අමුතු නැටුම් නටන ඉන්දියාවේ “නෝරා”


බොලිවුඩ්වලට ආදරය කරන බොලිවුඩ් සිහින එක්ක ජීවිතය ගත කරන බොහෝ දෙනෙක් කැමතියි වෙනස් වන අලූත්වන බොලිවුඩ් සාම්ප‍්‍රදායන් එක්ක ඉස්සරහට යන්න. නර්තන වින්‍යාසයක් නැති බොලිවුඩ් ගීත නිර්මාණයක් කියන්නෙ හරියට පරිප්පු නැති හෝටලයක් වගේ. ඒ තරමටම ගීතය හා නර්තනය බොලිවුඩ් නිර්මාණවලට ආවේණිකයි. ඒ නිසාම තමයි අයිටම් ගර්ල් කෙනෙක් එක්ක ගීත කලාවක් බොලිවුඩ් සිනමාව ඇතුළෙ ජනප‍්‍රිය වූණේ අයිටම් නම්බර් නිසා ජනප්‍රිය වුණු බොලිඩුඩ් තාරකාවියන් පිරිස අතරට තවත් අලුත් නමක් එකතු වී තිබෙනවා. ඇය නමින් නෝරා ෆටේහි. පහුගිය දවස්වල බොහෝ දෙනා අතර කතා බහට ලක් වුණු අයිටම් ගර්ල් කෙනෙක්.   


1992 පෙබරවාරි මාසේ කැනේඩියාවෙ ඉපදුණු නෝරාට තවමත් වයස අවුරුදු 27යි. වර්තමානයේ හැමෝම හඳුනාගෙන තියෙන්නේ නර්තන ශිල්පිණියක්, නිරූපිකාවක්, රංගන ශිල්පිණියක් වගේම ගායිකාවක් විදිහටයි. පුංචි කාලෙ බොහෝම ලජ්ජාශීලී චරිතයක් වුණු නෝරා මෙහෙම කෙනෙක් වෙයි කියල එයාගෙ මවුපියන් චුට්ටක්වත් හිතන්න නැතිව ඇති. නමුත් දැනුම් තේරුම් තියෙන කාලෙ ඉඳලම නෝරාට ඕනැ වුණේ නටන්න වගේම සින්දු කියන්න. මව්පියන්ගෙන් නෝරාට කිසිම සහයෝගයක් ලැබුණෙ නැහැ. මොකද එයාලට කලාව ගැන ඒ තරම් හැඟීමක් තිබුණෙ නැති නිසා. හැබැයි ඒ කිසිම දේකින් එයා වැටුණෙ නැහැ. යන්න පුළුවන් උපරිම තැනටම යන්න පාර හදාගත්තා.   
බොලිවුඩ්වලට එන්න කලින් නෝරා මලයාලම් වගේම තෙළිඟු‍ සිනමා පටවලට රංගනයෙන් දායක වෙලා තිබුණා. නමුත් ලෝකයක් නෝරා ගැන කතා කරන්න පටන් ගත්තේ ඇය බොලිවුඩ්වලට සම්බන්ධ වුණායින් පස්සෙ තමයි. පුංචි කාලෙ ඉඳන් කැනඩාවෙ හැදී වැඩුණත් නෝරා නිතරම කියන්නෙ තමන්ට තියෙන්නෙ ඉන්දියානු හදවතක් කියලයි. ඒ නිසාම බොලිවුඩයත් එක්ක සම්බන්ධ වෙලා තමන්ට වැඩ කරන්න පහසු වුණා කියලත් එයා කියල තිබුණා.   


නෝරාගේ පළමු සිනමා රංගනය ඇතුළත් වූ Roar: Tigers of the Sundarbans චිත‍්‍රපටය හිතපු තරම් සාර්ථක වුණේ නැහැ. නමුත් ඇගේ විශේෂත්වයක් තෙළිඟු‍ සිනමා අධ්‍යක්‍ෂවරුන් දැකල තිබුණා. ඒ නිසාම තමයි නෝරාව අයිටම් නම්බර් එකක් විදිහට චිත‍්‍රපටවලට යොදාගන්න ඔවුන් කටයුතු කළේ.

