අරාබි අකුරෙන් නාම පුවරු තියෙන සමන්තුරේ වෙනම රටක්ද?


අනාවරණ

 

රටක නීතිය සැමට එකක් විය යුතුය. නමුත් ලංකාවේ තිබෙන සමහර නීති ක්‍රියාත්මක වන්නේ එක් ප්‍රදේශයකට පමණක් බව නැගෙනහිර පළාතේ සංචාරය කරන විටද දැක ගැනීමට හැකිව තිබේ. සමහර පුද්ගයින් නීතිය අතට ගෙන ක්‍රියාත්මක කිරීම නිසා මහ මග රාජකාරි කරන පොලිස් නිලධාරින්ද අන්ත අසරණ වෙන අවස්ථා බොහොමයකි.   


අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයද නීතිය අතට ගත් ප්‍රදේශයක් බවට පත්ව තිබේ. සමහර ස්ථානවල ක්‍රියාත්මක වන්නේ කැලෑ නීතියයි.   


මෙම මාර්ගයේ ගමන් කරන බොහොමයක් වැසියන් ගමන් කරන්නේ දැඩි බියකිනි. හදිසි අනතුරු බොහොමයක් රිය පදවන්නන්ගෙන් මෙන්ම මාර්ගයේ ගමන් කරන්නන්ගේ වරදින් සිදුවේ. සමන්තුරේ ප්‍රදේශයේ දී යම් හෙයකින් අනතුරක් සිදුවුවහොත් රිය පදවන්නා නිවැරැදි වුවත් කැළෑ නීතිකරුවන්ගෙන් බේරීමට නොහැකිව තිබේ.   
එයට ආසන්න සිද්ධියක් 2006 වසරේ දෙසැම්බර් මාසයේ සමන්තුරේ නගරයේදී සිදුවිය. කල්මුනේ සිට සමන්තුරේ දක්වා ධාවනය වූ ටිපර් රථයකට මාර්ගයේ ගමන් ගත් පාපැදිකරුවෙක් ගැටී තිබේ. එයින් බියවූ රියදුරු ටිපර් රථය නොනවත්වා ඉදිරියට ධාවනය කළේ ටිපර් රථය නැවැත්වූවා නම් ඔහුට සිදුවන ඉරණම දැනගෙනය. නොනවත්වා ගිය ටිපර් රථය නැවැත්වීමට ඒ පසුපස හඹා ගිය පුද්ගලයෙකු ටිපර් රථය නැවැත්වීමට යතුරුපැදිය ටිපර් රථය හරහා දැමූ අතර ඔහුද ටිපර් රථයට යටවී මිය ගියේය.   
තවත් යතුරුපැදියක නැගි හඹා ගිය පුද්ගලයන් දෙදෙනෙක් ටිපර් රථය ඉදිරිපිටට යතුරුපැදිය දමා ටිපර් රථය නැවත්වීමට උත්සාහ කළ අතර මර බියෙන් සිටි රියැදුරු නොනවත්වාම ටිපර් රථය ධාවනය කළ අතර එම පුද්ගලයින් දෙදෙනාද ටිපර් රථයට යටවී මිය ගියහ. 

 
එහෙත් ඔවුන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය ටිපර් රථයේ හිරවීම නිසා ටිපර් රථය ධාවනය කිරීමට නොහැකිවිය. මේ වෙන විට ටිපර් රථය පසුපස හඹා ආ විශාල පිරිසක් රියැදුරු වාහනයෙන් එළියට ගෙන ඔහුට පහරදී ටිපර් රථයට ගිනි තබා රියැදුරු එම ගින්නට ඇද දැමූහ. එම අවස්ථාවේදීම එම ස්ථානයට පැමිණි එවකට පොලිස් ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක එම්. ජෙමිල් මහතා ජනතාවගේ විරෝධය මැදින් ගින්නේ සිටි රියැදුරා පොලිස් ජීප් රථයක දමාගෙන අම්පාර මහා රෝහල වෙත ගෙන ආවත් ඔහු මිය ගියේය.   
පළමු අනතුර සිදුවන අවස්ථාවේ රියැදුරු රථය නොනවත්වා ධාවනය කිරීම වැරැදි ක්‍රියාවකි. නමුත් එලෙස සිදුකළේ රථය නැවැත්වූවා නම් සිදුවන දේ දන්නා නිසාය. අවට මිනිසුන් තමන්ට මෙන්ම රථයටද පහරදෙන බැවිණි. නමුත් අවසානයේ ජීවිත හතරක් විනාශ විය. ඉන් තිදෙනෙක් මිය ගියේ අනතුරකින්ය. රියැදුරු මියගියේ පහරදීමෙන්ය. මෙවැනි සිදුවීමක් සිදුවූයේ මෙම ප්‍රදේශයේ කැලෑ නීතිය රජවීම නිසාය.   


