අප්‍රිකානු වනපෙතේ සොඳුරු මතක සටහන්


රටකින් රටකට

 

 

 

නැගෙනහිර ​අප්‍රිකාවේ ටැන්සානියා (Tanzania) රාජ්‍යයේ අප්‍රිකානු වනජීවි කළමනාකරණ විද්‍යාලයේ (East African College of Wildlife Management) ඉගෙනුම හා පුහුණුව ලබමින් සිටි වකවානුවේ (1982-1984) දිනපතා සවස 5.00 ට පමණ මගේ මිත්‍ර චන්ද්‍රා ජයවර්ධන සමග ශාරීරික ව්‍යායාමයක් හැටියට, කිලිමන්ජාරෝ කන්දේ (Mt. Kilimanjaro - අඩි 19360 උස) දකුණු බෑවුමේ ඉහළට කිලෝ මීටර් හතරක් පහක් ඇවිද යාමට පුරුදුව සිටියෙමි. වනජීවි විද්‍යාලය පිහිටා තිබෙන්නේ කිලිමන්ජාරෝ දකුණු බෑවුමේ (Southern Slope) ‘මවේකා (Mweka)' නම් වූ ගම්මානයේය.   


මීට වසර 360000 ට පෙර පුපුරාගිය ගිනිකන්දකින් (Volcanic Eruption) නිර්මානය වූ කිලිමන්ජාරෝ වේ කඳු මුදුන වසර පුරාම හිම කපොල්ලකින් (Snow - Cap) වැසී තිබේ. විද්‍යාල නේවාසිකාගාරයේ ජනේල කවුලුවලින් දිවා කාලයේ පිටතට නෙත් යොමු කරන විටම දිස්වූයේ මනස්කාන්ත හිම කපොල්ලයි.   


1983 වසරේ අගෝස්තුවේ දින තුනක් තුලදී අපි 70 ක් වූ ශිෂ්‍ය කණ්ඩායම පාගමනින් කිලිමන්ජාරෝව තරණය කොට හිම කපොල්ල මත සිටගත් ආකාරයත් එම කඳු මුදුනේ කුඩා කොන්ක්‍රීට් කාමරය තුළ තබාතිබූ පොතේ නම ලියා අත්සන යෙදූ ආකාරය සිහිපත් වනවිට මම මනසින් නැවත ටැන්සානියාවට ඇතුළු වෙමි.   


අපි දෙදෙන මෙසේ ඇවිද යන සැම දිනකම මග දෙපස දිස්වූයේ ඉතා සශ්‍රීක ආනමාලු කෙසෙල්, කෝපි, සූරිය කාන්ත (Sunflower) වගාවයි. මයියොක්කා (Cassava) සවහිලි සහ සූරිය වගා කරන්නේ පිසින තෙල් ලබාගැනීමටය. (Sunflower Oil)   


මයියොක්කා පඳුරු සුලභව වගා කොට ඇත. කිලිමන්ජාරෝ කඳු බෑවුම්වල පදිංචිව සිටින්නේ චාගා (Chagga) ගෝත්‍රික ජනතාවයි කඳු පාමුල - මොෂි (Moshi) නගරයේ සිට අරූෂා (Arusha) ම්ටොවාම්බු (Mto Wambu) ලේත් මන්යාර් (Manyara) වික්ටෝරියා විල ආදී පහත් සමතලා භූමිවල වෙසෙන්නේ මසායි (Massai) ගෝත්‍රිකයින්ය. චාගා ගෝත්‍රිකයින්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන වන අතර මසායිවරු වනාහි, විශාල එළ හරක් පට්ටි පවත්වාගෙන යමින් තැනින් තැනට (Pastoralists) සංක්‍රමණය වන ජනතාවකි.   


