අභ්‍යාවකාශයේත් කසළ


 

මිනිස් වර්ගයා ජීවත්වෙන පෘථිවිය විනාශ කිරීමෙන් පසු ජීවත්වෙන්නට සුදුසු වෙනත් ග්‍රහලෝක තිබේදැයි අභ්‍යවකාශය පුරා සොයා බලමින් සිටියි. ඒ සඳහා සහ වෙනත් පර් යේෂණ සඳහා ලෝකයේ ප්‍රබල රටවල් චන්ද්‍රිකා යවන්නේ තරගයට මෙනි. මෙසේ යැවූ කල් ඉකුත් වී ඇති හෝ විවිධ හේතු නිසා අක්‍රිය වූ චන්ද්‍රිකා ඇතුළු විවිධ පර් යේෂණ යානා ගණනාවක් අභ්‍යවකාශයේ පාවෙමින් පවතී.

   
මෙසේ පාවෙමින් පැවති අක්‍රිය යානා දෙකක් එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පීට්ස්බර්ග් නගරයට කිලෝමීටර් 900ක ඉහළ අභ්‍යවකාශයේදී එකිනෙක ගැටෙන්නට ගොස් බේරුණේ අනූ නවයෙනි. මෙම යානා දෙක අඩි 40ක පරතරයක් ඇතිව එකිනෙක පසුකර යනු ඇති බව විශේෂඥයෝ කියා තිබිණි. එහෙත් ඔවුන් බියපත්ව සිටියේ යම් හෙයකින් යානා ගැටුණි නම්, ඉතිරි වෙන සුන්බුන් අභ්‍යවකාශයේ පවතින වෙනත් යානාවලට හානි පමුණුවනු ඇතැයි යනුවෙනි. එයින් එකක් 1967 දීත්, අනෙක 1983 දීත් යවා ඇත. යානා ගැටුණි නම් ඒවා පොළොවට ළඟා වෙන්නට පෙර දැවී යනු ඇත.   


යානාවල සුන්බුන් හා අක්‍රීය යානා වසර ගණනාවක් නොව, දශක ගණනාවක් වුවත් අභ්‍යවකාශයේ රැඳී තිබෙන බව විශේෂඥයෝ කියති. අන්තර්ජාල නීතිවලට අනුව පහළ පෘථිවි කක්ෂයේ තිබෙන අක්‍රීය චන්ද්‍රිකා වසර 25කට පසුව කක්ෂයෙන් ඉවත් කළ යුතු ය. එහෙත් මෙම චන්ද්‍රිකා දියත් කර තිබෙන්නේ එම නීති රෙගුලාසි එන්නට පෙරයි. කෙසේ නමුත් මේ සිද්ධියත් සමඟ අභ්‍යවකාශයේ කසළ ඉවත් කිරීම ගැන විවාද අලුත් වී ඇත.   


මේ වෙන විට 2000කටත් අධික ක්‍රියාකාරී චන්ද්‍රිකා ප්‍රමාණයක් සහ නාසා ආයතනය ප්‍රකාශ කරන පරිදි සෙන්ටිමීටර් 10 ට වඩා විශාල සුන්බුන් කැබලි 23,000ක් අභ්‍යවකාශයේ ගමන් කරමින් තිබේ. අභ්‍යවකාශයේ කසළ පිළිබඳව උනන්දුවක් දක්වන විද්‍යාඥයන් පිරිසක් වාර්තා කරන පරිදි එක්සත් ජනපදයට අයත් ක්‍රියාකාරී චන්ද්‍රිකා 1007ක් පමණ අභ්‍යවකාශයේ තිබෙන අතර එය රටක් විසින් යවා ඇති වැඩිම චන්ද්‍රිකා ප්‍රමාණයයි. ඒවායින් වැඩි ප්‍රමාණයක් වාණිජ කටයුතු සඳහා යවා තිබේ. තාක්ෂණය පිළිබඳ මැසචුසෙට්ස් ආයතනය විසින් පළ කර තිබෙන ලිපියකට අනුව 2025 වෙන විට වසරකට අලුතෙන් චන්ද්‍රිකා 1100ක් පමණ දියත් කෙරෙනු ඇත.  

 


නිසංසලා