අභ්‍යවකාශයේ ජාතීන්


විද්‍යා ප්‍රබන්ධය  

නූතන ජනකතාවක්

 

 

 

ග්ලැඩෝවියා සහ සරෝනින් ශත වර්ෂ ගණනාවක් එකිනෙකාට සතුරු බව ප්‍රකට කාරණයකි. මධ්‍යකාලීන යුගයේ දී වරින්වර මෙම රටවල් දෙක වරින්වර එකිනෙකා යටත් කරගෙන පාලනය කරගෙන ගියහ. තමන් බලයේ සිටින කාලයේ ගෙන ගිය අධිපතිවාදී පාලනය සහ එහි අමිහිරි බව පිළිබඳ අත්දැකීම් දෙපාර්ශවයටම තිබිණ. විසිවැනි සියවසේ දී ලෝක යුද්ධ දෙකක් සිදුවෙද්දී ද මෙම ජාතීන් දෙක එකිනෙකාට සතුරු පාර්ශවන් සමග සිටියහ. 


ලෝක යුද්ධ දෙකකට පසුව ඇතිවූ සාම කාලයේ දී ග්ලැඩෝවියා සහ සරෝනින් සාමකාමීව පැවතිණ. එහෙත් ඔවුහු එකිනෙකා දෙස අවඥාවෙන් බැලූ අතර වෛරී ආකල්පයෙන් පසු වූහ. 


එහෙත් මේ 2080 වර්ෂයයි. පෘතුවි කක්ෂයේ ඇති සූර්ය බල මධ්‍යස්ථාන සූර්ය බලය එක් රැස්කොට සූක්ෂම තරංග (මයික්‍රොවේව්) ඔස්සේ ලෝකයේ සෑම ජාතියක් අතරම බෙදා හැරියේය. මේ නිසා ලෝකයේ නොයෙක් ආකාරයේ වෙනස්කම් සිදුවිය. බහුලව ලැබෙන සූර්ය බල ශක්තිය නිසා පොසිල ඉන්ධන භාවිතය අඩුවන්නට විය. හරිතාගාර වලින් සිදුවන අනතුරුදායක බව අඩුවිය. (එහෙත් සූර්ය බල ශක්තියෙන් ඇතිවන අධික උණුසුම නිසා හානිකර තත්ත්වයක් ද ඇතිවිය.) 


බහුලව බල ශක්තිය ලැබීම සහ ජනගහන පාලනය නිසා ජීවන තත්ත්වය ඉහළ ගියේය. ආහාර සැපයුම වැඩි වූ අතර සම්පත් බෙදා හැරීම ක්‍රමානුකූලව සිදුකළ බැවින් සෞභාග්‍යමත් යුගයක් උදාවිය. සන්තුෂ්ටියේ මල් පූදින්නට විය. 


කෙසේ වෙතත් එක් දෙයක් වෙනස් නොවීය. ග්ලැඩෝවියන්වරු සහ සරෝනින් අතර වූ වෛරය සහ සරෝනින්වරු, ග්ලැඩෝවියන්වරු කෙරෙහි දැක් වූ අකමැත්තේ වෙනසක් නොවීය. 
සූර්ය බල ශක්ති මධ්‍යස්ථාන ස්වයංක්‍රීයව වැඩ කළා නොවේ. ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමට අමතරව රොබෝවරුන්ගේ අධික ක්‍රියාකාරිත්වය ද ඒ සඳහා යොදා ගැනිණ. එහෙත් වරින්වර ඒවා පරීක්ෂා කිරීමට මිනිසුන් යොදා ගැනීමට සිදුවිය. එම මධ්‍යස්ථාන හොඳින් ක්‍රියාත්මක වන්නේද යන්න සහ අභ්‍යාවකාශයේ විසිරී ඇති සියුම් කැබලි වලින් සහ අනපේක්ෂිත ලෙස සූර්ය බලය වැඩිවීම නිසා පරිගණකවලට සහ රොබෝවරුන්ගේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් සිදුවන්නේ ද යන්නත් පරීක්ෂා කර ඒවා නිවැරදි කිරීම ඔවුනට පැවරුණු කාර්යය විය. 