ගොවිතැන කෙරෙහි ඔවුන් දක්වන්නේ මැළිකමකි. මසායිවරුන් එළහරකුන්ගේ බෙල්ලේ ප්‍රධාන ලේ නහරය වන Jugular Vein ඊතලයකින් සිදුරු කොට පිටතට වෑස්සෙන ලේ ලබුකැටයකට එකතු කොට රැ​ෙහ් එවුන් බෙද‌ාගෙන පානය කරති. මෙලෙස වරකට එළහරකුන් (15) පහළොස් දෙනෙකුගේ වත් ලේ ගනිති. මෙය මා දුටුවේ මසායි ගමකට චන්ද්‍රා සමග ගොස් ඔවුන්ගේ පැල්පත් නිවාසවල ගත කළ දින කිහිපයේදීය.   


ගොරොංගොරෝව නිර්මාණය වීම   


උතුරු ටැන්සානියාවේ පිහිටා තිබෙන Multiple Use conservation Area ගොරොංගොරෝව වනාහි බහුකාර්ය සංරක්ෂණ කලාපයකි. මීට වසර මිලියන දෙකහමාරකට (2 1/2) ඉහතදී - පෘථිවි අභ්‍යන්තරයේ පවතින ගිනියම් වූ මැග්මා (magma) ඉතාමත් අධික පීඩනයකින් පෘථිවි පෘෂ්ඨයා (Earth Crust) කඩා බිදගෙන ඉහළ ආකාශය දෙසට අඩි 10000 උසට ගලා විහිද ගොස් නැවත මිහිමත පතිත වීමෙන් ගොරොංගොරෝව නිර්මාණය විය. මැග්මා පොළොව මතුපිටට ගලා ආ පසු හඳුන්වන්නේ ලාවා (Larva) හැටියටය.   
ලාවා නිවීගිය පසු ඉතා සැහැල්ලු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි හැටියට බිම පතිත වී තිබූ හැටි මිත්‍ර චන්ද්‍රා සහ මම දුටුවේ කිලිමන්ජාරෝ උස අඩි 19360 කන්ද තරණය කළ දින දෙක තුන තුළදීය. 

 
මෙසේ පතිත වූ ලාවා නිවී යාමේදී පෘථිවිය මත බේසමක හැඩයෙන් යුත් ‘කල්දේරාවක්’ (Caldera) නිර්මාණය වූ අතර එහි ගැඹුර අඩි 2000 කි. කල්දේරාවේ පතුල (Crater Floor) වපසරිය වර්ග සැතපුම් 100 ක් වන අතර උස (Crater Floor) මුහුදු මට්ටමේ සිට අඩි 5900 කි. වසර 2013 දී ​ෙගාරොංගොරෝව අප්‍රිකාවේ පුදුම හතෙන් (Natural Wonders) එකක් බවට නිගමනය වූ අතර නුදුරින් පිහිටා ඇති ඔල්ඩුවයි දුර්ගයේදී (Olduvai Gorge) සොයාගෙන තිබෙන ආදිමිනිසාගේ, නෂ්ටාවශේෂ අනුව ආදි මිනිස් විශේෂ (Honunids) ගණනාවක් ගොරොංගොරෝවේ විසූ බවට වාර්තා වී තිබේ.   


මෙම සුවිසල් ප්‍රදේශය ‘ගොරොංගොරෝ’ හැටියට නම් කරනු ලැබුවේ මසායි ගෝත්‍රිකයින් විසින් ඔවුන්ගේ එළ හරකුන්ගේ බෙල්ලේ බැඳ තිබූ ලීයෙන් නිමවනලද සීනු (Cow Bell) වලින් නික්මෙන න්ගොරෝ න්ගොරෝ (Ngoro Ngoro) ශබ්දයට සමාන බැවින් බව විද්‍යාලයේදී අපි දැනගතිමු.   


ගොරොංගොරෝව බලා යාමට තීන්දුකිරීම (1983 ජූලි අවසානයේදී)   


චන්ද්‍රාත් මමත් මෙසේ ඇවිද ගිය දිනක මම මිතුරා ඇමතීමි ‘චන්ද්‍රා ලබන අගෝස්තු විද්‍යාලයේ නිවාඩු කාලේ විද්‍යාලයේ යුනිමොග් (Unimog Truck) ට්‍රක් රථය හයර් එකට ඉල්ලාගෙන ලේක්මන්යාරා (වපසරිය වර්ග සැ 205) Lake Manyara National Park) උද්‍යානයට ගොහින් දවස් දෙකක් ඉදලා ​‘ගොරොංගොරෝවේ’ (Ngorongoro Conservation Area) වපසරිය වර්ග සැ 6000) සංචාරය කරලා එමුද?’’   


