අපරාධකාරයන්ට සුරක්ෂිතම සිරගෙදර ජීවිතය


 

  • බොහෝ අපරාධ සැලසුම්කර ක්‍රියාත්මක කරන්නේ සිර ගෙදර සිට

 

බන්ධනාගාර නියාමකවරුන්ගේ සිට බන්ධනාගාර අධිකාරීවරුන් දක්වා සෑම නිලයක්ම අපරාධකරුවන්ගේන් ලැබෙන මුල්‍යමය හෝ දේපළමය හෝ වෙනත් වරප්‍රසාද වෙනුවෙන් හෝ යටත් වැසියන් සේ කටයුතු කරන්නේ නම්, ඇතැම් අපරාධකරුවන් අධිකරණ පරිශ්‍රයේදී බන්ධනාගාර නියාමකයන් හා පොලිසිය විසින් විශේෂ වරප්‍රසාද ලබාදෙන්නේ නම්, ඔවුන් අධිකරණයේ පවතින සිරමැදිරිවලට ඇතුළු නොකර බංකුවක වාඩි කරවන්නේ නම් පොලිසියේ ඉහළ නිලධාරින් පවා පැමිණ ඔහුට සර් නොකීවත් සර් කියන මට්ටමෙන් අමතන්නේ නම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි ඇතැම් සැකකරුවන් අතින් උපන්දින කේක් කවාගන්නා තත්ත්වයට විමර්ශන නිලධාරින් පත්වන්නේ නම් මේ රටේ නීතිය, නීතිය රකින්න ස්ථාපිත කළ ආයතන ගැන ජනතාවට තබාගත හැකි විශ්වාසය, බලාපොරොත්තුව කුමක් ද?   

ආරක්ෂක නිවස්නයක් භාවිත කරනුයේ පොලිස් ඔත්තු සේවා, රහස් පොලිසිය හෝ පොලිසියේ වෙනත් විමර්ශන ඒකක හෝ අපරාධකරුවන් හා ත්‍රස්තවාදීන් විසින් සිය කටයුතු පිටස්තර අයට නොදැනෙන සේ ආරක්ෂිතව කර ගැනීමටය. එසේත් නැත්නම් යම් පුද්ගලයන් ආරක්ෂිතව රඳවා තබා ගැනීමටය. පසුගිය වසරේදී ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලැබූ ආරක්ෂක නිවස්න රැසක් පොලිසිය විසින් සොයා ගන්නා ලදී.   


අපරාධකරුවන් තමන්ගේ ආරක්ෂක නිවස්නයක් ලෙස බන්ධනාගාර භාවිත කරන්නේ නම් එහි සිට සිදුකරන අපරාධ වැළැක්වීම සඳහා පොලිසියට ගත හැක්කේ කෙබඳු පියවරක් ද? තමන්ගේ ජීවිතයත් රැකගෙන, කාගෙන්වත් බාධාවක් නැතිව, නවීන තාක්ෂණය, නවීන පහසුකම් සහිත ජංගම දුරකථන භාවිත කරමින් අපරාධ සිදුකරන්නට අපරාධකරුවන්ට බන්ධනාගාර තුළ ඉඩක් ලැබෙන්නේ නම් එය ඔවුන්ට ලැබෙන කෙතරම් මහඟු අවස්ථාවක් ද?   


