අරාබි ත්‍රස්ත කල්ලි වැනසූ ඊශ්‍රායල් සොල්දාදුවා


ඉතිහාසය වෙනස් කළ රහසිගත මොසාඩ් මෙහෙයුම්

ගාසා තීරයේ සීමා අසල ප්‍රහාරයක්

 

 

අද වන විට ලෝකයේ තිබෙන හොඳම බුද්ධි සේවය ලෙස පිළිගැනෙන්නේ මොසාඞ් බුද්ධි ඒජන්සියයි. රහස් සේවා අතුරින් ඉතාම ගුප්ත හා රහසිගත ඒකකය ලෙස සැලකෙන්නේද එයයි. මයිකල් බාර් - සොහාර් හා නිසිම් මිශාල් විසින් රචිත මොසාඞ් - ද ග්‍රේටස්ට් මිෂන්ස් ඔෆ් ද ඊශ්‍රායෙලි සීක්‍රට් සර්විස් කෘතිය මගින් වසර 60කටත් වැඩි අතීතයක් ඇති මොසාඩ් බුද්ධි සේවය මගින් සිදුකළ,  ඊශ්‍රායලය හා සමස්ත ලෝකයටම ප්‍රබල බලපෑමක් ඇති කළ අතිශය අන්තරායදායක මෙහෙයුම් පිළිබඳව අනාවරණය කරන්නේ අති දක්ෂ අන්දමට ලියැවුණු රහස් පරීක්ෂක කතා මාලාවක් දිග හරින ආකාරයෙනි. ඊශ්‍රායල නායකයන් හා මොසාඩ් නියෝජිතයන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡා මෙන්ම කරන ලද ගැඹුරු පර්යේෂණ මගින් ලේඛකයන් මෙම කෘතිය සැකසීමට තොරතුරු සපයාගෙන තිබේ. 


ඇඩොල්ෆ් අයිත්මන් අල්ලා ගැනීම, කළු සැප්තැම්බරයේ අවසානය, සිරියානු න්‍යෂ්ඨික බලාගාරය විනාශ කිරීම, ඉරාන ජාතික න්‍යෂ්ටික විද්‍යාඥයන් ඝාතනය ඇතුළු තීරණාත්මක මෙහෙයුම් ගණනාවක් පිළිබඳව තොරතුරු  මෙම කෘතියේ ඇතුළත්ය. බුද්ධි තොරතුරු හා රහසිගත මෙහෙයුම් පිළිබඳව විමසුම් ඇසක් යොමුවී ඇති වර්තමානයේ එම කතා මාලා එකින් එක ඉරිදා ලංකාදීප පාඨකයන් හට ඉදිරිපත් කිරීම මෙසේ ආරම්භ වන වගයි. 


ඒ 1972 ගිම්හාන සෘතුවේ අග භාගයයි. මධ්‍යධරණී මුහුදේ ඇතිවූ දරුණු කුණාටුවක් ගාසා හි වෙරළ තීරයට නොකඩවා පහර දෙමින් තිබිණ. නැණවත් ධීවරයන් එදින මුහුදු යාමෙන් වැළකී සිටියේ මුහුදේ ස්වභාවය ඔවුනට අනතුරක් නොකරනු ඇතැයි විශ්වාසය තැබිය නොහැකි වූ බැවිනි. 


ධීවරයන් කුසීත ගතියකින් යුතුව එදිනෙදා කටයුතුවල යෙදී සිටියදී කුණාටු රළ අතරින් මතු වුණ ගරාවැටුණු බෝට්ටුවක් හදිසියේ වෙරළට කඩා වැදෙමින් තෙත වැල්ලෙහි එරී ගියේය. පෙඟුණු ඇඳුම් හා කෙෆියේ හිස් වැසුම් පැලඳ සිටි පලස්තීන ජාතිකයන් කිහිප දෙනෙක් කලබලයෙන් බෝට්ටුවෙන් බිමට පැන වැල්ලේ  එරෙමින් ගොඩබිම දෙසට දුවනු පෙණිනි. දින ගණනාවකින් කොණ්ඩා රැවුල් නොකැපූ බව පෙනුණු ඔවුන්ගේ මුහුණුවල වූයේ දිගු මුහුදු ගමනකින් පසුව ඇතිවන තදබල තෙහෙට්ටු ගතියකි. 
එහෙත් විඩා නිවන්නට කාලයක් ඔවුන් වෙත නොවුණු බව සිද්ධිය බලා සිටි ධීවරයන්ට වැටහුණේ වියරු මුහුද දෙබෑ කරමින් උපරිම වේගයෙන් ඔවුන් පසුපස පැමිණි ඊශ්‍රායල් ටෝපිඩෝ බෝට්ටුව දැකීමෙන් පසුවයි. සන්නද්ධ ඊශ්‍රායල් භටයන්ගෙන් පිරුණු බෝට්ටුව වෙරළට ළඟා වෙත්ම නොගැඹුරු මුහුදට පැන ගත් සෙබළු පලායන්නන් වෙත නොනවත්වා වෙඩි ප්‍රහාර එල්ල කළහ.