‘‘විල්සන් ඒ අදහස නම් හොඳයි අපේ යාළුවෝ සියලු දෙනා උන්ගේ ගම් ගෙවල් දොරවල්වලට ගියාම අපට කොලේජ් (College) එකේ නිකං කාලය ගතකරන්න වෙනවා නේ. මම උඹේ ඉල්ලීම නිසා එන්නම්. හැබැයි උඹ මගේ වියදම් දරන්න ඕන’’චද්‍රාගේ පිළිතුර විය. චන්දා... උඹ මගෙන් මොනවත් අහන්න එපා..‘අපෝ කට නම් අරින්න එපා මම උඹේ වියදමත් දරන්නම්. මළවදේ මම එන්නම් යමං උඹ කාලේට (John Kale පරිපාලන නිලධාරි) කතා කරලා වාහනයක් ඉල්ලා ගනිං. අපි ගමනට මුදල් ගෙවනවා කියලා’’   


‘‘හරි මම ඒ වැඩේ කොරන්නම් උඹත් මා එක්කම යමං’’ මගේ ප්‍රතිචාරය විය.   


♦ විද්‍යාලයේ පරිපාලන නිලධාරියා හමුවීම   


1983 ජූලි අවසානයේ අපි දෙදෙනා විද්‍යාලයේ පරිපාලන නිලධාරි ජෝන් කාලේ (John Kaale) හමුවීමට ගියෙමු. ඔහු ‘මසායි’ (Massai) ගෝත්‍රිකයෙකි. ස්වහිලිභාෂාවෙන් (රටේ ප්‍රධාන භාෂාව) මම ඔහු ඇමතුවෙමි.   


‘‘හබාරියාකු ම්සේ (Habariaku Mse) ආයුබෝවන් වැඩිහිටියාණනි. කාලේ මා අමතමින් ‘‘අසන්නේ සානා (බොහොම ස්තුතියි) ස්වහිලි භාෂාවෙන්ම මා ඔහු අමතමින් ‘‘ම්සේ මම ආවේ ඉල්ලීමක් කරන්න. අපි ඉදිරි අගොස්තු විද්‍යාලයේ නිවාඩු මාසේ ‘‘ගොරොංගොරෝව’’ පැත්තෙ ගොහින් දවස් දෙකක් (02) ඉඳලා එන්නයි. කල්පනාව විද්‍යාලයේ ට්‍රක් රථය හයර් එකට දෙන්න පුළුවන්ද, අපි මුදල් ගෙවන්නම්. 

 
‘කාලේ’ අපි දෙදෙන අමතමින් (ස්වහිලි භාෂාවෙන්) ‘අම්නා ශිඩා බානා’ (ප්‍රශ්නයක්ද නෑ යාළුවා) කෝකිජු චවුලා? (කවද‌ාද යන්නේ?) අගෝස්තු 05 වෙනිද‌ා’ චන්ද්‍රා ඉංග්‍රීසි භාෂාවෙන් පිළිතුරු දුණි. අපගේ ඉල්ලීම සාර්ථක විය.   


ගමනාරම්බය සහ ලේක්මන්යාරා Lake Manyara උද්‍යානයට පිවිසීම   

 

 

 


අප දෙදෙන විද්‍යාලයෙන් පිටත්වීමට පෙර විද්‍යාල ගබඩාවෙන් කූඩාරම්, නවන මේස (Foldtug Tables) පුටු පිඟන් කෝප්ප උයන හට්ටි මෙන්ම මුළුතැන්ගෙයි (Kitchen stores) ගබඩාවෙන් බඩ ඉරිඟු පිටි (Maize Flour) සූරිය කාන්ත තෙල්, බීලූනු, තක්කාලි, දිය ලුණු, හරක් මස් අපගේ ආහාරය සඳහා ලබාදීමට කාලේ කාරුණික විය.   


