අප සමග ජීවත්වෙන භූතයෝ


 

 

අන්ධකාරය රජකරන රාත්‍රි කාලයේ දී නොයෙකුත් ස්වරූපයන්ගෙන් යුතුව ගැවසෙන භූත විශේෂයන් අවතාර නමින් හඳුන්වයි. මේ පිළිබඳව නොයෙකුත් මති මතාන්තර පවතී. අවතාර යනු ජීවතුන් අතර ගැවසෙන මළවුන්ගේ ආත්මයන් බව සමහරු තරයේ විශ්වාස කරති. තවත් සමහරුන්ගේ මතයක් වී ඇත්තේ ඒවා පවත්නා යම් වස්තූන්ගේ යථා ස්වරූපය අන්ධකාරයේ දී වරදවා ගැනීමෙන් මනඃකල්පිත කොටගත් වස්තු සමූහයක් බවකි.   


කෙසේ වෙතත් අවතාර පිළිබඳ විශ්වාස ලෝකයේ බොහෝ රටවල පැතිර පවතී. එවැනි රටවල ජනයාට අවතාරවලින් හට ගනිතැයි කියන උවදුරු දුරලීමට නොයෙකුත් උපක්‍රම හා පිළිවෙත් ඒ රටවැසියන් අතර ඇති බව කියති.   


ලංකාවේ බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ අවතාර දැක බියට පත්වූවන් වෙනුවෙන් නූල් බැඳීම, ශාන්තිකර්ම කිරීම, පිදේනි දීම, තොවිල් නැටීම, බිලිදීම යන දේ කිරීමෙන් පසු බිය දුරුවන බවකි.   
මළගිය ඇත්තන් පිදීම ඉතා ඈත අතීතයේ ආගම් චාරිත්‍රයක් වශයෙන් පැවැතී ඇත. අපේ මුතුන් මිත්තෝ ශරීරයෙන් වෙන්ව ජීවයක් සෑම වස්තුවකටම ඇති බව සිතූහ. මරණින් පසු ශරීරයෙන් වෙන්ව ජීවයාගේ පැවැත්ම පිළිබඳ විවිධ විශ්වාස, අවතාර හා භූත ආත්මයන් පිළිබඳ මති මතාන්තරවලට මුල්වී ඇති බව පෙනී යයි.   


මියගිය විට ශරීරයෙන් වෙන්වූ කොටස ආත්ම යැයි හින්දු භක්තිකයෝ විශ්වාස කරති. ‘‘ශ්‍රාධය’’ යනු මළවුන් වෙනුවෙන් පැවැත්වූ හින්දු උත්සවයකි. අතීතයේ ඉන්දියාවේ පැවැති සති පූජාව යනු මියගිය සැමියා වෙනුවෙන් ඔහුගේ භාර්යාව සැමියා දැවෙන දර සෑයට පැන ජීවිත පූජා කිරීමයි, ඉන්දියාවේ මළ සිරුරු දවා අළුකර පසුව ඉතිරි වන අපවිත්‍ර ආත්මය ප්‍රේත නමින් හඳුන්වති.   


ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ දී චීනයේ කොම්පියුසියස් සිය කෑම වේලට ප්‍රථම තම පරම්පරාවේ මියගිය මුතුන් මිත්තන්ගේ ආත්ම වෙනුවෙන් කෑම කොටසක් වෙන් කළේය. මෙය අප රටේ ද සමහර ප්‍රදේශවල වැඩිහිටියෝ තම ආහාරය ගැනීමට පෙර ඉන් පිඩක් ගුලිකර පසෙකින් තබති. චීනයේ අවුරුදු පතා පැවැත්වෙන උත්සවයක දී මළවුන් පිදීම ද සිදු කෙරේ.   


මියගිය අයගේ ආත්මය ‘‘කා’’ වශයෙන් මිසරවරු හඳුන්වති. තවද මිසරවරුන්ගේ පිළිගැනීමක් වී ඇත්තේ ආත්මය උකුසු වෙස්වලා ගෙන මළ සිරුර බැලීමට එන බවකි.   


මළ ආත්මවලට නැවතුම් පොළවල් තිබෙන බව මිසර - රෝම - හීබෲ - බැබිලෝනියන්වරු පිළිගනිති. එය පිළිගන්නා ලක්වාසීන් ද නැත්තේ නොවේ.  


පොදු සමාජයක් හෝ ගෝත්‍රයක් අනුව ගෙන බැලීමේදී නීග්‍රෝ වර්ගයා තම තමන්ට හුරුවූ ආගමික චාරිත්‍ර නොකඩවා නොවරදවා පිළිපදිති. ඔවුන් හැමටම පොදුවූ ආගමික චාරිත්‍ර නම් මියගිය ඇත්තන් පිදීමය. අවුරුදු බොහෝ ගණනකට පෙර මියගිය ගෝත්‍රයේ නායකයන් මෙන්ම තම පවුල්වල මියගිය ප්‍රධානීන් ද මෙම පූජාවලට හසුවේ. මේවා හැරුණුවිට නීග්‍රෝ ජාතිකයන් විසින් අදහනු ලබන භූත ආත්ම සහ දෙවිවරුන් ද එමටය.  


