අපල දුරු​ෙවන ප්‍රතිකර්ම


රවි - ග්‍රහ ලොව රජු හැටියටද පියා හැටියටද හැඳින්වෙයි. ජීවබලය ඌෂ්ණත්වය ආලෝකය පිරිසිදුකම සිත් ඇදගන්නාබව ලබාදෙයි. ශරීරයේ හෘදය වස්තුව ලේ, ඇස් දෙක ආදියට අධිපතිවේ. රවි බලවත්වීම රජවරුන්ට ඉතා යහපත්ය. රවි දුර්වලවූ විට හෘද රෝග මොළය දුර්වලවීම වැනි දේට බලපායි. ශුභඵල ලැබීමට සූර්ය මණ්ඩල යන්ත්‍රය පැලඳීම, පද්මරාග මැණිකක් ඇල්ලූ මුද්දක් වෙඳැඟිල්ලේ පැලඳීම, බෝධි පූජා පැවැත්වීම ශුභයි.   


සඳු - ග්‍රහ ලොව මව් හැටියට සලකයි. සිතුවිලි අදහස් වෙනස්වන ගති ස්වභා පිහිටිය හැක. පිළිසිඳ ගැනීම්, දරුවන් ඉපදීම වැනි දේට බලකාරකය. පුර පක්ෂයේ සඳු ප්‍රිය පෙනුම සෞම්‍ය ගති යහපත් සිතුවිලි ලබා දෙයි. සඳු දුර්වලවූ විට සෙම් රෝග, සිහිමදගති, පහත් සිතුවිලි, පෙණහලු රෝග වැනි​ දේ බලපායි. චන්ද්‍ර මණ්ඩල යන්ත්‍රය පැලඳීම රිදී මුද්දකට මුතු අල්ලා සුළැඟිල්ලේ පැලඳීම, බෝධි පූජා පැවැත්වීම ශුභයි.   


කුජ - ග්‍රහ ලොව සෙන්පතියා ලෙස සලකයි. ක්‍රීඩා කෞශල්‍යය සටන්කාමීත්වය තීක්ෂණ අවබෝධය ලබාදෙයි. ශරීරයේ නාසය නළල රහස් ස්ථාන මස්පිඩු ලේධාතුව කුජට අයත්ය. කුජ බලවත් වූ විට පිරිස් නායකත්වය, කඩිසර බව, ශක්තිමත් බව, උද්‍යෝගය ඇති වේ. කුජ දුර්වල වූ විට හදිසි අනතුරු, විපත්ති, රණ්ඩු දබර ආදියට යොමුවීමට ඉඩ තිබේ. රතන යන්ත්‍රය හෝ කන්දකුමාර යන්ත්‍රය පැලඳීම රතු මැණිකක් රිදී මුද්දකට අල්ලා පැලඳීම බෝධිපූජා පැවැත්වීම ශුභයි.   


බුධ - ග්‍රහ ලොව කුමරු හැටියට හඳුන්වයි. තමාට ​යෝග වූ ග්‍රහයාගේ ගතිගුණ ගනියි. ස්වකීය බලයක් නැත. බුධ බලවත් වූ විට අධ්‍යාපන කටයුතුවලට ඉතා හොඳය. ඉගෙනීමට දක්ෂ වේ. කතාවට ලොල් වේ. තීක්ෂණ බුද්ධිය ලබයි. දක්ෂ නිවේදකයකු වීම, පොත් ලිවීම, නීතිඥ වෘත්තිය පොත්පත් වෙළෙඳාම වැනි දේ කළ හැක. බුධ දුර්වල වූ විට සිහි කල්පනාව අඩුකම බොරුකීම, ගොතගැසීම, රැවටිලිවලට අසුවීම වැනිදේ බලපායි. විෂ්ණු මණ්‍ඩලය යන්ත්‍රය පැලඳීම රන් හෝ රිදී මුද්දකට පච්ච මැණිකක් අල්ලා සුළැඟිල්ලේ පැලඳීම බෝධි පූජා පැවැත්වීම ශුභයි.   


ගුරු - ගුරුන් වහන්සේ යන ආරූඪ නාමයකින් හඳුන්වයි. මිනිසාගේ සියලු යහපත් දේ උසස්වීම් වැනි දේ ලබාදෙයි. ශරීරය මහත් වීම, මස්පිඬු තෙල් ගතිය වැනි​දේ ගුරුට අයත් වේ. ධාර්මිකබව, ශරීර නිරෝගිකම, උසස් අධ්‍යාපනය, වාසනාවන්ත බව ගුරු නොහොත් බ්‍රහස්පති නිසා පිහිටයි. ගුරු බලවත් වූ විට ඥානය ඇතිවේ. ආගම දහමට ළැදි වේ. ගතිගුණ යහපත් වේ. ධනය ද ලබයි. ගුරු දුර්වල වූ විට දියවැඩියාව, ලේ විෂවීම, ශරීරය අධිකව මහත්වීම වැනි රෝග සෑදේ. නවගුණ යන්ත්‍රය හෝ බුදුගුණ යන්ත්‍රය පැලඳීම පුෂ්පරාග මැණිකක් රන් මුද්දකට අල්ලා වෙදැඟිල්ලේ පැලඳීම ශුභයි.   