ඒ වනවිට වෙරළේ සෙල්ලම් කරමින් සිටි ගාසා වැසි කුඩාවුන් කිහිප දෙනෙක් පලායන්නන් ඉදිරියට පැන ඔවුන්ට අසල වූ වත්තක සැඟවීමට උපකාර කළ බැවින් ඊශ්‍රායල් වෙඩික්කරුවන්ට එල්ලය මග හැරිණි. ඔවුහු වෙරළ තවදුරටත් සෝදිසි කළ නමුත් පලස්තීනුවන් ගැන කිසිදු හෝඩුවාවක් නොවීය. 


කාලය ගෙවී ගොස් මැදියම් රැය උදාවෙත්ම කලෂ්නිකෝව් තුවක්කුවක් උරයේ එල්ලාගත් තරුණ පලස්තීනුවෙක් පලාගියවුන් සැඟව සිටි වත්ත ආසන්නයට පැමිණ, එහි ඇතුළු විය. පාළු වත්තේ ඈත කෙළවරක එකට ගුලි ගැසී සැඟව සිටි පලායන්නන් සොයා ඔහු පැමිණි බවක් දිස් විය. 


“සහෝදරයිනි, ඔබලා කවුද?”


“අපි පලස්තීන විමුක්ති පොදු පෙරමුණේ සාමාජිකයන්. ලෙබනන් ටයර් සරණාගත කඳවුරෙන්,”


“මර්හබා. ආයුබෝවන්.” තරුණයා පිළිතුරු දිනි.


“බෙත් ලහියාවල (ගාසා තීරයේ දකුණු කලාපයේ පිහිටි ත්‍රස්තවාදී බළකොටුවකි.) පොදු පෙරමුණේ අණදෙන නිලධාරීන්ව මුණ ගැහෙන්නයි අපේ නායකයා අපිව එවුවෙ. අබු සෛෆ්, අපේ අණදෙන නිලධාරිතුමාව දන්නවනෙ? අපි ළග සල්ලියි ආයුධයි තියෙනවා. අපිට අපේ මෙහෙයුම සැලසුම් කරගන්න ඕන.” 


“මම ඒකට උදවු කරන්නම්,” තරුණයා කියා සිටියේය. 


පසුදා උදෑසන සන්නද්ධ ත්‍රස්තවාදීන් කිහිප දෙනෙක් අමුත්තන්ව ජබාලියා සරණාගත කඳවුර තුළ වූ හුදෙකලා නිවසක් තුළට රැගෙන ගියහ. සියල්ලන්ම විශාල කාමරයක් තුළට පිවිසුණු අතර අමුත්තන්ව අසුන් ගන්වනු ලැබිණි. 


මඳ වේලාවකින් ඔවුනට මුණ ගැසීමට අවශ්‍ය වූ පොදු පෙරමුණු අණදෙන නිලධාරීන් එම නිවෙස තුළට ඇතුළු වූහ. ඉන්පසුව මුහුණට මුහුණලා හිඳ ගත් දෙපිරිස උණුසුම් ලෙස එකිනෙකාට සුබ පතන්නට විය.


ලෙබනන කණ්ඩායමේ නායකයා මෙන් පෙණුනු, රතු කෙෆියේ එකක් (අරාබි ජාතිකයන් පලඳින ආකාරයේ හිස්වැස්මක්) පැලඳ සිටි ශක්තිමත් තරුණයෙක් මුලින්ම සිය හඬ අවදි කළේය. 


“කට්ටිය හරිද? ඔක්කොම මෙතැන ඉන්නවද?” 


සියල්ලෝම එක හඬින් පිළිතුරු දුන්හ. තරුණයා සිය අත ඔසවා වේලාව බැලුවේය. සැබැවින්ම එය පෙර සැලසුම් කළ සංඥාවකි. 


ඒ අනුව සියලුම ලෙබනන නියෝජිතයෝ තත්පරයක් තුළ පිටතට ඇදගත් පිස්තෝල අමෝරා ඔවුන් ඉදිරියේ සිටි සියලුම බෙත් ලහියා ත්‍රස්තයන් වෙත වෙඩි වරුසාවක් එල්ල කළහ. ඉන්පසු ජබාලියා කඳවුරේ වංගු සහිත මාර්ග ඔස්සේ දිව ගොස් ගාසා හි ජනාකීර්ණ වීදි පසුකර ඊශ්‍රායල දේශ සීමාව පසු කළහ. 