ඒ අනුව අපගේ ඇඳුම් බෑග් සහ පෙර කී ආම්පන්න ආහාර ද්‍රව්‍ය යුනිමොග් රථයේ පටවාගෙන අපි 1983 අගෝස්තු 05 වන දින වනජීවි විද්‍යාලයෙන් පිටත්ව ‘කිලිමන්ජාරෝ කන්දේ (South Slope) දකුණු බෑවුමේ පහළට යමින් සැතපුම් දොළහක් (12) මග ගෙවා ‘මොෂි (Moshi) නගරයට පැමිණියෙමු. ඉක්බිතිව අවශ්‍ය පෞද්ගලික බඩු මිලදී ගෙන එතැන් සිට සැතපුම් 68 ක් මගගෙවා ‘අරූෂා (Arusha) නගරයට ළඟාවීමු.   


අරූෂාව වනාහි උතුරු ටැන්සානියාවේ අග නගරයයි. ටැන්සානියා රාජ්‍යයේ අගනුවර (Capital Town) දකුණේ පිහිටා තිබෙන ‘ඩාර්එස් සලාම්’ (Dar-es Salam) ය ‘අරූෂා (Arusha) සිට සැතපුම් 80 ක් පමණ ගිය තැන හමුවන්නේ ‘ම්ටොවාම්බු’ Mto-wambu මංසන්ධියයි. මෙම ප්‍රදේශයේ පදිංචිව සිටින්නේ මසායි (massai) ගෝත්‍රික ජනතාවයි. ම්ටෝවාම්බු මංසන්ධියේදී අපි දෙදෙන ට්‍රක්රථයෙන් බැස රියැදුරු ‘මාරියෝ’ අමතමින් “ඔයා ට්‍රක් රථයෙම ඉන්න අපේ බඩු තියෙනවා. අපි දෙ​ෙදනා ගමේ ටිකක් ඇවිදලා එන්නම්. මේ සිලිං 1000 තියාගන්න. අපි ආවට. පස්සේ තේ බොන්න යන්න යැයි කීවෙමු.”


‘‘හොඳමයි සර්” ඔහු කීහ.   


අපි දෙදෙන ඉදිරියට යන විට මීට කලින් වතාවක ම්ටොවාම්බු (Mtowombu) ගමට නුදුරුව ‘මසායි’ ​ගෝත්‍රික ගමේ නතරව සිටි දින කිහිපයේදී අපි දෙදෙනට නවාතැන් අාහාර සපයාදුන් කාන්තාවන්, පිරිමි සහ කුඩා දරුවන් අප දෙදෙනා දැක ඉදිරියට දිව ආවේ. සතුටින් ඉපිළ යමිනි. ‘ම්සේ මේ කොහේ යන ගමන්ද?’’ අසමින් ඔවුහු සියලුදෙන දකුණු අත්ලට කෙළ ගසා අපගේ අතට අතදී ආචාර කළහ.   


අපි දෙදෙනාද දකුණු අත්ලට කෙළ ගසා අත් දුණිමු (මසායි චාරිත්‍රයකි). ම්සේ දවසක් දෙකක් ඉඳලා යන්න’’ කුඩා දරුවෝ කෑගසන්නට වූහ.   


‘‘අපි වෙන දවසක එන්නම්. අපි අද යන්නේ දුරගමනක්. සෙරෙන්ගෙටිය වාරහා ගොරොංගොරෝවට ආසන්නේ සානා (බොහොම ස්තුතියි). අපි පස්සේ දවසක එන්නම් පුතාලා. නැවතත් අපි දෙදෙන දකුණු අත්ලට කෙළ ගසා සියල්ලන්ට අතට අතදී ආචාර කොට ඔවුන්ගෙන් සමුගතිමු.   