ශුක්‍ර - ග්‍රහ මණ්‍ඩලයේ මනාලිය හැටියට හඳුන්වයි. සෞම්‍ය ග්‍රහයෙකි. ශරීරයේ උගුර, කම්මුල්, වකුගඩු, ශුක්‍ර ධාතුව ඊට අදාළ ඉන්ද්‍රියයන් සම්බන්ධව අධිපති වේ. සංගීතය කලාවට ළැදිබව, කාමභෝගීබව, තරුණ පෙනුම, ආදරය සිකුරුගෙන් ලැබේ. සිකුරු බලවත්වීමෙන් ලස්සන ඇඳුම් පැළඳුම්, රස ආහාර, සැපවත් ජීවිතයක් ලබයි. සිකුරු දුර්වලවූ විට මුත්‍රා රෝග, දියවැඩියාව, වකුගඩු දුර්වලවීම, බෙල්ල මහත්වීම, සෙම්ගෙඩි වැනිදේ බලපායි. නවගුණ යන්ත්‍රය පැලඳීම මුතු හෝ දියමන්ති රන් හෝ රිදී මුද්දකට අල්ලා පැලඳීම ශුභයි.   


ශනි - දුකට අධිපතිය. අපිරිසිදුකම, දුක් කරදර, ඉවසීම, කම්මැළි ස්වභාවය මහලු බව සෙනසුරුගේ ගති ලක්ෂණ වේ. ශරීරයේ අස්ථි, ඇට මිදුළු, කන්, දත්, පාදවලට අධිපති ග්‍රහයා වේ. පාපීග්‍රහයෙකු හැටියට හඳුන්වතත් ජන්ම පත්‍රයේ බලවත් වී යෙදී ඇත්නම් රාජ පාක්ෂිකබව, විචක්ෂණභාවය, චාම්බව, ඉවසීමේ ශක්තිය ජන්මියා තුළ ඇති වේ. සෙනසුරු දුර්වල වූ විට මුත්‍රාශයේ ගල් ඇතිවීම, දත් රෝග, පාදවල ආබාධ වැනි දේ බල පෑ හැකිය. විෂ්ණු පඤ්ජරය යන්ත්‍රය නිලමණ්‍ඩලය යන්ත්‍රය පැලඳීම නිල්මැණිකක් රන් හෝ රිදී මුද්දකට අල්ලා පැලඳීම ශුභයි.   


රාහු - ඡායා ග්‍රහයෙකි. රාහු බලවත්ව පිහිටි විට විදේශ ගමන්බිමන් යෙදීම, මුදල්ලාභ, ලොතරැයි දිනුම් වැනිදේ ලබාදෙයි. රාහු දුර්වල වූ විට සිහියේ අවුල් ස්වභාවය, නඩුහබවලට පැටලීම, සමහරවිට කුඩා අවදියේම ඉගෙනීම කඩා කප්පල්වීම, රැකියා අහිමිවීම වැනි දේ බලපායි. විෂ්ණු මණ්‍ඩලයේ යන්ත්‍රය නාගර්ජුන යන්ත්‍රය පැලඳීම, ගෝමේද මැණිකක් රන් මුදුවකට අල්ලා පැලඳීම ශුභයි.   


කේතු - ඡායා ග්‍රහයෙකි. බලවත්ව පිහිටි විට පොතපතට ආශාවෙයි. ඉගෙනීම දියුණු කරගනියි. කේතු දුර්වල වූ විට ශරීරය කෙට්ටු වේ. තුවාල ඇතිවීම, සමේ රෝග, අනුන්ගෙන් අපහාස විඳීමට සිදුවීම වැනිදේ බලපායි. භූත දෝෂ බලපෑමටද ඉඩ තිබේ. නවග්‍රහ යන්ත්‍රය විෂ්ණු ආගෝර යන්ත්‍රය පැලඳීම වෛරෝඩී මැණිකක් රන් මුද්දකට අල්ලා පැලඳීම ශුභයි.   

 

 

 

 


ජ්‍යෝතිෂ ශාස්ත්‍රශූරී 
ඩී.බී. වීරතුංග   
(වෛදික ජ්‍යෝතීර් විද්‍යා සම්මාන)   
ශ්‍රී සම්පත් ජ්‍යෝතිෂ කාර්යාලය,   
304, දේවාලපාර, බටකැත්තර,   
පිළියන්දල. 
ටෙලි - 2706027