මෙලෙස බන්ධනාගාරයේ සිට සැලසුම් කළ අපරාධ එකක් දෙකක් නොව අති විශාල ප්‍රමාණයක් උදාහරණ ලෙස ඉදිරිපත් කළ හැකිය. ඇතැම් බන්ධනාගාර නිලධාරීන් තමන් යටතේ සිටින අපරාධකරුවන්ට අපරාධ කිරීම සඳහා සහයෝගය දෙන බවට උදාහරණ අවශ්‍ය නොවේ. බන්ධනාගාර රෝහලේ, බන්ධනාගාර සිරමැදිරිවල තිබි ජංගම දුරකථන හමුවන්නේ නම්, සිම් කාඩ් පත් හමුවන්නේ නම්, ජංගම දුරකථන බැට්රි හමුවන්නේ නම්, මත්ද්‍රව්‍ය හමුවන්නේ නම් ඒවා රැඳවියන් හෝ රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් හෝ බන්ධනාගාරය තුළ දී නිෂ්පාදනය නොකළේ නම් පිටින් ගෙනා ද්‍රව්‍යයන් විය යුතුමය. පිටින් ඇතුළට ඇතුළේ නොතිබිය යුතු ද්‍රව්‍යයන් පැමිණෙන්නේ නම් ඒ කෙසේ ද? සැකකරුවන්ට හෝ රැඳවියන්ට හෝ ගෙන එනු ලබන බත්පත පවා හාරා අවුස්සමින් පරීක්ෂා කරන බන්ධනාගාර නිලධාරීන්ට රැකවලුන්ට මේවා ඇතුළට යාමට පෙර හමු නොවන්නේ ඇයි?   
එහිදී සැක කළ හැකි කාරණා දෙකක් තිබේ. එකක් බන්ධනාගාර නිලධාරීන් දෑස් කන් පියා නොදැක්කා සේ සිටිමින් ඒවාට ඇතුළට යාමට ඉඩ හැර සිටීමය. දෙවැන්න නම් ඔවුන් විසින්ම මේවා ඇතුළට ගෙන ගොස් දීමය. මේ දෙකෙන් කොයි එකක් සිදු කළ ද ඒ කොයි එකක් වෙනුවෙන් වුවද අදාළ නිලධාරියාගේ ගිණුමට මුදලක් බැරවනු ඇත. එසේත් නැත්නම් බන්ධනාගාරය තුළ දී ගතමනාව අතටම ලැබෙනු ඇත.   


උදව් කරන්නන්ට මෙලෙස ගතමනා ලැබෙනවා සේම එරෙහිව යන්නන්ට ද ලැබෙන දේවල් තිබේ. ඒ ඔහුට හෝ ඇයට මෙන්ම පවුලේ සාමාජිකයන්ට එල්ල වන මරණීය තර්ජනය. ඇතැම් ජේලර්වරු, ඇතැම් බන්ධනාගාර නියාමකයන් හිටි ගමන්ම රාජකාරියෙන් ඉල්ලා අස්වන්නේ ඊට සුදුසු හේතු දැක්වීමක් ද නොකරමය. අවම වශයෙන් තමන්ට තර්ජනයක් ඇති බව පැවසීමට පවා ඔවුහු බිය වෙති.   


ගාල්ලේ හිටපු බන්ධනාගාර නියෝජ්‍ය ජේලර් තිළිණ රුවන් නිහාර ජයරත්න මහතා පසුගිය වසරේ අගෝස්තු 03 වැනිදා නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වන්නේත් එලෙස ක්‍රමයට එරෙහිව යාමේ වරද නිසා බවට සැකයක් තිබේ. මන්ද ඔහු ගාල්ල බන්ධනාගාරය තුළ සිදුවූ දූෂණ සම්බන්ධයෙන් ඉහළට පෙත්සම් ඉදිරිපත් කළ නිලධාරියෙකි. ඒ වරද නිසා වරක් අපරාධකරුවන් සමග එක්ව කුඩු බිස්නස් කරන්නෙක් යැයි බන්ධනාගාරයෙන්ම ආ තොරතුරක් මත වැඩ තහනමට ලක්ව පසුව නිදොස්කොට නිදහස් වූවෙකි.   