   
අයිටම් ගර්ල් කෙනෙක් විදිහට නෝරා රංගනයෙන් දායක වූ ටෙම්පර් (Temper), බහුබලී (Baahubali) සහ කික්ජ-2 (Kick-2) චිත‍්‍රපට බොහෝ දෙනා අතර කතා බහට ලක් විණි. ඇය තුළින් පිළිබිඹු වන බටහිර පෙනුම වගේම සරාගී නම්‍යශීලී සිරුර ප්‍රේක්ෂකයන් අතරට යන්නට නෝරාට පාර සකසා දුන්න බව ජනප්‍රිය රහසක්. ඒත් එක්කම ඇය ජනප‍්‍රිය නළුවන් එක්ක රඟපෑ ඩබල් බැරල් ආයි කයාම්කුලම් කොච්චින් (Double Barrel iy Kayamkulam Kochunni) චිත‍්‍රපට කිහිපයක්ම ආදායම් වාර්තා තබමින් තිරගත වුණේ නෝරාගේ අනාගතය තව තවත් වර්ණවත් කරමිනුයි.   


නිතරම තමන්ගේ ජීවිතේ අත්හදා බැලීම් කරන්න කැමති නෝරා තමන්ට ඉඩ ලැබෙන හැම වෙලාවකම නොයෙක් රටවල්වලට විශේෂ වෙච්ච නර්තන ශෛලීන් ඉගෙන ගන්න ගොඩක් කැමති කෙනෙක්. ඒ නිසා නෝරාට අභියෝග කරන්න කාටවත්ම බැරි වුණා.   


මේ අතර තමයි නෝරාට ඉන්දියානු කලර්ස් රූපවාහිනී නාළිකාවේ අතිශය ජනප‍්‍රිය රූපවාහිනී රියැලිටි වැඩසටහනක් වූ බිග් බොස් වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ. එහිදී දින 84ක් ඔවුන් සමඟ රැඳී සිටිමින් මතක හිටින චරිතයක් බවට පත් වූ ඇය නැවතත් ජලක් දිලක ලාජා නම් වූ නර්තන රියැලිටි තරඟාවලියටත් සම්බන්ධ වීමෙන් ඇය ජනප්‍රියත්වයේ මුදුනටම ගියා.   


නෝරාගේ නර්තන හැකියාව වගේම සුන්දරත්වය හඳුනාගත්තු ජෝන් ඒබ‍්‍රහම් ඔහු රඟපෑ සත්‍යම් ජයත් චිත‍්‍රපටයේ අයිටම් නම්බර් එකක් කරන්න ඇයට ආරාධනා කළේ පැරණි චිත‍්‍රපට ගීතයක රී මේක් එකක් වූ දිල්බර් ගීතය සඳහා නර්තනයෙන් සම්බන්ධ වෙන්නට නෝරාට අවස්ථාව ලැබෙන්නේ ඒ විදිහට. දිල්බර් ගීතය අන්තර් ජාලයට මුදාහැර පැය 24ක් ගතවෙන්නත් කලින් මිලියන 20ක යූ ටියුබ් නැරඹුම් සීමාව පසුකරන්න පවා සමත් වෙනවා. බොලිවුඩ් ඉතිහාසයේ පළමුවරට එවැනි සිදුවීමක් ඉතිහාසගත වන්නේ නෝරාගේ නමින්.   