මෙම සිදුවීම නිසා ඇතිවීමට ගිය ජාතිවාදී අරගලය පොලිසිය මෙන්ම ආගමික නායකයින් මැදිහත්වීම නිසා නවත්වා ගැනීමට හැකි විය.   


අද ද සමන්තුරේ නගරයේ මාර්ග නීති කඩන අය ජනතාවට දැක ගැනීමට හැකියාව තිබේ. එහෙත් නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව ජනතාව තුළ ඇත්තේ කුකුසකි. එයට හේතු බොහොමයක් තිබේ. නීතිය ක්‍රියාත්මක කරන බොහොමයක් නිලධාරින්ද මෙම ගම්මාන තුළම පදිංචිකරුවන් වීම බව දැන ගන්නට තිබෙන තවත් කරුණකි. අනෙක් කාරණය වන්නේ ඉතා සුළු සිද්ධියකට පවා දේශපාලකයින් පොලිසියේ උසස් නිලධාරින්ට කතාකර බලපෑම් කිරීමය.   


මෙවැනි කරුණු නිසා නීතිය රැකීමට මාර්ගයේ සිටින නිලධාරින්ට මහ ජනතාව නීති කඩන අවස්ථාවේදී මුනිවත රැකීමට සිදුව ඇත. හෙල්මට් දමන පිරිස වැඩිවී ඇති බවට පොලිසිය පැවසුවත් 2019.06.29 වෙනි දින පෙ.ව. 10.00 සිට 11.00 දක්වා පැයක කාලය. තුළ හැත්තෑපස් දෙනෙකු පමණ සමන්තුරේ ප්‍රධාන වීදියේ හෙල්මට් නොමැතිව ධාවනය වෙන අවස්ථා අපගේ කැමරා කාචයට හසු කර ගැනීමට හැකි විය. ඉන් සමහර යතුරුපැදිකරුවන් කුඩා දරුවන්ට හෙල්මට් නොදා ධාවනය කරන අයුරු දැක ගැනීමට හැකි විය.   
මෙය සමන්තුරේ නගරයේ සුලබ දසුනක් වී තිබේ. මෙවැනි දසුන් දැකීමේදී නීතිය රකින නිලධාරින් කුමක් කරන්නේද යන්න අම්පාර නගරයේ ජනතාවට ගැටලුවක් වී තිබේ.   
හෙල්මට් නීතිය මෙන්ම පස් කැපීමේ නීතියද සමන්තුරේ ප්‍රදේශයේ යටව ඇත්තේ කැලෑ නීතියටය. සමන්තුරේ නෙයිනකාඩු ප්‍රදේශයේ සිදුවන පස් ජාවාරම පිළිබඳව දැකීමේදී සමන්තුරේ පොලිසිය කරන රාජකාරිය කුමක්ද? යන්න විමසිය යුතුව ඇත.   


නෙයිනකාඩු ප්‍රදේශයේ අප යන අවස්ථාවේදී ස්ථාන කිහිපයකම යන්ත්‍ර සූත්‍ර යොදා පස් කපන අයුරු දැකගැනීමට හැකි විය. පස් කපන එක් ස්ථානයනකට අපි ගියවිට දැකීමට හැකිවූයේ එම ස්ථානයේ සවිකර ඇති කැණීම් බලපත්‍රය කල්ඉකුත්වී ඇති බවය.   