පීජි දූපත් සහ වෑන්කුවර් දිවයිනේ ජනයා ද මළවුන් අදහන ජන කොට්ඨාසයෝ වෙති. ජීවත් වන අයට මළවුන්ගෙන් වන හානිවලට විරුද්ධව ආදිම මිනිසා පවා මන්ත්‍ර ගුරුකම් කළ බව ඉතිහාසයෙහි දැක්වේ.   
ප්‍රේතයන් ඇදහීම, ඔවුන් කෙරෙහි තද විශ්වාසය, භක්තිය හා බයාදුකම මිනිස් සංහතියේ මුල පටන්ම පවතින්නකි. මිනිසුන්ගේ හදවත තුළ ලැගුම් ගෙන සිටින මේ හැඟුම් කිසි ලෙසකින්වත් ඉවත් කළ නොහේ.   
ප්‍රේත යනු පුළුල් තේරුමක් දෙන විවිධ පංතිවලට අයත් භූත කොටසකි. පොදු වශයෙන් මෙය මළගිය ආත්මයකට ව්‍යවහාර කරන නාමයකි. සමහර විට භූත ආත්මයන් සැපවිඳින දිව්‍ය ආත්ම වීමට ද බැරි නැත.   
සියලු භූත ආත්ම මිනිසාගේ දර්ශනයෙන් වෙන්වී සිටීමට නිතරම වගබලා ගත්තත්, ඔවුන්ගේ කිසියම් ප්‍රමාදයක් අනුව සමහර අවස්ථාවන් හිදී සමහර අයට දැක ගැනීමට හැකිවේ.   


බෞද්ධ දර්ශනය අනුව සත්ව ශරීරය දෙයාකාරයකින් යුක්තය. එකක් රූපය වන අතර අනික නාමයයි. මිනිස් කය නාම, රූප දෙකින් සෑදී ඇතත් බොහෝ විට දෙවියනුත් භූතයිනුත් සෑදී ඇත්තේ තනිකර නාමකාය ප්‍රධාන කොටගෙනය. එනම් සිත මුල් කිරීමෙනි. කයක් ඔවුනට ඇතත් ඒ මද වශයෙනි.  
ලෝක දෙකක් අතර පවතින භූතයන්ගේ රාජ්‍යය සුවිසල් එකකි. එය ආගම්, ජාති, කුල පංති භේද ආදියෙන් මුළුමනින්ම වෙන්වී ඇත. 

 
යම් අයෙකුගේ මානසික තත්ත්වය දියුණුවී මනෝභාවයන් අති වේගවත්ව ක්‍රියා කරන්නට වූ විට ඉන් ​කොටසක් වෙන්වී ගොස් කිසියම් ප්‍රාණයක් සමග හැපී භූත ස්වරූපයෙන් යම් යම් දේ කරනු ලබන බව විද්‍යාඥයන්ගේ මතය විය.   


පංචස්කන්ධය හැර දැමීමෙන් කෙරෙන්නේ ශරීරය පමණක් අතහැර යාමකි. පුද්ගලයා සතු ජීවාත්මය සමග කාලාන්තර පරිභාවිත ඥානගතිය ස්මරණ ශක්තිය ගතිගුණ සිතුම් පැතුම් නැති බැරිකම් හා හැකියාවන් ආදී දේ ඔහු පසුපසම ගමන් කෙරේ. පුනර්භවයෙන් පසු ඇතැම් භූත කොටස් සිය අලුත් පරිසරයට රුචි නොකරන අතර ඇතැම්හු එවැනි ආත්ම මාරුවක් ලැබූ සැටියකුදු නොදනිති.   


කෙසේ හෝ භූත ලෝකයට එක් වුවද මේ ලෝකය පිළිබඳ සියලු අයිතිවාසිකම් හා එකී භූතව පවතින සම්භෝගයන් කලක් ඇසුරු කළ දේපල හිතවතුන් හා අනෙකුත් දේ ගැන ඇති දැඩි ආශාවන් නොමැකී නොනැසී පවත්වාගෙන යයි.   


