අපිට ඒ කාලෙ පාසල් නිල ඇඳුමක් නෑ: කැමති ඇඳුමෙන් පාසල් ගියා


බිරිඳ සුමනාවතී සේමසිංහ සමගින්

 

 

විවිධ අරුතින් විග්‍රහ කළ හැකි “ගුරු වෘත්තිය” ලබන්නට පෙර පින් තිබිය යුතු බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. දීර්ඝායුෂ වඩවන වෘත්තියක් ලෙස පිළිගත් ඇතැම්හු ගුරුවරුන් දෙවිවරුන් ලෙසද සලකති. එවැනි දේවත්වයකට සුදුසුකම් ඇති “ගෞරවයට සුදුසු වූ පුද්ගලයා” යන අරුතින් පෝෂණය වූ සැබෑම සුන්දර මිනිසෙක් මුණගැසෙන්නේ කෝන්වැව, ඇහැටුවැව ලිපිනයේදීය. 1942 වර්ෂයේ ජූලි 25 වැනි දින ඇඹෝගම මොහොට්ටාලලාගේ ගෙදරදී උපත ලැබූ ඔහු නමින් දිසානායක මුදියන්සේලාගේ උක්කු බංඩාගේ ටිකිරි බංඩා දිසානායක නම් විය.


ඇහැටුවැව ප්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ දිසානායක මහතා සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අධ්‍යාපනය ලබන්නේ ද එම පාසලේදීමය. 1964 වර්ෂයේ ශිෂ්‍ය ගුරු විභාගයෙන් සමත් වූ ඔහු මුල්ම පත්වීම ලබන්නේ ඇහැටුවැව අංගමුගම සිංහල විද්‍යාලයටය. 1966 වර්ෂයේ දී දඹදෙණිය ගුරු විද්‍යාලයෙන් වෘත්තීය පුහුණුව ලබන ඔහු නැවත 1969 වර්ෂයේ ඇහැටුවැව ඇඹෝගම විද්‍යාලයට පත්වීම් ලබා පැමිණියේය. අනතුරුව ගිරිබාව, වරාවැව, පාළුකඩවල, ට්‍රැක් හතර, දිවුල්ගනේ, දිඹුලාගල, ඇහැටුවැව, හුනුගල්ලාව යන පාසල්වල උපගුරුවරයෙකු ලෙස සේවය කළ දිසානායක මහතා 1978 වර්ෂයේ ඇහැටුවැව විකාදෙණිගම විද්‍යාලයේ විදුහල්පති ලෙසත්, ඇහැටුවැව ඇඹෝගම විදුහල, ඇහැටුවැව මහා විද්‍යාලය, අංගමුගම මහා විද්‍යාලය, අතරගල්ල විද්‍යාලය යන විද්‍යාලවල විදුහල්පතිවරයා ලෙසත් සේවය කර නියමිත විශ්‍රාමයට වසර දෙකක් තිබියදී සේවයෙන් විශ්‍රාම ගත්තේය.


“ඉල්ලලා විශ්‍රාම ගියේ තව අවුරුදු දෙකක් සේවය කරන්න පුළුවන්කම තියෙද්දී....... විවිධ දේශපාලනික බලපෑම් මට මේ සේවය නීරස කළා.....” යැයි දිසානායක මහතා පැවසුවේය.


“ඒ කාලේ මේ වෘත්තියට දේශපාලනික ඇඟිලි ගැසීම් තිබුණා. ඒ හරහා මම පළිගැනීම්වලට ලක් වුණා. ඇහැටුවැව මහා විද්‍යාලයේ v පන්තියේ විදුහල්පතිවරයෙක් විදිහට මම කටයුතු කර කර ඉද්දී ඇඹෝගම කනිෂ්ඨ විද්‍යාලයට මාව මාරු කළා. ඒ උපගුරුවරයෙක් විදිහට. අවුරුදු 10ක් විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කළ මාව උපගුරුවරයෙක් බවට පත් කළා. ඇඹෝගම විදුහලේ මම විදුහල්පතිව සිටියදී හිටපු ගුරුමඬුල්ල සමගම මට උපගුරුවරයෙක් ලෙස සේවය කරන්න වුණා. ඇඹෝගම එවකට හිටපු විදුහල්පතිතුමා II පන්තියේ විදුහල්පතිවරයෙක්. නියම සුදුසුකම තිබුණ මම උප ගුරුවරයෙක් කළා. ඔය විදිහේ විවිධ පළිගැනීම්වලට මාව ලක් වුණා. අවුරුදු 2ක් තිබියදී ඉල්ලලා විශ්‍රාම ගියෙත් ඒ නිසා. 