 

සමන්තුරේ ඔරලෝසු කණුව

ඔරලෝසු කණුවේ ඇති ආගමික ලාංඡනයක්  

වෙළෙඳසලක් ඉදිරිපිට ඇති අරාබි අකුරු

අරාබි අකුරින් සටහන් කළ මුස්ලිම් දේවස්ථානයක්

අරාබි අකුරු පළමුව යෙදූ මුස්ලිම් පාසලක්

 


 අප එම ස්ථානයට ගියවිට පස් කපන යන්ත්‍රයේ සිටි රියැදුරා බිය විය. පස් හාරන එක නවතා බැකෝ යන්ත්‍රය එම ස්ථානයෙන් ඉවත් කරගනු ලැබීය. එම ස්ථානයට පස් පැටවීමට පැමිණි ටිපර් රථයක්ද මගදී හරවා යැවීමට බැකෝ යන්ත්‍රයේ රියදුරු කටයුතු කරනු ලැබීය. ඔවුන් එම ස්ථානයෙන් ඉවත්ව ගියේ නීති විරෝධී ලෙස පස් කපන නිසා බව අපට තහවුරු විය.   


අප එම ස්ථානයට යනවිට මග දෙපස යතුරුපැදි නවත්වා ගෙන පුද්ගලයින් කිහිපදෙනෙක් සිටියහ. එම පුද්ගලයින් පස් කපන පුද්ගලයින් විසින් යොදා ඇති ඔත්තුකරුවන් බව අපට තහවුරු විය. ඉන් එක් පුද්ගලයෙක් අප සමග හිතවත් විය.   


නම කීමට අකමැති වූ පුද්ගලයා අපට ඇත්ත පැහැදිලි කිරීමට එකඟවිය. මහත්තයා අපිට දවසට රුපියල් දාහක් දෙනවා කව්රු හරි පස් කපන පැත්තට යනවා නම් අපට තියෙන්නේ ඒ අයට දුරකථන ඇමතුමක් දෙන්න අපි ඉතින් ඒ විදියට කරනවා. මම මහත්තයාට කතා කළා කියලා දැන ගත්තොත් මාව අස් කරනවා. හැමදාම මේ විදියට අපි වැඩ කරනවා යැයි ඔහු පැවසීය.   


අප එම ස්ථානයේ සිටින විට පස් පැටවීමට පැමිණි ටිපර් රථ කිහිපයක්ම හරවා ගෙන ගියේ අප එම ස්ථානයේ සිටි නිසාය. මා එම ස්ථානයේ සිටම මෙම පස් ජාවාරම පිළිබඳව සමන්තුරේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉබුනු අෂාර් මහතාට දැනුම් දුන් අතර එම ප්‍රදේශයේ නිතර පස් කපන බවත් එවැනි ටිපර් අත්අඩංගුවට ගන්නා බවත් පැවසීය. අප සිටින ස්ථානයට පොලිස් ජංගම රථයක් එවන බවට පැවසූ නමුත් අප එම ස්ථානයේ පැයක් පමණ ගතකර පිටවෙනතුරු පොලිස් ජංගම රථයක් නොපැමිණියේය.   
මෙම ප්‍රදේශවල හොරෙන් පස් කැපීම පසුගිය මාසය තුළ බරපතළ ලෙස වැඩිවී තිබේ. සහාරන්ගේ සිදුවීම් සමග ආරක්ෂක අංශ වෙනත් මෙහෙයුම්වල යෙදෙන අතරතුර පස් ජාවාරම්කරුවන් එය අවස්ථා කරගෙන පස්කැපීම් සිදුකර ඇති බවට වාර්තා වූ බව අම්පාර භූ කැණීම් ඉංජිනේරු බණ්ඩාර මහතා පැවසීය.   


 පසුගිය දින කීපය තුළ පැවති තත්ත්වය සමග අපේ නිලධාරින් එම පළාත්වලට ගියේ නැහැ. ඒක අවස්ථාවක් කරගෙන සමහර පුද්ගලයින් පස් කපා තිබෙනවා. සමහර අවස්ථාවල අපි පොලිසියට දැනුම් දෙනවා පොලිසිය එතැනට යද්දී පස් කපන අය නැහැ. පොලිසිය එන්න කලින් ඒ අයට තොරතුරු යනවා. නමුත් අපි පොලිස් විශේෂ කාර්ය බළකාය සමග සාර්ථක වැටලීම් ගණනාවක් කළා යැයි බණ්ඩාර මහතා පැවසීය.   