මේ සඳහා තෝරාගත් අය නියමිත ක්‍රමයකට වරින් වර මාරු කරන ලද අතර එමගින් පෘතුවියේ ගුරුත්වාකර්ෂණයෙන් ඔවුන්ට ඇතිවන බලපෑම අවම කිරීමට කටයුතු කෙරිණ. මේ අතර අහම්බෙන් සිදුවූ දෙයක් වූයේ 2080 ග්‍රිෂ්ම සෘතුවේ දී අභ්‍යාවකාශ සේවය (ඔවුන් හැඳින්වූයේ එලෙසය) සඳහා ග්ලැඩෝවියන් දෙදෙනෙකු සහ සරෝනින්වරු දෙදෙනෙකු තෝරා ගැනීමයි. එහෙත් සාම්ප්‍රදායිකවම සතුරන් වූ ඔවුහු ඔවුනගේ රාජකාරි නිවැරදිව ඉටු කළහ. එහෙත් ඔවුන් අතර සංනිවේදනය අත්‍යවශ්‍ය කටයුතුවලට සීමා වූ අතර ඔවුහු එකිනෙකා සමග සිනාසීමෙන් හෝ උණුසුම් ලෙස කතා බහ කිරීමෙන් වැළකී සිටියහ. 
එක් දිනක තෝමස් බ්‍රිගෝන් නම් වූ ග්ලැඩෝවියන් තරුණයා තමාගේ වැඩිමහලු සගයා වූ හමීස් මාන්සාට ප්‍රීතියෙන් සිනාසෙමින් මෙසේ කීවේය. සරෝනින් මෝඩයා මේ පාර වරද්ද ගත්තා. 
කොයි එක්කෙනා ද? මාන්සා විමසුවේය. 


අර කිඹුහුමක් යනකොට ඇහෙන ශබ්දෙ වගෙ නමක් තියෙන කෙනා. සරෝජනිගෙ මෝඩ භාෂාව කාට ද කතා කරන්න පුළුවන්? අර මොට්ට සරෝජනින් A 5 පරිගණකය වැරදි විදියට යොදවලා. 
මාන්සා තැතිගත් බවක් පෙනිණ. මොකක්ද ප්‍රතිඵලය? 
තවමත් මුකුත් නැහැ. ඒත් සූර්ය තරංග ඝනත්වය 1.3 මට්ටමට ආවහම සූර්ය බල ශක්ති මධ්‍යස්ථාන අඩක්ම අක්‍රීය වෙනවා. ඒ වගෙම පරිගණක රාශියක් පිළිස්සෙනවා. 
ඒ ගැන ඔබ මොකද කරන්නෙ? මාන්සා ගේ ඇස් විශාල විය. 


මුකුත් නැහැ බ්‍රිගොන් පැවසුවේය. ඒක සිද්ධ වෙන කොට මම ඒක දැක්කා. දැන් ඒක වාර්තා වෙලා ඉවරයි. පරිගණකයෙ වැඩ කරපු කෙනා හැටියට සරෝනින් තමාව හඳුන්වා දුන්නා. සූර්ය බලශක්ති මධ්‍යස්ථාන අක්‍රිය වුණාම පරිගණක පිච්චිලා ගියාම ලෝකයා දැන ගනීවි ඒක සරෝනින්ගේ අමන වැඩක් කියල. බ්‍රිගොන් සතුටින් අත් දිග හැර මෙලෙස කීවේය. ලෝකයෙ ඉන්න හැම කෙනෙක්ම වියරු වැටේවි. දුෂ්ට සරෝනින් ජාතියම ලජ්ජාවට පත්වේවි. 


ඒත් පෘතුවියට බල ශක්තිය සැපයීමට සම්පූර්ණයෙන්ම බාධාවක් වේවි. මාස කිහිපයක් යනකම් සමහරවිට අවුරුද්දක් දෙකක් යනකම් යථා තත්ත්වයට පත් කරන්න බැරි වේවි. මාන්සා කීවේය. 