 

 


යළි සේවයේ පිහිට වූ පසුව ද ඔහු නිකම් සිටියේ නැත. ඔහුගෙන් නිදහස් වීමට අපරාධකරුවන් හා ඔවුන්ට සහය වන බන්ධනාගාර නිලධාරින්ම එක්ව කුමන්ත්‍රණය කරන්නේ ඒ නිසාය. මේ නිලධාරියාට වෙඩි තැබීම සැලසුම් වන්නේ ඒ වනවිටත් අත්අඩංගුවේ සිටි දකුණේ ප්‍රබල පාතාල නායකයෙකු වන පොඩි ලැසී විසින් බවට තොරතරු අනාවරණය වී තිබේ. එහිදී වෙඩි තැබීමට අවශ්‍ය ආයුධය සැපයීම, වෙඩික්කරු සැපයීම, මෙහෙයුමට අවශ්‍ය යතුරු පැදිය සැපයීමේ සිට සියල්ල ඔහු රිමාන්ඩ් සිරමැදිරයේ සිට සැලසුම් කර ජංගම දුරකථනයෙන් මැදිහත්ව අදාළ පුද්ගලයන් අතර සම්බන්ධීකරණය පවත්වාගෙන ගිය බවට ද සැක කළ හැකි තොරතුරු පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබේ. පසුව කළ සෝදිසියක දී රිමාන්ඩ් භාරයේ සිටිය දී පොඩිලැසී භාවිත කළ බවට සැක කරන ජංගම දුරකථන හයක් සොයාගෙන තිබේ.   

ය. බන්ධනාගාරයේ සිටින මහමොළකරු තමන්ගේ සැලැස්ම ක්‍රියාත්මක වනු බන්ධනාගාර සිරමැදිරියේ සිටම සජීවීව නරඹන්නේ ඒ පහසුකම නිසාය. පසුගියදා පැහැරගෙන ගොස් ඝාතනයට ලක් කළ කඩවත පොලිසියේ කොස්තාපල්වරයාගේ මරණය සම්බන්ධයෙන් පාතාල සාමාජිකයෙකු වන බන්ටී නමැත්තා විසින් රිමාන්ඩ් භාරයේ සිටින සිය පියාට සිදුවීම සජීවිව දැක ගැනීමට අවස්ථාව සලසා දී තිබුණේ සිය ජංගම දුරකථනයෙන් වයිබර් තාක්ෂණය ඔස්සේය.   


හොරණ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් කුඩු කිලෝ දෙකක් සමග අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර කළුතර ජාවත්ත බන්ධනාගාරයේ සිටිය දී කෑගල්ල අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා කෑගල්ල බන්ධනාගාරයට රැගෙන යනු ලැබූ සුනිල්ශාන්ත නොහොත් අජිත් වීරසිංහ අතුරුදන් වන්නේද බන්ධනාගාරයේ ඉහළම නිලධාරියෙකුගෙන් ලැබුණ සහයක් මත බවට ද තොරතුරු වාර්තා විය. 

 
ඔහු අතුරුදන් වූයේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ දී වෙනත් බන්ධනාගාර අතර සිරකරුවන් හුවමාරු කෙරුණ දිනයකදීය. එනම් 2018 නොවැම්බර් 17 වෙනිදාය. එලෙස හුවමාරුවන සිරකරුවන් රැගෙන ඒමට කළුතර බන්ධනාගාරයෙන් වාහනයක් රැගෙනවිත් තිබියදී බන්ධනාගාර නිලධාරින් යටතේ සිටි සැකකරු පලා ගියේය. කෑගල්ලේ බන්ධනාගාරයෙන් පැමිණි නිලධාරියා පවසන්නේ කෑගල්ල හා කළුතර බන්ධනාගාර අතර සිරකරුවන් කළුතරින් පැමිණි බන්ධනාගාර නිලධාරියාට භාරදුන් බවය.   
සාමාන්‍යයෙන් සැකකරුවෙක් බන්ධනාගාර රථයකින් රැගෙන යන විට ජේලර්වරයෙකු, මාංචු නිලධාරියෙකු, සැරයන් වරයෙකු, බන්ධනාගාර අවි නිලධාරීන් දෙදෙනෙකු ද සිටිය යුතුය. විශේෂ සැකකරුවෙක් රැගෙන යන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පොලිසියෙන් ලිඛිත ඉල්ලීමක් කර අවශ්‍යතාව අනුව පොලිස් නිලධාරින් කීප දෙනෙක් ආරක්ෂාවට කැඳවා ගත යුතුව ඇත. මෙම සැකකරු ද අවස්ථා කීපයක දී පැන යාමට උත්සාහ කළ මුදල් අල්ලස් දී පවා පලා යාමට උත්සාහ කළ විශේෂ ගනයේ සැකකරුවෙකි. ඒ නිසා එවැනි සැකකරුවෙකු තනිවම පැමිණ බාරගන්නා ජේලර්වරයෙකුට භාරදුන්නේ කෙසේ ද?   


