අපේ කාලෙ අපූරු විස්මිත වඩුරාලගෙ කතාව


හතර දෙනෙක් එක හිරමනයක එකට වාඩි වෙලා පොල් ගානවා. මෙන්න අරුම පුදුම හිරමනයේ කතාව

නාඩන් පුංචි හිරමනේ ඇවිදින් ඔන්න වසන්තේ. තේරවිලි (Theravili) වක්ක වකයි වක දෙවකයි (Wakka wakai waka dewakai) වක්ක වකයි වක දෙවකයි වත්තෙම පොල් ඔක්කොම කයි. පිළිතුර: හිරමනය. 


අපි කියන්නට යන්නේ අපූරුම හිරමනයක් ගැන. මේ හිරමන බංකුවේ එක්වරකට හතර දෙනෙක්ට වාඩිවෙලා පොල් ගාන්න පුළුවන්. හිරමනය කෑලි ගලවලා අරගෙන යන්නත් පුළුවන්. පොල් ගානකොට ඉතිං ආරක්ෂාවට හා කසළ කුණු වැලි වැටෙන්න පුළුවන් පොල්වලට. ඒ නිසා මේ අපූරු හිරමනයට වහලක් ද තියනවා. හරියට පුටුවක අසුන් ගෙන පොල් ගානවා වාගේ පොල් ගාන්න පුළුවන්. 


මේ පොල් මැෂිම අඩි දෙකහමාරක් වගේ උසයි. දානේ ගෙවල්වලට මගුල් ගෙවල්වලට ආහාර පාන සකස් කරන්න උවමනා පොල් ඔන්න දෙමොලේ නොවෙයි හතරමොලේ දමලා පොල් ගාන්න පුළුවන්. මේ පොල් මැෂිම නියාගම අකුලහේන, හොරගල්ල, තල්ගම්පල ගමේ ජීවත් වෙන උපවංශ කාරියවසම් මහතා විසින් සකස් කර ඇත තවත් දැවැන්ත අරුම පුදුම නිපැයුම් සිදුකරන 71 වැනි වියේ පසුවන මේ කලාකරුවා සොයා ගිය ගමන ඇත්තටම පොල් ගානකොට ඔළුව හොළවන්නේ නැතිව ගාන්න බෑ වාගේ කියන කතාවක් මතක් වෙනවා. 


වඩු කර්මාන්තය කියන්නේ සැබෑවටම විශ්මිත කලාවකි. එමෙන්ම දක්ෂ වඩු කාර්මිකයන් නිරන්තරයෙන් අපට අදහා ගත නොහැකි ආකාරයේ නිර්මාණයන් කරයි. ගාල්ල, අකුලහේන, හොරගල්ල, තල්ගම්පල ගමේ ජීවත්වෙන උපවංශ කාරියවසම් වඩු මහතා, කලාකරුවා සත්තකින්ම විස්මිත නිපැයුම් සිදුකරන දක්ෂයෙකි. වයස අවුරුදු 71 පමණ වන හෙතෙම විවිධ නිපැයුම් සිදුකර ඇත. 


සත්තකින්ම මොරටුව කිව්වම කාගේත් හිතට එන්නේ ලී බඩු තමයි. ගහට ගහක් හමු වෙන මොරටුව ගැන, ලී බඩු ගැන නම ලක්දිව රන්දපු මොරටුව ගැන තියෙන ප්‍රස්තාව පිරුළු, ජනප්‍රවාද වගේම සින්දුත් නිමක් නැහැ. නමුත් ඒ කතාන්දර එහෙම කියවෙද්දී මේ ගාල්ලේ ලීයට පොත්තට කඳට කට්ටට, පන්නරය දෙන පොල් කට්ටට ශක්තිය දී කාල ගුණයෙන් එයට මනාවු නිපැයුම් සිදුකරන කාරියවසම් මහතා වඩු කර්මාන්තයෙන් නියලෙන්නේ පරම්පරාවෙනි. 


මනරම් කැටයම් පිරුණු පුරාණ පෙට්ටගම්වල ඉඳලාම පැවත එන, ලංකාවටම ආවේණික වූ විවේකී ගති පැවතුම් විදහා දැක්වෙන විදිහේ ලී බඩු වලට තමයි මම එක් විදියකට සකස් කරන්නේ. 