දිල්බර් ගීතය වෙනුවෙන් නෝරා ඉදිරිපත් කරන ඇරබික් නර්තනය එක් රැයකින් ලෝකයේම කතා බහට ලක් වුණා. ඇගේ නර්තනය අනුකරණය කරමින් නව නර්තන නිර්මාණ රැසක්ම තරුණ නර්තන ශිල්පීන් යූ ටියුබ් සමාජ මාධ්‍යයට නිකුත් කර තිබුණා. චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයෙන් රංගනයට සම්බන්ධ වූ ජෝන් ඒබ‍්‍රහම්ට වඩා වැඩි පේ‍්‍රක්‍ෂක ආකර්ශනයක් ලබා ගන්නට නෝරාට හැකියාව ලැබුණා. කාලෙකට කලින් නෝරා ඉම්රාන් හෂ්මි එක්ක මිස්ටර් එක්ස් චිත‍්‍රපටයේ ආරාධිත රංගනයක් ඉදිරිපත් කළා. ඒ කාල සීමාව තුළ බොහෝ දෙනෙක් කීවේ නෝරා සහ ඉම්රාන් අතර අනියම් සම්බන්ධයක් තියනව කියලයි. නමුත් ඇත්තටම එහෙම දෙයක් වෙලා තිබුණෙ නැහැ.   
ඒ වගේම තමයි සත්‍යම් ජයත් චිත‍්‍රපටය තිරගත වෙනකොටත් ඇය සහ ජෝන් ඒබ‍්‍රහම්ගේ නම් එකට එකතු කරමින් නොයෙක් කට කතා පැතිරුණා. නෝරා මේ කිසිම දේකට උත්තර දෙන්න ගියෙ නැත්තෙ තමන්ට ඒ කිසිම දෙයක් අදාළ නොවුණ නිසයි. දිල්බර් ගීතයේ උණුසුම යන්නත් කලින්ම නෝරාට නැවතත් චිත‍්‍රපටයක අයිටම් නම්බර් එකක් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ බැටල් හවුස් චිත‍්‍රපටයේ එන ඕ සාකී සාකී ගීතය වෙනුවෙන්. දිල්බර් ගීතයට නොදෙවෙනි ජනප‍්‍රියත්වයක් හිමි කරගත් මෙම ගීතය නෝරාව බොලිවුඩ් අයිටම් ගර්ල්ස්ලා අතර ඉහළින්ම ඔසවා තැබීමට පවා සමත් වෙනවා. මේ වෙනකොට සිනමා පටයක අයිටම් ගීතයක් වෙනුවෙන් වැඩිම මුදලක් අය කරන ශිල්පිණිය වන්නේත් නෝරා තමයි. ඒ ගැන ඇය කියන්නෙ මෙහෙම කතාවක්.   


“වැඩක් බාර ගත්තහම මම ඒ වෙනුවෙන් මගේ උපරිමය කරනවා. මම වැඩ කරන්නේ ජනප‍්‍රියත්වය බලාගෙන නෙවෙයි. නමුත් ජනප‍්‍රියත්වය මගේ පසුපස එනවා. ඇත්තටම ඒක වාසනාවක්. මම ආවට ගියාට වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා කරන වැඩේ වෙනුවෙන් සාධාරණ ගාණක් අය කරගන්න මට නිදහසක් තියෙනවා.”   
2020 වසරේදී තිරගත වූ ස්ට්‍රීට් ඩාන්සර් චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයකට දායක වූ නෝරා, තමන්ට වාසනාව කැඳවූ තෙළිඟු‍ සිනමාව කිසිම දිනක අමතක කරන්න සූදානම් නැහැ කියල තමයි කියන්නේ.   


නෝරා කියන්නේ බොලිවුඩ් සරාගිනියක් සේම, ඒ ක්ෂේත්‍රයේ වාසනාවේ සංකේතයක් බවට තවත් පිරිසකගේ මතයක් තියෙනවා. ඒ නිසා ඇය යොදා ගනිමින් කරන නිර්මාණ ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප‍්‍රිය වන බවයි ඔවුන් පවසන්නේ. හැමෝම කියන විදිහට වගේම අපිට පේන්න තියන විදිහටත් තවත් බොහෝ කාලයක් යනකන් නෝරාට අභියෝගයක් විය හැකි කෙනෙක් බොලිවුඩයේ පේන මානයකවත් නැහැ කියලයි බොලිවුඩයෙන් වාර්තා වෙන්නේ.
 

 

සටහන තිළිණි ද සිල්වා