එදින සැඳෑවේ රතු කෙෆියේ එකක් පැලඳී තරුණයා, ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවේ රිමෝන් කමාන්ඩෝ ඒකකයේ අණ දෙන නිලධාරී කපිතාන් මීර් ඩගන්, කටුස්සා මෙහෙයුම සාර්ථක වූ බව ජනරාල් ඒරියල් ෂැරෝන් වෙත වාර්තා කළේය. බෙත් ලහියාවල පොදු පෙරමුණේ මාරක ත්‍රස්තවාදී කණ්ඩායමේ සියලුම නායකයන් එම වෙඩි තැබීමෙන් මිය ගොස් තිබිණි. 


යන්තම් වයස අවුරුදු 26ක් පිරුණු තරුණයෙක් වුවද, මීර් ඩගන් යනු ඉතා ප්‍රසිද්ධ, පුරාවෘත්තයක් බඳු සටන්කරුවෙකි.  මුළු මෙහෙයුමම සැලසුම් කරනු ලැබුවේ ඩගන් විසිනි. 
ලෙබනන ත්‍රස්තවාදීන් ලෙස රඟපෑම, ඊශ්‍රායලයේ අශෝඩ් තොටුපළෙන් කැඩුණු බෝට්ටුවක නැගී යාත්‍රා කිරීම, සැඟව සිටි දිගු රාත්‍රිය, ත්‍රස්ත නායකයන් මුණ ගැසීම, ප්‍රහාරයෙන් පසු ගැලවී පලා යාම ඇතුළු සමස්ත මෙහෙයුමම ඔහුගේ සැලසුමකි. ඔවුන් හඹා ආ ඊශ්‍රායල ටෝපිඩෝ බෝට්ටුව පවා ඔහුගේ සැලසුමකි. ඩගන් හොඳම ගරිල්ලා භටයෙකි. ඔහු නිර්මාණශීලීය. නිර්භීතය. නීති රීතිවලට යටත් නොවන්නෙකි. 


ජනරාල්වරයෙකු, ඊශ්‍රායල දේශපාලකයෙකු හා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ යිට්සාක් රබින් වරක් ඔහු පිළිබඳව මෙසේ කීය...


“ක්‍රියාදාම චිත්‍රපට  වැනි ත්‍රස්ත මර්දන මෙහෙයුම් සැලසුම් කිරීමට මීර් ඩගන්ට ඇත්තේ සුවිශේෂ හැකියාවක්. ඒ වනවිට මොසාඩ් නායකයා වීමට සිටි ඩැනී යාටොම්ටද දුඹුරු පැහැ කෙස් සහිත ශක්තිවන්තයෙකු වූ මීර් ඩගන් ගැන අපූරු මතක ගොන්නක් තිබුණි. ‘‘ඊශ්‍රායලයේ තිබූ ඉහළම කොමාන්ඩෝ ඒකකය වූ සියරෙට් මැට්කැල් වෙත එකතු වීමට මීර් ඩගන් ඉල්ලුම් කර තිබුණා. ඔහුගේ පිහි හරඹ දුටු හැමෝම පුදුම වුණා. තෝරාගත් ඕනෑම ඉලක්කයක් මැරී වැටෙන්නට විශාල කොමාන්ඩෝ පිහිය විසි කිරීමට ඔහුට තිබුණේ පුදුමාකාර හැකියාවක්...”  


