අපේ පැරැන්නන් ජලය පිරිසුදු කරගත් හැටි


1992 වර්ෂයේදී බ්‍රසීලයේ රියෝදි ජැනෙයිරෝ නුවර පැවැති එක්සත් ජාතීන්ගේ පරිසර සහ සංවර්ධනය උදෙසා වන 21 වැනි සියවසේ න්‍යායපත්‍රය සැකසීමේ සමුළුවේ දී ‘ලෝක ජල දිනය’ සැමරීමේ වැදගත්කම පිළිබඳව යෝජනා විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1993 වසරේ සිට මාර්තු මස විසි දෙවැනි දිනය ‘ලෝක ජල දිනය’ ලෙස සැමරීම ආරම්භ විය. ඒ අනුව එවක් පටන් සෑම වසරකම මාර්තු විසිදෙවැනි දිනය ‘ලෝක ජල දිනය’ ලෙස නම්කර ජලය පිළිබඳව ලෝකවාසී ජනතාවගේ අවධානය යොමුකරලීමට කටයුතු කරමින් සිටී.  


ලංකාවාසී ජනතාව පමණක් නොව බොහෝ ලෝවැසියන් සිතන්නේ ජලය අවශ්‍ය මිනිසාට පමණක් බවය. ඒ නිසා ඔවුහු ජලයට බොහෝ අපද්‍රව්‍ය බැහැර කරති. අනතුරුව දූෂණය වෙන ජලය පිරිසුදු කර බීමට භාවිත කරති. ඉන් සතුටු වන මිනිසා තමා දූෂිත කරන ජලය හේතුවෙන් මියැදෙන අනෙක් ජීවීන් සමස්තය ගැන නොසිතයි.   


වර්තමානයේ දී ජලය දූෂණය වෙන ප්‍රධානතම හේතුවක් වෙන්නේ ගොවිබිම්වලට එක්කරන ආසනික් අඩංගු පලිබෝධ නාශකයන්ය. එමගින් ජලය පමණක් නොව පස ද දූෂණය වේ. මෙමගින් ජනතාව බහුල ලෙස වකුගඩු රෝගයට ගොදුරු වී ඇත.  


මේ වෙන විට අප රටේ විශාල ලෙස වනාන්තර විනාශ කිරීමේ කටයුතු ද සිදුවේ. මේ හේතුවෙන් අනාගතයේ දී ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව දැවැන්ත වූ ගැටලු මතුවිය හැකිය. ඒ තත්ත්වය ඇති වන්නේ ජල චක්‍රය නිසි පරිදි ක්‍රියාත්මක වීමට අවශ්‍ය වන වැස්ම අප රට තුළ නොමැති වීම හේතුවෙනි. මේ හේතුවෙන් ඇතිවෙන කාලගුණික හා දේශගුණික විපර්යාස නිසාද කෘෂිකර්මාන්තය දැවැන්ත කඩා වැටීමට ලක්වීමට හැකි අතර එය සෘජුව අප රටේ ආහාර සුරක්ෂිතතාවට බලපානු ඇත. දැනට සිදුවෙන වේගයෙන් වියළි කලාපයේ වනාන්තර එළිපෙහෙළි කළහොත් වැව් හා ජලාශයන්හි රඳවාගත හැකි ජල ප්‍රමාණය ඉතා පහළ යනු ඇත. එපමණක් නොව වන වැස්ම නොමැති වීමෙන් සිදුවෙන්නේ ඉතා කෙටි කාලසීමාවකින් ජලය වාෂ්පීකරණය වීමයි. මේ හේතුවෙන් ඇතිවෙන ජල අර්බුදය අපගේ කෘෂිකර්මාන්තයටත් ආහාර සුරක්ෂිතතාවටත් සෘජුව බලපානු ඇත.  
 එමෙන්ම ලංකාවේ මේ වෙන විට සිදුවෙන වැරැදි සංවර්ධනයේ ප්‍රතිඵල හේතුවෙන් ද ජලය පිළිබඳ ගැටලු මතුවීමේ ප්‍රවණතාවක් පවතී. වියළි කලාප කේන්ද්‍ර කරගනිමින් සිදුකරන කාර්මික සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ඒ ප්‍රදේශවල හිඟ ප්‍රධාන ස්වභාවික සම්පතක් වන ජලය අනෙක් ප්‍රදේශවල ජල මූලාශ්‍රයන්ගෙන් ඒ ප්‍රදේශවලට ලබා ගැනීම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනතාවට පානීය ජලය සහ වාරි ජලය නොමැති වීමෙන් බලපෑම් එල්ල විය හැකිය.  