වේදනාවෙන් කතා කළ දිසානායක මහතාගේ මුවඟ සිනාවක් වූවේය. ඒ ඔහුගේ හැටිය. ඕනෑම මොහොතක සිනාවෙන මුව එම ප්‍රදේශය පුරා ප්‍රසිද්ධය. “දිසානායක මහත්තයගෙ මූණෙ හිනාවක් නැති වෙලාවක් නෑ.” යයි ප්‍රදේශවාසීන් පැවසූ කතාව සත්‍යයක් බව මට හැඟුණි.


“ඉස්සර අපේ මුත්තා මොහොට්ටාල කෙනෙක්. අපේ ගෙදරට මොහොට්ටාලලාගේ ගෙදර කීවේ ඒකයි. ඒක හරියට දැන් තියෙන සාම විනිසුරු පදවියක් වගේ එකක්.” යනුවෙන් පවසමින් ඒ මහතා තම ළමා කාලයේ රසමුසු තැන් විස්තර කළේය.


“අපේ ළමා කාලෙ හරිම සැහැල්ලුවෙන් ගෙවුණා. අධ්‍යාපනය බරක් වුණෙත් නෑ. ඒකට හේතුව අධ්‍යාපනයේ වටිනාකම දෙමව්පියන් හරිහැටි තේරුම් නොගෙන තිබීම වෙන්නැති. ඒ දවස්වල අධ්‍යාපනයේ අරමුණ වුණේ “බෙහෙත් සීට්ටුවක් කියවා ගත හැකිවීම.” කියන කාරණය විතරයි. ඉස්කෝලෙ ගිහින් ඇවිත් පොත් ටික තියලා අපි දුවන්නෙ කුඹුරට. මඬේ නටන්න. ඇළට පනින්න අපි හරි ආසයි. 


ඒක තමයි අපේ ජීවිතේ. යාළුවො ටික කැලේ රිංගලා ගඩාගෙඩි කඩාගෙන කනවා. ආපහු පහුවදාට පොත් ටික අරන් ඉස්කොලෙ යනවා. අපිට ඒ දවස්වල පාසල් නිල ඇඳුමක් තිබුණේ නෑ. කැමති ඇඳුමෙන් පාසල් ගියා. පිරිමි ළමයි ඇන්දෙ සරම. ගැහැනු ළමයි ඇන්දෙ ළමා සාරිය. අපි ඒ දවස්වල ගැහැනු ළමයින්ට ගොඩක් ගරු කළා. අපි දඟ වැඩ කරලා ගුරුවරුන්ගෙන් අනන්තවත් ගුටි කෑවා.”


“මොනවද ඒ දඟ වැඩ....?” මම දිසානායක මහතා කතාවට උනන්දු කරවමින් ඇසුවෙමි.


“දඬුවම මට පාසල එපා කළා. වේවැලෙන් කෑව පාර ජීවිත කාලෙම මතක තියෙනවා. ගුටි කාලාම එපා වෙලා මම ඉස්කොලෙ යන්න බෑ කියල අප්පච්චිට කීවා. අප්පච්චි මට ඉස්කෝලෙ යන්න බල කළා. පස්සෙ මම ගෙදරින් හොරෙන් පැනලා ගිහින් ගනේවත්තෙ කඬේක දවස් 2ක් වැඩ කළා. අප්පච්චි කොහොම හරි මාව හොයාගෙන ඇවිත් ආපහු ගෙදර එක්ක ගියා.” 