අතිදක්ෂ වෙඩික්කරුවෙකු වුවද සියරෙට් මැට්කැල් බඳවාගැනීමේ පරීක්ෂණවලින් අසමත් වූ බැවින් ඔහුට සිදුවූයේ පැරෂුට් භටයෙකු ලෙස හිත හදා ගන්නටය. 
1967 දින හයේ යුද්ධයේදී ඊශ්‍රායලය විසින් යටත් කර ගැනීමෙන් පසු මාරාන්තික ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිසා දෙබර කූඩුවක් බඳු වූ ගාසා තීරය වෙත ඔහුව යවනු ලැබිණි.  ගාසා තීරය එක් පසෙකින් ඊශ්‍රායලයටත්, අනෙක් දෙපසින්  මධ්‍යධරණි මුහුද හා පලස්තීනයටත් සීමා වූ වර්ග කිලෝමීටර් 365 ක භූමියකි. පලස්තීන ත්‍රස්තයන් ගාසා තීරයේදී හා ඊශ්‍රායලයේදී බෝම්බ හා ගිනි අවි භාවිත කරමින් ඊශ්‍රායල් රටවැසියෝ ඝාතනය කළහ. සාහසික සරණාගත කඳවුරු ඊශ්‍රායල් ආරක්ෂක හමුදා පාලනයෙන්ද ගිලිහී තිබිණි. 
එක්සත් ජනපදයෙන් ඊශ්‍රායලයට සංක්‍රමණය වූ අරෝයෝ පවුල පුරුද්දක් වශයෙන් සැම සති අන්තයකම පාහේ ගාසා තීරයේ සංචාරය කළහ. 1971 ජනවාරි 2 වැනිදා ඔවුහු සුපුරුදු ලෙස සිය කාරයේ නැගී සති අන්ත චාරිකාවක යෙදී සිටියහ. ඒ තීරණාත්මක දිනයේ, සිදුවෙන්නට නියමිත ඛේදවාචකය ගැන කිසිවක් නොදත් රොබට්, ප්‍රීති හා සිවු හැවිරිදි ඇබිගේල් මෙන්ම සත් හැවිරිදි මාක්ද රැගත් රථය, මග වැරදීමක් නිසා ගාසා නගරයට උතුරු දෙසින් පිහිටි ප්‍රධාන මාර්ගය දිගේ ගමන් කරන්නට විය. රථය ඉදිරියට ඇදී යත්ම 15 වියැති පලස්තීන සටන්කාමියෙක් රථයේ පිටුපසට අත් බෝම්බයක් විසි කළේය. පිටුපස අසුනේ සිටි කුඩා දරුවන් දෙදෙනා එකෙනෙහිම මිය ගිය අතර ඔවුන්ගේ මව යන්තම් දිවි ගලවා ගැනීමට සමත් වූවාය. සිද්ධිය බලා සිටියවුන් දෙදෙනෙක් සොයා ගැනීමට හැකි වූ නමුදු, ඔවුන්ද ත්‍රස්තවාදීන් බව පසුව හෙළිවිය. 


මේ සිදුවීමෙන් පසුව ගාසා තීරයේ සංහාරවලට තිත තැබිය යුතු යැයි ජනරාල් ෂැරොන් වහා තීරණය කළේය. ඔහුගේ තරුණ කාලයේ මිතුරන් දෙදෙනෙක් හා දක්ෂ තරුණ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් යුත් රහස් සංවිධානයක් බිහි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ගාසාහි සිටින ත්‍රස්තවාදී කණ්ඩායම් අනතුරුදායක හා අසම්ප්‍රදායික ක්‍රම යොදාගෙන විනාශ කර දැමීම එම කණ්ඩායමේ කාර්යභාරය විය. මිටි නමුත් හැඩිදැඩි අයෙකු වූ ඩගන්ද එම තරුණ නිලධාරීන් අතර විය. 


පිස්තෝල හා රිවෝල්වර් කිහිපයක්, සබ්මැෂින් ගන්, සැරයටියක් හා ඩොබර්මන් බල්ලෙකු රැගෙන ඔහු ගාසා තීරයේ සැරිසැරුවේය. ඔහු වරෙක අරාබියෙකු ලෙස වෙස්වළාගෙන, කොයි වෙලාවේ කොහේ කුමක් සිදුවේදැයි අවිනිශ්චිත ගාසා වීදි ඔස්සේ ඔටුවෙකු  පිටේ සංචාරය කළේය. දින හයේ යුද්ධයේදී බෝම්බයකට හසුවීමෙන් සදාකාලික කොරයක් තිබීම පවා ඔහුගේ දැඩි අධිෂ්ඨානය සෙලවීමට සමත් නොවිණි. ඩගන්ගේ දැක්ම වූයේ සතුරන් හා නරක අරාබීන් ක්‍රියාත්මක වීමට පෙර පළමුව ඔවුන් විනාශ කර දැමිය යුතු බවයි. 
ඩගන්ගේ ඒකකය තුළ පළමු රහස් කොමාන්ඩෝ ඒකකය වන රිමෝන් පිහිටවන ලද්දේ ඔහු විසිනි. අරාබීන් ලෙස වෙස්වළාගෙන සතුරු පෙරමුණුවල සිට ක්‍රියාත්මක වූහ. අරාබි ජනයා ගැවසෙන තැන්වල ගමන් කිරීමේ පහසුව හා රහසේම ඉලක්ක වෙත ළඟාවීමට එසේ වෙස්වළාගෙන සිටීම ඉතා වැදගත් විය. මෙම කණ්ඩායම ඉතා ඉක්මනින්ම අරික්ගේ ඝාතක කල්ලිය ලෙස ප්‍රසිද්ධ වූ අතර කුරිරු ලෙස සතුරන් මරා දමන්නේ යැයිද කතා පැතිර ගියේය. ඔවුහු විටෙක සිය සතුරන් අඳුරු පටු මාවත්වලට ගෙන ගොස් ගැලවීම පිණිස දිව යාමට ඉඩ හැර වෙඩි තබන බවත් එසේ පැතිරුණු කතාවකි. 