 එපමණක්ම නොවේ සංචාරක කර්මාන්තය සඳහා සී ප්ලේන් ගොඩබෑමට, සංචාරක බෝට්ටු සේවා පවත්වාගෙන යෑමට සහ ගෝල්ෆ් ක්‍රීඩාපිටි ඉදිකිරීමට වැව් හා ජලාශ පමණක් නොව ඒවායේ ජල පෝෂක ප්‍රදේශ ද බහුලව යොද‌ාගනී. ඉන් සිදුවෙන ජල දූෂණයේ ප්‍රතිඵල හා කෘෂි බිම්වලට ජලය ලබා ගැනීම සීමාවීමෙන් ඇතිවෙන අහිතකර තත්ත්වයන් ඉදිරියේ දී අප රටේ ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු නොඅනුමානය.  


එපමණක් නොව කර්මාන්තපුර හා ආයෝජන ප්‍රවර්ධන කලාප හරහා මෙන්ම ඉන්දීය දූෂිත කර්මාන්තශාලා අප රටේ ස්ථාපිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඒවායින් බැහැරලත් ජලීය අපද්‍රව්‍යයන්ගෙන් අප රටේ බොහෝ ජල මූලාශ්‍ර දූෂණය වෙමින් පවතී. මේ ජලය මිනිසාට පමණක් නොව සියලු ජීවින්ට, පරිහරණය කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.  
 අප රටේ සියලු තෙත් හා කඳුකර වනාන්තර වැනසීමේ ප්‍රතිඵලයක් ලෙස කෙටි නියං සමයක දී පවා සියලු ජල දහරා සිඳී යයි. මෙය ඉදිරි අනාගතයේ දී ජල සුරක්ෂිතතාව පිළිබඳව බොහෝ ගැටලු මතු කරන්නක් වේ. මේ හේතුවෙන් මේ සියලු අංග ආවරණය වෙන පරිදි පුළුල් කතිකාවතක් අප රට තුළ ඇති කළ යුතුව ඇත.  


වර්තමානයේ අප රට ජලය පිළිබඳව අතිවිශාල ගැටලුවකට මුහුණදෙමින් සිටී. එහෙත් විවිධ දේශපාලන, ව්‍යාපාරික සහ නොසැලකීම් හේතුවෙන් ජලය හිඟවීමේ සහ අපිරිසුදු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. එහෙත් ඒවාට පිළියම් යෙදීම නම් දක්නට නොලැබේ. ප්‍රධාන වශයෙන්ම ජලයට ආසනික්, කෘෂි රසායන එකතු වීම නිසා විශාල ජනතාවක් වකුගඩු රෝගයට ගොදුරු වී ඇත. එය වැළැක්වීමට කටයුතු කරනවා වෙනුවට සිදුකරමින් සිටින්නේ රෝගයට පිළියම් යෙදීම සඳහා රෝහල් ඉදිකිරීම පමණි. හේතුවට පිළියම් යෙදීමක් දක්නට නොමැත.  
 මෙම තත්ත්වය වළක්වා ගැනීමට ගම්වල ජනතාවට සිදුකර ගත හැකි ප්‍රතිකර්ම ඇත. අපේ පැරැන්නන් ජලය පිරිසුදු කරගැනීම සඳහා විවිධ ක්‍රම භාවිත කරන ලදී.  
මෙම ජලය පිරිසුදු කරගනු ලැබුවේ තාක්ෂණය උපයෝගී කරගෙන නොවේ. ස්වභාවික ක්‍රම භාවිත කරමිනි. එමෙන්ම පැරැන්නන් ජලයේ වැදගත්කම මැනවින් වටහාගෙන තිබුණි. ඒ අනුව ජලයේ වටිනාකම ඉතා ඉහළය.  
ජලය යනු සියලු ජීවින්ට නොමැතිව බැරි වටිනාම වස්තුවකි. ජලය නොමැතිව කිසිදු ජීවියෙකුට දින ගණනාවකට වඩා ජීවිතය පවත්වා ගෙන යා නොහැක. වාතය මෙන්ම ජලය ද ජීවීන්ට අත්‍යවශ්‍යම සාධකයකි. හයිඩ්‍රජන් අණු දෙකක් සහ ඔක්සිජන් අණුවක් එකට එකතුවීමෙන් ජලය සෑදෙන බව විද්‍යාත්මකව සොයාගෙන බොහෝකල්ය.  