සමන්තුරේ නගරයට ඇතුළුවෙන ස්ථාන දෙකේම විශාල කොන්ක්‍රීට් තොරණ් ගසා තිබේ. සමන්තුරේ ඔරලෝසු කණුවේද ආගමික ලාංඡනයක් ගසා තිබේ. ස්ථාන ගණනාවකට අරාබි බස සඳහන් පුවරු දැක ගැනීමට හැකි විය.   


උතුරු නැගෙනහිර ප්‍රධාන අධිකරණ සංඝනායක, අම්පාර මහාවාපි මහා විහාරාධිපති අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති පුලුකුණාව රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති කිරිඳිවැල සෝමරතන හිමියෝ මෙසේ පවසති.   


“අද අම්පාර දිස්ත්‍රික්කයේ නීතිය ක්‍රියාත්මක වන්නේ වෙනස් විදියකට අම්පාර නගරයේ එක නීතියක් සමන්තුරේ එක නීතියක් ඒක වැරදියි. සාමාන්‍ය ජනතාව කොහේද තියෙන බලයක් අරගෙන එහෙම කරන එක වැරැදියි. මේ හේතුව නිසා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් අන්ත අසරණ වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශවල කෙරෙන නීති විරෝධී වැඩවලට සමහර දේශපාලනඥයින් හවුල් කියලා අපිට තොරතුරු තියෙනවා. මේ අය විවිධ කාරාණවලට කෙලින්ම නිලධාරින්ට බලපෑම් කරනවා. සමන්තුරේ ප්‍රදේශයේ පස්, වැලි ජාවාරම අඩුවක් නැතුව කරන බවට අපිට වාර්තා වෙනවා.   


 අපේ පන්සලේ භික්ෂු නේවාසිකාගාරය හදන්න වැලි ගන්න විදියක් නැතුව අපි ඉන්නවා. නමුත් ගල්ඔය ගඟ පහළ නීතියක් නැතිව පස් කපනවා. පාර හරහා විශාල කොන්ක්‍රීට් කණුවලින් තොරණ් හදලා වෙන් වෙන්න වගේ හදනවා. 

මේ වගේ දේවල් නිසා සිංහල සහ දෙමළ සමාජය තුළ මුස්ලිම් අය පිළිබඳව ඇතිවන්නේ වෙනස් මතයක් මේ තත්වයන් පිළිබඳව මුස්ලිම් ආගමික නායකයින් මෙන්ම මුස්ලිම් දේශපාලනඥයින් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.   


අපිට සාමන්‍ය මුස්ලිම් ජනතාව පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. සුනාමි අවස්ථාවේදී අපේ පන්සලේ මුස්ලිම් ජනතාව විශාල ප්‍රමාණයක් හිටියා. ඔවුන් අපි හොඳින් බලා ගත්තා. ඒ බව මුස්ලිම් ජනතාව දන්නවා. ජාතින් අතර සුහදත්වයට හානි වෙන දේවල් අපි කව්රුත් කරන්න හොඳ නැහැ. වසර තිහක යුද්ධයෙන් බැට කාපු අපට නැවත යුද්ධයකට යන්න අවශ්‍ය නැහැ.   

 

සමන්තුරේ නගරයට වලංගු නැති හෙල්මට් නීතිය

හොරෙන් පස් කපා අප යන විට පලාගිය බැකෝ යන්ත්‍රය සහ ටිපර් රථය

හොරෙන් පස් කැපූ ඉඩමක්

 


ඒ. ගනේෂන් මහතා මල්වත්ත   


අපි දෙමළ ජනතාව විශාල ප්‍රමාණයක් මල්වත්ත විරමුන වැනි ප්‍රදේශවල ජීවත්වෙනවා. අපි ඉන්න ගම්මානවල සංවර්ධනය සිදුවන්නේ ඉතාම අඩුවෙන්. හරියට පාරක්වත් අපේ ගම්මානවල හදන්නේ නැහැ. නමුත් සමන්තුරේ වගේ ප්‍රදේශවල විශාල සංවර්ධන වැඩ සිදුවෙනවා. දෙමළ ජනතතාව හැටියට මේ දේශපාලකයින් අපිව වෙන් කරලා තියෙන්නේ. ඒ වෙනස අපිට හොඳට දැනෙනවා. සමන්තුරේ ඡන්ද කොට්ඨාසයේ අපි ඉතා සුළු ජන කොටසක් බවට පත්වෙලා තියෙනවා. අපි ඒ ගැන කනගාටු වෙනවා. අපි අවුරුදු තිහක යුද්ධයට මැදිවෙලා හිටියා. යුද්ධයෙන් පස්සේවත් අපි බලාපොරොත්තු වෙන සංවර්ධනය වුණේ නැහැ. අපි සුළු ජන කොටසක් හැටියට සලකලා කටයුතු කිරීම නිසා අපි අනෙක් ජන කොටසින් අපි නොදැනුම්වත්වම ඈත් වෙනවා. ඒක ඒතරම් හොඳ වැඩක් නෙවෙයි. අපි ජාතින් අතරේ මේ ඈත්වීම සිදුකරන්නේ වෙන කව්රුවත් නෙවෙයි දේශපාලනඥයින්.   


