන බවය. 


කේ. උදේනි අරුණසිරි  


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව   
රත්නපුර