ජලය මෙතරම් වටිනා දෙයක් බවට පත්ව තිබියදීත් එය අරපිරිමැස්මක් නොමැතිව භාවිත කිරීමත්, කිසිදු වග විභාගයකින් තොරව අපවිත්‍ර කිරීමත් මිනිසා අතින් සිදුවෙන බලවත් වැරැද්දකි. ජලය නොමැතිව විවිධ රටවල් මෙන්ම අප රටේ ද ඇතැම් පිරිස් පීඩා විඳින ආකාරය පිළිබඳ සාක්ෂි අපට ඕනෑ තරම් දකින්නට ඇත. ජලය නොමැතිව මියයන සත්වයන් හා ශාක පිළිබඳව ද සාක්ෂි ඕනෑ තරම් ඇත. එම නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමත්, ජලය අපවිත්‍ර නොකිරීමටත් කටයුතු කිරීම අප කාගේත් වගකීමකි.  
 ජලයේ ඇති වැදගත්කම පිළිබඳව ලෝකයේ බිහිවූ ශාස්තෘන් වහන්සේලා දේශනා කර ඇත. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ ජලය පරිහරණය කරන භික්ෂුවකට ජලයට කෙළ ගැසීම, ජලයට මළපහ කිරීම නොකරන ලෙසය. ජලය අපවිත්‍ර කරන භික්ෂුවකට ඇවැතක් සිදුවන බව ද පෙන්වා දී ඇත. පැන් පෙරා පානය කිරීම භික්ෂුවකට අනිවාර්ය වෙන අතර පෙරහන් කඩය භික්ෂුවකගේ පරිස්කාර අතර ප්‍රධාන අංගයක් වේ. පැන් පෙරා පානය කිරීමෙන් කුඩා ජලජ ජීවින්ගේ ආරක්ෂාව සිදුවේ.  


 ජේසුස් වහන්සේ ද ජලයට වැදගත්කමක් දී තිබේ. උන්වහන්සේ සිය භෞතීස්මය සිදුකරගනු ලබන්නේ ජලයෙනි.  
වර්තමානයේ කෙසේ වෙතත් පැරණි ලාංකිකයෝ පැන් හෙවත් ජලය සංරක්ෂණය කරගන්නා ක්‍රම පිළිබඳවත් පිරිසුදුව තබාගන්නා ක්‍රම පිළිබඳවත් මනා අවබෝධයකින් කටයුතු කරන්නෝ වූහ.  
ඉපැරැණි ජනතාව ජලය ලබාගත්තේ වැවෙනි. මේ සඳහා සුවිශේෂී තොටුපොළවල් කීපයක් වෙන්කරගෙන තිබුණි. නාන තොටෙන් පානය සඳහා ජලය ලබාගත්තේ නැත. පානීය ජලය ලබාගන්නා තොටෙහි පිරිසුදු බව තීරණය කරන්නේ ජලයේ වැඩී ඇති ශාඛ ප්‍රජාව අනුවය. මේ තොටුපොළවල් විවිධ නම්වලින් හඳුන්වනු ලබයි.  
ඌරු මණ්ඩිය තොටුපළ; ඌරු මණ්ඩිය නමැති ජලජ ශාඛය ඇති ස්ථානයේ ජලය ඉතා පිරිසුදු බව පැරැන්නෝ විශ්වාස කරති.  
 මෙම ශාකයේ කොළය අඟුන කොළයට තරමක් සමානය. මෙහි නටුව තරමක් විශාලය. කොළයේ අග සුළං පිරුණු කුඩා බෝලයක් වැනි දෙයක් පිහිටා ඇත. සූර්ය ආලෝකය හා වාතය ඉතා පහසුවෙන් උරාගන්නා මේ ශාකයේ මූල පද්ධතිය තුළින් ජලය පිරිසුදු කරන බව පැරැන්නන්ගේ මතයයි.  
බොරු පන් මණ්ඩිය; ඉතාමත් ඝණව වැඩී ඇති බොරුපන් මණ්ඩියේ තොටුපොළෙන් ද පානීය ජලය ලබා ගැනීමට පැරැන්නෝ කටයුතු කළහ. වැවේ බොරුපන් මණ්ඩිය තද නිල් පැහැයක් ගනී. වැව්වල සහ වගුරුවල වැවෙන මෙම කුඩා පන් ශාකයේ කඳ වටකුරුය. මෙම ශාකය අඩි දෙකක් තුනක් පමණ උසට වැවේ. පුරුක් සහිත මෙම පන් ශාකයේ ඇතුළත බටයක් මෙන් ඇත. මෙම පුරුක් සහිත වටකුරු ශාකය මගින් ද ජලය හොඳින් පිරිසුදු කරන බව පැරැන්නන්ගේ අදහසයි.  