ඩගන් උදේ අවදිවී මුත්‍රා කරන අතර තනි අතකින් හිස් කෑන් එකකට වෙඩි තබන බව මාධ්‍යවේදියෝ ලියා තැබූහ. එහෙත් එවන් වාර්තා ඔහු බැහැර කරන්නේ ඒවා සම්පූර්ණ අසත්‍ය බව කියමිනි. 


මෙම කුඩා කල්ලිය දිනපතා සිය ජීවිත අනතුරේ හෙළමින් දරුණු යුද්ධයක නිරතව උන්හ. හැම රාත්‍රියකම පාහේ ගැහැනුන් හෝ ධීවරයන් ලෙස වෙස්වළාගන්නා ඩගන්ගේ මිනිස්සු ප්‍රසිද්ධ ත්‍රස්තයෙකු වූ අබු නිමේර් සොයා දඩයමේ ගියහ. එක් දවසක ඩගන් ඉදිරියේ පෙනී සිටි අබු නිමේර්, අත් බෝම්බයක් පෙන්වා තර්ජනය කරමින් එහි පින් එක ගැලවූයේ ඩගන් දෙසම බලාගෙනය. දෙවරක් නොසිතූ ඩගන් පණ බේරා ගැනීමට වෙනතක පනිනු වෙනුවට වහා ත්‍රස්තයා දෙසට පැන ඔහු අල්ලා හිර කරගනිමින් බෝම්බය උදුරා ගෙන ඉවතට විසි කළේය. පසුව නිරායුධ දෑතින් ඔහු එම ත්‍රස්තවාදියා මරා දැමූ බව කියැවේ. එම ක්‍රියාව උදෙසා පසුව ඔහු වීර සම්මානයකින්ද පිදුම් ලැබුවේය.  
එයින් වසර ගණනාවකට පසු, ඊශ්‍රායල මාධ්‍යවේදී රොන් ලෙෂෙම් හා සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙසේ අදහස් පළ කළේය. 

 

වමේ සිට මීර් ඩගන්, ඒරියල් ෂැරොන් හා හිටපු මොසාඩ් නායක ඉෆ්රිම් හලෙවි

 

 


“රිමෝන් කියන්නෙ ඝාතක කල්ලියක් නෙවෙයි. 19 වැනි සියවසේ ඇමරිකාවෙ වගේ තුවක්කුවෙන් ඕන කෙනෙකුට වෙඩි තියලා දාන අය නෙවෙයි. අපි කවදාවත් ගැහැනුන්ට හෝ ළමයින්ට අනතුරක් කළේ නැහැ....


“අපි පහර දුන්නේ දරුණු මිනීමරුවන්ට. ඔවුන්ට පහර දී තවත් ප්‍රහාර සිදුවීම වළක්වා ගත්තා. යම් අවස්ථාවලදී සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රජාතාන්ත්‍රික නොවන ක්‍රම  අනුගමනය කරන්න රජයට සිද්ධ වෙනවා.  අපේ සංවිධානය වැනි සංවිධානවල සීමා මායිම් මොනවාද යන්න අපැහැදිලි බව ඇත්ත. හොඳම මිනිස්සු මේ වගේ වැඩවලට ඕන කරන්නෙ අන්න ඒ නිසයි. බොහෝවිට අප්‍රසන්නම වැඩ භාර දෙන්නේ අවංකම මිනිස්සුන්ට’’


ප්‍රජාතාන්ත්‍රික වුවත් නැතත්, ෂැරෝන්, ඩගන් හා ඔවුන්ගේ මිත්‍ර  කල්ලිය එකතු වී ගාසා හි ත්‍රස්තවාදය සහමුලින්ම වනසා දැමූහ. ඒ නිසා වසර ගණනාවක් යන තුරු එම කලාපය නිහඬව හා සාමකාමීව පැවතිණි.  


වරක් ජනරාල් ෂැරොන් අඩ වශයන් විහිළු සහගතව කීවේ’’ ඩගන්ගේ  සුවිශේෂී හැකියාව වන්නේ අරාබියෙකුගේ හිස කඳින් වෙන් කිරීමේ හැකියාව’’ බවයි. එහෙත් සැබෑ ඩගන් කවුදැයි හඳුනාගෙන සිටියේ කිහිප දෙනෙක් පමණි.  


ඩගන් උපත ලද්දේම අර්බුදයකය. නාසි ජන සංහාරයන්ගෙන් ඉතිරිව සිටි ඔහුගේ පවුලේ කිහිප දෙනා සයිබීරියාවේ සිට පෝලන්තයට පලා යන අතරතුර, දුම්රියකදී ඩගන් උපත ලැබුවේය. ඒ 1945 අවුරුද්දයි. පසුව ඔවුන් ඊශ්‍රායලයට සංක්‍රමණය වූ අතර ටෙල් අවිව් නගරයේ සිට සැතපුම් 10ක් දකුණු දෙසට වන්නට පිහිටි පැරණි අරාබි නගරයක හැදී වැඩුණේය. ඩගන්ගේ ළමා කාලය බොහෝ දුක් කම්කටොලුවලින් පිරුණු එකකි. 


