අලගල්ල කන්දයි තලාවේ හිරු එළියයි එකතු කළ ඔබ මා සමග අතිනත ගන්නා දවස


ගීයක පද රුත.....

ඔබ මා සමඟ   
අතිනත ගන්නා දවස   
මේ මහ කන්ද බැලුවා හිඳ   
ගම සිරස  
ඔබ මා අතැර   
වෙන නුවරක ගිය විගස   
මේ මහකන්ද බැලුවා   
හොරැහෙන් මදෙස   
වෑ දිය නිල්ල   
සුදු නෙළුමට මිහිර පොවයි   
පාළුව ලුහුබඳින කිරලා   
හඬා වැටෙයි   
නොකියූ රහස හද උතුරා වාන් දමයි   
මතක​ෙය සුවඳ තවමත් මා හදට දැනෙයි 


  
‘‘මැනවින් ඔප මට්ටම් කළ මැණික් එකින් එක අමුණා අනගි මාලයක් සදන මැණික් සැට්ටරකු සේ සුනිල් සරත් පෙරේරා ද සෙවි වහරින් මෙන්ම ජන වහරින් ද තෝරා ගත් අරුත්බර පද එකින් එක අමුණා, අපූර්ව උපමා රූපකාදී අලංකාර මවා, රසිකයාගේ ආස්වාදය මෙන්ම ප්‍රඥාව සඳහා ද ඉදිරිපත් කරන නිර්මාණ මේ ගීත රචකයාටම අනන්‍ය ශෛලියක් ඉස්මතු කරයි.’’ 


  
මහාචාර්ය ජේ.බී. දිසානායකයන්ගේ මෙම විවරණය සනාථ කරන ගීයකි. 1983 වසරේ සුනිල් සරත් පෙරේරා විසින් රචිත මහකන්ද ආශ්‍රිත ‘‘ඔබ මා සමඟ...’’ ගීතය.   


මහකන්ද ගීතයට නිමිත්ත වන්නේ 1983 වස​ෙර්දී ගේය පද රචක සුනිල් සරත් පෙරේරා, ආචාර්ය පණ්ඩිත් අමරදේව හා මහාචාර්ය ජේ.බී. දිසානායක යන ත්‍රිත්වය රජරටට දුම්රියකින් ගිය ගමනකි. රජරට ගුවන් විදුලි සේවයේ පාලක තිලක සුධර්මන් ද සිල්වාගේ ඇරයුමින් එහි ගිය මේ තිදෙනාට දවස පුරාම සාහිත්‍ය උත්සවයකට සහභාගි වීමට සිදු විණ. මේ උළෙල සංවිධානය කර තිබී ඇත්තේ රජරට සේවයේ වැඩසටහන් නිෂ්පාදක නිව්ටන් ගුණසේකර විසිනි.   


‘‘රජරට යන ගමන තුළින් මට මේ ගීතය ලිවීමට හොඳ අත්දැකීම් සමුදායක් ලබා දුන්නා. දුම්රිය තලාව පසු කරන විට රන්වන් ඉරු රැස් අවට කඳුවැටිවල තැවරිලා තිබුණෙ. මගේ බිරිඳ සරෝජිනීගේ ගම රඹුක්කන. රඹුක්කන පහු කරල, අලගල්ල කන්ද අසල උස් කඳු බෑවුමක බිරිඳගේ මහ ගෙදර පිහිටලා තිබුණෙ. ඒ නිවසට මෙන්ම අවට කඳුකර පරිසරයට මම ආදරය කළා. මගේ කවි සිතුවිලි පිබිදුණා.   


ස​ෙරා්ජිනීගේ නිවස අසල රඹුක්කන් ඔයේ අතු ශාඛාවක් ගලා බසිනවා. මේ දර්ශනය තුළින් මම ගීත කිහිපයක් ලියලා තියෙනවා. එදා මා දුම්රියෙන් යන විට අලගල්ල කන්ද පහු කරලා කඩිගමුවේ බිං ගෙයක් පහු කරලා යන විට දුටු දර්ශනීය පරිසරයෙන් මම විකසිත වෙලා හිටියෙ.   


අපි රජරටට ගිහින් දවල් කෑම ගන්නා විට තිලක සුධර්මන් මෙහෙම කිව්වා.   


‘‘අපිට රජරටින්ම බිහි වුණු දක්‍ෂ සංගීත කණ්ඩායමක් ඉන්නවා. ගීතයක් ලියමුද? සරත්, රජරට වැව් බැඳි රාජ්‍යයත් නුවර කලාවියත් තේමා කරගෙන. අමරෙට කියල තනුවක් හදලා අදම පටිගත කරමු.’’   


මේ අභියෝගය මම බාර ගත්තා. එකවරම මට ‘‘සුවඳ පද්ම ඕලු ආදී....’’ ගීතය මතකයට ආවා. මම පැයක් ඇතුළත ගීතය ලිව්වා. එක පාරටම ලිව්වා පද පේළිය ‘‘වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි’’ රූපකය ප්‍රබල භාෂාත්මක උපක්‍රමයක් ලෙස ගීතයකදී යොදාගත් අවස්ථාවක් හැටියට මහකන්ද ගීතය හඳුන්වන්න පුළුවන්. හිරු රැස් සහිත කන්ද පරිසරය තුළින් ගොඩනැගුණා. රාත්‍රී කාලයේ මේ කන්ද පාළුයි. හැන්දෑවට හුදකලාව රජ කරනවා. කිරලාගේ වැළපීම, පාළුව, වැව් ගම්වල රජ කරනවා.   