කාම ක්‍රෝධ ආදී ප්‍රකෘති මනෝවේගයන්ගෙන් හා අන්තර්කාලීන ක්‍රියාවන්ගෙන් යුත් මිනිසුන් මියගිය කල්හිද සජීවී මනඃ ප්‍රකෘතීන් එසේම පවතී. පෙනී හෝ නොපෙනී සිටිමින් කතා කිරීම, අදහස් මාරුකර ගැනීම ආවිෂ්ටයෙන් සිතැඟි පළ කිරීම සාමාන්‍ය භූත ගණයට අයත් සුලබ සිද්ධීහු වෙති.   
ප්‍රාණියෙකු දූතී අවස්ථාවට මුහුණ දී ඇති විට ඔහුගේ සිත ඔහුට වසඟ නම් සිතට ඕනෑ හැටියට තමන් ක්‍රියා කරනු මිස තමාට ඕනෑ ලෙසක සිත හසුරුවා ගැනීමේ බලයක් ඔහුට නැත. ඉතාමත්ම අසරණ තත්ත්වයක සිටිමින් ඉපදීමට දඟලන ලෝකයේ ඔහු පිළිසිඳ ගත යුත්තේ කර්ම වේගය විසින් ඔහුට සරිලන පරිදි සකස් කර දෙනු ලබන භූමියක මිස තම කැමැත්ත පරිදි සිතා ගන්නා තැනක නොවේ. ඒ පෙදෙස උසස් හෝ පහත් විය හැක.  


යම්කිසි සත්වයෙකු මේ ලෝකයට පහළ වෙන්නේ කිසියම් හේතුවක් නිසාමය. සමහරවිට මෙය හේතු කිහිපයක් නිසාම වීමටත් ඉඩ තිබේ. ඒ හේතූන් කොටස් වශයෙන් ලෝභ - ද්වේශ - මෝහ වේ. සත්වයන් උස් - පහත් - සැප - දුක වශයෙන් එක් එක් අංශවලට ඇතුළත් වන්නේ මේ හේතූන්ගේ බලවත්කම උඩ බව කිව හැක. පහත් උත්පත්තිවලට ලෝභ - ද්වේෂ - මෝහ හේතු වන අතර උසස් උපත්වලට ලෝභ නැතිකම, ද්වේෂ නැතිකම, මෝහ නැතිකම හේතුවෙයි.  


දෙව්ලොව සහ මිනිස් ලොව උසස් පුද්ගලයින් උපදවන හේතු සහිත කාමාවචර උත්පත්ති අටක් ගැන බුදු දහමේ සඳහන් වේ. ලෝභ - ද්වේශ - මෝහ යන ත්‍රි හේතූන්ගේ වෙන්වූවෝ උසස් දෙවිවරු ලෙස උපදිති. ත්‍රි හේතූන්ගෙන් මධ්‍යම තරමින් වෙන්වූවෝ මිනිස් ලෝකයේ උපත ලබති. අලෝභ - අද්වේෂ - අඩු තරමින් වැඩුවෝ මළ යකා හා ගෙවල යකා වෙති. ලෝභ - ද්වේශ වැඩුවෝ මළ ප්‍රේතයන් ලෙස උපදිති.   
විවිධ චේතනා හේතු කොටගෙන උපදින සත්වයෝ සියල්ල කොටස් පහකට බෙදේ. ඒවා නේරසික - තිරශ්චීන - ප්‍රේත - මනුෂ්‍ය සහ දේව යනුවෙන් දැක්වේ. අට මහා අවීචියෙහි හා එකසිය අටක් ඔසුපත් නරකවල වෙසෙන්නෝ නේරසික යනුවෙන් හඳුන්වති. තිරස්චීන වශයෙන් වර්ග කරනු ලබන්නේ මේ ලෝකයේ ජීවත්වන තිරිසන් සතුන්ය.   


කයක් තිබුණත් ඔවුන් තිරිසන් කොටසට වැටෙනුයේ හිස කෙළින් තබා ගැනීමට නොහැකි බැවින්ය. තිරිසන් ලෝකය හැඳින්වීමට කරුණු කිහිපයක් යෙදේ. සැපයෙන් වෙන්වී ඇති බැවින්, දුකෙහි ගැලී සිටින හෙයින්, අශිෂ්ට බැවින් සහ තම ජාතියෙකු හෝ දුටු තැන මරා කෑමට පෙළඹෙන හෙයින් යන කරුණු ඒවාය. තිරිසන් ලෝකයේ ඇසට පවා නොපෙනෙන සත්තු ද ඉතා විශාල සත්තු ද ජීවත් වෙති.     


අවතාර දැක බියපත් වූවන්ට නූල් බැඳීම, තෙල් මැතිරීම, යාග හෝම, තොවිල්, බිලි පිදේනි දීම යන ශාන්ති කර්මයන් කිරීමෙන් එවැනි උවදුරුවලින් මිදිය හැකිය යන විශ්වාසය මෙරට ජනයා අතර ද පවතී. යකුන්ගේ විස්තර තොරතුරු සඳහන් වන මන්ත්‍ර - යාදිනි ආදියෙහි ගල්ගුහා, කඳු මුදුන්, ඇළ දොළ, ගංගා, වැව්, ලිං ​තොට, පාලු ගෙවල්, ග්‍රාම සීමා, සොහොන් බිම්, මළ ගෙවල්, හතරමං හන්දි ආදී ස්ථාන අවතාර ගැවසෙන පෙදෙස් හා ස්ථාන ලෙස සඳහන් වේ.   

 

 

ගම්පහ - අබේසේන හේරත්