අපේ හඳේත් මිඳුණු ජලය


තරු පිරි අහස

මිනිසුන් චන්ද්‍රයා ගැන පරීක්ෂණ පැවැත්වීමත්, චන්ද්‍රයා මතට ගමන් කිරීමත් ඇරඹුවේ බොහෝ කලකට පෙරය. චන්ද්‍රයා මතුපිටට ප්‍රථමයෙන් පය තැබූ නීල් ආම්ස්ට්‍රෝන්ග්ට පසුව තවත් පුද්ගලයෝ සේම යානාවන් ද චන්ද්‍රයා වෙත ගියහ.


විවිධ රටවලින් ගිය ගගනගාමීහු තමන් එහි පැමිණි බව සලකුණු කිරීමට චන්ද්‍රයා මත කොඩි ද සිට වූහ. එහෙත් එහි මිනිස් වාසයක් ඇති නොවූයේ ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය ජලය එයින් හමුනොවීම නිසාය.
එහෙත් චන්ද්‍රයාගේ දකුණු හා උතුරු ධ්‍රැවයන්ගේ මිදුණු ජලය ඇති බව නාසා ආයතනය පසුගිය දා ප්‍රකාශ කළේය. චන්ද්‍රයා මත මිනිස් වාසයක් ගොඩනගන්නට පෙරුම් පුරන්නට එය සුබ ආරංචියක් වන බව නිසැකය.
කෙසේ වෙතත් තවමත් මෙම තොරතුරු සියයට සියයක් තහවුරු කළ එකක් නොවේ.


 “චන්ද්‍රයා මතුපිට මිලිමීටර් කිහිපයක් ඝනකමට අයිස් තට්ටුවක් තියෙනවා කියලා අපිට විශ්වාසයි. මේ අයිස් තට්ටුවට යටින් වතුර හොයාගන්න අපිට පුළුවන් වේවි.” නාසා ආයතනය සඳහන් කළේය. 
චන්ද්‍රිකාවන්ගෙන් හා අභ්‍යාවකාශ යානාවලින් හා දුරේක්ෂයන් මගින් සිදු කළ පරීක්ෂණ හා නිරීක්ෂණවලින් අනතුරුව ඔවුහු මෙම නිගමනයට එළඹුණහ.


එහෙත් දක්ෂිණ ධ්‍රැවයේ හා උත්තර ධ්‍රැවයේ සුදු පැහැයෙන් දිලිසෙන ආකාරයට පෙනෙන්නේ අයිස් ද නැතහොත් විනිවිද පෙනෙනසුළු චන්ද්‍ර පාෂාණ ද යන්න පැහැදිලිව තහවුරු කිරීමට තවම නොහැකි බව ද ඔවුහු පවසති.
චන්ද්‍රයා යනු වියළි මතුපිටක් සහිත මුඩු භූමියක් නොවන බව විද්‍යාඥයින් විශ්වාස කරන්නට පෙළඹුණේ 2009 වසරේදී චන්ද්‍ර කුහර නිරීක්ෂණය සඳහා යැවූ චන්ද්‍රිකාවෙන් ලැබුණු ඡායාරූප කිහිපයක් නිසාය. මෙම චන්ද්‍රිකාව, චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ පිහිටා තිබූ “කාබියොස් කුහරය” ලෙස නම් කර තිබුණු කුහරය වෙත පිවිසුණේ එහි තොරතුරු විශ්ලේෂණය කිරීම සඳහාය. චන්ද්‍රිකාව එම කුහරයට  ඇතුළු වන විට කුහරයෙන් මතුපිටට ජලය විසිරී ගිය ස්වභාවයක් විද්‍යාඥයින්ට නිරීක්ෂණය කිරීමට හැකි විය. එම කුහරය පිහිටා තිබුණේ අඳුරු සෙවනැලි ගහණ භූමියක නිසා මෙම ඡායාරූප එතරම් පැහැදිලි නොවිණි.
චන්ද්‍රිකාවෙන් ලැබුණු දත්ත ද නිවැරදි විශ්ලේෂණයකට එළඹීමට තරම් ප්‍රමාණවත් නොවීය.