බොහෝ දෙනෙක් ඔහු යටත් කළ නොහැකි සටන් කරුවෙකු ලෙස දැන සිටි නමුත් ඔහුගේ රහසිගත බලාපොරොත්තු, අපේක්ෂා සහ සිහින මෙන්ම විනෝදාංශ ගැනද දැන නොසිටියහ. ඉතිහාස පොත් කියැවීමේ ළැදියෙකු වූ ඩගන් නිර්මාංශිකයෙකුද විය.  ශාස්ත්‍රීය සංගීතය ප්‍රිය කළ ඔහුගේ  විනෝදාංශ වූයේ චිත්‍ර ඇඳීම හා මූර්ති ශිල්පයයි. 
මීර් ඩගන් ඔහුගේ මුළු ජීවිතයම කැප කළේ ඊශ්‍රායලයේ ආරක්ෂාව පිණිසය. යුද හමුදාවේ තනතුරුවලින් ඉහළ නැගෙන හැම වතාවකම, හැම නව කාර්යාලයකදීම ඔහු පළමුවෙන් කළ කටයුත්ත වූයේ මහලු යුදෙව්වෙකු හා නාසි සෙබළුන් දෙදෙනෙකු දැක්වෙන ඡායාරූපයක් කාර්යාල බිත්තියේ එල්ලීමයි. එහි සිටි මහලු යුදෙව්වා යාඥා සළුවක් හිස දවටාගෙන, තුවක්කුවක් හා පිත්තක් අතින් ගත් එස් එස් භටයන් දෙදෙනෙකු ඉදිරියේ දණ ගසාගෙන සිටියි. 


පින්තූරයේ කතාව ගැන නොදන්නා හැම අයෙකුටම ඔහු ඒ පිළිබඳව පැහැදිලි කරයි. 


“ඒ ඉන්නේ මගේ සීයා. මේ පින්තූරය දකින හැමවිටම මට මතක් වෙනවා අපි ශක්තිමත්ව නැගී සිටිය යුතු බව. එවැනි මහා ජන සංහාරයක් නැවත වතාවක් සිදුවීමට ඉඩ නොතැබිය යුතුයි.’’


එහි පෙනී සිටි තැනැත්තා සැබැවින්ම ඔහුගේ සීයා විය. පින්තූරය ගෙන තත්පර කිහිපයකට පසුව ඒ භටයන් දෙදෙනා අතින් ඔහු මරුමුවට පත් විය. 


1973 යොම් කිපූර් යුද්ධයේදී හමුදා පිරික්සුම් ඒකකය විසින් සිදුකළ සූවස් ඇළ තරණය කළ පළමු ඊශ්‍රායල් ජාතිකයන් කිහිප දෙනා අතර ඔහු ද වූයේය. 1983 ලෙබනන් යුද්ධයේදී ඩගන් බීරූට් නගරයට පිවිසියේ හමුදා භට ඛණ්ඩයේ නායකයා වශයෙන් වුවද ඉතා ඉක්මනින්ම දකුණු ලෙබනනයේ ආරක්ෂක කලාපයේ අණදෙන නිලධාරියා බවට පත් විය. ගාසා දිනවල රහස් මෙහෙයුම්, වෙස් වළාගැනීම් හා උපක්‍රම යළි මතුවිය. ඔහුගේ සෙබළු ඔහුට අලුත් නමක් පටබැන්දහ. ඒ, “සෙවණැලි රජ” යන්නයි. 


රහසිගත මිත්‍ර සබඳතා, ද්‍රෝහීත්වය, කුරිරුකම්, මායාකාරී යුද්ධ ආදියෙන් පිරි ලෙබනන් ජීවිතය ඔහුට සිය හදවත තරම් හුරු පුරුදු වූවක් විය. ඔහුගේ යුද ටැංකිය බීරූට් නගරයට පිවිසෙන්නටත් පළමු ඔහු ඒ නගරය දැන හඳුනාගෙන තිබිණි. ලෙබනන යුද්ධය නිමාවූ පසුත් ඔහු සිය රහසිගත වික්‍රම අතහැර නොදැමීය. 1984දී කාර්ය මණ්ඩල ප්‍රධානී මොෂෙ ලෙවි මීර් ඩගන්ට නිල වශයෙන් තදබල තරවටුවක් කර තිබුණේ අරාබියෙකු ලෙස වෙස් වළාගනිමින් බහම්දුන් ත්‍රස්ත මූලස්ථානයේ කාලය ගත කිරීම පිළිබඳවයි. 