කෙසේ වෙතත් මෙම සිරකරු කරනු ලැබුවේ සෙනසුරාදාය. ඔහුට එරෙහි නඩුවක් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූයේ 19 වැනිදාය. 17 වැනිදා සිට 19 වැනිදා උදෑසන දක්වා මෙම සිරකරු ගැන කළුතර බන්ධනාගාර නිලධාරින් සෙව්වේ නැත. එසේ වූයේ ඇයි? එසේම සිරකරු පලාගොස් ඇති බව 21 වැනිදා මාධ්‍ය මගින් අනාවරණය කරන තෙක් ඔහු ගැන සෙවීමට බන්ධනාගාර නිලධාරීන් නිසි වැඩපිළිවෙළක් යෙදුවේ ද නැත. සිරකරු පැහැරගෙන ගියේ බන්ධනාගාර නිලධාරියෙකු අන්දවා එවන ලද මධූෂ්ගේ ගෝලයෙකු විසින් බවට ද කතාවක් පැතිර ගියේය. කෙසේ වෙතත් මේ ගනුදෙනුව සිදුව තිබුණේ බන්ධනාගාර නිලධාරියෙකුගේ අනු දැනුම ඇතිව බවට ද පසුව දැන ගන්නට ලැබිණ.   
මේ සිරකරු සේම වැලිකඩ සිරගෙදරින් ෆාරිස් නමැති තවත් ප්‍රබල කුඩු ව්‍යාපාරිකයෙක්ගේ ගෝලයෙක් පලා ගියේය. ඒ ඔහුගේ හැඩරුවට සමාන වෙනත් පුද්ගලයෙක් බලහත්කාරයෙන් අත්අඩංගවට පත්ව වැලිකඩ රිමාන්ඩ්භාරයට පත්වී ඔහුගේ නඩුවට පෙනී සිටිම සඳහා ෆාරිස් යවා ඇප ලබාගන්නා ආකාරයෙන් බව ද වාර්තා වේ. මෙම සිරකරු ගැන අදටත් විමර්ශනයක් නැත.   


අංගොඩ ලොක්කාගෙන් හා රණාගේ සමයංගෙන් නිදහස් වූ කඩුවෙල හංවැල්ල ප්‍රදේශයේ බලය තම තමන් සතුකර ගැනීමට අංගොඩ ලොක්කාගේ ගෝලයන් වන මාඹුලගේ මෙලන් දිනෙත් නොහොත් ඌරු ජුවා හා ඉඳුනිල් වජිර කුමාර නොහොත් අංකුඹුරේ ඉඳුනිල් නොහොත් ඉන්දා යන දෙදෙනා දරන උත්සාහයන් නිසා හංවැල්ල ප්‍රදේශය වසර දෙකක පමණ සිට භීෂණයෙන් ඇළලී ගියේය.   


ඉන්දාට සහය දෙන්නේ යැයි සැකකරමින් ඌරුජුවා කරන බලපෑම්වලට බියෙන් ප්‍රදේශය හැර ගිය වැලි මුදලාලි ළඟ වැඩකළ තාරක නමැති බැකෝ යන්ත්‍ර ක්‍රියාකාරු ඌරුජුවාගේ කල්ලියෙන් ඝාතනය කිරීමත් සමග ඇරඹුණ ගිනි ගැනිල්ල නිසා දෙපාර්ශ්වයේ හත්අට දෙනෙක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. එසේම දේපළ විනාශ විය. මේ නිසා අදටත් ඌරු ජුවා සිටින්නේ අත්අඩංගුවේය. එහෙත් හිරේ සිටම තමන්ගේ කල්ලිය මෙහෙය වූ ඌරු ජුවා තමන්ගේ විරුද්ධ පිලේ හතරපස් දෙනෙක් ද එලොව යැව්වේය. අදටත් හංවැල්ලේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් එකතු කරන්නේය. ඔහුගේ බලපෑම් නිසා ඇතැම් ව්‍යාපාරිකයන් අදටත් ප්‍රදේශයේ පදිංචි වී නැත.   