ඕනෑ තරම් කාලෙ තියෙනවා බ්‍රිගොන් පැවසුවේය. සරෝනින්වරු මිහිතලයෙන් අතු ගාල දාන්න. එතකොට අපේ ශ්‍රේෂ්ඨ ග්ලැඩෝවියාවට පුළුවන් සියල්ල අත්පත් කරගන්න. 


ඒත් පොඩ්ඩක් හිතන්න මාන්සා කීවේය. හදිසියේම සියලුම බල ශක්තිය නැතිවුණහම ලෝකයේ මිනිස්සු උත්සාහ කරාවි. ඔවුන්ට සිදුවන විපතින් ගැලපෙන ක්‍රම හොයන්න. කර්මාන්ත බිඳ වැටේවි. සාගින්නේ අනතුර මතුවේවි. අසහනයට පත් මිනිස්සු කැරලි ගහන්න එක්වේවි. බල ශක්තිය ලබාගන්න සටන් කරල සියල්ල අවුල් ජාලයක් වේවි. 


සියලුම නරක දේවල් සිද්ධවේවි. 


ඒත් මේ අවුල ග්ලැඩෝවියාවටත් ඒවි. සරෝනින් වගේම ග්ලැඩෝවියවරුත් යැපෙන්න සූර්ය බල ශක්තියෙන් මුළු ලෝකයටම ඒක බලපාවි. මුළු ලෝකයම මහා විපත්තියකට පත්වේවි. කාටද කියන්න පුළුවන් සරෝනින්ට වඩා ග්ලැඩෝවියා පීඩා විඳියි ද කියල. කාටද කියන්න පුළුවන්? 


බ්‍රිගොන්ගේ මුඛය විවෘත වූ අතර ඔහු අසහනයට පත් වූ බව පෙනිණ. ඔබ ඇත්තටම එහෙම හිතනව ද? 
ඇත්තටම. අර කිඹුහුමක් වගෙ නමක් තියෙන තැනැත්තා ළඟට ගිහින් ඔහුගෙන් ඉල්ලා හිටින්න ඔහුගේ වැඩ නැවත පරීක්ෂා කරන්න කියල. කිසිවක් වැරදි ඇති බව තමන් දන්නා බව ඔහුට කිව යුතු නැහැ. තමන් නිකමට එහි පැමිණි බවත් සියල්ල හොඳින් සිදු නොවන බවට අමුතු හැඟීමක් හදිසියේම තමන්ට ඇතිවූ බවත් කියන්න. මෙය කළින් ඇතිවූ හැඟීමක් බවත් කියන්න. ඔහු වරද වටහාගෙන එය නිවැරදි කළත් ඔහුට සරදම් කරන්න එපා. එහෙම කිරීම අපට ආරක්ෂාකාරී නැහැ. වහාම ඒක කරන්න. ග්ලැඩෝවියා ජාතිය වෙනුවෙන් විතරක්. නෙවෙයි මුලු ලෝකයම වෙනුවෙන් ඇත්තටම බ්‍රිගෝන්ට තෝරා ගැනීමක් නොවීය. ඔහු ඒ අනුව කටයුතු කළ අතර අනතුර වළක්වා ගත හැකි විය. 


ආදර්ශය 


මිනිස්සු තමන්ට ඉතාමත්ම හොඳින් ආදරය කරති. එකිනෙකාට සම්බන්ධ ලෝකයක එක් කෙනෙකුට සිදුවන හානිය අන් සියලු දෙනාටම බලපෑ හැකිය. කෙනෙක් තමන්ට ආදරය කරන්නාක් මෙන් අන් සියලුදෙනාටම ආදරය කිරීම උපද්‍රවයන්ගේ ගැලවීමට ඇති හොඳම මාර්ගයයි.

 

 

ඉසාක් අසිමොව් විසිනි 
සිංහල අනුවාදය බොබී ජී. බොතේජු