 

චන්ද්‍රයා යනු වියළි මතුපිටක් සහිත මුඩු භූමියක් නොවන බව විද්‍යාඥයින් විශ්වාස කරන්නට පෙළඹුණේ 2009 වසරේදී චන්ද්‍ර කුහර නිරීක්ෂණය සඳහා යැවූ චන්ද්‍රිකාවෙන් ලැබුණු ඡායාරූප කිහිපයක් නිසාය. මෙම චන්ද්‍රිකාව, චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ පිහිටා තිබූ “කාබියොස් කුහරය” ලෙස නම් කර තිබුණු කුහරය වෙත පිවිසුණේ එහි තොරතුරු විශ්ලේෂණය කිරීම සඳහාය. 


මෙම කාලසීමාවේදීම ඉන්දියාව විසින් චන්ද්‍රයා වෙතට සිය ප්‍රථම අභ්‍යාවකාශ යානාව දියත් කළේය. නාසා ආයතනය විසින් නිර්මාණය කළ චන්ද්‍රයාගේ ඛනිජ මාපකය මෙම යානාවෙන් චන්ද්‍රයාට යැවීය. “චන්ද්‍රයාන් 1” ලෙසින් නම් කළ මෙම යානාව පළමු වතාවට චන්ද්‍රයාගේ ජලය ඇති බවට සාක්ෂි ගෙන ආවේය. චන්ද්‍රයාගේ අර්ධ ගෝලයන්ගේ තැනින් තැන විවිධ ප්‍රමාණයේ පැල්ලම් සහිත ඡායාරූප ඒ අතර විය. ඒවායේ ස්වභාවය ජල පැල්ලම් බඳු විය. එහෙත් ඒවා ද සියයට සීයක් තහවුරු කිරීමට නොහැකි මට්ටමේ තිබිණි. නාසා ආයතනය විසින් සිදුකළ නවතම පරීක්ෂණයෙන් චන්ද්‍රයාගේ උතුරු හා දකුණු ධ්‍රැවවල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඞ් අංශක 20 තරම් අඩු මට්ටමේ පවතින බව හෙළි විය. එහෙත් එම ධ්‍රැවයන් දෙකෙහි ස්වභාවය අර්ධගෝලයෙන් ගෝලයට වෙනස් බව ද ඔවුන්ට සොයාගත හැකි විය.

 


පෘථිවිය මත වුවත් මෙතරම් අඩු උෂ්ණත්වයක් හා සීතලක් පවතින්නේ අයිස් මිදුණු පෙදෙස්වලය. එසේම උතුරු හා දකුණු අර්ධගෝල දෙකෙහි දී විශාල වෙනසක් දකින්නට ලැබේ.


 මෙලෙසින්ම චන්ද්‍රයාගේ දකුණු අර්ධගෝලයේ අයිස් තට්ටු වැනි ස්වභාවයන් බහුලය. ඒවායේ පතුල බොහෝ අඳුරු වූ කුහර රාශියක් ද දැකිය හැකිය. එහෙත් උතුරේ ඇති අයිස් බඳු දේ ඉතාම තුනී හා පුළුල් ලෙස එම ප්‍රදේශය පුරාම විසිරී තිබේ.


මෙතෙක් කලක් වරින් වර ලැබුණු සාක්ෂි හා තොරතුරු විශ්ලේෂණය කරන විට චන්ද්‍රයාගේ පොළොව අභ්‍යන්තරයේ ජලය ඇති බව සිතිය හැකි යැයි නාසා ආයතනය පවසයි. කෙසේ වෙතත් අර්ධගෝලයන්ගේ සුදු පැහැයෙන් දිලිසෙමින් පෙනෙන්නේ අයිස්ම ද යන්න තහවුරු කරගැනීමට වැඩිදුරටත් ඔවුන් පර්යේෂණ පවත්වමින් සිටිති.


 මෙම පර්යේෂණ සාර්ථක වී චන්ද්‍රයා මතුපිට අයිස් තිබුණහොත් එම අයිස් තට්ටු හාරා ජලය සොයාගෙන චන්ද්‍රයා මතුපිට මිනිස් වාසයක් ඇති කරලීමට අවස්ථාව ලැබේ.

 

 


පවනි උමයංගනා