අපි දෙදෙනා ට්‍රක් රථයට ගොඩ වූ පසු ලහි ලහියේ පැමිණි හැඩි දැඩි මසායි තරුණයින් දෙදෙනෙක් මලු දෙකක් කර තියා ගෙන වුත් අපගේ ට්‍රක් රථයට දමමින් ‘‘ම්සේ ඔයාලා දෙදෙනගේ කෑමට පැණි දොඩම් ටිකක්’’ යයි පැවසූහ. ඒ වෙනුවෙන් අපි මුදල් දීමට තැත් කළත් ‘‘සල්ලි එපා සර්’’ යැයි කීහ.   


ම්ටොවාම්බු හන්දියේ සිට සැතැපුම් 35 ක් මග ගෙවා අපි ලේක් මන්යාරා (Lake Manyara) උද්‍යානයට පිවිසියෙමු. වේලාව ප.ව 5 පමණ විය. අපි දෙදෙනාගේ වාසනාවට උද්‍යාන භාරකරු කපලොන්ඩෝ (Park Warden - Kapalondo) කාර්යාලයේ සිටියේය. අපි දෙදෙන දුටු ඔහු ‘‘වෙල් කම් යූහෑව්කම් අගේන් සිට් සිට් අපි කෝපි බොමු” යැයි කීහ.   
අපගේ ගමනේ අරමුණ චන්ද්‍රා ඔහුට පැහැදිලි කළේය.   


ඒ අනුව ඔහු සේවකයකුට කථා කොට අපි දෙදෙනගේ කූඩාරම් ඉදිකොට අපගේ ආහාර පිළියෙල කොට දෙන ලෙස උපදෙස් දුණි.   


ඉක්බිතිව කපලොන්ඩෝ අපි දෙදෙන අමතමින් ‘ඔබලා දෙදෙනා උද්‍යානයේ සංචාරයට යනවා නම් මගේ ලෑන්ඩ් රෝවර් රථය අරගෙන යන්න’’ ඔහු සුහදශීලී විය. ‘‘ඔයාට ස්තූතියි කපලොන්ඩෝ එහෙනම් හෙට උදේ 6 1/2 ට විතර වාහනය අපේ කුඩාරම ළඟට එවන්න. අපි පැය 2 1/2 ක් විතර උද්‍යානයේ සංචාරය කොරලා වාහනය එවන්නම් රෑ වෙලා අපේ කුඩාරම පැත්තේ ඇවිත් යන්න’’ යයි කීහ.   


එදින රාත්‍රියේ අපි දෙදෙන රැගෙන ආ කූඩාරමේ ලැගුම් ගත්තෙමු. රාත්‍රී ආහාරය වූයේ ‘උගාලි’ (බඩ ඉරිඟු පිටි තලපය) හරක්මස් සහ තක්කාලි මිශ්‍ර සුප්ය, රාත්‍රියේදී කපලොන්ඩෝ උද්‍යාන භාරකරු අපගේ සුවදුක් අඩුපාඩු සොයා බැලීමට පැමිණියේය   


චන්ද්‍රා ඔහු අමතමින් ‘අම්නා පිඩා බාන (කිසිම ප්‍රශ්නයක් නැහැ) අසන්තේ (ස්තූතියි) රාත්‍රි කාලයේ අපි දෙදෙන ලැගුම් ගෙන සිටි කූඩාරම අසලටම පැමිණි සිංහයින්ගේ ඝෝර නාඩු ශබ්දය නිසා නිදි වර්ජිතව සිටීමට අපි දෙදෙනාට සිදු විය. එතකුදු වුවත් එම අවස්ථාව අපි දෙදෙනාට සද‌ා සිහිවටනයක් විය. 

 
අපගේ මෙම ගමන් සංචාර සඳහා වියදම් කළේ ශ්‍රී ලංකා රජයෙන් මාසිකව අපි වෙත ලබාදුන් ඩොලර් (Us Dollars) 300 බැගින් වූ දීමනාවෙන් ඉතිරි කරගත් මුදලින්ය. එම මුදලින් ටැන්සානියාවේ (Tanzania) යාබද කෙන්යා (Kenya) රාජ්‍යයේ වනජීවි රක්ෂිත සහ උද්‍යානවල සංචාරය කිරීමට ලැබූ අවස්ථාව (1982-1984) අප ලැබූ භාග්‍යයකි.   