සමන්තුරේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.එම්.එම්. නව්ෂාඩ් මහතා   


අපි සියලුදෙනාටම එකට ජීවත් වෙන්න පුළුවන් රටක් අපිට තියෙනවා. මම ඉගෙන ගත්තේ බණ්ඩාරවෙල. මට භාෂා තුනම පුළුවන්. අපේ සිංහල යාළුවෝ තවත් ඉන්නවා. ඒ සුහදත්වය තවම තියෙනවා. නමුත් අපි සමහරවිට අද වෙන්වුණ ස්වභාවයක් තියෙනවා. ජාතින් හැටියට පක්ෂ නිර්මාණය වීම සමගම මේ තත්ත්වය උදාවුණා කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒ දවස්වල මන්සුර්, අබ්දුල් මජීඩ් මුස්තාපා යන ඇමැතිවරුන් කිසිම බේදයකින් තොරව සියලු ජන කොටස්වලට වැඩ කළා. නමුත් අද තත්ත්වය වෙනස්වෙලා ගිහින් තියෙනවා.   


මම පසුගිය ඡන්දය ඉල්ලුවේ විරමුනේ දෙමළ කොට්ඨාසයෙන්. මට දෙමළ ජනතාව ඡන්දය දුන්නා. මං ජයග්‍රහණය කරා. සභාවේ තියෙන සම්පත් අනුව මම සාධාරණය කටයුතු කරනවා. සමස්තයක් හැටියට ගත්තාම රජය කරන පොදු සංවර්ධන කටයුතුවලදී දෙමළ ජනතාව ජීවත්වෙන ප්‍රදේශවල සංවර්ධන කටයුතුවල අඩුවක් මම දකිනවා. ඒක වැරදියි. 

 
අපි ආගමික වශයෙන් බෙදුණොත් ජාතීන් වශයෙන් බෙදුනොත් අපේ රටට ඉදිරි ගමනක් නැහැ. අප ශ්‍රී ලාංකිකයන් වශයෙන් කටයුතු කළ යුතුයි. දේශපාලනඥයින් නීතිය අතට ගන්න හදනවා නම් ඒක වැරදියි ඒක අනුමත කරන්න බැහැ.   


සමන්තුරේ පවතින්නේ කැලෑ නීතියක් බව හොඳටම පැහැදිලිවී තිබේ.   


2017.12.27 වෙනි දින සමන්තුරේ පොලිස් ස්ථානයේ පොලිස් කණ්ඩායමක් රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි ඇති අතර සමන්තුරේ වෙට්ටුවයික්කාල් හන්දියේ යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් ගල්වලින් පහරදීම නිසා ශාන්ත නැමැති පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලබා තිබේ.   


හැත්තෑ දහසක පමණ ජනතාවක් ජීවත්වෙන සමන්තුරේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 51කි. මුස්ලිම් පල්ලි 42ක් ඇති අතර තවිහිද් ජමාත් සංවිධානයට අයත් පල්ලි තුනක්ද ඇති අතර මද්‍රසා පාසැල් තුනක් පිහිටා තිබේ. ඉන් එකක් කාන්තාවන් සඳහා ද අනෙක් දෙක පිරිමි අය සඳහා පැවැත්වේ. කුරානය කියවීම සඳහා අරාබි භාෂාව පුරුදු කිරීම සඳහා ස්ථාන 90ක් පමණ පිහිටා තිබේ.   

 

 


සටහන ඡායාරූප   
අම්පාර වසන්ත චන්ද්‍රපාල