ඉන්ටිෆාඩාව (1987 - 1993 අතරතුර සිදුවූ පලස්තීන විප්ලවය) කාලයේ කාර්ය මණ්ඩලයේ අණ දෙන නිලධාරී එහුඩ් බරක්ගේ උපදේශකයෙකු ලෙස බටහිර ඉවුරට පිටත් කරන ලදුව ඩගන් ඔහුගේ රහසිගත ක්‍රියාකාරකම් යළි ඇරඹූ අතර ඔහුගේ ප්‍රධානියාද ඒ කෙරෙහි නම්මා ගැනීමට සමත් විය. වරක් මේ දෙදෙනා සැබෑ පලස්තීනුවන් මෙන් පෙනෙන පරිදි ව්‍යායාම ඇඳුම්වලින් සැරසී ලා නිල් පැහැ දේශීය අංක සහිත මර්සිඩීස් රථයක නැගී, ඕනෑම මොහොතක ගැටුම් ඇතිවිය හැකි නබ්ලුස් කස්බා ප්‍රදේශයේ රහස් සංචාරයක යෙදුණහ. ඔවුන් ඒ ආකාරයෙන්ම හමුදා මූලස්ථානයට ආපසු පැමිණියේ එහි සිටියවුන් පවා පුදුමයෙන් මුසපත් කරවමිනි. 


1995 වන විට මේජර් ජනරාල්වරයෙකු වශයෙන් සේවය කරමින් සිටි ඩගන් හමුදා සේවයෙන් ඉවත් වී, ඔහුගේ මිතුරෙක් වූ යොසි බෙන් හනාන් සමඟ ආසියානු තැනිතලාවේ මාස 18ක මෝටර් සයිකල් සංචාරයක් සඳහා පිටත්ව ගියේය. නමුදු අනපේක්ෂිත ලෙස යිට්සාක් රබින් ඝාතනය කිරීම නිසා සංචාරය ඉතා ඉක්මනින් නිමා කර පැමිණීමට ඔවුනට සිදුවිය. 

 

මීර් ඩගන්ගේ සීයාගේ මරණය පෙන්නුම් කරන ඡායාරූපය

 


නැවත ඊශ්‍රායලයට ගිය පසු ප්‍රතිත්‍රස්ත අධිකාරියේ කලක් රැඳී සිටි ඔහු ව්‍යාපාර ලෝකයට එකතු වීමට අසාර්ථක උත්සහයක නිරත විය. ඉන්පසුව ෂැරොන්ගේ ලිකුඩ් ඡන්ද ව්‍යාපාරයට සහයෝගය දැක්වීය. 2002 දී විශ්‍රාම ගත් ඩගන් ඔහුගේ පැරණි පොත්, සංගීත තැටි, චිත්‍ර පුවරු හා මූර්ති හුදෙකලා කර තිබුණු ගැලීලියේ නිවසට ගියේ, හදිසියෙන් අවදි වූවෙකු මෙන් සිය දරුවන් උස් මහත් වී ඇති අයුරු දුටුවේය, වසර ගණනාවකින් පවුලේ අය සමඟ කාලය ගත කරන්නට සිතුවේය. 


නමුදු එවරද ඔහු සිතා සිටි පරිදි විශ්‍රාමය ගත කිරීමට නොහැකි වූයේ ඒ වන විට අගමැතිව සිටි ඒරියල් ෂැරොන්ගෙන් ලැබුණු දුරකථන ඇමතුමක් නිසාවෙනි. 
“මචං මට උඹ මොසාඩ් චීෆ් කරන්න ඕන. ඕන වෙලාවක වැඩකට බහින්න පුළුවන් නායකයෙකුයි මං හොයන්නෙ. ”


ඒ වන විට ඩගන්  57 හැවිරිදි විය. 