“ඔබතුමාගේ අධ්‍යාපන කටයුතු එතනින් පස්සෙ කඩාකප්පල් වුණාද?” මම ඇසුවෙමි.


“නෑ නෑ එහෙම වෙන්න අපේ පන්තිභාර සර් ඉඩ ඇරියේ නෑ. සර්ගෙ නම පණ්ඩිතරත්න. සර් අපේ ගෙදර ඇවිත් මාව ආපහු පාසලට එක්ක ගියා. උපක්‍රමශීලිීව අධ්‍යාපනයට පොළඹවා ගත්තා. උන්දෑ මගේ අනාගතේ දකින්න ඇති. සර් තාම ජීවත්වෙනවා. කුලියාපිටියෙ අවුරුදු 90ත් පැනලා. මම තාම සර් බලන්න යනවා. ඒ සිද්ධියෙන් පස්සෙ මම දිගටම පාසල් ගියා. මම එස්.එස්.සී. හොඳට පාස් කළා. ඇහැටුවැව විද්‍යාලයේ උසස් පෙළ පන්ති ආරම්භ කළේ අපෙන්. ළමයි 8 දෙනයි. උසස් පෙළ පන්තියේදී අපි ජාතික ඇඳුම ඇන්දා. විදුහල්පතිතුමා අපට කීවා “ටිකක් හොඳට ඇඳගෙන වරෙව්” කියලා. ඊට පස්සෙ මගෙ ජීවිතේ හොඳම කාලෙ උදා වුණා. 


“ඒ කොහොමද...?” මම කුතුහලයෙන් ඇසුවෙමි.


“මම උසස් පෙළ පන්තියේ ඉගෙන ගනිද්දී ශිෂ්‍ය ගුරු විභාගය ගැසට් කළා. මම ඒ විභාගෙට ලීවා. සමත් වුණා. 1964 දෙවැනි මාසෙ දෙවැනිදා මම ශිෂ්‍යයෙක්. 1964 දෙවැනි මාසෙ තුන්වෙනිදා මම ගුරුවරයෙක් වුණා. 1966 අවුරුද්දෙ ගුරු විද්‍යාලයෙන් වෘත්තිය පුහුණුව ලැබුවා. උසස් පෙළ පන්තියේ ඉන්න කාලෙ ආපහු මගෙ ඉගෙනීම කඩා කප්පල් වුණා. ඒ 1962 වසරේ අප්පච්චි මිය ගියා. නංගිලා, මල්ලිලා පස් දෙනාගෙ බර මගේ කරට වැටුණා. පාසල් ගමන නවත්වලා කුඹුරු අස්වද්දන්න ගත්තා. දවසක් කුඹුරෙ වැඩ කරද්දී කම්බි කට්ටක් ඇනුණා. ඒකට බෙහෙත් දාගෙන එද්දී එවකට හිටපු විදුහල්පතිතුමා මුණ ගැහිලා මට ආපහු පාසල් එන්න කියල බල කළා. උන්දෑ එදා බල කළේ නැත්නම් මම තාමත් කුඹුරු කොටනවා. ගුරුවෘත්තිය ලැබුණට පස්සෙ මම කුඹුරු සේරම අඳේට දුන්නා. නංගිලා, මල්ලිලා ටිකත් හොඳින් රැකබලා ගත්තා.


ඒ කාලෙ ඔබ ගෙවපු ජීවිතයත්, වර්තමාන සමාජ තත්ත්වයත් එකට ගැළපුවොත් ඔබට පුළුවන්ද ඒ වෙනස පැහැදිලි කරන්න....?
“ඇත්තටම එදා සහ අද සමාජය වෙනස්. හොඳ නරක මේ සමාජ ක්‍රම දෙක තුළම අඩු වැඩි වශයෙන් තිබුණා. අධ්‍යාපන ක්‍රමයත් වෙනස්. අපේ පංති බාර සර් අපිට ඉංග්‍රීසි හැර සියලුම විෂයන් ඉගැන්වූවා. කාලච්ඡේද මාරු වෙවී ගුරුවරු කීපදෙනෙක් මුණගැහුණේ නෑ. පන්තිභාර සර් අපිට තාත්තා වගේ. අපේ සියලු වගකීම් පැවරුණේ පංති බාර සර්ට. නමුත් අද ඒ වගකීම ගන්නෙ විදුහල්පතිතුමානේ. 