ශ්‍රී ලංකාවේ වෙසෙන ධනවත් සල්ලිකාර වනජීවි ලෝලීහු අප්‍රිකානු රාජ්‍යවල අද දව​ෙස්ත් වනසතුන් නැරඹීමට යති. ඒ සඳහා එක් ගමනකට වැයවන මුදල රුපියල් ලක්ෂ 15  ඉක්මවයි.   


පසුදින අරුණෝදය සමග අපගේ කූඩාරමේ සිප් (Zip) දොර විවෘත කළෙමු. ඉක්බිතිව කපලොන්ඩෝ උද්‍යාන භාරකරුගෙන් ලැබුණු උපදෙස් පරිදි සේවකයක් පැමිණ ‘උගාලි’ ආහාරය පිළියෙල කිරිමට පටන්ගති. ඒ අතරතුර කුඩාරමට ඉදිරිපසින් බැබුන් (Baboon) රංචුවක් පැමිණ වාඩිගති.   


‘‘සර් ඔය බැබුන්ලාගෙන් ප්‍රවේසම් වෙන්න. සර්ලගේ බඩු උස්සගෙන ගස් උඩට නගිනවා. බේරගන්න බැහැ’’ ඔහු කීය. එහෙත් මෙය උන්ගේ නිජබිමය, අප ආගන්තුකයින්ය (Strangers) Kapalondo   


උදේ උගාලි ආහාරයෙන් පසු අපි කපලොන්ඩෝගේ වාහනයෙන් ලේක්මන්යාර් උද්‍යානයේ සංචාරය ක​ෙළමු. දැවැන්ත ‘ඇකේෂියා’ගස් (Accacia Tortalis) කඳන්වල පොතු අලින් දළවලින් ගලවා ආහාරයට ගැනීම නිසා, එම ගස් මියයමින් පවතින ආකාරය අපි නිරීක්ෂණය කළෙමු.   


අප දෙදෙනා කැටුව යන රථයේ රියැදුරු චම්බා පැවසුවේ ‘සර් ඔය ගස්වල පොතු අලි - කන එක නතර කරගන්න අපේ ලොකු මහත්මයා (උද්‍යාන භාරකරු) කරන්නේ ‘කුකුල්’ දැල්වලින් කඳන් ආවරණය කරන එකයි. අලියාගේ උසට එහෙම කළාම අලියට බැහැ දළ වලින් කඳේ පොතු (Bark) ගලවන්න. ‘අපි දෙදෙන දැනුම්වත් කළේය. මා රියැදුරු ‘චම්බා’ ස්වහිලි භාෂාවෙන් අමතමින් ‘ම්සේ අපි ආසයි ගස් උඩ නැගලා ඉන්න සිංහයෝ දකින්න.   


ආ හරි මම පෙන්වන්නම්. තවත් සැතපුම් (3) ක් පමණ ඉදිරියට ගිය තැන වාහන කිහිපයක් මාර්ගයේ නතර කරගෙන සංචාරකයෝ කණ්ඩායමක් ඈත බලා සිටිති. අපි ද ඔවුනට එකතු වීමු   


‘හැබෑටම අර ඉන්නේ ඇකේෂියා Accacia ගස්උඩ සිංහයෝ මගෙ අත තිබූ කැමරාවෙන් ඡායාරූප කීපයක් ගතිමි. මේ අවස්ථාවේ මම චන්ද්‍රා අමතමින් ‘‘උඹ දැකල ඇතිනේ වනෝද්‍යානයේ යාල වලස් කෙම ප්‍රදේශයේ පලු ගස් වල අතු උඩට වලස්සු නැගලා විවේක ගන්නවා.   