ප්‍රදේශයේ ජීවත්වෙන්න බැරිව තමන්ගේ ඉඩ කඩම් විකුණා දමා ප්‍රදේශය හැර යන්නට එක්තරා ගුරුවරයෙක් කටයුතු කළේය. ඒ ඉඩම් අක්කර ගණනාවක් මිලට ගත් සුපිරි වෙළෙඳ ව්‍යාපාරිකයෙක්. එම ඉඩමේ කර්මාන්ත ශාලා කීපයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණ ද ඌරුජුවාගේ බලපෑම් නිසා ඒ කටයුතු අත්හැර දමා තිබේ. එසේම පසුගිය කාලයේ ජල්තර ප්‍රදේශයේ පවත්වාගෙන යන සුප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක් දෙදිනක් පුරා වසා දමන්නට ඌරු ජුවාලාට හැකි විය.   


ඒ ඌරුජුවාගේ අයියාගේ ලොරි දෙකක් එම ආයතනයට බදු ගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඌරු ජුවා කළ බලපෑම් හේතුවෙන් බව ද පොලිසිය අනාවරණය කරගෙන තිබේ. එහෙත් මේ පාතාලයන්ට තිබෙන බිය කෙතරම් ද යත් මේ දක්වා ඔවුන්ට එරෙහිව පැමිණිල්ලක් කිරීමටවත් මෙම ව්‍යාපාරිකයන් ඉදිරිපත්ව නැත.   


ඌරුජුවා වැලිකඩ හිර ගෙදර සිට ජංගම දුරකථන මගින් කරන අපරාධ සම්බන්ධයෙන් වාර්තා වූ පසු කරන ලද සෝදිසි කිරීම්වල දී ඔහු සතුව තිබු ජංගම දුරකථන කීපයක් සොයාගනු ලැබිණ. ඔවුන් මේ පණිවුඩ හුවමාරු කරන්නේ වැලිකඩ බන්ධනාගාරයේ සන්නිවේදන තරංග අවුල්කරන ජෑමර් යන්ත්‍ර සවිකර තිබියදීය. ඉන්පසු ඔහු බූස්ස බන්ධනාගාරයට මාරු කර යවනු ලැබුවේය. එහි ජෑමර් යන්ත්‍ර හොඳින් ක්‍රියාත්මක වන නිසාත් නීති රීති ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන නිසාත් මෙලෙස හැසිරීමට නොහැකි බව සාමාන්‍ය මතය වේ.   


එහෙත් මේ වනවිට ඌරුජුවා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂ පොලිස් ඒකකයක් විසින් කරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇති පරිදි ඌරුජුවා බූස්සේ සිට ද ජංගම දුරකථන භාවිත කර තිබේ. එසේම ඔහුට ලබාදීමට සිම්පත් දහයක් මිල දී ගත් පුද්ගලයෙකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව තිබූ සිම්පත් පහක් පොලිසිය සොයාගෙන තිබුණ අතර ඉතිරි පහෙන් දෙකක් ඌරු ජුවාට ලැබීමට සලස්වා ඇති බව ද මෙයට සම්බන්ධ වී උදව්කරනු ලබන්නේද බන්ධනාගාරයේම නිලධාරියෙකු බවට ද දැනට යම් යම් තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලිසිය පවසයි.   