දැන් දරුවන්ට මොළේ තියෙනවා. නමුත් හදවත නෑ. අපි මේ දෙකෙන්ම පොහොසත් වුණා. ගුරු ගෞරවය රැක ගත්තා. ගුරුවරයා තමයි අපේ ජීවිතේම. අපේ අනාගතේ රැඳිලා තිබුණේ පංති බාර ගුරුවරයා අතේ. අපේ ගුරුවරු රාජකාරියට එහා දෙයක් අපි වෙනුවෙන් කළා.


ගුරුවරයාගේ වටිනාකම දැනුණ මොහොතක් මට මේ වෙලාවෙ මතක් වෙනවා. 1954 වර්ෂයේ මම හයේ පන්තියේ. එවකට අපේ පංති බාර සර් මාතර ප්‍රදේශයෙන් ආව කරුණාරත්න කියල සර් කෙනෙක්. 1972 වර්ෂයේ කතරගම ගියාම මට අහම්බෙන් සර් මුණගැහුණා. මට විශ්වාස කරන්නත් බෑ. “ආ.. යූ.ටී.බී.” කියලා සර් මාව වැළඳගත්තා. සර්ට මගේ නම මතක තිබුණා. මට පුදුම හිතුණා. අද කාලෙ පංති බාර ගුරුවරයාටවත් තමන්ගේ පන්තියේ දරුවන්ගේ නම් මතක නෑ. එහෙම වෙන්න විවිධ හේතු සාධක තියෙනවා. නමුත් අපේ ගුරුවරු ජීවිත කාලෙම අපිව මතක තියා ගත්තා. මං එදා කතරගමදී කරුණාරත්න සර්ගෙ කකුල් දෙක ඉඹලා දණගහලා වැන්දා.


ඒ විතරක් නෙමේ. අද කාලෙ දරුවන්ට ගහන්න බෑනේ. “මගේ දරුවට දඬුවම් දෙන්න එපා.” කියලනෙ කියන්නෙ. දඬුවම් කළොත් පොලීසි යනවා. නඩු දානවා. ඒත් එදා අපි ගෙවපු ජීවිතේ ඊට හාත්පසින්ම වෙනස්. මුළු ගමම අපේ. ගම පුරාම කෑම බීම තිබුණා. භවබෝගවලට මිලක් තිබුණේ නෑ. අපි වතුවලින් කුරුම්බා කඩනවා, හොරකමට නොවේ. හැම ගමක් ගෙදරක්ම, ගහක් කොළක්ම අපි අපේ කියලා හිතුවා. 


දවසක් මං කුරුම්බා කඩන්න පොල් ගහකට නැංගා. මං පොඩි කොල්ලා එතකොට. මං ගහ උඩ ඉන්නවා දැක්ක වත්තෙ අයිතිකාර මාමා “කරටිය හයියෙන් අල්ලගෙන හෙමින් බැහැපිය කොල්ලෝ...” කියල කීවා.


හැබැයි “ඇයි කුරුම්බා කැඩුවේ” කියල ඇහුවේ නෑ. අපි ගමේ කොහෙදි හරි වරදක් කරනවා දැක්කොත් කවුරු හරි ගෙදරට පණිවිඬේ දෙනවා. ගමේ අයට ළමයි හැමෝම එකයි. හැම ළමයම තමන්ගේ ළමයා වගේ. ඒ නිසා අපි වැරදි වැඩ කරන්න බය වුණා. නමුත් දඟවැඩ කළා. හැබැයි ඒවා සමාජයට අයහපත්, හානිකර දේවල් නෙමෙයි. නමුත් අද දඟවැඩ කියන්නෙ ඊට වඩා වෙනස් දෙයකට.
ළමා කාලයේ වගේම ඔබතුමාගේ ගුරු ජීවිතයෙත් රසවත් සිදුවීම් ඇති......? ඒ ගැනත් මතක් කරමුද? මම ඇසුවෙමි.