මේකත් ඒවගේ ජවනිකාවක් තමයි’’   


උඹේ පණ්ඩිත වාක්‍යවලින් මට වැඩක් නැහැ. විල්සන් මගේ ඇස් පෙනෙනවා’’ චන්ද්‍රා බර බර ගාන්නට විය. උදය වරුවේ ‘මන්යාරා’ උද්‍යානයේ සංචාරයෙන් පසු කූඩාරමේ අපගේ බඩු ඉතිරි ආහාර ද්‍රව්‍ය යුනිමොග් ට්‍රක් Truck රථයේ පටවාගෙන මන්යාරා උද්‍යාන කාර්යාලයේදී කපලොන්ඩෝ හමුවී ඔහුට ස්තූති කළෙමු.   


‘කපලොන් ඩෝ මහත්මයාණනි, ඔබ තුමා මතු දිනයකදී ලංකාවට පැමිණෙන්න කියා ආරාධනා කරනවා. ඒ ආවට පස්සේ ඉතිරිටික අපි බලා ගන්නම්’’ කපලොන්ඩෝ අපි දෙදෙන අමතමින් ‘‘අසන්කේ බානා’’ (ස්තුතියි යාළුවා) (ස්වහිලි භාෂාව) ඒ වන විට ඔහු අපි දෙදෙනගේ කුලුපග මිත්‍රයකු වී හමාරය.   


ඔහුගේ කාර්යාලයේ තිබූ විස්තරය අනුව උද්‍යානයේ වපසරිය වර්ග කි.මී 330 කි. ලේක්මන්යාරනිව් උස මුහුදු මට්ටමේ සිට අඩි 3150 කි. චන්ද්‍රා එම විස්තර සටහන් කරගනී.   
කපලොන්ඩෝගෙන් සමුගත් අපි දෙදෙනා ‘සෙරෙන්ගෙටි’ සහ ගොරොංගොරෝ බලා ගමන් ඇරඹුවෙමු. එම මාර්ගය  පිහිටා ඇත්තේ අපි යන මාර්ගයට වම් පසින් දිස්වන අප්‍රිකානු මහා සුවිභේද නිම්නය (Great African Rift Valley) නිර්මාණය වී ඇති උස් බිම හරහාය. දිගින් කිමී 6400 පළල කිමී 60 වන සුවිභේද නිම්නය මැද පෙරදිග ජෝර්දානයේ (Jordan) සිට මොසැම්බික් රාජ්‍ය (Mozambique) දක්වා පැතිර පවතින්නකි.   


සුවිභේද නිම්න පැති බැම්ම මතින් වැටී ඇති මාර්ගය වැලි සහිතය. ඒ වනාහි සෙරෙන්ගෙට් ජාතික උද්‍යානය ඔල්ඩුවායි ගොජ් (Olduvai gorge) සහ ගොරොංගොරෝ බහුකාර්ය සංරක්ෂණ ප්‍රදේශය (Multiple Use Conservation Area) වෙත ළඟාවන මාර්ගයයි. එය මැකුයුනි (Makiyuni) මාර්ග හැටියට හඳුන්වන ලැබේ. දර්ශනීය වික්ටෝරියා විල (Lake Victoria) සෙරෙන්ගෙටියට බටහිර දෙසින් පිහිටා ඇත.   


අපි ගමන් කරමින් සිටින යුනිමොග් රථය වැලි පොල දෙබෑකරමින් අධික වේගයෙන් ඉදිරියට ධාවනය වෙයි. මග දෙපස ජල මූලාශ්‍රයක් දකින්නට නැත. සෙරෙන්ගෙටියේ උස මුහුදු මට්ටමේ සිට අඩි 3010 සිට අඩි 6075 කි. විදේශිකයින් රැගත් වාහන හත අටක් හැරෙන්ට වෙනත් වාහන දකින්නට ලැබුණේ නැත.   


අප පසු කොට පැමිණි අරූෂා (Arusha) නගරයේ සිට සෙරෙන්ගෙටි උද්‍යානයේ මූලස්ථානය වන ‘සෙරොනාරා’ (Seronara) වට දුර කි.මි 318 කි. අරුපාවේ (උතුරු ටැන්සානියා අගනුවර) සිට යාබද කෙන්යා (Kenya) රාජ්‍යයේ අගනුවර වන නයිරෝබි (Nairobi) නගරයට දුර කි.මි. 416 කි.   