පොල් කටුවෙන්, පොල් ලෙල්ලෙන් පොල් ඉත්තෙන් අත්තෙන් කඳින් කොළයෙන් පොල් ලීයෙන් විස්මිත නිපැයුම් සිදුකරන කාරියවසම් මහතා ලී කැටයම් ශිල්පියෙක් ද නිවසට අවශ්‍ය සියලුම නිෂ්පාදන ලී වඩුවෙක් වශයෙන් නවතම ආකාරයට සකස් කරන මේ අපූරු කලාකරුවා පොල් කටු ආශ්‍රිතව නව නිපැයම් 30කටත්, අධික ප්‍රමාණයක්ද සකස් කර තියනවා. අපේ සිංහල කැවිලි සියල්ලම වාගේ මේ ආකාරයට ලීයෙන් පොල් කටුවෙන් සකස් කරනවා. කෑම මේසෙ නිෂ්පාදන ඇත්තටම කෙසෙල් ඇවරියක් කැවුම් ගෙඩියක් අතිරස කෑල්ලක් අසලම එකම බන්දේසියක තියනවා. කන්න ගන්නකොට තමයි අඳුර ගන්න පුළුවන් වෙන්නෙ මේ ලීයෙන් පොල් කටුවෙන් සකස් කළ කැවිලි කියලා එවිටයි තේරුම් ගන්න හැකියාව තියෙන්නේ. මහත්තයාට කියන්න ඕනෑම ජගතෙක් රැවටෙනවාමයි. දිසාපතිතුමා ඇවිත් රාජ්‍ය නිලධාරින් එක්ක ආපු වේලාවෙදි මම කැවිලි පෙවිලි සහිතව කැවිලි මේසයක් තිබ්බා. ඒ ඇත්තෝ කෑමට ආහාර ගන්නකොට තමයි ඒත්තු ගියේ මේවා ලී, පොල් කටු ආදියෙන් සකස් කළ කැවිලි කියලා. ඒ අය පුදුම වුණා. මම දැන් වයස අවුරුදු 71ක් වෙනවා. මම මුලින්ම ජීවත් වු​ෙණ් අනුරාධපුරයේ. ඒ කාලයේ මම පුංචි එකා. තාත්තත් එක්ක එකතුවෙලා මම වැඩ කළා. මම වඩුවැඩ කරන්න පටන් ගත්තේ අවුරුදු 07, 8 වයසේදී. කියත නියන මට හොඳට හරිගියා. 


සත්තකින්ම දක්ෂ වඩු වැඩකරුවෙක්ගේ අතට ලී කෑල්ල ලැබුණාම ඒක ගානට කැපුණු කලා නිර්මාණයක් වගේ හැඩ වැඩ වෙන්නේ බලාගෙන ඉද්දීමයි. කාරියවසම් මහතා සිදුකරන්නේද අන්න ඒ පරම්පරාවේ උරුමයෙන් ගෙන ආ සුවි​ෙශ්ෂ හැකියාව මතයි. 