දිසානායක මහතා මගේ ප්‍රශ්නය හමුවේ හඬනගා සිනාසුණේය. ඒ සිනහව තුළ සැඟවුණ කතන්දර සියල්ල දැනගැනීම මගේ අභිප්‍රාය විය.


“ඒ කාලෙ ගුරුපත්වීම් ලැබුණාම අවුරුදු 4ක් ඇතුළත සේවය ස්ථීර කරගන්න ඕනෑ. එතනදී විදුහල්පතිතුමාගේ වාර්තාව තමා වැදගත්. එතුමාගේ හිත දිනාගන්න විදිහට අපි කටයුතු කරන්න ඕනෑ. මම පත්වීම ලැබිලා මුලින්ම ඉස්කෝලෙ ගිය දවසෙම ලොකු අකරතැබ්බයක් වුණා. මං ඉස්කෝලෙ ඇරිලා එනකොට පාර අයිනෙ පිට්ටනියක ඉස්කෝලෙ ළමයි ගහගන්නවා. “ගහගැනිල්ල නවත්තපල්ලා” කියල කීවත් උන් ඇහුවේ නෑ. මම ළඟ තිබ්බ වැටකින් කඩාගත්ත ලොකු පොල්ලකින් ළමයි සේරටම හොඳටම ගහගෙන ගහගෙන ගියා. උන් ටික හිස් ලූ ලූ අත දිව්වා.


මං එදා හිතුවා අදම මගේ ජොබ් එක ඉවරයි කියලා. පහුවදා විදුහල්පතිතුමා මාව කැඳෙව්වා. ගහගත්ත ළමයි ටිකත් එතන හිටියා. මාව සර් ළඟ තියාගෙන ළමයින්ගෙන් ප්‍රශ්න කළා. විදුහල්පතිතුමා මාව අගය කළා. මං කළ වැඬේ හරි කියලා එතුමා මට කීවා. මට එදා හරිම සතුටුයි.


පත්වීම අරන් අවුරුදු දෙකක් ගෙවෙද්දී තවත් අපූරු සිදුවීමක් වුණා. තාත්තා කෙනෙක් ඉස්කෝලෙට ආවා හොඳටම බීලා වැනි වැනී ආවෙ මාව හොයාගෙන. ඒ තාත්තා මට කියනවා “අනේ බුදු සර් මට කෙල්ලො තුන්දෙනයි, තුන් දෙනාම මේ ඉස්කෝලෙ ඉන්නෙ. මං ආවෙ සර්ට මගෙ කෙල්ලො තුන් දෙනාගෙන් කැමති කෙනෙක්ව තෝරගන්න කියන්නයි” කියලා. 


මට හොඳටම ලජ්ජා හිතුණා. මගේ යාළු ගුරුවරයෙක් හිටියා අප්පුහාමි කියලා. මං එයාට කතා කරලා මේ අවනඩුව කීවා. ඒ අතරෙ විදුහල්පතිතුමත් එතැනට ආවා. විදුහල්පතිතුමා මට තාත්තා වගේ. මට තවත් ලජ්ජා හිතුණා. විදුහල්පතිතුමා මැදිහත්වෙලා ඒ තාත්තා අමාරුවෙන් ආපහු හරවලා ඇරියා.


“89 භීෂණ කාලෙ මම ඇඹෝගම විද්‍යාලයේ විදුහල්පතිතුමා. මට හොඳ හොඳ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවුණා. දවසක් මම උදේම ඉස්කෝලෙට යද්දි කොල්ලො ගොඩක් පෝස්ටර් අලවනවා. මං කීවා “ඔය පෝස්ටර් ඉස්සරහ අලවන්න එපා. ඉස්කෝලෙ පිටිපස්සෙ අලවන්න” කියලා. “පිටිපස්සෙ අලවන්නෙ මොකාට පේන්නද...? අපට ඕනැ ඉස්සරහ අලවන්න. මේ පෝස්ටර් එකක් හරි ගලවලා තිබුණොත් මරණවා.” මට තර්ජනය කරලා උන් ගියා.