පැයක පමණ ධාවනයෙන් පස සෙරෙන්ගෙටි උද්‍යානයේ මූලස්ථානයට අපි ළඟා වීමු. ජීවිතයේ කිසිදිනක ඇති නොවූ සතුටක් අපි දෙදෙනගේ සිත් තුළ ජනිත වී තිබේ. සත්‍ය වශයෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ ‘සෙරෙන්ගෙටි’ සංචාරයක් සඳහා වරම් ලැබුණේ චන්ද්‍රා මා ඇතුළු තවත් දෙදෙනෙකු හට පමණි.   


උද්‍යානයට පිවිසීමට කිමී 05 ට Seronara පෙර එනම් උද්‍යාන ප්‍රේරක කලාපයේදීම (Buffer Zone) සීබ්‍රා Zebra, ජිරාෆ් (Giraffe) විල්ඩබීස්ට් ගවයින් (Wildebeste) ගුවන සිසාරන වල්චර් පක්ෂීන් (Vultures) සෑහෙන සංඛ්‍යාවක් දකින්ට ලැබුණි. සෙරෙන්ගෙටිය හැටියට මෙම විශාල ප්‍රදේශයට (වපසරිය වර්ග සැතපුම් 3848) නම ලැබුණේ මසායි ගෝත්‍රික භාෂාවෙන් ‘සිරින්ගෙට්’ විශාල ප්‍රදේශය Massai යන වචනය පදනම් කරගෙනය.   


සෙරෙන්ගෙටි උද්‍යාන මායිමට පරිබාහිර ප්‍රදේශයේ පදිංචිව සිටින්නේ මසායි (Massai) ගෝත්‍රික ජනතාවයි. දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් ලොව පහළ වූ ජන කොට්ඨාසයක් හැටියට (God Chosen People) හැටියට ඔවුන් කල්පනා කරති. මසායි වරුන්ගේ ප්‍රධාන ආහාරය එළහරකුන් ලේ (පානය කිරීම) සහ හරක් මස්ය.   


‘සෙරොනාරා ලොජ්හි (Seronara Lodge) ලැගුම් ගැනීම මිල අධික වූ බැවින් උද්‍යානයේ නියෝජ්‍ය භාරකරුගේ නිල නිවසේ අපි එක් රාත්‍රියක් ගත කළෙමු.   


‘ඛෙම කුන්ඩෙ’ නියෝජ්‍ය භාරකරු අපගේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු අපි දෙදෙන අමතමින් ‘‘චන්ද්‍රා විල්සන් ඔය දෙදෙනා මගේ නිවාසයේ ඉන්න ‘සෙරොනාරා ලොජ්’ හෝටලයේ කාමර ගිනි ගණන්. කෑමට විතරක් එතෙන්ට යන්න’   


හීලෑවූ සීබ්‍රාවුන් දෙදෙනෙකු අප සිටි නිවස අසලට පැමිණ ආගන්තුකයින් වූ අපි දෙදෙන ඉව කරන්නට වූහ. කෙම කුන්ඩෙ ගේ නිවස තුළ ඉතාමත් හීලෑ වූ හයිරැක්ස් (Hyrax) දෙදෙනෙකු විය. හයිරැක්ස් වනාහි හාවකු ප්‍රමාණයේ හුරුබුහුටි මිනිසාට කිසි අයුරකින් වත් හිරිහැරයක් නොමැති සත්වයෙකි.   


මා යාල ජාතික උද්‍යානයේ භාරකරුව සිටි සමයේ මගේ නිල නිවස තුළ විසූ දඬුලේනුන් දෙදෙනා සිහිපත් විය. කුඩා රංචු වශයෙන් ගැවසෙන හයිරැක්ස් අප්‍රිකාවට සීමා වූ සතෙකි. සැවානා (Savanha) තණ බිම් වල ගල්ගොඩවල් ආශ්‍රිතව වෙසෙන හයිරැක්ස් ශාක භක්ෂකයෙකි.   

 

 


මතු සම්බන්ධයි..