 ඌරුවී මණ්ඩිය; ඌරුවී නම් මේ ගොයම් විශේෂය වැව්වල නොගැඹුරු ජලයේ හොඳින් වැවේ. කුඩාවට වී කරලක් සෑදේ. මෝරන විටම මෙම වී ඇට කරලින් ගිලිහේ. මේ ගොයමේ මූල පද්ධතිය මගින් ජලය පිරිසුදු වේ. ඌරු වී මණ්ඩිය ද වැවක පානීය ජලය ලබා ගන්නා ස්ථානයකි.  


 මෙයට අමතරව හොඳින් සූර්යාලෝකය පතිත වෙන ස්ථානවලින් ද, තිරුවානා ගල් මණ්ඩිය, ලුණුවිල මණ්ඩිය, විෂකුම්භණ මණ්ඩිය ආදී ස්ථානවලින් ද පානීය ජලය ලබාගෙන ඇත. වැසි සමයට පෙර රජරට ගොවියා හේන ශුද්ධ පවිත්‍ර කිරීමට හා කෙටීමට පටන් ගනී. මේ වකවානුව වෙන විට ගමේ වැව බොහෝදුරට සිඳී ගොස්ය. ජලය ද තරමක් අපිරිසුදුය. බොර පාටක් ගනී. හේන් ගොවියාට පානය සඳහා ඇති මෙම අපවිත්‍ර ජලය පිරිසුදු කරගන්නා ක්‍රම ඔවුන් දැන සිටියහ. බොහෝවිට ඔවුන් ඉඟිනි ඇට භාවිත කොට තිබේ. ඉඟිනි ඇට කෝපි ආකාරයෙන් සකස්කර පානය කිරීම මිනිසාට හිතකරය. මෙයට අමතරව පාෂාණ විශේෂයක් ද භාවිත කර ඇත. මෙම පාෂාණ විශේෂය හඳුන්වනු ලබන්නේ ‘පයිණ්ඩි’ නමිනි. එකල වැව් ආශ්‍රිතව මෙම පාෂාණ වර්ගය බහුලව තිබී ඇත. රජරට ප්‍රදේශයේ ‘පයිණ්ඩිකුලම’ නමින් හඳුන්වන වැවෙහි මෙම පාෂාණ වර්ගය අදත් දකින්නට ලැබේ. තිරුවානා විශේෂයක් වෙන මෙම පාෂාණ වර්ගය ජලයට දැමීමෙන් එහි කිවුල ගතිය ඉවත් වී පිරිසුදු බවට පත්කරයි.  
අමුන්න ජලය; අමුන්න වැළ තද පට්ටයක් සහිත තරමක් විශාල ලෙස වැවෙන ශාකයකි. මෙම වැලේ ගැටයක් සහිත ස්ථානයක් කපාගෙන එහි ඇති කුහරය තවදුරටත් ශුද්ධ පවිත්‍ර කොට එයට ජලය පුරවා වැලේ දෙකොණින් වෑහෙන ජලය පානයට ගනී. මෙයද පැරැන්නෝ ජලය පිරිසුදු කරගැනීමට භාවිතා කළ ක්‍රමයකි.  