බූස්ස හමුදා කඳවුරටම මාස දෙකකට පමණ පෙර තවත් පාතාල කෙරුමෙක් මාරු කර යැවුණේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගේම මෙලෙස ජංගම දුරකථන භාවිත කර සිදු කරන අපරාධ වැළැක්විය යුතු නිසාය. එහෙත් ඔහු ද ජංගම දුරකථන භාවිත කරන බවට දැන් තොරතුරු ලැබෙමින් පවතී.   


ඌරු ජුවාගේ නම භාවිත කරමින් රිමාන්ඩ්භාරයේ සිටි සුද්දා නමැති පාතාල සාමාජිකයෙකු විසින් හංවැල්ලේ ව්‍යාපාරිකයන්ගෙන් මෙන්ම සාමාන්‍ය ජනතාවගෙන් ද කප්පම් එකතු කළ පුවතක් 2018 වසරේදී වාර්තා විය.   


තෙල්වත්තේ පොඩිලැසී රිමාන්ඩ් බන්ධනාගාර ගතවූයේ පාතාලය මෙහෙයවු ප්‍රබලයෙක් මෙන්ම දේශපාලනඥයෙක් හා ව්‍යාපාරිකයෙන් වූ මනෝජ් මෙන්ඩිස් ඝාතනය කිරීම නිසාය. ගාල්ල බන්ධනාගාරයේ සිට ඔහු ද අපරාධ රැසක් සිදු කළේය. හිරගෙදරම සිටි කරන්දෙණියේ සුද්දා සමග එක්ව තමන්ගේ ප්‍රතිවාදියා වු ප්‍රියන්ත රන්ඳුණු ඝාතනය කරවීම ද ඔහුට එරෙහිව ඉදිරිපත් වන චෝදනාවකි. එසේම දකුණේ මත්කුඩු බෙදාහැරීමේ ප්‍රබලයා ඔහුය. ඒ සියල්ල සිදුකරන්නේ ජංගම දුරකථනය ඔස්සේ ගනුදෙනුකරුවන් බෙදාහරින්නන් එකිනෙකා සම්බන්ධ කරමිනි. මුදල් ලබාගන්නේ ඊෂි කෑෂ් ක්‍රමයටය. ගාල්ල බන්ධනාගාරයේ හිටපු නියෝජ්‍ය ජේලර් තිළින රුවන් නිහාර ජයරත්න ඝාතනය ද ඔහුට එරෙහි තවත් ඝාතන චෝදනාවකි.   


මට්ටක්කුලිය, ජම්පටාවීදිය, සෙල්විගේ වත්ත ප්‍රදේශයන්හි අපරාධ වැලක ආරම්භය යෙදුණේ පුකුඩුඛන්නා හා සෙල්වි අතර ගැටුම නිසාය. මේ දෙදෙනාම කුඩු ජාවාරම්කරුවන්ය. පූකුඩුඛන්නා අවස්ථා කීපයක දී උත්සාහ කර දෙවැනි උත්සාහයෙන් සෙල්වි ඝාතනය කළේය. පසුව සෙල්විගේ සැමියාට ද වෙඩි තබා තුවාල සිදු කළේය. මේ ගැටුම තවත් අවසන් නැති අතර මේ වන විට එයින් දෙපාර්ශ්වයේ පහළොවක් පමණ ඝාතනයට ලක්ව තිබේ.   


ඒ අපරාධ රැසක්ම සැලැසුම් කළේ මෙහෙය වූයේ සෙල්විගේ වැඩිමහල් පුතු පලනි ශිරාන් විසිනි. ඔහු ඒ සියල්ල සිදු කළේ සිරගෙදර සිටය. අම්මා ඝාතනයට ලක් වූ පසු තමන්ගේ බාල සොහොයුරන් වන පලනි රිවෝෂන් හා පලනි කෙනිස්ටන් තමන්ගේ ඉලක්කය කරා යාම වෙනුවෙන් මෙහෙයවීමට ශිරාන් සමත් විය. ඒ සඳහා ඔවුන්ට පුහුණුව දීම ආරම්භ කළේ මාකඳාුරේ මදූෂ්ගේ හා කංජිපාන්ගේ සැලැස්මට අනුව ඝාතනය කරන ලද කොස්මල්ලීගේ හිස සහිත පාර්සලය කංජිපාන් විසින් දෙන ලද උපදෙස් පරිදි අලුත්කඬේ ප්‍රදේශයේ ස්ථානයකට ගෙනවිත් දැමීමය .   


