අපේ ජීවිතයට ජ්‍යොතිෂය බලපාන්නේ කොහොමද?


සූර්යාලෝකයත් චන්ද්‍රාලෝකයත් ඇතුළු අනෙකුත් ග්‍රහයන් සහ තාරකා පංතීන් වලින් නිකුත් වෙන ධාතු ගුණයන් මිනිස් ජීවිතයට විශේෂයෙන් බලපාන්නේය. මිනිස් ජීවිතයට චෛතසික වශයෙන් හා මානසික වශයෙන් බලපානු ලබන මෙම ග්‍රහ පංතීන් පිළිබඳ විද්‍යාව ජ්‍යෙතිෂ විද්‍යාව වශයෙන් සැලකේ.


ලෞකික ජීවිතයේදී අප කොයිකාගේත් බලවත් ආශාව අභිප්‍රාය වනුයේ කායික වශයෙන් හා මානසික වශයෙන් සැප සම්පත් භුක්ති විඳීමයි.


ලෞකික වශයෙන් හෝ ලෝකෝත්තර වශයෙන් හෝ අපගේ ජීවිත කාලය තුළදී සිදුවෙන්නා වූ විවිධ ක්‍රියාද‌ාමයන් කල්තියා දැනගැනීමට හා ඒ පිළිබඳව මතුවෙන ගැටලු හා ප්‍රශ්න පිළිබඳවත්, එසේම එදිනෙද‌ා ජීවිතයේදී උද්ගතවන්නා වූ විවිධ ප්‍රශ්න හා ගැටලු නිරාකරණය කර ගැනීමට මිනිසාට උපකාරීවන්නා වූ කිසියම් විද්‍යාවක් මේ මිහිපිට ඇත්නම් එය වෙනකක් නොව ජ්‍යොතිෂ විද්‍යාවයි.


ජ්‍යොතිෂ ශාස්ත්‍රය විද්‍යාවක් නම් එමගින් පවසන ඇතැම් අනාවැකි වැරදීමට හේතු වන්නේ කෙසේදැයි යමෙකු ප්‍රශ්න කිරීමට පිළිවන.


වෛද්‍ය ශාස්ත්‍රය විද්‍යාවකි. එය විද්‍යාවක් වශයෙන් සලකනු නොලබන්නේ ද? එසේ නම් උණ සන්නිපාත රෝගයෙන් පෙළෙන එකම වයසේ පසුවන පුද්ගලයන් තිදෙනකුට එකම බෙහෙතක් දුන්නහොත් එම බෙහෙතින් රෝගීන් දෙදෙනෙකු සුවවීමටත් එක් රෝගියෙකු මිය යාමටත් ඉඩ ඇත. එකම රෝගය, එකම බෙහෙත එහෙත් සම්පූර්ණ සාර්ථකත්වයක් නැත.


ඇමෙරිකන් විද්‍යාඥයෝ කිහිප වතාවක්ම සඳ තරණය කළහ. එහෙත් ඔවුන්ගේ 13 වෙනි ඇපලෝ ගමන අසාර්ථක විය. එසේ නම් එම අසාර්ථක වීම සිදුවූයේ කෙසේ ද?
කිසියම් ක්‍රියාද‌ාමයක් කරනු ලබන විට යම් ප්‍රමාද දෝෂයක් හෝ වරදක් නිසා එම ක්‍රියාව අසාර්ථක විය හැක. එය විද්‍යාවේ දෝෂයක් නොවේ. මෙලෙසින් ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයින්ට ද වැරදී යාමට ඉඩ ඇත. එහෙත් එය​ ජ්‍යොතිෂ විද්‍යාවේ දෝෂයක් නොවේ.


වෛද්‍යවරයා මිනිසා උදෙසා විශිෂ්ට සේවයක් කරයි. විද්‍යාඥයා රටක දියුණුව සඳහා සේවයක් කරයි. මිනිසාගේ උපතේ සිට ඔහුගේ මරණය දක්වා කාලය තුළදී සිදුවෙන වැදගත් දේ සම්බන්ධයෙන් පමණක් නොව ඔහුට හෝ ඇයට සිදුවිය හැකි අතුරු අන්තරාවලින් ගැලවීම පිණිස කල්තියා උපදෙස් දීමෙන් ජ්‍යොතිෂඥයින්ද විශිෂ්ට සේවයක් කරයි.
මිනිසාගේ වැදගත් කටයුතුවලදී ජ්‍යොතිෂය තුළින් කළ හැකි විවිධ සේවා අතරින් කිහිපයක් උද‌ාහරණ වශයෙන් දැක්විය හැකිය.


විවාහය


ඇතැම් අය ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙකුගේ උපදෙස් නොබලා තම දුවට හෝ පුතාට විවාහයක් කරදීම සඳහා මඟුල් කපුවන් ලවා එසේත් නැත්නම් පුවත්පත් මගින් දැන්වීම් පළකර මුදල් නාස්ති කර ගනිති. මෙවැනි අවස්ථාවකදී ඔහුගේ හෝ ඇයගේ විවාහය සිදුවෙන නියම වකවානුව පිළිබඳ උපදෙස් දීමට ජ්‍යොතිෂඥයාට පිළිවන.