මොසාඩ් යනුවෙන් හඳුන්වන ලද්දේ ඊශ්‍රායල් රහස් බුද්ධි ඒජන්සියයි. 2002 පමණ වන විට එම ඒජන්සියේ කීර්ති නාමය වේගයෙන් අහිමි වෙමින් පැවතිණි. ජොර්දානයේ අම්මාන් නගරයේ සිටි ප්‍රධාන හමාස් නායකයෙකු ඝාතනය කිරීමේ අසාර්ථක වෑයම පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලැබීම, ස්විට්සර්ලන්තයේ, සයිප්‍රසයේ හා නවසීලන්තයේ සිටි නියෝජිතයන් හසුවීම ආදිය නිසා මොසාඩ් කීර්ති නාමය බිංදුවටම වැටී තිබුණි.  එහි අවසන් නායකයා වූයේ බෙල්ජියමේ බ්‍රසල්ස්හි යුරෝපා සංගම් තානාපති වූද, සාර්ථක රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හා දක්ෂ විශ්ලේෂකයෙකුද වූ ඉෆ්රීම් හලෙවියි. කොපමණ සුදුසුකම් තිබුණද නායකයෙක් හා සටන් කරුවෙක් නොවීම නිසා ඔහු නායකත්වයට නුසුදුස්සෙක් වී සිටියේය. 
ඒරියල් ෂැරොන්ට වුවමනා වී තිබුණේ ඉස්ලාමීය ත්‍රස්තවාදයට හා ඉරාන න්‍යෂ්ටික බලයට එරෙහි දරුණු අවියක් විය හැකි නිර්භීත හා නිර්මාණශීලී නායකයෙකි. ෂැරොන්ගේ වුවමනාව පරිදි ඩගන් එහි නායකත්වය භාර ගත්තද මොසාඩ් ඒජන්සියට ඔහු ගැන එතරම් පැහැදීමක් නොවීය. පිටස්තරයෙකු වූ ඔහු වැඩි අවධානයක් දුන්නේ මෙහෙයුම් පිළිබඳවයි. බුද්ධි තොරතුරු විශ්ලේෂණය හෝ රාජ්‍ය තාන්ත්‍රික රහස් හුවමාරු ආදිය  කෙරෙහි ඔහුගේ අවධානය යොමු නොවීය. එහි සිටි උසස් බුද්ධි නිලධාරීන් ඔහුට විරුද්ධතාව දැක්වීමක් ලෙස සේවයෙන් ඉවත් වී ගියද ඩගන් ඒ ගැන කිසිදු තැකීමක් නොකළේය. 


ඔහු ක්‍රමිකව මෙහෙයුම් ඒකක ප්‍රතිනිර්මාණය කළේය. විදේශික රහස් ඔත්තු සේවා සමඟ සමීප සබඳතා ගෙන යාමට සැලසුම් කළේය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් පිළිබඳව තමාම තොරතුරු සෙවීය. 2006දී දෙවැනි විශාලම ලෙබනන යුද්ධය ඇරඹුණු විට ගුවන් හමුදාවෙන් සැලසුම් කළ මහා පරිමාණ බෝම්බ හෙළීමට විරුද්ධ වූ එකම පුද්ගලයා වූයේ ඔහුයි. ගුවන් හමුදාවට එසේ ජය ලබාගැනීමට නොහැකි බව ඔහුගේ අදහස විය. එහෙත් යටත් නිලධාරීන්ට තදින් සිටීම ගැන මාධ්‍ය දිගින් දිගටම ඩගන්ට පහර දෙන ලදී. විශ්‍රාම ගොස් සිටි මොසාඩ් නිලධාරීහු මාධ්‍ය ඉදිරියට දිව ගියේ ඩගන්ට දොස් තබමිනි. එබැවින් ඔහු නිරන්තරවම මඩ ප්‍රහාර හා විවේචනවලට ලක්විය. එවකට සිටි ප්‍රසිද්ධ තීරු ලිපි රචකයින් පවා ඔහු පහත් කරමින් ලිපි ලියූහ. 


එහෙත් මේ සියල්ල එක දවසක, හදිසියේ, අනපේක්ෂිතව වෙනස් විය. දිනපතා පුවත්පත්වල ඩගන්ගේ දක්ෂතා වර්ණනා කරමින්, මොසාඩ්හි ගරුත්වය යළි ගෙනා නායකයා ආදී වශයෙන් වර්ණනාත්මක ලිපි පළ විය. ඩමස්කස්හි උමතු හිස්බුල්ලා මිනීමරු ඉමාඩ් මුග්නියේ ඝාතනය, සිරියානු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක විනාශ කිරීම, ලෙබනනයේ හා සිරියාවේ සිටි ප්‍රධාන පෙළ ත්‍රස්ත නායකයන් අවසන් කර දැමීම සහ ඒ සියල්ලට වඩා වැදගත් වූ ඉරානයේ රහසිගත න්‍යෂ්ටික වැඩසටහනට විරුද්ධව අනුකම්පා විරහිත හා සාර්ථක සටනක් පැවැත්වීම ආදී ඊට පෙර කවදාවත් කළ නොහැකි ලෙස සැලකුණු දේවල්ය.  ඒ සමඟ මීර් ඩගන් එතෙක් නොවූ විරූ පිළිගැනීමක් හා ගරුත්වයක් ඇති නායකයෙකු බවට පත් විය. 


මූලාශ්‍රය : මයිකල් බාර් - සොහාර් හා නිසිම් මිශාල් විසින් රචිත, මොසාඩ් - ද ග්‍රේටස්ට් මිෂන්ස් ඔෆ් ද ඊශ්‍රායෙලි සීක්‍රට් සර්විස් කෘතිය
පරිවර්තනය  - නිසංසලා දිසානායක