කිතුල් බොන්ජම, මෙය ජලය පිරිසුදු කරගැනීම සඳහා භාවිත කරන භාජනයකි. හොඳින් මෝරා ඇති කිතුල් කඳක් ගෙන එහි ඇතුළත හාරා විවිධ හැඩවලින් යුක්තව භාජනයක් ලෙස සකස්කර ගනිති. මෙය එල්ලා ගෙන යාම සඳහා විවිධ වැල් වර්ගවලින් රැහැනක් සාද‌ා ගනී. මෙම භාජනයට දමා තිබීමෙන් ජලය පිරිසුදු වෙන බව පැරැන්නන් දැන සිටියහ. මෙයට අමතරව ලබු කට්ට ද (ලබු​ ගෙඩිය) ජලය පිරිසුදු කර ගැනීමට හා සිසිල් කර ගැනීමට භාවිත කර ඇත.  


 ජලය තැන්පත් කරගැනීම සඳහා භාවිත කළ විශේෂ දෛනිකව පරිහරණය කරන ජලය පවිත්‍ර කර ගැනීම සඳහා අපේ පැරැන්නන් භාජන සකස්කර ගැනීම සඳහා මැටි වර්ග 3ක් භාවිත කර ඇත.  
 නව නීල මැට්ට - මෙය කිරිමැටි විශේෂයකි. තරමක් ඇලෙන සුළු මෙම මැට්ටෙන් සාදන වළඳ බරින් අඩුය. පුළුස්සන විට ද ලස්සන පැහැයක් මේ වළඳට ලැබේ. ඝනකමින් අඩු මෙම වළඳට ගෙවිලියෝ වඩාත් කැමැත්තක් දක්වති.  


 කඩොල් මැට්ට සහ බුබුල මැට්ට - රත් පැහැයෙන් යුතු මෙම මැටි වර්ගය හුඹස් ආශ්‍රිතව බහුලව දැකිය හැකිය. මෙයින් සාද‌ාගන්නා වළඳ තරමක් බරකින් යුක්තය. තාලිය වැනි වළං සාදන්නේ මෙම මැට්ටෙනි.  
නිවසේ පරිභෝජනය සඳහා ජලය තැන්පත් කරගැනීමේ දී තාලිය, කළය, අතලය වැනි මැටි භාජන භාවිත කරනු ලැබේ. කුඹුර හේන වැනි ස්ථානවලට ජලය ගෙන යෑමේ දී අතලය නමැති කළ වර්ගය භාවිත කර ඇත. පානය සඳහා පිරිසුදු ජලය සොයා ගැනීම අද මහත් ගැටලුවක්ව පවතී. පැන් පිරිසුදු කරගන්නා ක්‍රම විධි පිළිබඳව වත්මන් මිනිසාට නිසි අවබෝධයක් නැත. රජරට ප්‍රදේශයේ භූගත ජලය සහ මතුපිට ජලයෙහි සංසරණය පිළිබඳව දැනීමක් විශේෂයෙන් අප ඇති කරගත යුතුය. භූගත ජලය අපිරිසුදු වෙන්නේ කෙසේද යන්න අප අවබෝධ කරගත යුතුය.  