2018 පෙබරාවරි 16 වැනිදා එම කාර්යය සාර්ථකව සිදුකළ පසු පුකුඩුඛන්නාගේ කල්ලියේ සාමාජිකයෙක් වූ ඇන්ටන් රාජ්ව ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව රිමෝෂන්ට භාර විය. ඔහුගේ රාජකාරිය වූයේ ඉම්රාන්ගේ දැනුම් දීම අනුව ශිරාන් විසින් දන්වා සිටින පරිදි වෙඩික්කරු යතුරු පැදියේ රැගෙන යාම පමණි. ඒ අනුව 2018 මාර්තු 19 වෙනිදා එම ඝාතනයට හවුල් වූ රිමෝෂන් පළමු ඝාතන අත්දැකීම ලැබුවේය.   


ඉන්පසු එළිසබට් ක්ලැරිස් පෙරේරා නොහොත් ගීතා හා සෙල්ලයියා සෙල්වරාජ් නමැති අඹුසැමි යුවළට වෙඩි තබා ඝාතනය කරවීම, පූකුඩුඛන්නාගේ පියා ගෝපාල්පිල්ලේ බාලචන්ද්‍රන් නමැති ඝාතනය කර වූයේය. මේ ඝාතන වැල කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පලනි රිමෝෂන් හා පලනි කෙනින්ස්ටන් අත්අඩංගුවට ගැනීම නිසා තාවකාලිකව නැවතුණ ද යළිත් ඛන්නාගේ ගෝලයෙකු වූ මාළු ව්‍යාපාරිකයෙකු ඝාතනය කරමින් යළි අපරාධ රැසකට මුල පුරනු ලැබීය.   


 ලෙයට ලෙය පළිගන්නා මේ පුකුඩුඛන්නාගේ කල්ලිය, ඉම්රාන්ගේ කල්ලියෙන් පලිගැනීමට සෙල්විගේ බෑනා කෙනෙක් සහ ඔහුගේ කල්ලියේ ළඟම හිතවතෙකු පසුගිය දා වත්තල හේකිත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කරනු ලැබිණ. මෙලෙස ඝාතනය වූයේ ස්ටිවන් රාමනාදන් රාජ් නමැති 31 හැවිරිදි දෙදරු පියෙකු හා ඔහුගේ ගෝලයාය. මේ සියල්ල සිදුකර තිබුණේ පලනි ශිරාන් හා පළනි රිවෝෂන් විසිනි. ඒ ජංගම දුරකථන භාවිත කරමිනි.   


 මට්ටක්කුලියේ සමිට්පුර කුඩු සුමිත්ගේ පුතා කුඩු රොෂාන් විසින් තම පියාගේ ඝාතනයේ පළිය ගැනීමට ඝාතන රැසක් සිදු කළේය. ඔහු ඒවා සිදු කළේ ද බන්ධනාගාරයේ සිට පිටත සිටින තම ගෝලයන් යොදා ගනිමිනි.   


 කොට්ටාව රුක්මලේ බාලිකා නිවාස පාරේ පදිංචිව සිටි රූපලාවණ්‍ය ශිල්පිනිය වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ 2018 පෙබරවාරි මාසයේදිය. ඇගේ නම පාතාල නම් අතරට එක්වූයේ 2017 ජනවාරි මාසයේ දී අතුරුගිරියේ පවත්ගෙන යනු ලබන ඇගේ රූපලාවණ්‍යාගාරයේ දි පාතාල නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ සමීපතම සගයෙකු වූ ලඩියාගේ හොඳම ගෝලයෙකු වූ මූනිල් බණ්ඩාර ධර්ම ශ්‍රී නොහොත් අතුරුගිරියේ බණ්ඩා වෙනු ඝාතනය කිරීමත් සමගය. එහිදී ඇය සමයංට සහය වෙමින් බණ්ඩා ඝාතනයට ඔත්තු සැපයූ බවට චෝදනා එල්ල විය. ඒ අනුව සමයං රිමාන්ඩ් භාරයේ සිටිමින් බණ්ඩා ඝාතනය කරවූයේය.   