‘‘නොකියූ රහස හද උතුරා වාන් දමයි   


මතකයෙ සුවඳ තවමත් මා හදට දැනෙයි.’’ 

 
හද තුළ නොකියූ රහස වං දමන්නේ දරාගන්න බැරිම තැනයි.   


මගේ ගීතවලින් කාලය අනිච්චතාවක් අනිච්චාවයෙන් මතුවන සුන්දරත්වය මතු කිරීමටත් බොහෝ විට උත්සාහ ගත්තා. ථෙර ථෙරී ගාථාවල ජීවත් වූ මෙහෙනින් වහන්සේ ගිහි ජීවිතයේ නිරාමිස සතුටක් ලැබෙන්නේ අල්පේච්ඡතාව රාගයෙන් තොර උපේක්‍ෂාවෙන් ජීවිතය දෙස බලන විදිහටයි. කාලයාගේ ඇවෑමෙන් පසුත් කන්ද වෙනස් වී නෑ.   


අපි ප්‍රේම කරන කාලේ කියනවා- ‘‘අපේ ආදරය මේ කන්ද වගෙ වෙනස් වෙන්නේ නෑ’’ ‘‘ඉර හඳ වගේ අපේ ආදරය ස්ථිරයි.’’ කියලා. ඒත් පසු කාලෙක අපි වෙනස් වෙලා. කන්ද වෙනස් වෙලා නැහැ.’’   

 

අමර​ෙද්ව ගීය හිමින් ගයලා මා දිහා බලා හීන් හිනාවක් පෑවා. ඒ කියන්නෙ ගීයේ සාර්ථක බවයි. 
සුනිල් සරත් පෙරේරා


සුනිල් සරත් පෙරේරා කියන්නේ මේ ගීතය ශ්‍රව්‍ය දෘෂ්‍ය රූප එකතුවක් කියාය. ආඛ්‍යාන රූපත්, දෘෂ්‍ය රූපකයත් එකට සංකලයක් කියාය. අමරදේවයන් ගේය පද රචනය බලා කිසිදු වාද්‍ය භාණ්ඩයක් නොමැතිව කඩද‌ාසික තනුව ස්වර ලිපි සටහන් කර ගෙන ඇත. මෙහි තනුව සඳහා ඔහු නිශ්චිත රාගයක් ඇසුරු නොකොට මිශ්‍ර රාගත්, එහි පරිබාහිර නාද රූපත් මතු කර ගත් බව සරත් පවසයි.   


‘‘මේ ගීතය ‘එසැණ ගීතයක්’ ලෙස හඳුන්වන්න පුළුවන්. එක මොහොතකින් ක්‍ෂණිකව ලියූ ගීයක්. අමරදේවයන් භාවමය හැඟීම මතුවන ලෙස වචන බර කොට වරෙක හඬ නගලා ගායනා කළා. ඒ ඒ බර හඬින් ගයලා මා දෙස බලා හීන් හිනාවක් පෑවා. එයින් ව්‍යංගයෙන් කියවුණ 


ගීත රචනයේ සාර්ථක බවයි.’’   
මේ ගීතය එදිනම රජරටින් 
උපන් යොවුන් සංගීත 
කණ්ඩායම විසින් සංගීතය 
මෙහෙයවා පටිගත කොට 
එදිනම රජරට ගුවන් විදුලි 
සේවයෙන් ප්‍රචාරය වී ඇත.   


මහකන්දට සුනිල් සරත් පෙරේරා කොතරම් ආදරයද යත් ඔහු 1995 ප්‍රකාශයට පත් කරන ලද ගීත 


රචනා එකතුවද නම් කර ඇත්තේ ‘මහ කන්ද’ නමිනි. එය පිළිගන්වා ඇත්තේ මෙසේය.   


‘‘බාල වියේ සිට මට මහා කන්දක් වූ තාත්තටත් අම්මාටත් මෙම ‘මහකන්ද’ භක්ත්‍යාදරයෙන් පිළිගන්වමි.’’ 
කියාය.   


මහාචාර්ය සුචරිත ගම්ලත් මේ ගීතය කරන විග්‍රහයෙන් මෙය අවසන් කිරීමට උචිත යයි අපට සිතේ.   


‘‘මෙහි අන්තර්ගතය සංයෝග - වියෝගයකි, සම්ප්‍රයෝග විපුයෝගයකි. පෙම් බැඳුම් මෙලෙස, ඇතිව නැති වී යන අතර පසුබිමෙහි වන මහකන්ද නොසැලී ඒ සියල්ල බල බලා සිටී. මහකන්ද කාලයත් අවකාශයත් සංකේතවත් කරතැයි සිතේ. කාලයත් අවකාශයන් අපරිමිතය. පෙම් බැඳුම් ද අපරිමිතය. කාලයත් අවකාශයත් අභේද්‍යයයි. පෙම් බැඳුම්ද භේද්‍යයි. බෞද්ධයකු නම් පෙම් බැඳුම් අනිත්‍යයි. දුඃඛය කියා කියනු ඇත. අවසාන විග්‍රහයේ දී එසේ වන්නේ මිනිසාට සොබා දහමක් සමාජ සබඳතාත් දමනය කිරීමට නොහැකි වීමේ හේතුවෙන්මයි.’’

 

 

 

 

එ්.ඩී. රන්ජිත් කුමාර