ඊට ටික වෙලාවකට පස්සෙ මම දෙකේ පන්තියට උගන්නද්දි ටී 56 අරගත්ත හමුදා නිලධාරියො කීප දෙනෙක් ඉස්කෝලෙට ආවා. මට කතා කළා. මම එළියට බහින්න ලෑස්ති වෙද්දි දෙකේ පන්තියෙ ළමයි වටකරගත්තා. “අනේ අපේ සර් ගෙනියන්න එපා” කියලා විලාප දුන්නා. ඒ දවස්වල ළමයින්ගෙ මානසිකත්වයෙ තිබුණේ “අරන් ගියොත් මරණවා” වැනි හැඟීමක්. 


මං ඒ දරුවො ටික සන්සුන් කරල එළියට බැස්සා. “මොකාද මේ පොස්ටර් ගැහුවෙ?” කියලා හමුදාවෙ අය මගෙන් ඇහුවා. උදේ වුණ සිද්ධිය මම කීවා. “තමුසෙ විදුහල්පතිකමට ගැලපෙන්නෙ නෑ අපි තමුසෙ මාරු කරනවා” කියලා ඒ මහත්වරු මට හොඳටම බැන්නා. පෝස්ටර් ගලවන්න කියලා මට බල කළා. මං එකොළහ පන්තියෙ පුතෙකුට වතුර බාල්දියක් ගේන්න කීවා. ඒ පුතා පෝස්ටර් ගලවන්න හැදුවත් මම ඒකට ඉඩ දුන්නේ නෑ. මමම පෝස්ටර් ගැලෙව්වා. මම එදා හරියට කලකිරුණා. හවස මම ගල්ගමුවෙ අධ්‍යක්ෂතුමා මුණගැහෙන්න ගියා. අධ්‍යක්ෂතුමා හරිම හොඳයි.


“අනේ යූ.ටී.බී. උන් මට කතා කරන්නෙත් එහෙම. අපි කොහොම හරි මේවා විඳගමු. මේ කාලෙ අමාරුවෙන් හරි ගෙවා ගමු...” කියලා සර් මගෙ හිත හැදුවා. ඒ සිද්ධියෙන් පස්සෙ ආයෙ දවසක තවත් සිද්ධියක් වුණා.


“ඇහැටුවැවේ ඉස්කෝලෙ ඉඳලා පෙළපාළියක් ඇඹෝගම අපේ ඉස්කෝලෙට එනවා කියලා ආරංචි වුණා. ළමයි සියලු දෙනාම පංතිවල රඳවාගන්න කියලා ගුරුවරුන්ට උපදෙස් දීලා මම පාරට ගියා. පෙළපාළිය පිළිගන්න. මං තනියම මේකට මුහුණ දෙන්නෙ කොහොමද කියල හිත හිත ඉද්දි ඈතින් පෙළපාළිය එනවා දැක්කා. හැබැයි මං ඉන්න තැනට බඹ 7ක් 8ක් තියෙද්දී පෙළපාළිය ආපහු හැරිලා ගියා. එවකට ඇහැටුවැවේ ප්‍රධාන ශිෂ්‍යනායකයා වුණේ හේරත් බංඩා කියලා ශිෂ්‍යයෙක්. මං ඉස්කෝලෙ ඇරිලා යද්දි හේරත් බංඩා මට මුණගැහුණා. “ඇයි පෙළපාළිය ආපහු හැරෙව්වෙ” කියලා.


“සර් ගේට්ටුව ළඟ ඉන්නවා දැකපු නිසා අපි ආපහු හැරුණා” කියලා හේරත් බංඩා ඔළුව පාත් කරල මට කීවා. මට එදා තේරුණා අපි දරුවන්ට ඇත්තටම ආදරේ කරනව නම් ඒ අය කවදාවත් අපිට උඩින් යන්නේ නෑ කියලා.


ඔබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි ධාරියෙක්. කොහොමද උපාධිය ගන්න කටයුතු කළේ?


“මම උපාධිය ලබා ගත්තෙ රැකියාව ලැබිලා අවුරුදු 13කට පස්සෙ. ඉගෙන ගැනීමේ ආශාව එදා ඉඳලම තිබුණා. මම දිවුල්ගනේ පාසලේ උපගුරුවරයෙක්ව ඉන්න කාලේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය ගැසට් කරලා තියෙනවා දැක්කා. අපේ පාසලේ විදුහල්පතිතුමාට මං මේ ගැන කීවා. “හා දාමු පුතා. මමත් ඉන්නවා උඹත් එක්ක.” කියලා සර්රුයි මමයි දෙන්නම විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වුණා. ඒ සඳහා රුපියල් 90ක් වියදම් කළා. රුපියල් 90ක් කියන්නෙ ඒ කාලේ සෑහෙන මුදලක්. 


විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වුණාට මොකද ලොකු සර්ට විශ්‍රාම යන්න තිබුණේ අවුරුදු පහයි. උපාධිය සඳහා විභාගයට පෙනී සිටින්න ආවාම සර් කියනවා “මට මොන උපාධිද බං..... යූ.ටී.බී.ව උනන්දු කරන්නයි මම ලියාපදිංචි වුණේ” කියලා. මට සර් ගැන පුදුම හිතුණා. මං උපාධිය හොඳින් සමත් වුණා.


දිසානායක මහතාගේ විවාහය සිදුවුණේ මොන විදිහටද?
“මගේ බිරිඳ සුමනාවතී සේමසිංහ. ඇයත් ගුරුවරියක්. අපි දෙන්නම දැන් විශ්‍රාමිකයි. යෝජනාවකට අනුව තමයි අපි දෙන්න විවාහ වුණේ. මගේ පුතාලා දෙන්නත් අද හොඳ තැන්වල ඉන්නවා.


ඉතිං ඔබතුමා අවුරුදු 36ක සේවා කාලයෙන් විශ්‍රාම ගැනීමට පෙර විශ්‍රාම ජීවිතය සැලසුම් කළාද?
පැහැදිලිවම ඔව්. මම හොඳින් සැලසුම් කළා. 2005 නොතාරිස් විභාගය ලියලා සමත් වුණා. ඒ විභාගය සමත් කරන්න පාසල් කාලයේදී මා ලද අත්දැකීම් පවා ඕනෑ වුණා. මම දැන් ප්‍රසිද්ධ නොතාරිස් කෙනෙක්. ව්‍යාපාර ඥානයක් නැති නිසා කුඹුරුවැඩ කරන්නත් බැරි නිසා මම මගේ තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ලබා දෙනවා.


පැය තුනකට අධික කාලයක් සාකච්ඡාවේ නිරත ඔහු සැනසුම් සුසුම් හෙළුවේය.


“ගෙවුන ජීවිතෙත් අද මං ඉන්න තත්ත්වය ගැනත්, හෘද සාක්ෂියට එකඟවම මට සතුටුයි. ඔහු සාකච්ඡාවේ සමාප්ති සටහන තැබුවේ එලෙසය.


හෘද සාක්ෂියට එකඟව ජීවත්වීම යනු ඔහුට මේ ජීවිතයේ තවත් ලැබිය යුතු යමක් නොවේ. එවැනි උත්තම මිනිසුන් සමාජයේ විරලයි. ගෙවෙන සෑම මොහොතකම සිනාවෙන ඔහුගේ මුව පිරිසිදු හදවතක් ඇති බවට ප්‍රබල සාක්ෂියකි. එවැනි අව්‍යාජ පුද්ගලයන් බොහෝ කලක් අප හා සමග සිටිය යුතුයි. එනිසා ඔහුට දීර්ඝායුෂ පැතීම ඔබේත්, මගේත් යුතුකමකි.

අඹන්පොළ
අනිල් ගාමිණී විජේරත්න