මම ඕනෑම අජීවි, ඉවත දමන ලී කෑල්ලකට වුණත් සජීවී බවක් ඇති කරනවා. හරියට ඒ නිපැයුම ස්වභාවධර්මයේම නිපැයුමක් ද කියා හිතා ගන්න බැරි තැනකටම පත්කරනවා. සමහර නිෂ්පාදන සිදුකරන්න දින ගණන් නෙවෙයි සති මාස ගණන් ගත වෙනවා. එහෙම කාල නිපැයුමක් සිදුකළාම සිතට දැනෙන සතුට මිල කරන්න බෑ. ඒක තමයි මුදලට වඩා මට වැදගත් වෙන්නේ. ලංකාවේ අය විතරක් නෙවෙයි පිටරට උදවියත් මේ නිෂ්පාදන මිල දී ගන්නවා. හෝටල්, වෙරළ සංචාරක වෙළෙද ස්ථානවලට, කඩවල්වලට, රාජ්‍ය ආයතනවලට, රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ මේසය මත ඇති පෑන් පැන්සල්, තියන්න ලිපිගොණු අසුරන්න ඒ විතරක් නොවෙයි. පොල් කටුවෙන් මල්පෝච්චි කෝප්ප වාගේම තාක්ෂණික උපකරණ අද්දර හරි හරියට ලී හා පොල් කටු නිපැයුම් තියන්න පුළුවන්. ඒවා පොල් කටු හෝ ලී කියා හිතන්නවත් බෑ ඒ තරමටම කලාත්මකව සකස් කරන්න මට හැකියාව තියනවා. තිබෙන ලී, පොල් කටු ආදිය ලී ටික මැනලා, කෑලි කපලා, එකට මුට්ටු කරනවා. කැටයම්, හැඩ වැඩ වගේ දාන්න තියෙන දේවල් දාලා හොඳ නිමාවක් ලබා දෙනවා. ඒ සියල්ලම මහා කතාන්දර තමයි තියෙන්නේ. සියල්ලම කලාත්මකව සකස් කරන්න සීරුමාරුවට තාක්ෂණයට ශාස්ත්‍රයට සූත්තරයට ම සිදු කරනවා. පිරිමැදලා, පිහ දාලා, පේන්ට් ගාලා, පොලිෂ් කරලා තමයි උසස් තත්ත්වයේ ලී බඩුවක් හැදෙන්නේ. පොල් කටු නිපැයුමක් සිදුකරන්නේත් එහෙම තමයි. 


මම අමුතුම ආකාරයට තමයි වැඩ කරන්නේ. ඒ මගේ හැටි. ගනුදෙනුකාරයාගේ කැමැත්ත අනුව එයා කියන හැඩයට හදනවා. නැතිනම් මට උවමනා ආකාරයටත් සකස් කරනවා. පිය උරුමයෙන් ඉගෙන ගත්තු හැඩවලට හදනවා. ලී බඩුවල පින්තුර බලලා ඒ අනුව හදනවා. ඇඳලා දුන්නු චිත්‍රයක් දිහා බලාගෙනත් මම නිපැයුම් සිදු කරනවා. 


පොල් කටුවට මම නව ආකාරයක් නිපයුමක් ලබා දෙනවා. දැන් බලන්න. කුණු ගොඩට හෝ ගිනි ගොඩට යාමට නියමිත පොල්කටුවේ ඉරණම වෙනස් කරන්නේ පොල්කට්ට යළිත් ප්‍රයෝජනයක් තියෙන ආකාරයට කලාත්මක නිපැයුමක් ලෙස සකස් කරනවා. පොල්කටුව පුරාණයේ දී නම් කෝප්පයක් නැතිනම් භාජනයක් ලෙස භාවිත කළේය. ඊට අමතරව පොල්කටු හැන්ද, ලුණු පොල්කට්ට, රා කට්ට ආදී වශයෙන් පොල්කටුව අදත් ගමේ ගොඩේ භාවිතයෙන් ඈත් වී නැත. පොල්කටු අඟුරු ගමේ කම්මලට අමතරව රෙදි මදින ඉස්ත්‍රික්ක සඳහා භාවිතා කළා කියලා අපි දන්නවා. පොල්කටු ගැන ඒ අප කවුරුත් දන්නා දෙයයි. එහෙත් පොල්කටුවෙන් විසිතුරු අත්කම් කරන්නට දන්නේ කීයෙන් කී දෙනාද? කියලා තවමත් සමහරු දන්නේ නෑ. 


පොල්කට්ටෙන් වැඩ ගන්නා සූත්‍රය නිසා ජීවත්වෙන්න රැකියාවක් සකස් කරන්න හැකියි. පොල්කටුවෙන් හැඳි හදන්නට පුළුවන්. ඒවාද නව ආකාරයට කලාත්මකව සකස් කළ හැකිව තියනවා. හැන්දට කපා ගත් පොල් කටුවේ ඉතිරි කොටස පුලුස්සා පොල් කටු අඟුරු නිපදවන්නට ද හැකියි. මම හැදුවා එක්වරක හිරමනේ ඉඳගෙන හතර දෙනෙක්ට පොල් ගාන්න හැකි අමුතුම හිරමනයක්. මේකට මහ ඉල්ලුමක් තියනවා. 