 රජරට ප්‍රදේශයට කලක් වැසි වැටෙන අතර කලක් නිංය සමය උද‌ා වේ. වැසි නොලැබෙන සමයේ භූගත ජල ප්‍රමාණය පහත වැටේ. මෙම අවස්ථාවේ ජලය තුළ විපර්යාසයක් සිදුවේ. ළිං ජලයේ ද කිවුල ගතිය බෙහෙවින් වැඩි වේ. නිතර කැළඹිලි සහිත මෙම ජලය පානය කිරීමෙන් මිනිසා රෝගී බවට පත්වේ. මෙම ජලය පිරිසුදු කරගැනීමට පැරැන්නන් විවිධ ක්‍රම භාවිත කළහ. උදෙන්ම ළිඳෙන් ලබාගත් ජලය ඉහත සඳහන් මැටි කලයකට පුරවා පැය 12 පමණ නිශ්චලව තබා ගැනීම එක් ක්‍රමයකි. එය තවත් පිරිසුදු කරගැනීමට අවශ්‍ය නම් ඉඟිනි ඇටයක් උරච්චි කර ඒවා එම කලයේ ජලයට මිශ්‍ර කරගනු ලැබේ. එමෙන්ම ජලය බහා තබාගන්නා කළගෙඩි මාස දෙකකට වතාවක් දහයියා දමා පුළුස්සා ගැනීම සිදුකරනු ලබයි. එයින් පැරැන්නන් බලාපොරොත්තු වූයේ පැරැණි භාජනය නැවත නැවුම් තත්ත්වයකට පත්කර ලීමයි.  


වැව් ජලය භාවිත කරන ජනතාවට අමතරව වැව් නොමැති ප්‍රදේශවල පෞද්ගලිකව හා පොදුවේ ළිං හාරාගෙන ජලය ලබා ගැනීමට වර්තමානයේ මෙන්ම පැරැන්නන් ද පුරුදුව සිටියහ. මෙසේ ළිං සාද‌ා ගත්ත ද බොහොමයක් ළිං සූර්යාලෝකයට විවෘත නැත, තුරු ගොමුවල පිහිටා ඇති ළිං බොහෝමයක් ආවරණය කොට ඇත. මෙම ළිංවල ජලය බොහෝදුරට අපිරිසුදු බවට පත්වේ. මෙම තත්ත්වයන් අවබෝධ කරගෙන සිටි පැරැන්නන් වසරකට දෙවතාවක් මෙම ළිංවල ජලය සම්පූර්ණයෙන් ඉවත් කිරීම (ඉසීම) සිදුකර ඇත. ඉන්පසු ලැබෙන්නේ අලුත් ජලයයි. එම ජලය ද එලෙසින්ම පානය නොකළ අතර, මාසයකට පමණ වතාවක් ළිඳට අඟුරු ස්වල්පයක් එකතු කරනු ලබයි. අඟුරු මගින් ළිංවල ජලය පිරිසුදු වෙන බව ඔවුන් දැන සිටියහ.  


දේශගුණික විපර්සායන් නිසා ජලයෙහි ඇතිවෙන අහිතකර බවින් සත්වයා ආරක්ෂා කර ගැනීමට ස්වභාවධර්මයෙන් ද ලැබෙන්නේ මහත් වූ පිටිවහලකි. දැඩි නියං සමවල දී වැව්, තටාක මෙන්ම ළිංවල ජලය ද ශීඝ්‍රයෙන් පහළ බසී. මෙසේ වූ විට භූගත ජලයේ නිරන්තර කැළඹිලි බවත්, කිවුල් ගතිය වැඩිවීමත් නිසා ජලයේ පැහැය ද වෙනස් වේ. මෙම ජලය පානය කළහොත් මිනිසා රෝගිවීම වැළැක්විය නොහැක. එහෙත් බොහෝ විට මෙම තත්ත්වය වළක්වා ගැනීමට පැරැණි ජනතාව අපූරු උපක්‍රමයක් භාවිත කළහ. එනම් නියං සමයේ කෝංගස්වල ගෙඩි බොහෝ සෙයින් සෑදේ. මෙම කෝංගෙඩි බහුල වශයෙන් ආහාරයට ගැනීමට ඔවුන් පෙළෙඹෙන ලදී. කෝංගසේ ගෙඩි අනුභව කිරීමෙන් ජලයෙහි ඇති විෂ ගතිය මග හැරී යයි. කෝං වර්ග දෙකකි. ඒ පැණි කෝං ඇට කෝං වශයෙනි. ඇට කෝං තරමක ඇඹුල් රසයෙන් යුක්තය, මදය තුනීය. පැණි කෝං මිහිරි රසයෙන් යුක්තය. ජලය පානය කිරීමෙන් ඇතිවෙන රෝග කාරකයන්ගෙන් වැළකීමට කෝං ගෙඩි අනුභවය හොඳම ඖෂධයකි. එසේම ආහාර අරුචිය වළක්වා ගැනීමට ද කෝං ගෙඩි ආහාරයට ගැනීමට පැරැන්නන් පුරුදුව සිටියහ. එසේම වියළි කලාපයේ සුලබව දකින්නට ඇති සියඹලා මෙන්ම දිවුල් ද පානයක් ලෙස සකස් කරගෙන අනුභව කිරීමෙන් ජලය පානය කිරීමෙන් ඇතිවෙන ආසාදනයන්ට ප්‍රතිකර්මයක් ලෙස එකල ජනතාව වටහා ගෙන සිට ඇත.  