ව්‍යාපාරයක් සඳහා මුදල් යෙදීම


ව්‍යාපාරයක් සඳහා මුදල් යොදවන ඇතැම් අය තමන්ට ලබා ඇත්තේ කුමන වකවානුවක් ද යන්න ගැන නොවිමසා වැඩ ආරම්භ  කරති. සාර්ථක මෙන්ම අසාර්ථක වීමට ද ඉඩ ඇත. කිසියම් පුද්ගලයෙකුට සාර්ථක ව්‍යාපාර ආරම්භ කිරීමට මුදල් යෙදවීමට උචිත සුබ වකවානුව, අසවල් සමය බව පෙන්වා දීම ජ්‍යොතිෂය මඟින්​ කෙරෙන වැඩදායක සේවයකි.


ලෙඩ රෝග පිළිබඳ කල්තියා දැනුම්දීම


මිනිසාට තම ජීවිත කාලය තුළදීම විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වීමට සිදුවෙන්නේය. කිසියම් පුද්ගලයෙකුට අසවල් සමයේදී අසවල් අසනීපයෙන් රෝගයෙන් පෙළීමට සිදුවෙන මෙම කල්තියා ප්‍රකාශ කිරීමට මිනිස් සිරුර පිළිබඳ මනා අවබෝධයක් ඇති වෛද්‍යවරයෙකුට වුවද කිව නොහැකිය. එහෙත් එවැනි තත්ත්වයන් පිළිබඳ කල්තියා ප්‍රකාශ කළ හැක්කේ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයාට පමණී. කිසියම් පුද්ගලයෙකුට අනාගතයේදී වැළඳිය හැකි ලෙඩ රෝගය කල්තියා ප්‍රකාශ කිරීම පමණක් නොව එම තත්ත්වයෙන් හැකිතාක් දුරට ආරක්ෂා වීමට උපදෙස් දිය හැක්කේ ද ජ්‍යොතිෂයටයි.


අධ්‍යාපනය


ස්වකීය දරුවාට ගැලපෙන සැසඳෙන අධ්‍යාපනය කුමක්ද යන්න ගැන මව්පියන්ට පෙන්වා දීම එම අධ්‍යාපනය ඔස්සේ දරුවා මෙහෙයවීමට උපදෙස් ලබා දීම ද ජ්‍යොතිෂයෙන් කෙරෙන මහඟු සේවයක් වශයෙන් සලකා ගත හැකිය.


රැකියාව


කොපමණ උත්සාහ කළත් රැකියාවක් ලැබෙන්නේ නැත. උසස්වීමක් ලබා ගැනීමට වෙහෙස මහන්සි ගත්තත් එයින් පලක් වුණේ නැහැ. මෙසේ මැසිවිලි නගන අය මානසික වශයෙන් විඳින පීඩාවන්ට සහනයක් ලබා දීමට හැක්කේ ද ජ්‍යොතිෂයට පමණි.


කෘෂිකාර්මික කටයුතු


ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටකි. එහි ගොවි ජනතාව වෙනුවෙන්ද ජ්‍යොතිෂය මඟින් විශාල මෙහෙයක් ඉටුකළ හැකිය. කෘෂි සතුන්ගෙන් හා වන සතුන්ගෙන් ද, වෙනත් උපද්‍රව නිසා ද වගාවට සිදුවිය හැකි හානි සෑහෙන දුරකට වළක්වා ගත හැකිය. එසේම උසස් අස්වැන්නක් ලබාගත හැකි සුබ නැකත් දීම තුළින් ගොවියාගේ අසහනකාරී මානසික පීඩාව දුරුකළ හැකිය. එය ජ්‍යොතිෂය මගින් මිනිසාට කළ හැකි සහනයකි.


හදිසි විපත්


කිසියම් පුද්ගලයෙකුට හදිසියේ සිදුවිය හැකි විපතක්, හදිසි අනතුරක් ගැන කල්තියා ඔහුට හෝ ඇයට ප්‍රකාශ කිරීම තුළින් එම තැනැත්තා එම අවාසනාවන්ත සිදුවීමෙන් වළක්වා ගැනීමට උත්සාහ දැරීම ද ජ්‍යොතිෂය මගින් කෙරෙන තවත් යහපත් ක්‍රියාවකි.


සොරු ඇල්ලීම


කිසියම් පුද්ගලයෙකු සතු බඩු බාහිරාදිය, වස්තුව ආදිය සොරෙකු විසින් පැහැර ගනු ලැබූ විටදී එම සොරා පිළිබඳ වගතුග හා නැතිවූ වස්තුව තිබෙන ස්ථානය ආදී කරුණු පෙන්වා දීමට ද ජ්‍යොතිෂයට හැකියාවක් ඇත.


මේ අනුව ජ්‍යොතිෂ විද්‍යාව මගින් මිනිසාගේ එදිනෙද‌ා කටයුතු සම්බන්ධයෙන් ද ජීවිතයේ වැදගත් සිදුවීම් සම්බන්ධයෙන් ද විශාල මෙහෙයක් ඉටුකළ හැකිය.


මිනිසාට දිව්‍යඥ‌ානය ඇත්තේ නැත. දිව්‍යඥ‌ානයක් බදු ජ්‍යොතිෂය මිනිසාගේ යහපත උදෙසා ඉමහත් සේවයක් සලසා දිය හැකි උත්තරීතර විද්‍යාවක් වනුයේ ඉහතින් කී නොකී විවිධ කරුණු සම්බන්ධයෙන් මිනිසා උදෙසා විශිෂ්ට සේවයක් එමගින් ඉටු කෙරෙන හෙයිනි.

 

 

ගම්පහ - අබේසේන හේරත්