 අංගොඩ ලොක්කා ඒ අනුව සමයං ඝාතනය කිරීමට මධූෂ් ද සමග එක්ව සැකසූ සැලැස්ම මුලින්ම ක්‍රියාත්මක වුණේ සමයං කඩුවෙල බන්ධානාගාරයට රැගෙන ආ අවස්ථාවේ වෙඩි තැබීමෙනි. ඒ 2015 සැප්තැම්බර් 23 වැනිදාය. එදින සමයංගේ ජීවිතය බේරුණි. එහෙත් මධුෂ්ට රිදවීමට සිතු සමයං දකුණු පළාත් සභා මන්ත්‍රී ඩැනී හිත්තැටිය මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වූ හර්ෂ නමැත්තා රාජගිරිය ඔබේසේකරපුර දී ඝාතනය කිරීමට සිය ගෝලයන් මෙහෙය වීය. ඒ ඝාතනය 2016 මාර්තු 03 වැනිදා සිදු  කෙරිණ. සුරංග කුමාර නොහොත් අංගොඩ රත්තරන් නමැති අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් මුල්ලේරියාව ප්‍රදේශයේදි ඝාතනයට ලක්වන්නේද සමයං බන්ධනාගාරයේ සිට කළ මෙහෙයුමකට අනුව බව පොලිසියේ අදහස විය. එය සිදුවූයේ 2017 ජනවාරි 05 වැනිදාය.   


 කොස්ගොඩ තාරක බන්ධනාගාරයේ සිටිමින් බේරුවල කෘත්‍රීම රා නිෂ්පාදකයන්ගෙන් ලක්ෂ ගණන් කප්පම් ගැනීමේ සිදුවීමක් ද මීට වසරකට පමණ පෙර වාර්තාවිය. මේ ආකාරයට බන්ධනාගාරයේ සිට සිදුකෙරෙන කුඩු ජාවාරම්, මිනිසුන් බිය වැද්දීම්, කප්පම් ගැනීම හා මිනිස් ඝාතන පිළිබඳව පෙන්වා දීමට ඕනෑවටත් වඩා උදාහරණ ඉදිරිපත් කළ හැකිය. දැන් අවශ්‍ය කරන්නේ මෙවැන්නක් ඇත්තටම සිදුවන්නේ දැයි සෙවීමේ වැඩපිළිවෙළක් නොව මෙය බන්ධනාගාරයෙන් තුරන් කරන්නට වැඩපිළිවෙළකි. 

 
 මීගමුව බන්ධනාගාරයේ තිබී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ ජංගම දුරකථන නවයත්, දුරකථන බැටරි 17ත්, සිම්පත් 07ත් නැවත නැවතත් ඔප්පු කර පෙන්වනුයේ බන්ධනාගාර ගතවන සැකකරුවන් එහි සිට අපරාධ මෙහෙයවන බවය. ඒවා ගැන හාංකවිසියක්වත් බන්ධනාගාර නිලධාරින්ට නැත. වගකිව යුතු බලධාරීන්ට නැත.   


සැකකරුවන්ගේ මුදල්වලට යට නොවී අල්ලසට දූෂණයට ලක්නොවී රාජකාරිය අකුරටම ඉටුකරන්න කොන්දක් ඇති බන්ධානාගාර නිලධාරින් අවශ්‍යව තිබේ. එසේ නොවන තාක් බන්ධනාගාර අපරාධකරුවන්ගේ ආරක්ෂක නිවස්නයක් බවට පත්වීම වැළැක්විය හැකි නොවේ.   

 


මුදිතා දයානන්ද