 මුත්‍රාශයේ ගල් නමැති රෝගය වර්තමානයේ බහුල ලෙස දකින්නට ඇති රෝගී තත්ත්වයකි. මෙය ඇතිවුවහොත් ශල්‍යකර්මවලට පවා භාජනය වීමට සිදුවේ. පැරැන්නන් මෙම රෝගයෙන් බේරීමට නිතර නිතර සියඹලා කරල් හා දිවුල් පානයක් ලෙස සකස් කරගෙන අනුබව කර ඇත. ජලයෙහි ඇති රළු බව නිසාම සමහර විට ශරීරයේ අභ්‍යන්තරයේ තුවාල පවා ඇතිවිය හැකිය. එයින් වැළකී සිටීමට ස්වභාවධර්මය විසින් අපට දායාද කොට ඇති මාදන් ගෙඩි ආහාරයට ගැනීම වඩා සුදුසුය.  


 නියං සමයේ දී පලා වර්ග එළවළු වර්ග සොයා ගැනීම තරමක් දුෂ්කරය. ජලය බැස ගිය වැව් පිටිවල සරුවට වැඩෙන කිරි උඩත්තා, තිත්ත උඩත්තා, මුගුණුවැන්න, දියපලා, දියමෙනේරි, කටු තිත්තන් වැනි පලාවර්ග ද මූකලානේ හැදෙන මුල්ල තෙලටිය, කරකොළ, අඟුණකොළ වැනි පලා වර්ග ද මෙකල ආහාරයට ගනු ලැබේ. කලක් ගේ ඇතුළේ සුරක්ෂිතව තබාගත් වට්ටක්කා ව්‍යංජන වශයෙන් පිළියෙල කරගත් විටත් තම්බාගෙන පොල්කිරි සමග අනුභව කරන විටත් මිහිරි රසයක් ලැබේ. ආහාර දිරවීම ද පහසු කරන බව පැරැණි ජනයා වටහාගෙන සිටියේ අත්දැකීමෙනි. කැකිරි ද කලක් තබාගෙන සිටිය හැකි එළවළු වර්ගයකි. දුම්මැස්සේ වියළා ගත් මත්ස්‍ය මාළු වර්ග ද ප්‍රණීත ආහාරයකි. එම ආහාර වර්ග සුදුසු කල ආහාරයට ගැනීමෙන් ජලය නිසා ඇතිවෙන උදරාබාධ වළකා ගත හැක.  


 වර්තමානයේ බොහෝ දෙනෙකු විවිධ රෝගාබාධවලට ගොදුරු වී ඇත්තේ ආහාර හා ජලය පිළිබඳව සැලකිලිමත් නොවීම හේතුවෙනි. ජලය පිරිසුදුව තබා ගැනීමේ දී පැරැණි ක්‍රමවේදයන් අනුගමනය කිරීම අදටත් බෙහෙවින්ම ගැළපේ. ජලය රැස්කර ගැනීමේදී හා ආහාර පිසීමේදී මැටි වළං භාවිතය වඩාත් සුදුසුය.

 

 

 කොත්මලේ  
 රංජිත් සිසිර කුමාර සූරියආරච්චි