පොල්කටුවෙන් විසිතුරු නිමැවුම් කිරීමේ පුහුණුව නිසාම පොල්කටු හැන්දට එහා ගිය අත්කම් සකස් කරනවා. ඇතැම් නිර්මාණ පොල්කටුවෙන් නිමවූයේ කෙසේ දැයි කෙනෙකුට සිතා ගන්නට බැරිතරම්ය. පොල්කටු කුණුගොඩට හෝ ගිනි ගොඩට යන්නේ නැත. කාරියවසම් ලී හා පොල්කටු නිපයුම් සකස් කරන්ට තමා විසින්ම සකස් කර ගත් උපකරණ රාශියක් සකස් කර තියනවා. නිපදවීම් සඳහා භාවිත කරන උපකරණ කට්ටලය තමයි වැදගත් වෙන්නේ. දුනු පීර, දුනු කියත, දඬු අඬුව වාගේ මූලික උපකරණ කට්ටලය වුවත් පොල් කට්ටේ රළු පෘෂ්ඨය ඉවත් කිරීම සඳහා ග්‍රයින්ඩරය ද භාවිත කරනවා. 


පොල්කටු අවශ්‍ය හැඩයට කපා ගැනීම වෙහෙස කර කටයුත්තකි. සියුම් ලෙස කපා ඔපලා ගැනීම ඊටත් වඩා දුෂ්කර කටයුත්තකි. නිර්මාණ කාර්යයේ ඒ දුෂ්කර අවස්ථාවන් සඳහා අත්උදව්කරුවන්ද කාරියවසම් මහතාට සිටින්නේ නැත. සියල්ල සිදුකරන්නේ තනියමයි. දැන් ඉන්න තරුණ පිරිස් වඩු කර්මාන්තයට, මේවාගේ කලාත්මක වැඩවලට එන්නේ නෑනේ. කොම්පියුටර් ගේම් ගහනවා විතරයිනේ මහත්තයෝ යැයි කාරියවසම් මහතා කියයි. 


දැන් බලන්න විනෝදාංශයක් ලෙස ඇරඹූ පොල් කටුවෙන් විසිතුරු නිර්මාණ කිරීමේ කලාව අද මහළු වයසේ සිටිය ද අමතර ආදායමක් එකතු කරන ස්වයං රැකියාවක් බවට පත්ව තියනවා. මේ ගෙවල් දොරවල් හදන්න මේ සියල්ල කරන්න දරුවන්ගේ කටයුතු කරන්න මේ සියල්ලම සිදුකළේ වඩු රස්සාවෙන්. ලී පොල්කටු නිපැයුම් සිදුකර ගත්තු මුදලින්. මම කාටවත් අත පාන්නේ නැතුව රස්සාව කරනවා. මම නිසා විශාල පිරිසක් මේ නිෂ්පාදන නිසා ජීවත් වෙනවා. ඉවත ලන පොල්කටුව යළිත් දුප්තාගේ පැලේ සිට මහා විශාල ප්‍රාසාද රජමැදුරු වටා ද ගමන් කරනවා. සමහර මැති ඇමතිවරු ද මේවා අරගෙන යනවා. තෑගි වශයෙන්ද මම මේ නිර්මාණ සකස් කර දෙනවා. 


නිර්මාණවලට ඇති අධික ඉල්ලුම නිසාම දැන් මහන්සිවෙලා වැඩ කළාට බියක් නෑ. නව නිර්මාණ අත්හදා බැලීම් සහ නවීකරණය කළ නිපැයුම් වෙනුවෙන් විශේෂයෙන් කාලය වැය කරන්නට සිදුව තියනවා. මගේ නිර්මාණයන්හි විශේෂත්වය වන්නේ පොල්කටු හැන්ද වුවද ප්‍රියමනාප සිත්ගන්නාසුලු අන්දමින් නිපදවීමය. තේ හැන්ද, මේස හැන්ද, ගෑරුප්පුව පවා පොල්කටුවෙන් නිපදවීමට හැකියාව ඇත. ලුණු ඇසුරුම, අළු බඳුන, කුසලානය, පිඟාන, කෝප්පය, ජෝග්ගුව, ලාම්පු ආවරණය රූපාගේ අතින් නිමැවෙන සාමාන්‍ය භාණ්ඩය. නමුත් ඒවා අසාමාන්‍ය වෙහෙසක ප්‍රතිඵලය. ඇතැම් නිර්මාණ කුඩා වුව ද ඒවා සඳහා පොල්කටු 20ක හෝ 25ක කොටස් එකතු කර ඇත්තේය. පොල් කටු ජෝගුව සහ කෝප්පය එවැනි නිර්මාණ සිදුකරනවා. 


මාස කීපයක් තිස්සේ එක එක ප්‍රමාණයේ පොල් කටුකපලා නිර්මාණයට අවශ්‍ය හැඩය තෝරා ගන්නවා. මේක ඇත්තටම අත්හදා බැලීමක්. මෙවැනි නිර්මාණ කරන්න නම් විවිධ ප්‍රමාණයේ පොල්කටු තියෙන්න ඕනැ. විවිධ ප්‍රමාණයේ පොල්කටු සොයා ගැනීම ටිකක් දුෂ්කර වැඩක්. ඒ වුණත් අපි මේ නිර්මාණය කළා. නිර්මාණයට දරන ලද වෙහෙස කොපමණදැයි ගණනය කළ නොහැකි නිසාම මේ දුෂ්කර කලා නිර්මාණයට මිල නියම කිරීම පහසු නෑ. නිර්මාණ බිහි කිරීමට තරම් කාරියවසම් මහතා වයසක වුවද තරුණයෙක් මෙන් මෙම විශ්මිත නිපැයුම් සිදුකරයි. 


කලින් අපි පොල්කටුවලින් හැඳි හැදුවා. විසිතුරු භාණ්ඩ හදන්න පටන් ගත්තා. හොඳ ඉල්ලුමකුත් තියෙනවා. මැෂින්වලින් කරන වැඩ ටික කරලා දෙන්නේ මම. ටිකක් මහන්සි වුණොත් ආදායමක් උපය ගන්න පුළුවන් යැයි කාරියවසම් මහතා පවසයි. 


පොල්කටුවලින් තෑගි භාණ්ඩ නිපදවීම පිළිබඳව පාරම්පරිකව දනුමක් කාරියවසම් මහතාට තිබේ. එම දැනුම මනාලෙස කාලයට තාලයට අදට හෙටට ගැලපෙන ලෙස යොදවමින් මෙම නිපැයුම් සිදුකරනවා යැයි, උපවංශ කාරියවසම් මහතා පැවසීය. 


වඩු කුරුල්ලා, වඩුවා පිළිබඳව කතා කරන විට ආගමික, සාහිත්‍ය, කලා ආදී විවිධ ඉසව් හරහා ද කතා කළ හැකිය. ආගමික විවරණ ද, සංස්කෘතික හා කලා පැතිකඩ ද වඩුවාට වඩුරාලට, වඩු කර්මාන්තයට ඈත අතිතයේ සිට ජනතාවගේ හදවත දිනාගෙන ඇත. 


මේ ආදි වශයෙන් ගත් කළ අපේ කතාන්දරයේ කාරියවසම් වඩුවා තම වඩුකාරිය නියමිත දිශාන්තයක් ඔස්සේ රැගෙන ගොස් තම නිපැයුම් අලුත්ම ආකාරයට සිදුකරන්නේ කාට කාටත් පාඩමක් නව නිපයුමක් මගින් කියාදෙමිනි. 


නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් හොරංගල්ල, අකුලවිල, ආර්ථික සංවර්ධන නිලධාරී කෝඹල ශාන්තිගේ චමිලා දිල්රුක්ෂි මෙනවිය හා කුඩා කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන් ද, නියාගම ප්‍රාදේශීය ලේකම් නිලංගි ඩයස් මහත්මිය ද මේ වැදගත් නිර්මාණ සිදුකරන්නට තමාට සහයෝගය ලබා දුන් බව, උපවංශ කාරියවසම් මහතා පැවසීය.

 

 

 

සටහන හා ඡායාරූප : 
හබරාදූව නිමල් අල්ගෙවත්ත